භෝජ ප්‍රබ­න්ධයේ රස­කථා කීප­යක් | සිළුමිණ

භෝජ ප්‍රබ­න්ධයේ රස­කථා කීප­යක්

සංස්කෘත සාහිත්‍යයේ ඇති රසවත් කථා අතර භෝජ ප්‍රබන්ධයට හිමිවන්නේ සුවිශේෂී වූ තැනකි. එයට හේතුව නම් එහි ඇති විස්තර කතා ඉතා රසවත් ආකාරයට ගොතා තිබීමයි. භාරතයේ විසූ භෝජ රජු ද රසකාමියෙක් බවට තොරතුරු බෙහෝ වේ. ඒවායින් මේ භෝජ ප්‍රබන්ධ කෘතිය රසවත්වී ඇත.

භෝජරජු භාරතයේ මලවදේශය පාලනය කළ අතර ගෞඩ දේශය ඇතුළු මුළු දක්ෂිණා පථය ඔහුගේ පාලනයට යටත්ව තිබූ බව කියැවේ. එම තොරතුරු මේහා සම්බන්ධ කතා ප්‍රවෘත්තිවල දක්නට ලැබේ. භෝජරජු සාහිත්‍යකාමියකු වූ නිසා ඔහුගේ රාජසභා මණ්ඩපයේ ද කවියන් නාට්‍ය ශිල්පීන් වන්දිභට්ඨයන් ආදී බොහෝ පිරිස් සිටි අතර භෝජ රජතුමා විශේෂයෙන් කවියට ඉතා කැමැත්තක් දැක්වූ බව පෙනේ. ඒ ඔහුගේ කවිලිවීමේ හා ප්‍රබන්ධ කිරීමේ හැකියාව නිසාය.

ඔහු හා ඔහුගේ කවිකාර මඩුවේ සිටි මහා කවීන් ප්‍රබන්ධකරනලද රචනා පසුකලක විශ්ව සාහිත්‍යයේ ද කතාබහට ලක්වූ අගනා නිර්මාණ බවට ප්‍රකාශයට පත්ව ඇත. ඒ සංස්කෘත කාව්‍යය මනා ලෙස ගුරුහරුකම් කොටගත් පිරිස් වර්තමානයේ කවියෙන් දස්කම් දක්වන්නේ ඉහත කී කාව්‍ය ගුරුකොට ගනිමින් ය.

භෝජ රජ රජකම ලබන්නේද අහඹු ලෙසයි. ඔහුගේ ම ඥාතීන් තමා කුඩා කල ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළද ඒ සියල්ල අබිබවා ජයගන්නා භෝජ පසුව මලව දේශයේ රජකමට පත්වේ. එතැන් සිට ඉතාමත් ශූරලෙස රාජ්‍ය පාලනය කරන ඔහු ධර්ම කාම මෝක්ෂ යන සියලු කාරණවාලින් ම පරිපූර්ණ අර්ථ භාවයට පත්විනි. භෝජ රජතුමා කවියට දැක්වූයේ මහත් ආදරයකි. එනිසා ම භෝජප්‍රබන්ධ කාව්‍යය රසභාවය හඳුනාගත් සියලු දෙනාගේ නොමද ගෞරවයට පාත්‍ර විය.

කාලිදාස මහා කවියා භෝජ රජුගේ යුගයේ සිටි ඉතාමත් දක්ෂ කවියෙකි. එවැනි ම දක්ෂ කවියකු වූ ‘ඛල්ලාල’ කවියා විසින් භෝජප්‍රබන්ධය නිර්මාණය කොට ඇත. මේ යුගයේ සිටි අති දක්ෂ කවීන් නම්, ශ්‍රී ජයදේව, ඛල්ලාල, කාලිදාස, භාරවී, මාඝ, විශ්වනාථ, හර්ෂදෙව, අශ්වඝෝෂ යන අයයි. මින් කාලිදාස කවියා භෝජරජු සමඟ සමීප සබඳතා ඇතිව සිටි අයෙකි.

