තරු නොකී කතා | සිළුමිණ

තරු නොකී කතා

හවස ඉස්කෝලේ ඇරිලා ආව ගමන් මමත් සිරිමලුත් ඔට්ටපාළු ඇහිඳින්න රබර් වත්තට ගියා. එකින් එක පරිස්සමට ගලවා ගන්න එක හිතන තරම් ලේසි නැහැ. සමහර දවස්වලට ඇඳුම් පිරෙන්න තුත්තිරි. තවත් දවස්වලට කකුල්වල නිදි කුම්බා කටු ඇනිලා ඉවරයක් නෑ. ඒත් ඉතිං කොහොමවත් අපිලා නම් අධෛර්යවත් වුණේ නැහැ. ඔට්ටපාළු ඇහිඳිනවාට මාසේ අන්තිමට අයියර් ඇත්තෝ අපිලාට කාසි දුන්නා. ඒ කාසි අපේ මහන්සිය, මට හිතුණේ එහෙමයි.

පොඩි ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ කියලා වෙනසක් තිබුණේ නෑ. මං දෙකේ කැලෑසියේ ඉන්න කොට සිරිමල් හිටියේ තුනේ කැලෑසියේ. සිරිමල් ගේ අම්මා අපේ රබර් වත්තට නිතර ආව ගියා. රබර් වත්තේ තිබුණ හොඳ දර ටික එකතු කරලා සිදාදියේ පොළට ගොහිල්ලා විකුණලා ලැබෙන තුට්ටු දෙකෙන් තමයි ගෙදර අවශ්‍ය අඩුමකුඩුම ටික සකස් කර ගත්තේ. ඒත් ඉතිං ඒ හැටි දෙයක් ඒකෙන් කරන්න බැහැ. තක්කාලි වැව්ව කියලා වැඩක් වුණෙත් නෑ. මේ පාරත් විකුණගන්න බැරි වෙන හැඩයි සිරිමල් ගේ අප්පා නිතරම කෙඳිරිය ගෑවා. සිරිමල් සිංහල ඇත්තෝ වෙව්වි අපි දෙමළ වෙව්වි ඒකේ කිසි බෙදීමක් තිබුණේ නැහැ. ඒත් බෙදීම තිබුණේ අනිත් ඇත්තන්ට. අපිලා දෙමළ ඉස්කෝලේ යනකොට සිරිමල් ගියේ සිංහල ඉස්කොලේ. අපිලා දෙමළෙන් කතා කොරන කොට සිරිමල් කතා කළේ සිංහලෙන්. ඒත් ඉතින් අපිලාගේ සමගිය ඒ විදිහමයි. අම්මා උලුඳු වඩේ හැදුවහම මං සිරිමල්ගේ පංගුව අයින් කළා. සිරිමල්ගේ අම්මා ආස්මි හැදුවහම සිරිමල් මගේ පංගුව අයින් කෙරුවා. අපිලාට තිබුණේ එහෙම යාළුකමක්. අපේ රබර් කට්ටිය අපිට ලැබුණේ අයියර් ඇත්තන්ගෙන්. ඒ ඇත්තෝ අප්පාගේ ගජයා. අප්පා මට කිවුවේ පාඨශාලා කාලේ යාළුවා කියලා. ඒ කාලේ අප්පා අයියර් ඇත්තොත් එක්ක ලූනු බිස්නස් කරලා තියෙනවා. ලූනු බීජ හදාගන්න විදිහ අප්පාට කියලා දීලා තිබුණේ අයියර් ඇත්තෝ. අයියර් ඇත්තෝ බිස්නස් කරන්න උපන් හපනා. ඒකාලේ අප්පා කළ හැම හොඳ කාරණාවක්ම අයියර් ඇත්තෝ මතක් කරනවා.

මගේ මතකේ හැටියට එදා මාසේ පෝය දවස අයියර් ඇත්තෝ හදිසියේම අපේ ගෙදර ආවා. අම්මා උලුඳු වඩේ හදනවා. මං සිරිමල්ට එන්න කිව්වා පණිවිඩයක් යැව්වේ උණු උණු උලුදු වඩේ කන්න පුළුවන් නිසා.

