පින් පො­තෙන් පට­න් ග­නිමු! | සිළුමිණ

පින් පො­තෙන් පට­න් ග­නිමු!

සමාජය ශක්තිමත් කරන්න අපි කළ යුතු අ‍නෙක් වැදගත්ම කාර්යය තමයි: අපේ මේ වැඩවලට ඕනෑ කරන හැකියාවන්ගෙන් පිරිපුන් මිනිස්සු ඇති කරගන්න වැඩේ. පොත්–පත් කියවලා විභාග පාස් කරපු මිනිස්සුන්ට විතරක් හැම වැඩේම කරන්න බෑ. විවිධ ශිල්පවල කෙළ පැමිණි අයත් අපිට ඉන්න ඕනෑ. ඉතින් යම් යම් හැකියා තියෙන අය විදේශ රටවලට යවලා හරි පුහුණු කරලා ගෙන්නගන්න වැඩේත් මේ වගේ අරමුදල් මඟින් කරන්න පුළුවන්.

මේක තමයි මේ ලිපි පෙළේ අවසාන ලිපිය. මේ ලිපියත් පොඩි කතාවක් කියලා ම පටන්ගන්නම්.

ආණ්ඩුවේ රස්සා කරන කාලේ නොයෙක් විදිහේ සමීක්ෂණ වැඩවලට මේ ලේඛකයා දායක වෙලා තියෙනවා. සමීක්ෂණ වැඩවලට යනවා කියන්නේ හරි අපූරු අත්දැකීම් ලැබෙන වැඩක්. ඉතින් 2003–2004 අවුරුදු දෙකම ආවරණය වන විදිහට අවුරුද්දක් පුරා කෙරිච්ච එක්තරා සමීක්ෂණ කටයුත්තකදී අත්දැකපු දෙයක් තමයි මේ කතාවට අදාළ.

නියාමක නිලධාරීන් හතර දෙනෙක් එක්ක මේ ලේඛකයා කොටවෙහෙර පැත්තේ ගමකට ගියා. සංඛ්‍යා ලේඛනවලට අදාළ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ නොකරන්න එකඟ වෙලා තියෙන හින්දා ගමේ නම කියන්න බෑ. සමීක්ෂණයට මේ ගමෙන් තේරිච්ච එක පවුලක් හිටියේ අක්කරයක් විතර විශාල ඉඩමක පුංචි පැල් කොටයක් අටවාගෙන. ඇත්තෙන්ම ඒකට පැලක් කියන්නත් බෑ. කණු හතරක් හිටවලා තහඩු දෙක තුනක් හෙවිලි කරලා. වටේට කාඩ්බෝඩ්, පොලිතීන් ආවරණය කරලා. ගෙදර හිටියේ වයස අවුරුදු 25ක–26ක විතර තරුණ ජෝඩුවකුයි, වයස අවුරුද්දක් විතර වෙච්ච අතදරුවෙකුයි. ඒ නිවෙසට ගිය නියාමකයා එක්ක ඒ ජෝඩුව දිගින් දිගටම කිව්වේ තමන්ගේ නැති–බැරිකම ගැන; තියෙන අඩුපාඩුකම් ගැන.

මේ වගේ මිනිස්සු කියන කතන්දර පින්තූරත් එක්ක නිතරම පත්තරවලත් පළ වෙනවා. ඉතින් ඒවා දැකලා පපුව පත්තු වෙන අපේ මිනිස්සු ඒ වගේ අයට ගෙවල් හදලා දෙන්නත් පෙලඹෙනවා. පුළු–පුළුවන් විදිහට දායක වෙලා දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන–එකත් සිද්ධ වෙනවා. ඇත්තටම අපි මේ කරන්නේ පින්කමක්ද? අපි පිහිට වෙන්න ඕනෑ මිනිස්සු ඉන්න බව ඇත්ත. ඒත් අත–පය හොඳට තියෙන මේ වගේ මිනිස්සුන්ට බැරිකමක් නෑ ටිකෙන්ටික පිළිවෙළකට ගෙයක් හදාගන්න.