වරක් දාසියකගේ අතින් රන් කළගෙඩියක් බිමවැටී පෙරළීයාම නිමිතිකර ඊට අනුරූපවන ලෙසින් යම් ප්‍රබන්ධයක් කරන්නැයි කළ නියෝගයට කාලිදාස කවියා ප්‍රතිචාර දැක්වූ අයුරු ඉතා සිත්ගන්නාසුලුය. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

රජු අභිෂේක කිරීම සඳහා සකසා තිබූ පීඨිකාවට සිව්පැත්තෙන් ම පඩිපෙළ නඟිමින් ළඟාවිය යුතු ය. රජු සිටි තැනට කන­්‍යාවන් විසින් පිරිසුදු දිය කළ ගෙන ආ යුතුවිය. මේ කළගෙඩි රනින් නිම කළ ඒවා ය. පිරිසුදු අභිෂේක ජලය පිරවූ රන්කළගෙඩි යෞවනියන් විසින් ගෙන ආ අතර ආරෝහ පරිනාහ දේහයෙන් යුත් රජු දැකීමෙන් ගල්ගැසීගිය එක් යෞවනියකගේ අතින් ඉබේ ම කළගෙඩිය අත හැරුණි. එය අපූරු ආකාරයේ ශබ්දයක් නඟමින් පඩිපෙළෙන් පහළට පෙරළී ගියේය. ඒ පෙරළීගිය හඩ මෙසේ වීය.

ටටං...ටටං...ටං...ටටටං..ටටං..ටම්...

කළගෙඩිය පෙරළීගිය ශබ්දයට රජු බොහෝසේ ආශා දැක්වීය. පසුව භෝජරජතුමා මහා කවි කාලිදාසයන්ට කතාකොට කීවේ තමා ඇසූ එම කළගෙඩියේ ශබ්දය පාදක කොට අලංකාර කවියක් ගොතන ලෙසයි. ඊට විශාල ත්‍යාගයක් ලබාදෙන බවද ප්‍රකාශ කළ අතර රජු එම කවිය ඇසීමට පුල පුලා බලා සිටියේය. මෙහි අනෙක් විශේෂතාව නම් කවියේ එක් අක්ෂරයකට ලක්ෂයක් බැගින් තෑගි ලබාදෙන බවට රජු ප්‍රකාශ කිරීමයි. මහාකවි කාලිදාස කළගෙඩියේ දෝංකාර ශබ්දය පාදක කොට ගෙන අපූරු කවක් රචනා කළේය. එම කවිය මේ අයුරින් පන්හිඳෙන් අලංකාර විය.

රාජාභිෂේකේ මද විහ්ව ලායා

හසත්‍යාබ්‍යුතෝ හේම ඝටො යුවත්‍යාඃ

සෝපාන මාර්ගේ පුක‍රෝති ශබ්දම්

ටටං..ටටං..ටං...ටටටං...ටටං...ටම්...

මේ කවිය කාලිදාස කවියා විසින් ශබ්ද නගා කියවා එහි රසවින්දනය පිණිස රජතුමාට භාර දුනි.

රාජසභ‍ාවේ සියල්ලෝ ම සතුටු විණි. රජු කාලිදාසට ස්තුති ප්‍රශංසා කරමින් ත්‍යාගය ද පිළිගැන්වීය. මෙය සංස්කෘත සාහිත්‍යාවලියේ දැක්වෙන චමත්කාර සිදුවීමකි. මෙවැනි බොහෝ තැන් සංස්කෘත සාහිත්‍යාවලියේ අපට හමුවේ.

අර්ථ දැක්වීමට භාරවී කවියාත් උපමා නිර්මාණය කිරීම සඳහා කාලිදාස කවියාත් දක්ෂ වූ බව සංස්කෘත සාහිත්‍යයේ දැක්වේ.

“උපමා කාලිදාසස්‍ය - භාරවේ රථි ගෞරවම්”

සංස්කෘත කාව්‍ය අතර “සෞන්දරානන්දයටද” හිමිවන්නේ සුවිශේෂි තැනකි. එය මහාකවි ‘අශ්වඝෝෂ’ ආචාරීන්ගේ කෘතියකි. එහෙත් අලංකාර සිදුවීමෙන් හා විචිත්‍ර සිද්ධි දැක්වීමෙන් භෝජප්‍රබන්ධය ඉදිරියෙන් සිටින බව කිව යුතුය. දිනක් රන්කරුවෙක් රජතුමාට අගනා පද්මරාගයෙන් වැඩ දැමූ රන්බඳුනක් පිළිගැන්වීය. රන්කරුවා රජතුමාගේ ආභරණ පට්ටලේ අයෙකු විය හැකිය. කෙසේ වෙතත් රජතුමා මෙම තෑග්ගට බොහෝසේ ආදරය කළේය. මෙය අපූරු තම නිර්මාණයකි. ආලෝකය ලැබෙන්නේ කොයි පැත්තෙන්ද කළගෙඩිය දීප්තිය විහිදමින් බබළයි. රජතුමා තම කවිකාරමඩුවේ සියල්ලන්ට ම මෙම අගනා බඳුන වර්‍ණනාකරමින් කවියක් ප්‍රබන්ධ කරන්නට ආරාධනා කළේය. සියල්ලෝ ම මෙම පද්මරාග ඇල්ලූ බඳුන ඉතා හොඳින් නිරීක්ෂණය කළෝය.

