තරු තෙරතුරු | සිළුමිණ

තරු තෙරතුරු

සීයාට මිණිපිරියගෙන් තෑග්ගක්

මේ දිනවල විකාශනය වෙන ‘මේ මමයි’ ටෙලිනාට්‍ය නිසාම බුද්ධිනී ජයවර්ධන ගැන කවුරුත් කතා බහ කරනවා. ඇය දක්ෂ මාධ්‍යවේදිනියක් වගේ දක්ෂ නවකතා රචිකාවියක්. ඇගේ ‘මේ මමයි’ කෘතියෙන් නිර්මාණය වූ ‘මේ මමයි’ ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර වගේ ම ඇගේ නවතම තොරතුරුත් අපි විමසා බැලුවා.

ඇත්තටම මේ වනවිට ‘මේ මමයි’ නාට්‍ය විකාශනය වෙමින් පවතිනවා. නාට්‍යයට ලොකු ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. ඒ වගේ ම මගේ දෙවැනි නවකතාව ‘අහස්.’ ඒ ඔස්සේත් මම ටෙලිනාට්‍යය නිර්මාණය කිරීමට අදහස් කරගෙන තිබෙනවා.

ඒ හැරුණාම විශේෂයෙන් ම මගේ සීයා ඩොමී ජයවර්ධන ගැනත් පොතක් රචනා කරන්නට මම සූදානම් වෙනවා. ඩොමී ජයවර්ධන කියන්නේ ලංකාවේ සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් කළ රංගන ශිල්පියෙක්.

ඔහු මුල් වෙලා සිනමාව වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව ගොඩනගන්නට කටයුතු කළා. වර්තමාන පරම්පරාවටත් එතුමා‍ මෙරට සිනමා කලාවට සිදුවූ සේවය පිළිබඳ දැනුම ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් මම ළඟදීම සියලු කරුණු ඇතුළත් කෘතියක් රචනා කරනවා.

‘ජූනියර් සුපර් ස්ටාර්’ කිරුළ මගේ සිහිනයයි

මේ දවස්වල කවුරුත් කතා බහ කරන ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් තමයි සිරස ‘ජූනියර් සුපර් ස්ටාර්ස්’. මේ වැඩසටහන රසිකයන් අතර කොතරම් ජනප්‍රිය ද කිව්වොත් එහි ගයන යොවුන් තරු වලට බොහෝ ආදරයක් දක්වනවා. එලෙස ජනතාවගේ ආදරය නො අඩුව ලබන්නට හැකි වූ තරුවක් තමයි ප්‍රිත්වි ආකාශ් ජයවර්ධන. ඔහුගේ ඇති දක්ෂතා සහ හැකියාවත් නිසා ම දවසින් දවස ඔහු මෙම වැඩසටහනේ ඉදිරියටම පැමිණෙමින් සිටිනවා.

 ප්‍රිත්වි මොකද හිතෙන්නේ. තියුණු තරගයක් තමයි මේ වනවිට ඇත්තේ?

ඔව්. දැන්නම් තරගය හිතුවට වඩා උණුසුම්.‍ තරගකාරිත්වයයි, දක්ෂතාවයයි, එකිනෙකට බැඳුණු රියැලිටි වැඩසටහනක් ලෙසයි මෙය මා දකින්නේ. එය ජයග්‍රහණය කිරීම අසීරු නැහැ. දක්ෂතාවය සහ කැපවීම තිබුණොත්. වාසනාවත් බලපානවා.

 ඔබ තවමත් පාසල් සිසුවෙක්?

ඔව්. මම ඉගෙන ගන්නේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ‍. උසස් පෙළ කලා අංශයෙන් හදාරනවා. විෂයක් විදියට පාසලේ දී සංගීතය හදාරනවා. මගේ සොයුරා තුලාජ් විජේසිංහ ගෙන් මට ලැබෙන සහයෝගය විශාලයි. ඔහු දැනට පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා.

 සංගීතය මව්පියන්ගෙන් ඔබට උරුම ව‍ූ හැඩයි?

මවුපියන්ට හොඳින් ගීත ගයන්න පුළුවන්්‍. මගේ අම්මා තමයි මේ වැඩසටහනට වුණත් අයදුම්පත් යොමු කරලා මාව මේ තැනට ගෙනාවේ.

 මෙවැනි වැඩසටහනකට ඔබ සම්බන්ධ වෙන්නේ පළවුවතාවට ද?

පළවැනි වතාවට නම් තමයි. පොඩි කාලේ ඉඳලම මගේ හිතේ ආසාවක් තිබුණා ගායකයෙක් වෙන්න‍. රසිකයන් ගේ සිත් දිනාගන්න. ඒ හීනය දැන් සැබෑ වෙමින් පවතිනවා.

 ඔබ දැන් අවසන් අදියරේ තරග කරුවෙක්. කිරුළ හිමිවේවි ද?

ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තිබෙනවා. කිරුළ වෙනුවෙන් උපරිම සටනක් දෙනවා. මේ තරගයට තරග කරුවන් දොළොස් දහසකින් 24 දෙනෙක් පමණයි තෝරාගත්තේ. එයට තේරීම ම ලොකු ජයග්‍රහණයක්. ඉන්පසු තරග වටවලින් අවසන් 16 දෙනා අතරට පැමිණුනා. අවසන් දොළොස් දෙනා අතරට පැමිණ ජයග්‍රහණය අත්කර ගැනීමයි මගේ අරමුණ.

