කූඹියෝ: අපේ නාසි­ස්මය ෆැන්ට­සිය | සිළුමිණ

කූඹියෝ: අපේ නාසි­ස්මය ෆැන්ට­සිය

ප්‍රේක්ෂකයා නාට්‍යයේ අපේක්ෂා සහිතව සිටිද්දී නාට්‍යය අවසන් වේ. ඉන්දියාවෙන් හෝ කොරියාවෙන් හෝ ගෙන්වා ප්‍රදර්ශනය කරන නාට්‍යවලට ඒ කාලය ලබාදෙද්දි ‘කූඹියෝ’ ඒ කාලයේ රඳවන්න බැරි ඇයි? එසේ වුව හොත් මාධ්‍ය ආයතනයට පාඩු වේ. මන්ද මෙහි කොටස් ගාන අඩුය. ජනප්‍රියත්වය වැඩිය. එනිසා ලැබෙන වෙළෙඳ දැන්වීම් වැඩිය. එහෙත් ප්‍රේක්ෂකයා වෙළෙඳ දැන්වීම්වලින් හෙම්බත් නො කිරීමටත් ස්වාධීන රූපවාහිනිය ගන්නා වෑයම අගේ කළ යුතු වෙමු.

‘කූඹියෝ’ කියන්නේ අයි. එම්. ඩී. බී. (IMDB) අන්තර්ජාතික දර්ශකයේ ‘Crime Series’ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් ටෙලිනාට්‍යයකි. ශ්‍රී ලාංකික ටෙලිනාට්‍යයක් අන්තර්ජාතික දර්ශකයක පළමු තැනට පත් වූ මුල්ම අවස්ථාව මෙය වේ. අන්තර්ජාලය හරහා ටෙලිනාට්‍ය නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව මේ අන්තර්ජාතික දර්ශකයේ අවධානයට යෙමු වී තිබිණි. ඒ අනුව හිමිවන ලකුණු 10යෙන් 9.9ක්ම ඊට හිමි ව තිබුණි. කූඹියෝ හී තුමිඳු දොඩංතැන්න, කලන ගුණසේකර, ඇන්ඩෲ පුලන්, යුරේනි නොෂිකා, තුසිත ලක්නාත්, සේනක ටයිටස්, ඩබ්ලිව්. ජයසිරි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මානවඩු ... ආදීන් සිය රංග කෞශල්‍යයෙන් මොනවට විස්කම් දක්වති. ‘කූඹියෝ’ ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයකි. අසංක දොඩංතැන්නගේ නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණය මැක්ලියින් ඇඩම්ස්ගේ (Striner Macklain Adams)ය. මෙහි දෙවන කැමරා ශිල්පියා හසිත වර්ණසූරියයි. වේශ නිරූපණය ප්‍රියන්ත එස්. වන්නිනායකයගේය.

මෙච්චර ජනසන්නිපාතයක් ‘කූඹියෝ’ බලන්නේ ඇයි? එහි ඇති ආකර්ෂණය කුමක්ද? අපි මඳක් විමසා බලමු

“මේකට කියන්නෙ දක්ෂයින්ගේ දශකය කියල,

උගතුන්ගේ දශකය ඉවරයි...!” ජෙහාන් (කූඹියෝ)

