විදෙස් චිත්‍ර­ප­ටය | සිළුමිණ

විදෙස් චිත්‍ර­ප­ටය

තමන්ද සත්වයකු බව අමතක කර ඇති මිනිසා එතැනින් නොනැවතී සතුන් තම කෙළි බඩු බවට පත්කර ගැනීමට වෙර දරන සමාජයකට සම මෙතින් සත්ව වර්ගයා දෙස බලන පණිවුඩය සතකු විසින් ම ලබාදෙන, තවත් එක් සත්ව හිතවාදී සිනමා නිර්මාණයක් ලෙස ‘ෆර්ඩිනැන්ඩ්’ හැඳින්විය හැකිය.

ෆර්ඩිනැන්ඩ් දෙසැම්බර් 15 වැනිදා තිරගතවීමට නියමිත අමෙරිකානු ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයකි.

මුන්රෝ ලීෆ්ගේ සහ රොබට් ලෝසන්ස්ගේ ‘ද ස්ටෝරි ඔෆ් ෆර්ඩිනැන්ඩ්’ ළමා කතාව ඇසුරින් ‘ෆර්ඩිනැන්ඩ්’ සිනමා පටය නිර්මාණය විය.

‘ෆර්ඩිනැන්ඩ්’ යනු ස්පාඤ්ඤ ගවයකු වුවත් සටන් ගවයකු නොවේ. ඌ මල් සිඹිමින්, විනෝදයෙන් ජීවිතය ගෙවා දැමීමට කැමැතිවූ අහිංසක සත්වයකු වුවත් මිනිසුන් සටන් ගවයකු ලෙස (රතුරෙදි පසු පසින් හඹා යන ගවයකු ලෙස) පුරුදු කිරීමට උත්සාහ ගන්නා ලදී. ෆර්ඩිනැන්ඩ්ගේ ජීවිතයට කණකොකා හැඬුවේ ඌ ගෘහස්ථ ක්‍රීඩාංගණයට සටන්කාමී ගවයකු ලෙස රැගෙන යාමෙන් පසුවය. ෆර්ඩිනැන්ඩ්ට සටන් කරන ගවයකු වෙනවාද මල් සිඹිමියන් යන ත්‍යාගවන්ත සත්වයකු වෙනවාද කියා තීරණය කිරීමට සිදුවේ.

ෆර්ඩිනැන්ඩ්ට මල් සිඹිමින්, ත්‍යාගවන්ත වෙමින් සුපුරුදු නිදහස් දිවිය ගත කිරීමට හැකිවේවිද? පාසල් නිවාඩු සමයේ දූ දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද ෆර්ඩිනැන්ඩ් ගෙන එන්නේ මෙම සංවේදී කතාවයි.

මේ සිනමා පටය කාලෝස් සැල්ඩන්හාගේ ජනප්‍රිය සජීවීකරණ සිනමා පට මාලාවේ තවත් රසාලිප්ත නිර්මාණයකි. අයිස් ඒජ් : ද මෙල්ට්ඩවුන්, අයිස් ඒජ් : ඩෝවින් ඔෆ් ද ඩයිනොසෝර්ස්, රියෝ, රියෝ 2 ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය සජීවීකරණ නිර්මාණය. 2003 දී ඔහුගේ ‘ගෝන් නටී” සිනමා පටය ඇකඩමි සම්මාන උලෙළේ හොඳ ම සජීවීකරණ කෙටි සිනමාපටයට නිර්දේශ විය.

ජෝන් සීනා, ෆර්ඩිනැන්ඩ් ගවයාට හඬ දුන් නළුවාය. සිනමා පටයට හඬ දෙමින් ජෝන් සීනා කියා සිටියේ ෆර්ඩිනැන්ඩ් ගවයා මෙන් තමන් ද ත්‍යාගශීලී ආත්මයක් බවය. උගේ මෙන් ශරීරය තරමක් විශාල බව සිනාසෙමින් ජෝනි කියා සිටියේ තණ‍කොළ නොකෑම ඇතුළු තවත් සැලකිය යුතු අසමානතා දෙදෙනාගේ පවතින බවය.

ෆර්ඩිනැන්ඩ්ට හඩ කැවීමට ජෝන් සීනා තෝරා ගැනීම අධ්‍යක්ෂගේ නුවණැති තෝරා ගැනීමක් බව බොහෝ දෙනාගේ අදහසයි. ඔහු නළුවකුට අමතරව මල්ලවපොර ශූරයකු ද වීම ඊට හේතුවය. භයානක සතකු ලෙස මිනිසා වරදවා වටහාගත් යහපත් හදවතක් තිබූ විශාල ගවයා යළි තම නිවහනට පැමිණීමේ වීර චාරිකාවට සැබෑ ගාම්භීරත්වයක් ජෝන්ගේ හඩ පෞරුෂයෙන් ලැබේ.

