පුළු­ව­න්ක­මක් තිබු­ණොත් එදාට මං ගැන පොතක් ලියන්න | සිළුමිණ

පුළු­ව­න්ක­මක් තිබු­ණොත් එදාට මං ගැන පොතක් ලියන්න

දුරකතන තිරය මත සටහන් වී තිබුනේ අරවින්ද්ගේ ජංගම දුරකතන අංකයයි. විමසිල්ලෙන් බලා සිටින ස්වේතා දෙස බැලූ ෆියෝනා ඇමතුම හා සම්බන්ධ වූවාය.

'මිසිස් ජැෆර්ජි. මොකක්ද සිද්ද වුණේ?'

අරවින්ද් ගේ කට හඬ ඇසෙත්ම ෆියෝනාගේ දෙනෙත් වලට කඳුළු නැගිණ. ඇයට පිළිතුරු වශයෙන් කිසිවක් පවසා ගත නොහැකි විය.

'මිසිස් ජැෆර්ජි. ඇයි? මුකුත් ප්‍රශ්නයක්ද? '

තම පිළිතුරක් බලපොරොත්තුවෙන් මඳ වේලාවක් සිටි අරවින්ද් නැවතත් ඇසුවේය.

'ඔව්. ප්‍රශ්නයක්.'

'මොකක්ද? '

'මගේ අම්මා මාව දාලා ගිහින්.'

'දාලා ගිහින්? කොහේද?'

'අම්මා ගිහින්? ආයෙ කවදාවත් නොඑන්නම ගිහින්. '

අරවින්ද් කිසිදු පිළිතුරක් නොදුන්නේය. ඔහු දිගු සුසුමක් හෙලන හඬ දුරකතනය තුළින් ඇසිණ.

'මිසිස් ජැෆර්ජි වෙනුවෙන් මට මොකක්ද කරන්න පුළුවන්?'

ස්වල්ප වේලාවකට පසු යළිත් අරවින්ද්ගේ බිඳුණු කටහඬ ඇසිණ.

'ඔයාට තියා මටවත් කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ මිස්ට අරවින්ද්. අම්මගෙ හත් දවසෙ දානෙ දීලත් ඉවරයි.'

'අයියෝ.'

'මම ආවම විස්තර කියන්නම්. අපේ ගෙදර පැත්තෙ දොරවල් එහෙම ඇරලා තිබුණෙ නැද්ද මිස්ට අරවින්ද්? '

'නෑ. මිසිස් ජැෆර්ජි කවදද එන්නෙ?'

'කියන්න බෑ. මට හැමදේම හීනයක් වගෙයි.'

'හිත හදාගන්න මිසිස් ජැෆර්ජි. ජීවිතේ හැටි එහෙම තමයි. මම තියන්නම්. පරෙස්සමෙන්.'

අරවින්ද් දුරකතනය විසන්ධි කළේය. ස්වේතා මහත් උනන්දුවෙන් බලා සිටින අයුරු දුටු ෆියෝනාගේ මුවග දුක් සිනාවක් නැගිණ.

'කවුද චූටි නංගි?'

'අපේ නේබර් කෙනෙක්.'

ෆියෝනා නොසැළකිලිමත් ලෙසින් පැවසුවාය. මඳ වේලාවක් බලා සිටි ස්වේතා අල්මාරියෙහි වූ ලාච්චුවක් ගෙන යහන මත තැබුවාය.

'මෙන්න මේකෙ පාර්සල් එකක් තියෙනවා. ඒකෙ නම ලියලා තියෙන්නෙ චූටි නංගිගෙ. මං හිතන්නෙ චූටි නංගිට මේක දෙන්න අම්මා හිතාගෙන ඉඳලා තියෙනවා. '

'මොනවද ඒකෙ තියෙන්නෙ?'

ෆියෝනා ඇසුවේ කුතුහලයෙනි.

'දන්නෙ නෑ. අයියා කිව්වෙ පොතක් වෙන්න ඇති කියලා. බලන්නකො. මං ටිකක් ගිහින් එන්නම්.'

ස්වේතා කාමරයෙන් පිටව ගියාය. යහන මත හිඳ ගත් ෆියෝනා ලාච්චුවේ ඇති දෑ ඇද බලන්නට වූවාය. ලිපි ගොනු, රිසිට් පත්, ඉඩම් ඔප්පු ආදිය අම්මා ෆයිල් කවර තුළ බහා අල්මාරිය තුළ මනා පිළිවෙළකින් තබාගෙන සිටියද, ඒ සියල්ලම අවුස්සා දමා ඇත්තේ අක්කලා දෙදෙනා ද, නොඑසේනම් අභීත ද යන්න සිතා ගත නොහැකිය. කවරකු වුව ද, මුළුලාච්චුවම අවුස්සා දමා තිබේ. බොහෝ පැරැණි වී ගිය කඩදාසි කවරයක් අතට ගත් ෆියෝනා එය හැර බැලුවාය. එහි වූ තම ළදරු වියේ දී ගත් ඡායාරූප කිහිපය දුටු ඇගේ මුවග සිනාවක් නැගිණ. පෙර දිනයක අම්මා එය තමාට පෙන්වූ බවත් ඇය එදින පැවසූ රසවත් සිද්ධීත් ඇගේ මතකයට ගලා ආවේ නිතැතිනි. ඉන් එක් සේයාරුවක

ඉනෙන් රැලි දැමූ ගවුමක් හැඳ හැඬුම් මුහුණින් යුතුව වාඩි වී සිටියේ තමාය. එය කළු සුදු ඡායාරූපයක් විය.