අසූව අනූව දශක කියන්නෙ අපගේ ළමා ලෝකය කැලඹූ කාලයකි. තාත්තා රජයේ සේවකයකු වූ නිසා අසූ දෙකේ දී හා හා පුරා කළු සුදු හිතාචි (HITHACHI) රූපවාහිනියක් අපේ ආලින්දයටත් ගොඩ විය. මේ අමුතු පෙට්ටිය ඇතුළෙ රූප පේනවා දකිද්දි අපට දැනුනේ අමුතුම කිතියකි. මේකේ ඇතුළේ මිනිස්සු ඉන්නවාද කියා සෙවීමේ උත්තේජනයක් අපිට නො ආවේ නාරාහේන්පිට බෝල මේස වත්තේ (මේස පන්දු ක්‍රීඩාව නිසා ලැබුණු නමකි) තට්ටු නිවාසයක පදිංචිව සිටි නිසා යැයි මට සිතේ. එය මහ අමුතු කතාවක් යැයි ඔබට සිතෙනු ඇත. මගේ තාත්තා රාජකාරිය දේවකාරිය ලෙස සැලකූ අයෙකි. ඔහු සිනමා ලෝලියකු වූ අතර, ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම අපට චිත්‍රපටි පෙන්වීය. එකල බොරැල්ලේ සිට කිරුළපන දක්වා තිබූ සෑම සිනමාහලකම (හතරක හෝ පහක) අපි චිත්‍රපට නැරඹූවෙමු. එහෙත් අද බොරැල්ලේ පිහිටි සිනමාශාලා දෙක හැරුණු කල බේස්ලයින් පාර දිගේ කිරුළපන දක්වා පැමිණියද වෙනත් කිසිදු සිනමා ශාලාවක් දක්නට නොමැතිය. ඇතැම් ඒවා 88-89 කාලයේ ගිනි දෙවියාට පිදිණ. එනිසා තිරයක රූප මැවෙනු අපි මුලින්ම දැක තිබුණේ සිනමා ශාලාවලය. එකල විජය කුමාරතුංග යනු අසූ අට රියන් පුද්ගලයකු යැයි මමත් මල්ලීත් සිතා සිටියෙමු. ඒ මතය වෙනස් වූයේ නාරාහේන්පිට ජාතික වෙළෙඳසැළේ තැඹිලිවල්ලක් සිය ට්‍රැරෑම්ප් යතුරු පැදියේ රඳවමින් සිටි විජයව දෑහින් දැක ගැනීමට අම්මා ඇවිටිලි කළ නිසාය. පසුව ඔහු අපේ තට්ටු නිවාසය අසල පල්ලියේද, මැයි දින පෙළපාළිවලද, මහවත්තේ උද්‍යානයේ ඉන්දරේගේ අස්වයින් පිටයන අතරේද දක්නට ලැබිණි. මේ ආකාරයෙන් අපගේ සිහින වීරයා විටින් විට දැකීම මහත් ප්‍රීතියටද හේතු විය. මෙ නිසා තිරය මත රූප මැවීම තාක්ෂණික දෘශ්‍ය තිර මායාවකට වඩා වැඩි යමක් නොවන බව අප වටහා ගත්තේය. නාගරික පරිසරයක ජීවත් නොවන්නට මවුපියන් රැකියාව කරා ගිය පසු ටෙලිවිෂනය දෙපලු කර මිනිසුන් එළියට ගැනීමට සිතනවා සිකුරුය. එකල අපගේ වැඩ එවැනිය.

කළු සුදු HITHACHI රූපවාහිනිය සුසර කර බැලීමට තරම් මාධ්‍ය ආයතන බොහොමයක් අපට නොවුණි. තිබුණු එකම චැනලය ස්වාධීන රූපවාහිනි සේවය පවා පැහැදිලිව දැක ගැනීමට තට්ටු නිවාසයේ වහලයේ එය සවි කළ යුතු විය. මුල්කාලයේ අප නැරැඹූ ත්‍රාසජනකම වැඩ සටහන වූයේ බොක්සිං ක්‍රීඩාවය. මොහෙමඩ් අලී, මයික්ටයිසන්, හොලිෆීල්ඩ් අපේ වීරයෝ ය. මමත් මල්ලීත් හරි හරියට ඒවා බලා ගුටි ඇනගත් අතර ඒවා කෙළවර වූයේ මව ගේ කෝටු පහරිනි. ස්වාධීන රූපවාහිනි සේවය ආරම්භ වී ටික කලකින් ජාතික රූපවාහිනි සේවය ආරම්භ විය. මුල් යුගයේ අධ්‍යාපනික ක්‍රීඩා වැඩසටහන්වලට හා ප්‍රවෘත්තිවලට වැඩි ඉඩකඩක් හිමි වී තිබුණි. විනෝදාස්වාදයේ අවකාශය ඉන්දියානු චිත්‍රපට හා බටහිර චිත්‍රපටවලින් පිරී ගියේය. බටහිර සිනමා නිර්මාණ බොහෝමයක් ‘කව්බෝයි’ සිනමා නිර්මාණ විය.

ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, යූ. ආරියවිමල්, සෝමවීර සේනානායක, හර්බර්ට් රංජිත් පීරිස්, ටයිටස් තොටවත්ත... (පසු කාලීනව ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ජැක්සන් ඇන්තනී, බර්ට්‍රම් නිහාල්)... ආදී නිර්මාණ ශිල්පීහු ටෙලිවිෂනය ආක්‍රමණය කළෝය. සිංහල ටෙලි නාට්‍ය හඳුන්වාදීමට ඔවුහු උත්සුක වූහ. දිමුතු මුතු (83), ළාහිරු දහසක් (84), පළිඟු මැණිකේ, යශෝරාවය, රේඛා, රට ගිය ඇත්තෝ, මිහිකතගේ දරුවෝ, ඇල්ල ළඟ වලව්ව, ගමන, අඹ යාළුවෝ, හිමි අහිමි, කඩුල්ල, ගංගා සහ නිශ්ශංක, සුසීමා, වෙද හාමිනේ, හිරුට මුවාවෙන්, බෝඩිම, ගිරය, සුසීමා, රුපියල් ශත, දූ දරුවෝ, කුමාරයාණෙනි, නිදිකුම්බා මල්, ඉටි පහන්, දඬුබස්නා මානය, යුග විලක්කුව, වනස්පති, පියාඹන අස්සයෝ, පිටගංකාරයෝ, දියකැට පහන, අකාල සන්ධ්‍යා, ධවලකේතූ, ඇසල කළුවර, සින්තටික් සිහිනය, රැජන, භාවනා (කෙටි ටෙලි කතා මාලාව), සතරදෙනෙක් සෙන්පතියෝ, ඉසුරුයෝගය, වෙස්මුහුණු... නාට්‍ය අදත් අප මතකයේ රැඳී තිබේ. 80වේ මැද භාගයේ පමණ සිංහල හඬ කැවූ කාර්ටුන්, සනිදා ආයුබෝවන් හා හත් පණ වැනි ළමා වැඩසටහන් අප සිත් පැහැරගෙන තිබුණි. මේ සමඟම විකාශනය වූ ටාසන්, බයනික් වෘමන්, මැගයිවර්, බිග්ෆට් ඇන්ඩ් වයිල් බෝයි, ස්ටාර්ටැරැක්, ටුෆොටී රොබට්, ටුවර් ඔෆ් ඩියුටි, ද ඒ ටීම්, නයිට් රයිඩර්, කුංෆු, ඔටෝ මෑන්, මැනිමල්, ඉන්ට්‍රෙඩිබල් හල්ක්, රොබින් හුඩ්, බ්ලේක් සෙවන්, මංකි මැජික්, වී, සික්ස් මිලියන් ඩොලර් මෑන්, විලියම් ටේල්, ස්ට්‍රිට් හොක් බටහිර ත්‍රාසජනක(Thriller) ටෙලිනාට්‍ය අපේ සිතැඟි සොරා ගත්තේය. එනිසා ත්‍රාසජනක (Thriller) ටෙලිනාට්‍ය බැලීමට අපේ මනස හුරුවී තිබුණි. නමුත් ජයන්ත චන්ද්‍රසිරි, බර්ට්‍රම් නිහාල් වැනි නිර්මාණ කරුවන් ටෙලිනාට්‍ය හැර ගිය පසුව මේ ත්‍රාසය රැගත් නාට්‍යවල හිඩැස පිරවීමට සමත් නාට්‍ය නිර්මාණය නොවුණි.