''ආ.....අන්නා වාංග වාංග.'' අයියර් ඇත්තෝ දැක්ක ගමන් අප්පාගේ සතුට ඉහවහ ගියා.

'' ආ....තංගව්වි එප්පුඩි සුගහම්?'' අම්මා කාදනී නැන්දාව පිළිගත්තේ බොහොම සුහදව. ඒගොල්ලො අපිට වෙල් මාළු බැදලා ගෙනැල්ලා තිබ්බා. ඒවායේ පුසුඹ එන කොට මට නහය තියාගෙන ඉන්න බැරි වුණා. කාදනී නැන්දා වෙල් මාළු පොදිය අම්මා අතට දීලා යන්තමට සිනාසුණා.

''අක්කා එන්න ලෑස්ති වෙලාම තමයි බැද ගත්තේ. තාමත් රස්නෙයි.''

මං අම්මාගේ පස්සෙන්ම වැටිලා ගිහිල්ලා පොදිය තියෙන තැන බලාගත්තා. හිමිට පොදිය ලිහලා මාළු දෙන්නෙක් එළියට ගත්තා. ඒ පාර කොහේදෝ ඉඳලා ආපු අම්මා තාංගෝ තාංගෝ කියලා වෙල් මාළු පොදිය ඇදලා ගත්තා. එක මාළුවෙක් කන ගමන් අනික් මාළුවා අතට ගත්ත මං නල්ල රුසි අම්මා කියාගෙන කුස්සි ඉඳලා සාලෙට ආවා.

වෙලාව හරියටම හයයි. ලැන්තූරුම් එළියෙන් සාලය එළිය වෙලා. අප්පයි අයියර් ඇත්තොයි බර කතාවක. මං සාලේ කණුවකට හේත්තු වෙලා සිරිමල්ට වෙල් මාළුවා දිගු කළා.

'' නන්බර් නල්ල රුසි.''

සිරිමල් යන්තමට සිනාසුණා.

'' අපේ අම්මා රෑට කෑම හදනවා.''

'' කමක් නෑ අද කෑම අපෙන්''

''මොනාද කෑම''

උලුඳු වඩේ

කාලා තියේද?

මං ඇහුවාහම සිරිමල් වටයක් දෙකක් ඇඹරිලා නෑ කිව්වා.

අද අපේ අම්මා මඩුකොකුයි. කවුපි හොදියි හදනවා.

මං කාලා නෑනේ . කඩවුලේ මඩුකොකු මොනවගේ ද?

සිරිමල් එකපාරටම හිනාවුණා. මං ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

'' ඔයා කොළඹ ‍නෝනැයැ මඩුකොකු ගැන දන්නේ නැත්තේ.''

සිරිමල්ගේ ප්‍රශ්නයට මට එකපාරට මුකුත් කියාගන්න බැරි වුණා. අයියර් ඇත්තෝ අලුත් රබර් වත්තක් ගන්න යනවා කියලා අප්පාට කියනව මං අහගෙන හිටියා. අයියර් ඇත්තන්ට දරුවෝ හිටියේ නැති නිසා වත්කම් එකතු කරලා වැඩක් නැහැ කියලාත් කාදනී නැන්දා කිවුවා. ඒත් අයියර් ඇත්තෝ එදා ඉඳලා ගහට කොළට ආස මනුස්සයා. කවදාවත් ගහකොළ අමතක කරන්න අයියර් ඇත්තන්ට බැරි වුණා. මගේ හැමදේම මං කාදර්ට ලියනවා. අයියර් ඇත්තෝ අප්පාට මාව පෙන්නමින් නිතර කිවුවාත් මට නම් ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණේම නෑ. කොහොම වුණත්, අයියර් ඇත්තොත් කාදනී නැන්දත් අපේ පවුලේම අය වගේ කියලා මට හිතුණා. යටියන්තොට ආව බොහෝ දවස්වලට අයියර් ඇත්තොත් කාදනී නැන්දාත් අපිව බලන්න ආවා. මේ අතරතුර ඔට්ටපාලු බිස්නස් එකක් පටන් ගන්න කියලා අයියර් ඇත්තෝ අප්පාට යෝජනාවක් දැම්මා. ඒ යෝජනාව හොඳ එකක් කියලා මට එක පාරටම තේරුණේ පුළුවන් වෙලාවට මටත් උදව් කරන්න පුළුවන් නිසා.