භෝජරජුට තෑගි ලැබුණ එම අගනා බඳුන දෙස බැලූ කවියෙක් ඒ මොහොතේ තම කවි සිතිවිලි ප්‍රාණළුත් කරමින් රජු ඉදිරියේ ම මෙසේ ප්‍රකාශ කළේය.

දේව ධා‍ෙර්ෂ - දේවයිනි ධාරා (නගරයේ ශ්‍රේෂ්ඨයාණනි! )

ත්වත් ප්‍රතාපේන පරාභූතඃ (ඔබතුමන්ගේ මහා ප්‍රතාපයෙන් පැරදුණාවු) ක්විෂාංපති: (සූර්ය දිව්‍යරාජයා) ස්වර්‍ණ පාත්‍රං ව්‍යාජෙන - (මේ බඳුන බවට පත්වී ඔබ ඇසුරු කරයි .)

පද්මරාග මැණික් එබ්බූ බඳුන සූර්යයාට උපමා කිරීමත් රජතුමා වර්‍ණනාකිරීමත් එකලෙස සිදුව ඇත. මෙය භෝජප්‍රබන්ධ කාව්‍යයේ තවත් අලංකාර තුනකි. මෙවැනි බොහෝතැන් අපට හමුවට අතර ඒ හැමෙකක් ම ඉතාමත් හරබර ලෙස රසවත් අයුරින් නිර්මාණය වී ඇත.

දිනක් භෝජරජතුමා කාලිදාස කවියා අමතා අපූරු යෝජනාවක් කළේය. එය ඉතාමත් අපූර්‍වතම ආයාචනයකි. එය රජතුමා කී ආකාරයෙන් මෙසේ දැක්විය හැකිය.

“මිතුර කාලිදාස මම ඔබේ කාව්‍ය ප්‍රබන්ධයන් ඉතා අගේ කරමි. මට ඔබෙන් එක් ඉල්ලීමක් කරන්නට ඇත.” රජතුමා එසේ කීවිට කාලිදාස කවියා රජතුමාගෙන් පෙරළා මෙසේ ඇසුවේය.

“රජතුමනි. ඔබතුමන්ගේ ඉල්ලීම කුමක්ද? කියනු මැනවි. මම කෙසේ හෝ එය ඉටුකර ලන්නෙමි.” කාලිදාස කවියා එසේ කීවිට භෝජරජතුමා කීවේ අපූරු කතාවකි.

“මිතුර කාලිදාස. මම කැමතියි මා මළදින ඔබවිසින් කියනු ලබන කවිය අද ඇසීමට. ඒ ඉල්ලීම ඔබට ඉටුකළ හැකියි. කරුණාකර මා මිය ගිය විට කියනු ලබන කවිය මේ දැන්ම මට කියන්න.”

මෙසේ රජු කී කල කාලිදාස කවියාට තදින් ම කේන්ති ගියේය. තම ප්‍රාණප්‍රිය මිතුරු රජතුමාගේ මේ ඉල්ලීම ඉටුකළ නොහැකිව රජු සමඟ උරණ වූයේය. කාලිදාස කවියා වචනයක්වත් මුවින් නොබැණ වහා රජු ඉදිරියෙන් ඉවත්ව නිවසට ගොස් තම බිරින්දෑ කැටුව වෙස්වළා නගරයෙන් පිටත්ව වෙනත් දෙසකට ගියේ මේ ඉල්ලීම ඉටුකළ නොහැකි බැවිනි. කාලිදාස මෙසේ ගොස් ඒකශිලා නුවර ජනශුන්‍යවූ පෙදෙසක පදිංචිය ඇරඹීය. දැන් කාලිදාස භෝජ රාජසභාවේ නැත. රජුට මෙය මහත් වධයක් විය. තමාගේ ඉතා හිතවත් මිතුරා වියෝවෙන් රජු ශෝකභරිත විය.