මේ නාට්‍ය නරඹමින් හැදී වැඩුණු පිරිස් මේ වන විට වැඩි හිටිවියේ පසුවෙති. ‘කූඹියෝ’ ආකර්ෂණය වන්නේ මේ අය අතරය. ත්‍රාසජනක(Thriller) ටෙලිනාට්‍ය බැලූ අවිඥානයක් අඩු වැඩි වශයෙන් මේ හැ‍ෙමකෙකු තුළම තිබේ. කූඹීයෝ අවධි කළේ මේ අවිඥානය යි. මේ නිර්මාණයට දායක වන සියලු දෙනා එම අවිඥානයේ කොටස් කරුවන්ය. එනම්, මෙහි නිර්මාණ ශිල්පීන් වගේම ප්‍රේක්ෂකයෝ මේ අවිඥානයේ කොටස් කරුවෝය. එසේම සෑම වයස් සීමාවක්ම ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ත්‍රිලර් ඩ්‍රාමා තුළ තිබේ. ද ඒ ටීම්, මැගයිවර්, රොබින් හුඩ්, වැනි ත්‍රාසජනක (Thriller) ටෙලිනාට්‍ය හි රූපරාමු වේගයෙන් චලනය වන නිසා ප්‍රෙක්ෂකයාගේ ඇස් හැමතිස්සෙම සෙවිල්ලෙනි. හැම නාට්‍යක්ම විනාඩි 45ක පමණ කාලයක විකාශනය විය. මේ ආකාරයේ සිංහල නාට්‍ය බවට පත් වූයේ ඇල්ල ළඟ වලව්ව, දඬුබස්නාමානය, රැජන. එවැනිම වේගයක් ‘කූඹියෝ තුළ ද දක්නට තිබේ. එය විකාශනයවන කාලය මදි යැයි අපට සිතෙන්නේ එනිසාය. ප්‍රේක්ෂකයා නාට්‍යයේ අපේක්ෂා සහිතව සිටිද්දී නාට්‍යය අවසන් වේ. ඉන්දියාවෙන් හෝ කොරියාවෙන් හෝ ගෙන්වා ප්‍රදර්ශනය කරන නාට්‍යවලට ඒ කාලය ලබාදෙද්දි ‘කූඹියෝ’ ඒ කාලයේ රඳවන්න බැරි ඇයි? එසේ වුව හොත් මාධ්‍ය ආයතනයට පාඩු වේ. මන්ද මෙහි කොටස් ගාන අඩුය. ජනප්‍රියත්වය වැඩිය. එනිසා ලැබෙන වෙළෙඳ දැන්වීම් වැඩිය. එහෙත් ප්‍රේක්ෂකයා වෙළෙඳ දැන්වීම්වලින් හෙම්බත් නො කිරීමටත් ස්වාධීන රූපවාහිනිය ගන්නා වෑයම අගේ කළ යුතු වෙමු.

ප්‍රේක්ෂකයා මේ නාට්‍ය එක්ක ජීවත් වෙන්න උත්සාහ ගන්නා අනෙක් කාරණය වන්නේ, ඉතාම සිත්ගන්නා ලෙස තමාවම කැටපතක් ඉදිරියේ තබා ඇති බැවිනි. වැඩි දෙනා තමන්ගෙ ඇත්ත දකින්නට බොහෝ අකමැතිය. තමන් හැල්මේ දුවමින් ත‍ෙවකෙකු පරයා ඉහළ නගින්නට ගන්නා උත්සාහය තුළ ඇති නොමිනිස්කම් කිසියම් වින්දනීය ස්වරූපයකින් අප ඉදිරියේ දිගහැරෙයි. ධනවාදය සියලු පිළි උනා එහෙත් නග්නව අප අභිමුව සිටියි. එය පන්ති පරතරය ලිහිල් කර ඇත. කළ යුත්තේ කෙසේ හෝ මුදල් සොයාගැනීම පමණය. හැමටම ඉහළ පන්තියට නැඟිය හැකි ප්‍රවේශ පත්‍රය එයය. මේ නාට්‍ය සියුම් සැතකින් පාරා එය විවර කර අප ඉදිරිපට තබා ඇත. ඒ මේ වේදනාකාරී යථාර්ථය ත්‍රාසජනක ලෙස අප ඇස් ඉදිරියේ රඳවමිණි. අපි සැවොම ආශක්ත වන්නේ එයටය. හරියට නාසිස් ඔහු දෙස බලමින් සතුටු වූවා සේ අපි ද අප දෙසම බලමින් ඉන්ද්‍රජාලික සතුටක් භුක්ති විඳිමු.