හවස ඉස්කෝලේ ඇරිලා ආව ගමන් මමත් සිරිමලුත් ඔට්ටපාළු ඇහිඳින්න රබර් වත්තට ගියා. එකින් එක පරිස්සමට ගලවා ගන්න එක හිතන තරම් ලේසි නැහැ. සමහර දවස්වලට ඇඳුම් පිරෙන්න තුත්තිරි. තවත් දවස්වලට කකුල්වල නිදි කුම්බා කටු ඇනිලා ඉවරයක් නෑ. ඒත් ඉතිං කොහොමවත් අපිලා නම් අධෛර්යවත් වුණේ නැහැ.

ඔට්ටපාළු ඇහිඳිනවාට මාසේ අන්තිමට අයියර් ඇත්තෝ අපිලාට කාසි දුන්නා. ඒ කාසි අපේ මහන්සිය, මට හිතුණේ එහෙමයි. මමයි සිරිමලුයි කාසි ටික බෙදාගන්න හීන් ඇළ ළඟට යනවා. හීන් ඇළෙන් මාළු අල්ලන්න තේගිරිස් මාමා එන්නේ ඉර බැහැගෙන යන වෙලාවට. අපිලා හීන් ඇළේ බැහැගෙන මාළුන් කොටනකං කකුල් දාගෙන ඉන්නවා. එක එක මාළුවා කකුලට කොටන කොට අප්පේ කියලා ඇස් දෙක පියා ගන්නවා. මාස දෙකක දී විතර ඔට්ටුපාළු ගෝනි දෙකක් විතර අපි ඇහිඳිනවා. ලොකු ගාණක් නොවුණත් අපේ හිතේ සන්තෝසෙට මුදල් ටිකක් අපිට හම්බු වෙනවා.

කාලය ගෙවිලා ගියේ පිඹලා වගේ. ඇත්තට මට නම් හිතෙනවා, හීන් ඇළට එන කොක්කුට පියාඹනවාටත් වඩා වේගයෙන් කාලය ගියාවත්ද කියලා. උකුවා දහයෙ කැලෑසියට ගියහම මම හිටියේ නමයේ කැලෑසියේ. අප්පා එතකොට හොඳ සල්ලිකාරයා වෙලා හිටියේ. මං දන්නේ නැහැ. අපිලාගේ රබර්වලට නම් හොඳ කාලයක් ආවා. අයියර් ඇත්තෝ ඇවිල්ලා අපිලාට කියලා රබර් වතු දෙකම ලියලා දුන්නා. ඇත්තටම ඒකාලේ හැටියට හරිම පොඩි ගාණකට. අම්මා නම් පුදුම වුණා. ඒත් අප්පා කිව්වේ හිත හොඳ මනුස්සයා කියලා.

මේ අතරතුර අපිලා ඔක්කොම මඩකලපු යන්න තීරණ කළා.

''මේක මේ හදිසි තීරණ නොවෙයි තේරුණාද?''

අප්පා වේගයෙන් කෑගැහුවා. මුකුත් නෙවෙයි මට නම් අපේ රබර් වත්තයි, සිරිමලුයි දාල යන්න හරිම දුකයි. ආයිත් එයා වගේ යාළුවෙක් මට ලැබෙන එකක් නැහැ. මං දෙමළ වුණාට එයා සිංහල වුණාට අපිලා අතර ප්‍රශ්න නෑ. මඩකලපු යන්න අපි බඩු පටවන කොට සිරිමල් මගේ ළඟට ඇවිල්ලා අත ඇල්ලුවා.

''මං කවදත් යාළුවා නේද?''

මං ඔළුව වැනුවා.

''ඇත්තටම මං ඔයාගේ යාළුවා.''

