දේශ­පා­ල­න­ඥයා හා සාමාන්‍ය මිනිසා අතර ඇති වෙනස | සිළුමිණ

දේශ­පා­ල­න­ඥයා හා සාමාන්‍ය මිනිසා අතර ඇති වෙනස

දේශපාලනඥයන් හා සාමාන්‍ය මිනිසුන් අතර වෙනස ඇත්තේ බොරු කීම හා ඇත්ත කීම අතර නොවේ. සීමාවක් ඇතිව බොරු කීම හා බොරු කීමට සීමාවක් නැතිවීම අතරය. එහෙත් සීමාවක් ඇතිව හෝ බොරු කීම වරදකි. සාමාන්‍ය මිනිසුන් සීමාවක් ඇතිව හෝ බොරු කීම නිසා ද සීමාවක් නැතිව බොරු කීමේ වරමක් දේශපාලනඥයන්ට ලැබී ඇත්තේ? එය එසේ ද විය හැකිය. අප කියන පොඩි බොරුව වුව ද අපට පලදෙන්නේ ලොකු බොරුවක් වශයෙනි. පොඩි හෝ බොරුවක් කීමේ හා කිරීමේ අපේ ආසාවට දඬුවම් දීම උදෙසා දෙවියන් විසින් එවා ඇති තැනැත්තෙකු ලෙස ද දේශපාලනඥයා හැඳින්වීමට හැක්කේ ඒ නිසාය.

දේශපාලනඥයෙකුට ඇති එකම ප්‍රතිපත්තිය ජයග්‍රහණය යැයි කිව හැකිය. එහෙත් ඉන් අනතුරු ව ඇසීමට සිදුවන්නේ දේශපාලනඥයෙකුට පමණ ද යන්නයි. කෙසේවුවත් සාමාන්‍ය මිනිසෙකුට ඇති එකම ප්‍රතිපත්තිය ජයග්‍රහණය නොවේ යැයි කිව හැකිය. බොරු නොකීම කෙසේ වුවත් අඩුවෙන් බොරු කීම සාමාන්‍ය මිනිසෙකුගේ ප්‍රතිපත්තියක් විය හැකිය. ඔවුන් සාමාන්‍ය මිනිසුන් එනම් දේශපාලනඥයන් නොවන්නේ ඒ නිසා ද විය හැකිය. එනම් ඔවුන්ට සීමාවකින් තොරව බොරු කීමට නොහැක. අනෙකාට සුළු හානියක් වන බොරුවක් කීමට හැකි වුවත් විශාල හානියක් වන බොරුවක් කියන්නට සිදුවන්නේ නම් සමහර විට ඒ සඳහා ඔහුගේ දිව නොනැමේ. එහෙත් එසේ නොනැමෙන දිවක් ඇතිව දේශපාලනඥයකු වීමට නොහැක. දේශපාලනඥයන් එතරම් බලවත් ඒ නිසාය. එනම් මිනිසුන්ට හානි කිරීමට ඔවුන් නොපැකිලෙන නිසාය. තමාගේ ජයග්‍රහණය හැර අන් කිසිවෙක් ම නොපෙනෙන තැනැත්තා දේශපාලනඥයා යැයි කිවහැකි අතර එසේ කිරීමට හැකි අය පමණක් දේශපාලනඥයන් බවට පත්වන බව ද කිවහැකිය.

කෙසේවුවත් දේශපාලනඥයන් හා සාමාන්‍ය මිනිසුන් අතර වෙනස ඇත්තේ බොරු කීම හා ඇත්ත කීම අතර නොවේ. සීමාවක් ඇතිව බොරු කීම හා බොරු කීමට සීමාවක් නැතිවීම අතරය. එහෙත් සීමාවක් ඇතිව හෝ බොරු කීම වරදකි. සාමාන්‍ය මිනිසුන් විසින් සීමාවක් ඇතිව හෝ බොරු කීම නිසා ද සීමාවක් නැතිව බොරු කීමේ වරමක් දේශපාලනඥයන්ට ලැබී ඇත්තේ? එය එසේ ද විය හැකිය. අප කියන පොඩි බොරුව වුව ද අපට පලදෙන්නේ ලොකු බොරුවක් වශයෙනි. පොඩි හෝ බොරුවක් කීමේ හා කිරීමේ අපේ ආසාවට දඬුවම් දීම උදෙසා දෙවියන් විසින් එවා ඇති තැනැත්තෙකු ලෙස ද දේශපාලනඥයා හැඳින්වීමට හැක්කේ ඒ නිසාය.

