වෛද්‍ය ශාන­කගේ සිතු­වම් දැක්ම 8, 9, 10 ලය­නල් වෙන්ටඩ් හිදී | Page 2 | සිළුමිණ

වෛද්‍ය ශාන­කගේ සිතු­වම් දැක්ම 8, 9, 10 ලය­නල් වෙන්ටඩ් හිදී

'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත' පැරැණි කියමන වෙනස් කළ තවත් සුවිශේෂි වු පුද්ගලයකු පසුගියදා අපට හමුවුණා. ඔහු රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ෂානක කුලතුංග. ෂානක වෛද්‍ය වෘත්තියට අමතරව සිතුවම් ඇඳීමට දක්වන්නේ සුවිශේෂි දක්ෂතාවක්. ඔහුගේ ඒ හැකියාව මුළු රටටම පෙන්වන්න මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ මේ මස 8, 9, 10 දිනවල සවස 5.00සිට රාත්‍රි 8.00දක්වා ලයනල් වෙන්ටඩ් හිදී පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයටයි. ඒ ගැන ෂානක අප සමග මෙසේ කතාබහ කළා.

 ඔබ ‍වෛද්‍යවරයෙක්ද.. චිත්‍ර ශිල්පියෙක්ද..

මම රිජ්වේ ළමා රෝහලේ වකුගඩු රෝග සම්බන්ධ ඒකකයේ වෛද්‍යවරයෙක්. මගේ වෘත්තිය වෛද්‍ය වෘත්තිය.නමුත් විනෝදාංශයක් ලෙස බොහොම භක්තියෙන් සහ ආදරයෙන් සිතුවම් ඇඳීම කරගෙන යනවා. මේ වන විට සිතුවම් ඇඳීම නිසාත් වෛද්‍ය වෘත්තිය නිසාත් බොහෝ පිරිසක් මාව හඳුනනවා. කලාවට සම්බන්ධ වෘත්තීන් හි නියැළෙන පිරිස මාව හදුනන්වන්නේ කලාකාරයෙකු ලෙස. මේ වෘත්තීන් දෙකටම ආදරෙයි.එහෙත් චිත්‍ර ඇඳීම මගේ වෘත්තිය නොවන නිසා වෛද්‍යවරයකු ලෙස හදුන්වනවාට වඩාත් කැමතියි.

වෛද්‍යවරයකු සිතුවම් ශිල්පියෙක් වීම කලාතුරකින් දක්නට ලැබෙන්නක්. කොහොමද සිතුවම් කලාවට යොමුවන්නේ...

කුඩා කාලයේ පටන්ම සිතුවම් ඇඳීමට දක්ෂ නිසා දෙමව්පියන් මාව විභවි චිත්‍රකලා ඇකඩමියේ චන්ද්‍රගුප්ත තේනුවර සර් යටතේ චිත්‍ර කලාව හැදෑරීමට යොමු කළා. එතුමා තමයි මගේ හැකියාව හදුනාගෙන මාව මේ තැනට ගෙනආවේ.කොස්වත්ත එන්. ඩී. ඒ ජයවර්ධන විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. සා.පෙ දක්වා චිත්‍ර කලාව හැදෑරුවත් දෙමවුපියන්ගේ ඉල්ලීම මත උසස් පෙළට විද්‍යා විෂයයන් හදාරා වෛද්‍ය විද්‍යාලයට යන්න වරම් ලබනවා.මොන දේ කළත් ශරීරය අභ්‍යන්තරයේ සිටින කලාකාරයා නැවතත් ඉස්මතු වෙන්නේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වු පසුව.ඒ අනුව තමයි සිතුවම් කලාවට නැවතත් යොමුවන්නේ.

වෛද්‍ය සිසුවකුව සිටියදී පොත පතේ වැඩ බොහෝයි... කොහොමද සිතුවම් ඇදීමට කාල වේලාව වෙන්කර ගත්තේ..

සිතුවම් ඇදීමත් හරියට භාවනාවක් කරනවා හා සමානයි. හොඳ නිර්මාණයක් කරන්න නම් එයට සම වැදෙන්න වෙනවා. වෛද්‍ය සිසුවකුව සිටින කාලයේ ඇතැම් අවස්ථාවල සිතුවම් ඇඳීම නිසා ඉගෙනුම් වැඩ අතපසු වු අවස්ථාත් තිබෙනවා. එහෙත් ඉගෙනුමට මූලිකත්වය දී සිතුවම් ඇඳීම ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම කළා.සිතුවම් කලාව ගැන වැඩිදුර හැදෑරීමත් සිදු කළා. එසේ ඇන්ඳ සිතුවම් ඇතුළත්කොට චිත්‍ර ප්‍රදර්ශන දෙකක් ලයනල් වෙන්ටඩ් හිදී පැවැත්වුවා.

වෛද්‍ය වෘත්තියට යොමු වු පසුවත් සිතුවම් ඇඳීම පෙර ලෙසම කළා..

ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම සිතුවම් ඇදීම කරනවා.පසුගිය කාලයේ වසර 2ක් වවුනියාවේ සෙට්ටිකුලම් රෝහලේ සේවය කළා. එහිදී ලැබුණු අත්දැකීම් සිතුවමට නැගුවා. ඒවාත් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත්කරනවා. මෙයට පෙර පැවැත්වු ප්‍රදර්ශනවලට වසර පහකට පසුව මෙවර ප්‍රදර්ශනය පවත්වන්නේ.එයට හේතුව ‍හොඳ සිතුවම් දැක්මක් කළයුතු නිසාත් වෛද්‍යවරයකු නිසා බොහෝ විට සීමා පනවාගෙන කාලයක් අරගෙන හොඳ නිර්මාණ කිරීමට සිදුවන නිසයි.

මේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්කෙරෙන සිතුවම් විවිධ තේමාවන් පාදකකරගෙන කළ නිර්මාණයන්ද..

මෙහි ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ මානව රූපි සහ ආලේඛ්‍ය චිත්‍ර. එදිනෙදා මුනගැසෙන යහළුවන් සහ වෙනත් පිරිසගේ රූපකායන් සිතුවමට නගා තිබෙනවා. එයට අමතරව විවිධ සිත් ගත් අවස්ථා දැක්වෙන සිතුවම් ප්‍රදර්ශනය කෙරෙනවා.කෙසේ වෙතත් නරඹන්නන්ගේ ආකර්ශනයට ලක්වන සිතුවම් විස්සක් පමණ ප්‍රදර්ශනය කෙරෙනවා.

ඉදිරියේදි වෛද්‍යවරයා අභිබවමින් චිත්‍ර ශිල්පියා ඉදිරියට එන බවක් පෙනෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ..

ඇත්තටම වෛද්‍යවරයකු වීම ගැන සතුටුයි. එය උතුම් රැකියාවක්.කලාවත් එසේමයි. වෙනස් විෂයයන් දෙකක නියැළෙන නිසා ඒකාකාරි බවක් දැනෙන්නෙ නෑ.රෝගීන් සමග අධික විඩාවට පත්ව නිවෙසට ගිය විට කිසියම් සිතුවමක් ඇඳීමේදි සිතට දැනෙන්නේ පුදුම සහනයක් සැනසීමක්. දැනුමත් සමග කිසියම් නිර්මාණ කාර්යයක නියැළෙන විට එය වඩාත් සාර්ථකව කළ හැකියි.සිතුවම් ඇඳීමට දක්වන කැමැත්ත කොතරම්ද කියනවනම් තවම පශ්චාත් උපාධියවත් සම්පූර්ණ කරගන්න ලැබුණේ නෑ.මෙම ප්‍රදර්ශනයෙන් පසුව එම උපාධිය සම්පූර්ණ කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. වෛද්‍ය වෘත්තියෙන් දැන හඳුනාගත් පිරිසට වඩා චිත්‍ර ශිල්පියකු ලෙසයි බොහෝ පිරිසක් දැනටමත් මාව හඳුනන්නේ.එම නිසා කලාවත් වෛද්‍ය වෘත්තියත් දෙකම සමබරව කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.

වෛද්‍යවරයකු ලෙසත් චිත්‍ර ශිල්පියකු ලෙසත් නවක චිත්‍ර ශිල්පීන්ට ඔබෙන් කිසියම් ආදර්ශයක් ගත හැකි යැයි සිතනවාද...

නවක චිත්‍ර ශිල්පීන්ට දිය හැකි හොඳම ආදර්ශය තමන් හදාරණ විෂයට බොරුකරන්නේ නැතුව අවංකව නියැළෙන්න කියන එක. විශේෂයෙන් නිර්මාණයකදි තමන්ට අවංක විය යුතුයි. එහෙම වුනොත් සාර්ථක චිත්‍ර ශිල්පියෙක් විය හැකියි.

රැකියාවත්, කලාවත් හොඳින් කරගෙන යෑමට ඔබට පවුලෙන් ලැබෙන සහාය කෙබඳුද..

මම විවාහකයි.බිරිඳ චතුරිකා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක ලෙස සේවය කරනවා. අපේ දුවගේ වයස අවුරුද්දයි. රෝහලේ වැඩ අවසන් වී ගෙදර ගිය විට තමයි සිතුවම් ඇඳීම කරන්නේ. ඒ සඳහා බිරිඳගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. පසුගිය කාලයේ ශ්‍රි ලංකන් එයාර් ලයින් සමාගම පැවැත්වු ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ තරගයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා. චිත්‍ර ශිල්පියකු ලෙස ඉදිරියේදිත් හොඳ නිර්මාණ කරමින් මා උගත් දේ නවකයන්ට ලබාදීමේ බලා පොරොත්තුවක් තිබෙනවා. කවුරුන් හෝ ඒ ගැන උනන්දුවක් දක්වනවානම් 077-2007990 දුරකථන අංකයෙන් හෝ [email protected] ඊමේල් ඔස්සේ විමසිය හැකියි. 

Comments