මං සිරිමල්ට ළං වුණා. ඒ යාළුකම හැමදාම මුණ ගැහුණේ නැහැ. අහසේ තරු පායනකොට මං හිතුවා සිරිමල් ඒ දිහා බලා හිඳීවි කියලා. ඒ දවස්වල අපි රෑට රබර් වත්ත කෙළවරට යනවා. අම්මා කෑගහලා කියනවා හොල්මන් ඇති කියලා. මොන.... හොල්මන්ද? හිටි හොල්මනුත් අපිලාට බයයි. මට නිතරම ඒ කාලේ මතක් වුණා. අහස පැහැදිලි වුණහම තරු ලස්සනට පායනවා. මං අපේ යාළුකම ගැන තරුවලට කියනවා. මං හිතනවා ඔයත් ඒ තරු දිහා බලාගෙන ඇති කියලා. තරු කතා කළේ නැති වුණාට. අපි හදවතේ රිද්මය දන්වා ඇති කියලා මට හිතෙනවා.

මගේ කවිවල තිබුණේ අපේ යාළුකම ගැන .ඈත් වුණාට. යාළුකම ළඟයි. එදාවගේම අදත්, මං හිතනවා අපේ බේද නෑ කියලා. තරු හරියටම මං කියන දේ ඔබට කියනවා ඇති. අපිලා අපිලාමයි. මං තරුවලට කතා කළා. අම්මා අප්පා ඒක පිස්සුවක් විදිහට දැක්කා. ඒ අයට ඕනේ වුණේ මාව දොස්තර නෝනා කෙනෙක් කරන්න. මට මතකයි අයියර් ඇත්තන්ටත් එහෙම ඕනේ වුණා. ඒත් මං හිතුවේ තරුත් එක්ක කතා කරන කිවිඳියක් වෙන්න. ඒ දවස්වල රබර් කොළ වේළිලා වැටෙන කාලයට අපි දෙන්නා සද්දේ ඇහෙන්න එහාට මෙහාට දිව්වා. දිරව්ච රබර් කොළ අතට අරන් මං සිරිමල්ගේ මූණ බැලුවා. හොඳට පේනවා නේද ? සිරිමල් මගෙන් ඇහුවා. ඇත්තට ඔයාගේ මූණ ලස්සනයි. මං කට ඇද කරලා එහෙම කිව්වා. උසස් පෙළින් පස්සේ මං මෙඩිකල් කොලෙජ් තේරුණා. මං හරියටම දැනන් හිටියේ නැහැ තනියම ගමන් යන්න . ඒත් අම්මා අප්පා තනි කරලා මං යාපනේ නැවැතුණා. මෙඩිකල් කොලීජියෙන් පස්සේ ආයිත් ආවේ කොළඹ ඉස්පිරිතාලේ. මං හරියටම දන්නේ නැහැ. දැන් අවුරුදු තිහක් වෙනවා. ආයිත් යටියන්තොට යන්න ආසාවක් ඇති වුණා. සිරිමල් දැන් ලොකු මිනිහ වෙන්නැති. ඒ දවස්වල මං කැඩිව්ව සිංහල කතා කරන කොට එයා මට හිනා වුණා. හැබැයි මං එයාට දෙමළ ඉගැන්නුවේ නැහැ. එයා මට සිංහල ඉගැන්නුවා.

දවසක් ආමි ට්‍රක් එකක් ලෙඩ්ඩු ගොඩක් අරං ආවා. ඔක්කොම සිංහල කොල්ලෝ. අපි හරි හරියට බෙහෙත් කළා. එක කොල්ලෙක් සිහිය නැතුව හිටියේ. එයාලාගේ කෑම්ප් එක ගිනි අරගෙන. මං සිහි නැති වුණ සිංහල කොල්ලා ළගට ගිහිල්ලා සේලයින් එක ගන්න අත ඇල්ලුවා. ඒත් එක්ක මගේ උගුර හිර වෙලා ගියා. තරු කිව්වේ නැති කතාවක් එයාගේ අතේ කොටලා තිබ්බා

''නිදී කා ....දර්.... මගේ...හොඳම යාළුවා''

මං අමාරුවෙන් ඒ වවන ගැළපුවා. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.