අපි නාසිස් ලා නම් මේ නාසිස් කවුද ?,

“එකෝ... නම් නයිප්ස්වරියක් හිටියේය. ඇය දෙවියන්ගේ රැජින වූ හේරාගේ සේවිකාවකි. සාමාන්‍යයෙන් මේ නයිප්ස් වරියන් ජීවත් වන්නෙ ගංගා ඇළදොළ ආශ්‍රිත ප්‍රදේශවලය. එකෝ(eco) නිතර කටකම සිරියාවක් නැතිව ඔහේ කියවන්නීය. මේ නිසා හේරා දෙවඟන ඇයට දඬුවම් කළාය. ඒ දඬුවමට අනුව ඇයට පුලුවං වූයේ වෙන කෙකු තෙපලන යමක අග කොටස ප්‍රතිරාව නැගීමට පමණය. එක දවසක් නාසිසස් නම් කුමාරයෙක් වනයේ සැරි සරමින් සිටියේය. එකෝ මේ නාසිසස් කුමාරයා දැක ඔහු පිළිබඳ සිත පහදවා ගත්තාය. ඒත් ඇයට ඒ බව ඔහුට හැඟවීමට නොහැකිය. මන්ද ඇයට පුළුවන් වූයේ තව කෙකු කියූ දේ ප්‍රතිරාව නැංවීමට පමණය. කෙසේ හෝ මේ බව ඔහුට තෙරුම් කරදීමට ඕ උපායක් සිතුවාය. එකෝ ගස් අතර සැඟවී සිට අතු සෙලෙවීය. මේ අමුතු ක්‍රියාවෙන් කලබලයට පත් නාසිසස් “කවුද ඔතන ?” කියා ඇසීය. එකෝ ද “ ඔතන” යනුවෙන් පවසා සැඟවුණාය. මෙහෙම හැංගි හැංගි කරන කොලං කතාලතාව නිසා මැය කුමාරිකාවක් යැයි සිතූ නාසිස් ඕ කෙරෙහි සිත්පහළ කරගත්තේය. ඔහුට ඇය දැකිමට අවැසි විය. හේ ඇයට තමා ඉදිරියේ පෙනී සිටින්නැයි ආයාචනා කළේය. මෙතෙක් සැඟව සිටි ඈ ඔහු ඉදිරියට ආවාය. ඇය කුමාරිකාවක නොව සේවිකාවක බව තේරුම් ගත් නාසිසස් ඉන් මිදී පළා ගියේය. මේ හේතුවෙන් කම්පාවටත්, වේදනාවටත්, ලැජ්ජාවටත් පත් වුණු ඕතොමෝ වනයේ දිව ගියහ. ආයි කවදාවත්ම ඇයව කාටවත් දකින්න ලැබුණේ නැහැ. ඇය සිදු වූ දේ ගැන සිතමින් එන්න එන්නම දුර්වල වුණා. අවසානයේ ඇගේ හඬ පමණක් ඉතිරි වී ශරීරය අතුරුදන්ව ගියාය.

ඇයගේ හඬ ප්‍රේමයට අධිපති ඇප්‍රොඩයිට් දෙවඟනට ඇසිණි. මේ කළ දේට දඬුවමක් දිය යුතු යැයි කල්පනා කළ ඕ නාසිසස්ට මින් ඉදිරියට ප්‍රේම කළ හැක්කේ තමන්ගේ රූපයට පමණක් යැයි තීරණය කළාය.

දවසක් කැලේ ඇවිද යන අතරතුර නාසිසස් පිපාසයෙන් අසල තිබුණ නිසල දියපාරක් ළඟ නැවතිණි. දියට එබී දිය බොන්නට තැත්කිරීමේදී ජලයෙන් දුටු ඔහුගේ පිළිබිඹුවෙන් හේ වශීකෘත විය. ඔහු ඒ රූපය හා පෙමින් වෙලී ගියේය. එහෙත් මේ තමන්ගේ රූපය බව නාසිස් දැන නො සිටියේය. රූපය ස්පර්ශ කරන්න ජලයට අත පොවන පොවන හැම විටකම එය කැඩි බිඳි විසිරි ගියේය. නාසිසස් මහත් සේ කම්පා වුවිය. මේ ආකාරය විටින් විට උත්සාහ කළ ද නාසිසස්ගේ අපේක්ෂාව ව්‍යර්ථ විය. තමන්ගෙම රූපයට වශී වී එයට ප්‍රේම කරමින් ඒ අසලම රැඳී සිටියේය. අවසානයේ ඔහු මිය ගොස් මලක් වී ඉපදුණේය. ඒ නාසිසස් මලයි. ඒ මල තාමත් දිය කඩිත්ත දෙස බලා සිටියි.

මේ පුරාණ ග්‍රීක කතාව නිසා ‘නාසිසම්’ කියල අලුත් වචනයක් මනෝවිද්‍යාක්ෂේත්‍රයට එකතු විය. ‘කූඹියෝ’බලද්දී අප තුළද ඇතිවන්නේ මේ හා සමාන හැඟීමකි. අප මේ ආශාවෙන් බලා ඉන්නේ අප දෙසමය. එය තිරයේ මැකීයනවාට අප අකමැතිය. ජෙහාන් යනු මමය අපේ අනෙකාය. ඉතිං අපි ඒ දෙස ආරම්මනයෙන් යුතුව බලා සිටිමු. වශීකෘතිව බලා සිටිමු. එය අවසන් වන නිමේෂයේ කම්පාවෙමු. ආයිත් ‘කූඹියෝ මැවෙනතුරු බලා සිටිමු.’ 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.