ටික දිනකට පසු‍ භෝජරජතුමා ද වෙස් වළා තම මිතුරා වූ කාලිදාස සෙවීමට පිටත් විය. මෙසේ නුවරින් නුවර සැරිසරමින් කාලිදාස සෙව්වේය. රජතුමා බමුණකු මෙන් වෙස්වළා නගරයෙන් නගරය ඇවිද නිරීක්ෂණය කළේය. දිනක් අහම්බෙන් මේ දෙදෙනා මුහුණට මුහුණ හමුවිනි. එහෙත් කිසිවකුට පරණ හුරුපුරුදු ලෙස දැනහඳුනාගත නොහැකි විය. එහෙත් හමුවුණ ප්‍රීතියට දෙදෙනාම ආගිය තොරතුරු විචාළ අතර ඊට පිළිතුරු ද ලැබුණි.

පළමුකොට රජතුමා කාලිදාසගෙන් විමසුවේ ඔබ කව්ද? මේ කොහේ යන ගමනක්ද? කියායි. කාලිදාසයෝ ද රජුගෙන් එම ප්‍රශ්නම පෙරළා ඇසීය. රජතුමා ඒ ප්‍රශ්නයට මෙසේ උත්තර දුනි. “මට මේ ඒකශිලා නුවර ටිකක් දැකබලා ගන්න හිතුනා මගේ වාස දේස ධාරා නුවරයි. ධාරා නුවර සිට තමයි මා මේ එන්නේ!” මෙසේ රජු කී කල ඇත්තදැයි ප්‍රතිරාව නැඟූ කාලිදාස දැන් කොහොමද ධාරානගරයේ තොරතුරු අපේ භෝජරජතුමාට හෙම කොහොමදැයි විමසීය.

රජු එකඑල්ලේ කාලිදාස දෙස බලා “අනේ ධාරානගරයේ මිණිපහනක් මෙන් වූ භෝජරජතුමා මිය ගියානේ මුළු ධාරා නගරය ම පාලුයි අඳුරුයි” කියා කීවේය. මෙය ඇසූ කාලිදාසයෝ බොහෝ දුක්වුනි. “ඇත්තද? එහෙනම් අපේ භෝජරජතුමා මිය ගියා” කී හෙතෙම මේ කවිය ඉතා ශෝක භරිතව හඬ නඟා කීවේය.

“අධ්‍ය ධාරා නිරා ධාරා - නිරා ලම්භා සරස්වතී

පණ්ඩිතාඃ ඛණ්ඩිතාඃ සර්වේ - භෝජ රාජේ දිවංගතේ”

මෙසේ කවිය ගයමින් කාලිදාස හඬාවැටුණි. “අහෝ අද ධාරා නගරය අනාරක්ෂිතයි. සරසවිය අසරණවී ඇත. සියලු පණ්ඩිතජනයා ද වැනසුණෝය. භෝජ රජතුමන් අභාවප්‍රාප්තව ඇත. රජතුමා බලාපොරොත්තු වූ කවිය දැන් ප්‍රකාශ වී ඇත. භෝජ රජුගේ ප්‍රීතිය ඉහින් කනින් පෙරුණි. දැන් මේ ඉන්නේ අන් කව්රුත් නොව මහාකවි කාලිදාසයන් ම බව රජු පසක් කරගත්තේය. භෝජරජු තමා ජයගත් බව ප්‍රකාශ කරත් ම මේ තමා ඉදිරිපිට සිටින්නේ භෝජරජු නොවේදැයි සිතූ මහාකවි කාලිදාස යළිත් තමා කී කවිය වහා පද වෙනස් කර ගායනා කළේය. රජතුමා කාලිදාස වැලඳගත්තේය කාලිදාස ද රජු බදා වැලඳ සතුටින් මෙසේ කීය.