'මේ පින්තූරෙ ගනිද්දි චූටි කුමාරිට මාස අටයි. අප්පච්චියි, මමයි ස්ටුඩියෝ එකට ගියාම අම්මෝ අඬපු තරමක්. පින්තූරෙ ගන්න දුන්නෙම නෑ. බැරිම තැන අප්පච්චි කිව්වා. පින්තූර ගන්න එක අත ඇරලා දාලා යමු යන්න. පේන්නෙ නැද්ද දැන්මම හැදෙන හැටි? මේකි මහ හිතුවක්කාරියක් කියලා.'

'ඇත්තටම අප්පච්චි එහෙම කිව්වද?'

'නැත්නම්?'

අම්මා සිනාසුණාය.

'එහෙමනම් මේ අරන් තියෙන්නෙ?'

'අන්තිමේදි මං චාටු කතා ගොඩක් කියලා යන්තම් මේක ගත්තෙ. පේන්නෙ නැද්ද මේ ඉන්නෙත් හිනා පොදක් නැතිව මූණ එල්ලගෙන.'

එදින තමා අම්මාගෙන් මෙම පින්තූර ඉල්ලා සිටියද, එය ප්‍රතික්ෂේප කළ ඇය ඒවා ලාච්චුව තුළ සුරැකිව තබා ගත් ආකාරය ෆියෝනාගේ මතකයට නැගිණ. ලාච්චුව තුළ ඇති වටිනා දෑ අක්කලා රැගෙන ගොස් තිබුණද, තම ළදරු වියේ සේයා රූ ඔවුනට නොවැදගත් ඒවා වන්නට ඇතැයි සිතන කල, ළය තුළින් සියුම් රිදීමක් ඇති වන්නාක් මෙන් ඇයට දැනිණ. ඇය ඒවා පිටත තබාගත්තේ නිවෙසින් යන විට රැගෙන යාමටය.

ලාච්චුව පතුලේ ස්වේතා විසින් පවසන ලද පාර්සලය විය. එය ද පරණ කවරයක් තුළ දමා තිබිණ. එහි පිටත තම නම ලියා කවරය අලවා තිබුණද, අක්කලා දෙදෙනා එය විවෘත කර ඇති බවක් නොපෙනේ. ෆියෝනා එය සීරුවෙන් හැර බැලුවාය. එහි පැරැණි දිනපොත් කිහිපයක් විය. ෆියෝනා අතට ගත් දිනපොතෙහි සටහන් වී ඇති වසර අනුව එය හතළිස් පස් වසරක් පමණ පැරැණි දිනපොතකි. අනෙක් දිනපොත් ද බෙහෙවින් පැරැණි ඒවා බව පෙනේ.

අම්මා මේවා තමාට දෙන්නට සිතුවේ මන්දැයි සිතමින් ෆියෝනා ඒවායේ පිටු කිහිපයක් නිකමට මෙන් හරවා බැලුවාය.

'අක්කා නිවාඩු පටන් ගනිද්දි හොස්ටල් එකේ ඉඳලා ගෙදර ආවම මුළු ගෙදරම හරියට පුංචි මගුල් ගෙයක් වගෙයි. අක්කා හමු වෙන්න අක්කගෙ යාළුවෝ ආවම ආපහු යන්නෙ දවසක් දෙකක් ඉඳලා. සමහරවිට දවසක්, දෙකක් නෙමෙයි. සතියක් ඉඳලා යන යාළුවොත් ආවා. නංගිටයි මටයි හරි තරහයි. ඒගොල්ලො ලොකු අය. ඒගොල්ලන්නට කතා කරන්න තිබුණෙ අපි කතා කරන දේවල් නෙමෙයි. අක්කගෙ පිරිමි යාළුවෝ කීප දෙනකුත් අක්කා හමු වෙන්න ආවා. ඒ යාළුකම් වෙනස්. ගෑනු පිරිමි කියලා භේදයක් නැතිව ඒගොල්ලො කතා බහ කරනවා. හිනාවෙනවා. විහිළු තහළු කරනවා. ඒ අයගෙන් සමහරු පප්පා එක්ක බැල්කනි එකේ එකට වාඩි වෙලා බොනවා.'