අපේ ආදරය ඉතා සුළුය. අපේ ආදරය ගැන අපට විශ්වාසයක් නැත. අපේ ආදරය පිවිතුරු නොවේ යැයි අපට සිතේ. ඒ අපේ හැටිය. මෙහි දී මා අප යැයි කියන්නේ සාමාන්‍ය මිනිසුන් ගැනය. එහෙත් දේශපාලනඥයාගේ ආදරය එසේ නොවේ. එය ගැන ඔහුට කිසිදු සැකයක් නැත. ඔහුගේ ආදරය සියයට සීයකි. ඔහුගේ ආදරය ගැන ඔහුට ඇති විශ්වාසය සියයට සියයකි. රට ගැන ඔහුගේ ආදරය ඔහුට සියයකි. ඔහුට සියයට සියයක විශ්වාසයෙන් ඒ ගැන කතා කළ හැකිය. එහෙත් රටට අපේ ඇති ආදරය කියන්නට යාමේ දී අපේ හිත තුළ ප්‍රශ්නයක් ඇති වේ. එනම් ඒ තරම් ආදරයක් රට ගැන අපට තිබේ ද යන්නයි. දේශපාලනඥයා තුළ එබඳු ප්‍රශ්නයක් නැත. ඔහු සියයට සීයකටත් වඩා රටට ආදරය කරයි. සියයට සියයකටත් වඩා රට ගැන ආදරය ඔහුගේ හිත තුළ උතුරා යයි. එසේ වී ඇත්තේ මක් නිසාද? අප තුළ රට ගැන සියයට පනහක ආදරයක්වත් තිබුණත් දේශපාලනඥයා තුළ රට ගැන සියයට පනහක් තියා සියයට බින්දුවක්වත් නොමැති නිසා විය හැකිය. ඒ නිසා ම ඔහුට ඒ ගැන සියයට සියයක් විශ්වාසයෙන් කතා කළ හැකිය. එනම් නැති දෙයක් ගැන විශ්වාසයෙන් කතා කිරීම බාගයක් ඇති දෙයක් ගැන විශ්වාසයෙන් කතා කිරීමට වඩා පහසු හා ලෙහෙසි බැවිනි. තේරෙන භාෂාවෙන් කියන්නේ නම් රට ගැන අපට ඇති ආදරය බාගයක් නිසා අපට රට ගැන ආදරයෙන් කතා කිරීමට නොහැක. එහෙත් දේශපාලනඥයන් ළඟ රට ගැන කිසිම ආදරයක් නැති නිසා ඔවුන්ට රටට ඉතා විස්වාසයෙන් යුතුව ආදරය කිරීමේ හැකියාව ඇත. කරුණු සිදුවන්නේ එසේය. එහෙත් කරුණු එසේ සිදුවන්නේ ඇයි ද කියා කීමට නම් මට නොහැක. මට හැක්කේ සිදුවෙනවා යැයි හිතෙන දේ විස්තර කිරීමට පමණි.

දේශපාලනඥයන් ළඟ වචන හිඟ නොවේ. ඔවුන් ළඟ වචන හිඟ නොවන්නේ අන් සියලූම දේ ඔවුන් ළඟ හිඟ නැති නිසා යැයි ද කිව හැකිය. ආදරය, කරුණාව, දයාව, උපකාරකිරීම, පරිත්‍යාගය ආදී සියලූම දේ ඔවුන් ළඟ හිඟ නිසා ඔවුන් ළඟ හිඟ නැතිව වචන තිබේ යැයි කිව හැකිය. එහෙත් අප මෙතරම් දේශපාලනඥයන්ට ආදරය කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඒ සමඟම ඇති වේ. අප මෙතරම් දේශපාලනඥයන්ට කරුණාව දක්වන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඒ සමඟ ඇති වේ. අප දේශපාලනඥයන්ට මෙතරම් උපකාර කරන්නේ මන් ද යන්න ද නැගේ. අප දේශපාලනඥයන්ට කරුණාව දැක්වීමට ප්‍රධාන හේතුව ඔවුන් කිසිම කරුණාවක් ළඟ නැති අය වීම ද? කරුණාව ඇති අය වීම ගැන අප ගැන අප තුළ පවතින්නේ දුකක් ද? දේශපාලනඥයන් ගැන අප තුළ ඉමහත් කරුණාවක් පහළ වීමට ප්‍රධාන හේතුව එය ද? මෙය ද උත්තරයක් නැති ප්‍රශ්නයක් වන අතර දේශපාලන විද්‍යාවට ද අයත් වන ප්‍රශ්නයක් යැයි නොසිතේ. මෙබඳු ප්‍රශ්න දේශපාලන විද්‍යාවට අයත්වන හැටි මට යමෙකු පැහැදිලි කරදෙන්නේ නම් එය මගේ ඉගෙනීමේ නැතිනම් දැනගැනීමේ ආසාව සංසිඳුවාගැනීමට ද යම් තරමකින් උපකාරී වනු ඇත.

කෙසේ හෝ මේ සියල්ල තුළ පැහැදිලි වන එක දෙයක් ඇතැයි මට දැන් යම්තමින් සිතේ. එනම් දේශපාලනඥයා ජීවත්වන්නේ පිටත නොව අප තුළ ම බව ය. දේශපාලනඥයන් බිහිකරන්නේ අප විසින් ම බවය. කුඩා හෝ බොරුවක් කීමෙන් වැළකී සිටීමට අපට හැකියාවක් ඇත්නම් මහා බොරු කියන දේශපාලනඥයන් පහළ නොවනු ඇත. ඒ අනුව අවාසනාවට අපට සිදුවන්නේ දේශපාලනය අපෙන්ම පටන් ගැනීමටය. මේ රටේ කිසිදු දේශපාලනයක් සිදු නොවන්නේ ඒ නිසාය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.