සිනමා පටයේ වියපත් ලූප් එළුවාට හඩ එක් කරන්නේ කේට් මැක්කිනොන් ය. ඇය සම්මානනීය විකට නිළියකි. වයසක ලූප් එළුවාට හඬ දුන්නද කේට් තවමත් තිස්තුන් හැවිරිදිය. බෝන්ස් ලෙස ඇන්තනි ඇන්ඩර්සන් ද, වේලියන්ට් ලෙස බොබී කැනවේල් ද, ගෞපෝ ලෙස පේටන් මැනිංද, ඇග්නස් ලෙස ඩේවිඩ් ටෙනන්ට් ද, ඌනා ලෙස ගිනා රොඩ්‍රිගුවස් ද ඩෝස් ලෙස ඩැවීඩ් ඩිග්ස් ද, කෝට්‍රෝලෙස ගේබ්‍රියල් ග්ලෙසියස් ද එල් ප්‍රයිමෙරෝ ලෙස මිගුවල් සිල්වෙස්ටර් ද, හෑන්ස් ලෙස ෆ්ලූලා බෝග් ද, ක්ලෝස් ලෙස බොරිස් කොඩ්ජේ ද, ග්‍රේටා‍ලෙස සැලී පිලිප්ස් ද, පැකෝ ලෙස ජෙරඩ් කැමිලස් ද, ඉසබෙලා ලෙස කාලා මාටිනස් ද, මොරෙනෝ ලෙස රෝල් එස්පාසා ද හඬ කවති.

ෆර්ඩිනැන්ඩ්ගේ සහ පැකෝගේ සැබෑ අයිතිකරු නීනාගේ චරිතයට හඬ කවන ලද්දේ දොළොස් හැවිරිදි කේටී සිල්වර්මන් ය.

‘ෆර්ඩිනැන්ඩ්’ සොඳුරු සජීවීකරණ සිනමා නිර්මාණයට මුල පිරුණේ වසර 2011 දීය. ඒ ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ඇනිමේෂන් සමාගම විසින්, මුන්රෝ ලීෆ්ගේ ‘ද ස්ටෝරි ඔෆ් ෆඩිනැන්ඩි’ ළමා කෘතියෙන් සජීවීකරණ නිර්මාණයක් කිරීමට අවසර ගැනීමත් සමඟය. 2013 මැයි මාසයේදී ෆොක්ස් සමාගම විසින් ‘ෆර්ඩිනැන්ඩ්’ යන සරල නම දෙනු ලැබිණි. සැල්ඩන් හා සමඟ දිගින් දිගට ම වැඩ කරන ජෝන් පවල් විසින් සිනමා පටයේ සංගීතය නිර්මාණය කරන ලදී. මෙහි ගීත හයක් අන්තර්ගතය. නික් ජොනෑස්, ජුඈන්ස්, පිට්බුල්, ලොස් ඩෙල් රියෝ එම ගීත ගීතවත් කර ඇත.

‘ෆර්ඩිනැන්ඩ්’ හොලිවුඩ් තිරයට නව නිර්මාණයක් නොවේ. 1938 තරම් අතීතයේදී ‘ෆර්ඩිනැන්ඩ් ද බුල්’ නමින් ඩිස්නිකෙට් සජීවීකරණ සිනමාපටය තිරගත කර තිබේ. එය හොඳම කෙටි සජීවීකරණ සිනමා පටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගෙන ඇත.

ජෝන් සීනා දායක වූ සිව්වැනි සජීවීකරණ නිර්මාණය මෙයය. ‘ෆර්ඩිනැන්ඩි’ තිරගත වන්නේ ‘ස්ටාර් වෝර්ස් - ද ලාස්ට් ජෙඩි’ සිනමා පටය සමඟ කරට කර සටනක් දෙමිනි.

බ්ලූ ස්කයි ස්ටුඩියෝ මඟින් නිර්මාණය කළ සජීවීකරණ සිනමාපට අතරින් මිනිස් චරිත අන්තර්ගතවී ඇත්තේ ෆර්ඩිනැන්ඩ්, අයිස් ඒජ් (2002), රියෝ (2011), එපික් (2013), රියෝ 2 (2014) සහ ද පීනට් (2015) යන සජීවීකරණ සිනමාපටවල පමණි.

‘ෆර්ඩිනැන්ඩ්’ ට්‍රේලර් තුනක් ම මේ වන විට ප්‍රේක්ෂකයන්ට නිකුත් කර අවසානය. මිනිත්තු 107 ක් දිගු සිනමාපටය උදාවන නත්තලට සිනමාලෝලීන්ට කරුණාවේ පණිවුඩයක් ගෙන එයි. ඒ වාගේ ම පාසල් නිවාඩුවේ දරුවන් රස සාගරයක ගිල්වමින් සත්ව කරුණාවේ පාඩම ද කියා දෙයි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.