ලී දඬු ටිකක් කපාගෙන වරිච්චියක් හරි බැඳගන්න බැරි ඇයි? පොල් අත්තක් දෙකක් වියාගන්න බැරි ඇයි? මේ ලේඛකයාට මතක් වෙනවා තමා කුඩා කාලයේ ගෙදර හදන්න දායක වෙච්ච විදිහ. ඒ වෙද්දි මේ ලේඛකයාට වයස අවුරුදු 12ක් විතර ඇති. අයියාට වයස අවුරුදු 13යි. අයියාගේ වයසේම තවත් ළමයෙක් අපේ ගෙදර නැවතිලා හිටියා. ඉතින් මුළු ගෙදරටම ඕන කරපු ගඩොළු කැපුවේ අපි තුන් දෙනා එකතු වෙලා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා හවසට මැටි ගොඩක් අනලා තියෙනවා. පහුවදාටත් ඒ වැඩේම කරනවා. දවස් දෙකක් පදම්වෙච්ච මැටි ගොඩෙන් තුන්වැනි දවසේ ගඩොළු කපනවා. ඊට පස්සේ තවත් මැටි ගොඩක් අනලා තියෙනවා. ඉතින් මාසයක් දෙකක් යද්දී දන්නේම නැතුව ගඩොල් දාස් ගානක් කපලා ඉවරයි.

ඒ විතරක් නෙවෙයි. ඒ දවස්වල අම්මාත් එක්ක එකතු වෙලා හරි–හරියට පොල්අතු වියන වැඩේටත් අපි තුන්දෙනා සම්බන්ධ වෙලා තියෙනවා. පොල්අතු විව්වේ ගෙදර වහලට හෙවිල්ලන්න විතරක් ම නෙවෙයි. ඒක අපේ ගෙදරට තවත් ආදායමක් හොයාගත්ත මාර්ගයක්. මඩකලපුව පැත්තෙන් අපේ ගම්වලට ලොරි ඇරගෙන එන මුදලාලිලා පොල්අතු එකතු කරනවා. අපි අපේ ගෙදර වත්තේ එළවුළු වැව්වා; බුලත් වැව්වා. සති දෙකකට වතාවක් ඉරිදා පොළට තාත්තා බුලත් ඇරගෙන යනවා. ඉතින් ඒ සතියේ බ්‍රහස්පතින්දා විතර ඉඳලා බුලත් කඩන්න ඕනෑ; තෝරන්න ඕනෑ; බුලත්අත් හදන්න ඕන. මේවා මහ ලොකු වැඩ නෙවෙයි. මේ හැමදෙයක්ම අපි කළේ බොහෝම විනෝදයෙන්.

අද ඉන්න අපේ සමහර මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ? කවුරු හරි මොනවා හරි ගෙනැල්ලා දෙන කල් හිඟන්නෝ වගේ බලාගෙන ඉන්නවා. දුප්පත්කම ගැන මැසිවිල්ල කිය–කියා රෙදි ඇඳගෙනම ගත්ත තමන්ගේ පින්තූර පත්තරවලත් දාගන්නවා. ඉතින් මේ වගේ මිනිස්සුන්ට උදවු කිරීමෙන් අපිට ලබාගන්න පුළුවන් පින මොකක්ද කියන–එක අපි හොඳින් හිතලා බලන්න ඕනෑ.

අපි පින් කරන්න ඕනෑ බව ඇත්ත. ඒත් අපි කරන පින සමාජයක්ම දියුණු වන විදිහට කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? අපේ ගම්වල ඉස්කෝල හැදුවේ ගමේම මිනිස්සු. මුල් කාලේ වරිච්චි බැඳලා, පොල්අතු බැඳලා හදාගත්ත ශාලාවල පවත්වාගෙන ගිය ඉස්කෝල පස්සේ කාලෙක ටික ටික දියුණු කළා. අපේ පන්සල් පවා හදාගෙන තියෙන්නේ අපේම මිනිස්සු. මේ හැම එකක්ම සමාජ වැඩ. ඒ දේවල පිහිට ලැබිලා තියෙන්නේ මුළුමහත් සමාජයටම. ඉතින් මේ විදිහට කරන්න පුළුවන් පොදු වැඩ තවත් තියෙනවා.