‘අධ්‍ය ධාරා සත් ආධාරා - සදා ලම්භා සරස්වතී

පණ්ඩිතාඃ මණ්ඩිතාඃ සර්වේ - භෝජ රාජේ භූවංගතේ”

අද ධාරා නගරය සම්පූර්ණයෙන් ආරක්ෂිතයි. පණ්ඩිතජනයා සරසවිය හා සතුටින් බැඳී වෙසේ මිනිසුන් සළු පිළියෙන් සැරසී ඇත. භෝජ රජතුමා අපේ ධාරා නගරය ඉතාමත් යහතින් පාලනය කරයි. කවියෙහි තේරුම එසේය. කාලිදාස වහා තමන් අසලට කැඳවූ භෝජ රජතුමා කාලිදාසයන් සමඟ යළිත් ධාරා නගරයට සැපත්විය. මෙසේ භෝජ ප්‍රබන්ධ කාව්‍යයේ අලංකාර සිදුවීම් බොහෝ ප්‍රමාණයක් වර්ණනාවී ඇත.

ධාරා නගරයට සැපත්වූ රජතුමා යළිත් මහාකවි කාලිදාසයන් සමඟ කාව්‍ය මණ්ඩපයේ කටයුතු ආරම්භ කළේය.

තවත් දිනක භෝජ රජතුමා සිය කවීන්ට අපූරු යෝජනාවක් කළේය. එය ටිකක් බැරෑරුම් විදිහේ යෝජනාවකි. එම යෝජනාව නම් තම කවිකාර මඩුවේ සියළු කවීන්ට “ක,ඛ,ග,ඝ” යන අකුරු සතර යොදා කවියක් ප්‍රබන්ධ කරන ලෙස නියෝග කිරීමයි. මෙය ඉතාමත් ගැටලු සහගත යෝජනාවක් විය. කවියෝ තම තමන් ප්‍රශ්නකර සිටියේ මේ අක්ෂර හතර යොදා කවියක් ගොතන්නේ කෙසේද? කියායි.

නිවෙස් වෙත ගිය කවීහු තම බිරින්දෑවරු සමඟද මේ ගැන කීහ. මේ ප්‍රශ්නය දින කීපයක් පැවතුණි. විපිළිසරවූ කවීන් අතරින් කාලිදාස කවියාට දිනක් කුඩා දැරියක තනිමඟ යන අයුරු හමුවිය. ඇය අතේ තල් කොළයක් ද විය. (පුස්කොළ කැබැල්ලක්) දැරිවිය යන හුරතලය දුටු කාලිදාස කවියාට ඇය සමඟ කතා කිරීමට ඕනෑවිය. එය සුළු සංවාදයකි. අපි එය බලමු.

කාලිදාස - කාත්වං බාලේ?

දැරිය - කාංචන මාලා?

කාලිදාස - කස්‍යා පුත්‍රී

දැරිය - කණක ලතායා

කාලිදාස - හසෙත් කිංතේ

දැරිය - තාලිපත්‍රම්

කාලිදාස - කාවා රේඛා

දැරිය - ක.ඛ.ග.ඝ

පසුදන කවිකාර මඩුව රැස්වූවිට තමාදුන් අක්ෂර හතර මුල්කර කවියක් ප්‍රබන්ධ කළේදැයි රජතුමා කවීන්ගෙන් ප්‍රශ්න කළේය. කවියෝ මුහුණු බලාගත්තා විනා කිසිවෙක් කතාකළේ නැත. එහෙත් මහා කවි කාලිදාස නැගිට තමා කවියක් ප්‍රබන්ධ කළ බැව් කීය. එසේ කියා අර දැරිවිය සමඟ කළ සංවාදය රජු ඉදිරියේ කීය.

කාත්වං බාලේ - කාංචන මාලා

කස්‍යා පුත්‍රී - කණක ලතායා

හ සෙත් කිංතෙ - තාලී පත්‍රම්

කාවා රේඛා - ක,ඛ,ග,ඝ

කවියේ තේරුම මෙසේය ‘‘පොඩි එකෝ උඹ කාගෙද?මම කාංචනමාලාගේ. නම කණකලතා. අතේ මොනවද තල්කොළයක්. ඒකේ ලියා තිබෙන රේඛා මොනවද. ක.ඛ.ග.ඝ.’’ මෙම කවිය කිව් සැනින් භෝජ රජතුමා විශාල මුදලක් පරිත්‍යාග වශයෙන් කාලිදාසට ලබාදුනි. මෙවැනි රසවත් බොහෝ සිද්ධීන් සංස්කෘත සාහිත්‍යයේ සඳහන්ව ඇත. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.