 ඔබට ලැබෙන ප්‍රතිචාර මොනවගේ ද?

රසිකයන් ගෙන් වගේ ම විනිශ්චය මණ්ඩලයෙනුත් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

 ඔබ වැනි යොවුන් තරුණයන් වෙත දිග හැරෙන මෙවැනි රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතන්නේ?

ඇත්තටම සතුටුයි. මෙවැනි වැඩසටහන් තව තවත් නිර්මාණය විය යුතුයි. පළමුවැනි වතාවට තමයි මේ වගේ වැඩසටහනක් සිරස නව යොවුන් තරුණයන්ට හඳුන්වා දුන්නේ. එයට දායක වීමට ලැබීම මගේ වාසනාවක්.

 ඔබට රසිකයන්ගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම මුළු ලංකාවෙම සිටින මගේ රසිකයන් ගැන මතක් කරන්න ඕනෑ. ඔවුනට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මගේ ගම රත්මලානේ - බොරුපන. ගම් වැසියන්ගෙන් ලැබෙන සහයෝගයත් මේ මොහොතේ සිහිපත් කරනවා.

 ඔබේ අනාගත බලාපොරොත්තු?

සංගීතය තමයි මගේ ජීවිතේ. හොඳ නිර්මාණ එකතුවක් ඉදිරියේදී කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැනටමත් මට සමාජ මාධ්‍ය ජාලාවලින් හොඳ ප්‍රතිචාරයක් සහයෝගයක් ලැබෙනවා.

 

නන්දන ගෙනෙන මිල්ටන් උපහාර ගී ප්‍රසංගය

ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් උපහාර ගීත ප්‍රසංගයක් පවත්වන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. රංජිත් නන්දන කුමාර රසිකයන්ට ආගන්තුක නමක් නොවෙයි. ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පියෙකු ලෙසත් ජනප්‍රිය ගායකයකු ලෙසත් කටයුතු කරන රංජිත් මේ උපහාර ගී ප්‍රසංගයේ ප්‍රධාන ගායකයා වෙනවා. මේ පිළිබඳ ඔහු අපිත් එක්ක කතා බහ කළා. මිල්ටන් මල්ලවාරච්චි ප්‍රවීණ ගායකයා අප අතරින් වියෝ වෙලා වසර 20කට පමණ ආසන්නයි.

ඔහු වෙනුවෙන් උපහාර ගීත ප්‍රසංගයක් ලබන 10 වැනි දා රත්‍රී 7.00ට කඳුබොඬ මූකලාන හන්දියේදී පවත්වන්නට සියලු කටයුතු මේ වන විට සූදානම්. එය මගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ලෙසයි පවත්වන්නේ. මෙහි දී මා සමඟ ආරාධිත ශිල්පීන් කිහිප දෙනෙක්ම ගීත ගායනා කරනවා.

මේ වන විට මම ඒක පුද්ගල ගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා තිබෙනවා. ඒ අතරින් ප්‍රසංග තුනක්ම වෙන්වූයේ මිල්ටන් මල්ලවාරච්චි ගායකයාට උපහාර පිදීම වෙනුවෙන්. වසර හතරකට පමණ පසුව තමයි මේ උපහාරය ඔහු වෙනුවෙන් මම සිදු කරන්නේ. ඒ වගේම මිල්ටන් මල්ලවාරච්චි ප්‍රවීණ සංගීතඥයාට පින් පමුණුවා මම දානයක් පවත්වා අට පිරිකරක් පූජා කිරීමත් සිදු කළා. මිල්ටන් කියන්නේ කවදාවත් රසික හදවතින් ඈත් නොවන ගායකයෙක්.

ප්‍රසංග වේදිකාවේ මම මගේ ගීත ගායනා කළත් මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් ඔහුගේ රසිකයනට ඔහුගේ ගීතයක් දෙකක් ගායනා කරන්න මම පසුබට වෙන්නේ නැහැ. මේ ප්‍රසංගය මාත් සමඟ සංවිධානය කරන්නේ මූකලාන හන්දියේ තරුණ කැළ සහ ව්‍යාපාරිකයන් වගේම ප්‍රදේශවාසීන්ගේ එක්වීමෙන්.

නිරෝෂන් සිල්වා ප්‍රමුඛ සන්ෆයර් සංගීත කණ්ඩායම මේ සඳහා සංගීතයෙන් එක් වෙනකවා. කථනය සුනන්ද දේශප්‍රිය සිදු කරනවා. මිල්ටන් වෙනුවෙන් උපහාර පුදන මගේ ඒක පුද්ගල හීත ප්‍රසංගය නරඹන්න එන්න කියලා මම රසිකයනට ආරාධනා කරනවා.

මේ වන විට 'ආදර හැඟුම්', 'සිහිවටනයක්' වැනි සංයුක්ත ගී තැටි දෙකක් මම එළිදක්වා තිබුණත් ඉදිරියේදී නවතම නිර්මාණ එකතුවකින් රසිකයන් අතරට එන්නට මම සූදානම් වෙනවා. ඒ වගේම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සඳහා පසුබිම් ගායනයෙන් එක්වීමට ඉදිරියේ දී මම බලාපොරොත්තු වෙනවා. නො.34, නව නුවර පාර, උඩුපිල ,දෙල්ගොඩ නන්දනගේ ලිපිනයයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.