මේ ලිපිපෙළින් යෝජනා කරපු කාවන්තිස්ස වැඩපිළිවෙළත් ඒ වගේ කටයුත්තක්. ඒ මඟින් අපිට අපේ සමාජය යම් ප්‍රමාණයකින් හරි නඟාසිටුවන්න පුළුවන්. ඒත් අපේ හිතේ ඇති වන ඒ වගේ අදහස් සමාජයේ උදවුවක් නැතුව ක්‍රියාත්මක කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට මේ වගේ වැඩපිළිවෙළක් හරහා ගමක මොකක් හරි කර්මාන්තයක්, නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කරනවා කියලා හිතන්න. ඒ වගේ වැඩකට වුවමනා කරන සමාජ දායකත්වය ලබාගන්න නම් කිසියම් ආකාරයක සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඇති කරගන්න වෙනවා. ඉතින් මේ දේ කරන්න පුළුවන් මොන විදිහටද?

රාජ්‍ය නොවන සංවිධාන කියලා හදාගන්න ආයතන තමයි බොහෝ වෙලාවට මේ වගේ වැඩවලට මුල් වෙන්නේ. ඒත් විදේශ ආධාරවලින් යැපෙන ඒ ආයතනවලට පුළුවන්කමක් නෑ අපේ රටේ අපේ ම න්‍යාය පත්‍රයකට අනුකූලව වැඩ කරගෙන යන්න. ඒ අයට බොහෝ වෙලාවට වැඩ කරන්න වෙන්නේ තමන්ට අරමුදල් ලබාදෙන විදේශ සංවිධානවල අරමුණුවලට ගැළපෙන විදිහට. ඉතින් ඒ මූල්‍ය සංවිධානවල ඕනෑ–එපාකම් අපේ සමාජ අවශ්‍යතා එක්ක නොගැළපෙන හින්දා නිතර නිතර ගැටලු මතු වනවා. රාජ්‍ය නොවන සංවිධාන ගැන අපේ රටේ මහා අප්‍රසාදයක් ඇති වෙලා තියෙන්නේ ම ඒ හින්දා.

ඒත් අපිට බැරිකමක් නෑ මේ සංවිධාන ආකෘතියෙන් වැඩක් ගන්න. ඇයි අපිට බැරි අපේම රාජ්‍ය නොවන සංවිධාන හදාගන්න? අපේම අරමුදල්වලින් වැඩ කරන සංවිධානයකට එහෙම නැති නම් සංවිධානවලට පුළුවන් අපේම අරමුණු වෙනුවෙන් පෙනී හිටින්න. ඉතින් කාවන්තිස්ස වැඩපිළිවෙළක් කියලා මේ ලිපිපෙළින් යෝජනා කරපු කටයුත්තට පණ දෙන්නත් ඒ වගේම සංවිධාන ආකෘතියක් ඇතුළේ අපිට වැඩකරන්න පුළුවන්.

ඒත් අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නිරන්තරයෙන්ම සිද්ධ වන වංචා–දූෂණ කටයුතු. මේ විදිහට මුදල් දුන්න පමණින් තමන් බලාපොරොත්තු වන දේ සිද්ධ වෙයි කියලා හිතන්නේ කොහොමද? වංචා–දූෂණ කරන්නේ දේශපාලකයෝ විතරක් නෙවෙයි. මුදල් වංචා කරන අය ඕනෑ පදම් අපේ ගම්වල සමිති–සමාගම්වලත් ඉන්නවා. ඉතින් අපි හදන රාජ්‍ය නොවන සංවිධානවලටත් ඒ ලෙඩේ බෝ නො වී තියෙන්න ඉඩක් නෑ. කොළ මඬින්න ගන්න හරක් කොළෙන් ම කනවා කියනවානේ. ඒ හින්දා මේ වැඩේ සියයට සියයක් ම වළක්වන එක නම් කරන්න බෑ. අනිත් එක පූර්ණකාලීනව මේ වැඩවලට යොමු වන අය නඩත්තු කරන්නත් වෙනවා. ඒක මේ වැඩේම පිරිවැයක් මිසක් නාස්තියක් නෙවෙයි.