ෆියෝනා අහම්බෙන් හැරවූ පිටුවෙහි එසේ සඳහන් වී තිබිණ. මෙම දිනපොත් සියල්ලම සටහන් වී තිබුණේ අම්මාගේ අත් අකුරෙනි. අම්මාගේ අත් අකුරු මුතු ඇට මෙන් රවුම්ය. කුඩාය. ඇය කුඩා හෝ තරුණ කාලයේ ලියන ලද අකුරු වල ද, පසුකාලීනව ලියන ලද අකුරු වල ද එතරම් වෙනසක් නොපෙනෙයි. අම්මාගේ ජීවිතය තුළට මේ දිනපොත් හරහා එබී බැලිය හැකි යයි ෆියෝනාට සිතිණ. ඇය එකළ ඇතැම් අවස්ථා වල ව්‍යංගයෙන් පවසන්නට ඇත්තේ මෙම දිනපොත් පිළිබඳව විය යුතුය.

'මගේ ජීවිතේ හරිම පුදුමාකාරයි චූටි කුමාරි. කවදාහරි දවසක චූටි කුමාරිට මගේ ජීවිතේ ගැන දැනගන්න පු ̈වන් වේවි.'

අම්මා දිනක් පැවසුවාය.

'ඒ කොහොමද?'

'කොහොම හරි. චූටි කුමාරි පොත් ලියන නිසා ඒවා ප්‍රයෝජනවත් වේවි. කවදා හරි පොතක් ලියද්දි මා ගැනත් ලියන්න.'

'ලියන්නම්. කැමැත්තෙන් ලියන්නම්. ඒත් අම්මා මට අම්මගෙ ජීවිතේ ගැන හරියට කියලා නැහැනෙ.'

'කිව්වෙ නෑ. චූටි කුමාරි මගේ දරුවෙක්. සමහර දේවල් මට මූණ බලාගෙන කෙලින් කතා කරන්න බැහැ. ඒත් චූටි කුමාරිට මං නැති දවසක මා ගැන දැන ගන්න පුළුවන්.'

'ඒ කොහොමද?'

'කොහොමද?'

අම්මා සිනාසුණාය.

'මං මැරුණු දවසට සුරංගනාවියක් වෙලා ඇවිත් චූටි කුමාරි ළඟින් වාඩි වෙලා හැමදේම කියනවා. '

'අම්මා හරි නරකයි. '

'නරකයි? ඇයි?'

'දුක හිතෙන ඒවා කියනවා.'

'නෑ. දුක හිතෙන ඒවා නෙමෙයි. ඒකයි ඇත්ත. මේ ලෝකෙට එන හැම කෙනකුටම යන්න වෙනවා. මාත් කවදා හරි දවසක යාවි. එදාට පුළුවන්කමක් තිබුණොත් මං ගැන පොතක් ලියන්න.'

අම්මා පැවසූ එම දිනය අද එළඹී ඇතැයි ෆියෝනාට සිතිණ. ඇය දිනපොත් කිහිපය අඩංගු පාර්සලය සහ සේයා රූ සහිත කවරය පමණක් තබාගෙන ලාච්චුව වසා දැමුවාය.

'මොනවද ගත්තෙ?'

තම බෑගයෙහි පතුළට දින පොත් දැමීම සඳහා කාමරයෙන් පිටව යද්දී ස්වේතා ඇසුවාය.

'මොනවද පාර්සලේ තිබුණෙ?'

ඇය අසළ වාඩි වී සිටි අයියා ද ඇසුවේය. ෆියෝනා තම කුඩා කළ ඡායාරූප සහ දිනපොත් සියල්ල පිටතට ගත්තාය.

'ඔච්චරද ගත්තෙ? රත්තරං බඩු අරගොල්ලො අරන් ගියාට රිදී බඩු වගයක් අල්මාරියෙ ඇති.'

'මට එපා. මේ හොඳටෝම ඇති.'

'ඔව්වා පරණ දිනපොත්නෙ.'

'ඔව්. ඒත් මේ හැම එකකම අම්මා ඉන්නවා. ඒ නිසා හැමදේටම වඩා මට මෙව්වා වටිනවා.'

ස්වේතාත්, අයියාත් මුහුණින් මුහුණ බලා ගන්නා අයුරු ෆියෝනා දුටුවාය. ඇය දිනපොත් සහ ඡායාරූප යළිත් කවර වලට දමා ගත්තාය.

'චූටි කුමාරි.'

කාමරය දෙසට යන්නට පුටුවෙන් නැගී සිටිත්ම අයියා තමා අමතනු ඇසුනෙන් ෆියෝනා යළි හිඳ ගත්තාය.

'ප්‍රශ්නයක් තියෙනවා.'

'ප්‍රශ්නයක්?'

'ඔව්. චූටි කුමාරි සමහරවිට හිතාවි මට මෙව්වා අහන්න අයිතියක් නෑ කියලා. ඒත් මට අයියා විදියට අහන්නෙ නැතිව ඉන්න බෑ. '

'අහන්න. '

ෆියෝනා ස්වේතා දෙස බැ ̈වාය. තමාට මුහුණ දීමට නොහැකි සේ ස්වේතා බිම බලා ගත්තාය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.