ඒත් ඒ වගේ පිරිස් නඩත්තු කර–කර ඉන්න එකම අපේ අරමුණ කරගන්න බැහැනේ... ඉතින් ඒ මඟින් කරවන වැඩවල විනිවිදභාවය රැකෙන විදිහට ඒවා කරන්න මාර්ග හොයාගන්න වෙනවා. මේකට යොදාගන්න පුළුවන් හොඳම උපක්‍රමය තමයි කරන වැඩවල සාර්ථකත්වය ගැන හොයලා බලන–එක. එකෙන් එක හරි වැඩ සිද්ධ වෙනවා නම් ඒකෙන් කියැවෙන්නේ තමන් දායක වෙච්ච දේ ප්‍රතිඵලයක් තියෙනවා කියන–එක නේ... ඉතින් අරමුදල් ලබාගන්න සංවිධාන බැඳිලා ඉන්න ඕනෑ තමන් කරන වැඩ ගැන යම් ආකාරයකින් අරමුදල් ලබාදුන්න අය දැනුම්වත් කරන්න. අන්තර්ජාලය ඔස්සේ වුණත් ඒ වැඩේ කරන්න පුළුවන්.

ඊට අමතරව, මේ වැඩවලට උරදෙන සංවිධානවලටත් පුළුවන් අන්තර්ජාලය හරහා අවශ්‍ය අරමුදල් එකතු කරලා දෙන්න. දැන් බොහෝ රටවල්වල ක්‍රියාත්මක වන සමූහ අරමුදල් (ක්‍රවුඩ් ෆන්ඩිං) ක්‍රමය මේ වැඩේට යොදාගන්න පුළුවන් ඉතා හොඳ උපක්‍රමයක්. උදාහරණයක් විදිහට මීමුරේ ගම හදන වැඩේට ව්‍යාපෘතියක් සකස් කරලා, ඒ වෙනුවෙන් ගමේ සමාගමකුත් පිහිටුවලා, ඒකට ඕන කරන අරමුදල් ක්‍රවුඩ් ෆන්ඩිං හරහා හොයාගන්න පුළුවන්. අදාළ රාජ්‍ය නොවන සංවිධානය වැඩ කරන්න ඕනෑ මේ වැඩේ සම්බන්ධීකාරකයෙක් විදිහට; ඒ වගේ ම අවශ්‍ය පහසුකම් සලසන්නෙක් විදිහට.

අපේ සමාජය ශක්තිමත් කරන්න අපි කළ යුතු අ‍නෙක් වැදගත්ම කාර්යය තමයි: අපේ මේ වැඩවලට ඕනෑ කරන හැකියාවන්ගෙන් පිරිපුන් මිනිස්සු ඇති කරගන්න වැඩේ. පොත්–පත් කියවලා විභාග පාස් කරපු මිනිස්සුන්ට විතරක් හැම වැඩේම කරන්න බෑ. විවිධ ශිල්පවල කෙළ පැමිණි අයත් අපිට ඉන්න ඕනෑ.

ඉතින් යම් යම් හැකියා තියෙන අය විදේශ රටවලට යවලා හරි පුහුණු කරලා ගෙන්නගන්න වැඩේත් මේ වගේ අරමුදල් මඟින් කරන්න පුළුවන්. යම් යම් කර්මාන්ත කරන්න ඕනෑ කාර්මික දැනුම ලබාගන්න කියලා අනගාරික ධර්මපාල තුමා තරුණ කණ්ඩායමක් චීනයට යවලා තියෙනවා. අපිට ඒ අත්දැකීම්වලිනුත් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඉතින් අකර්මණ්‍ය කම්මැළි මිනිසුන්ට සල්ලි විසි කරන්නේ නැතිව පින්පොත මඟින් අපේ සමාජය නැඟිටුවන වැඩේ අපිට පටන්ගන්න පුළුවන් කියන අදහස පාඨක ඔබේ අවධානයට යොමු කරලා මේ ලිපිපෙළ මෙතැනින් අවසන් කරනවා. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.