මිනිස් මහිම විනිවිද දැකීම හා අභියෝග ජයගැනීම | සිළුමිණ

මිනිස් මහිම විනිවිද දැකීම හා අභියෝග ජයගැනීම

කැකුළු මල් සුවඳ කරන්නට නිරන්තරව වෙහෙසෙන අධ්‍යක්ෂිකා ග්‍රේටා සොයුරිය සමඟ දරුවන්

(විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා වන අන්තර්ජාතික දිනය දෙසැම්බර් 3 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි )

 

ලෝකය කියන්නේ, විශ්වය කියන්නේ හුඟක් විශාල දෙයක්. මනින්න බැරි දෙයක්. හිතාගන්න බැරි දෙයක්. අනිත් අතට මේ ලෝකය ප්‍රහේලිකාවක්. මේ ප්‍රහේලිකාවෙ කොටු නිවැරැදිව පුරවන්න නැත්නම් විසඳන්න පුළුවන් හෝඩුවාවක් හොයාගන්නයි චින්තකයෝ, විද්‍යාඥයෝ, කලාකරුවෝ, ලේඛකයෝ මේ තරම් කල් වෙහෙසුණේ. ඒ වගේම වෙහෙසෙන්නෙ. ඒත් හරියටම විසඳුමක් ලබාගන්න බැරි තරමට මේ හැමදෙයක් ම සංකීර්ණයි.

මේවා මේ විදිහට වුණේ ඇයි කියල වෙලාවකට අපට හිතෙනව. මේ ප්‍රශ්නය බොහොම ලස්සනට, පැහැදිලිව අහන්නේ අපේ පුංචි දරුවො. ඒ අය අහනව මල්වලට පාට ආවෙ කොහෙන් ද? සුවඳ ආවෙ කොහෙ ඉඳල ද කියල. ඒත් ඒ දරුවො වැඩිහිටියෝ වුණාට පස්සේ මේ ලස්සන ප්‍රශ්න වෙනුවට ඉස්සරහට එන්නෙ වෙන වෙන ගොරෝසු, නීරස ප්‍රශ්න. මේ ආර්ථික ප්‍රශ්න ජයගන්නේ කොහොම ද? මාසෙ වියදම් පියව ගන්නෙ කොහොම ද? වතුර බිල්, ලයිට් බිල් ගෙවාගන්නෙ කොහොම ද? වියදම් අඩුකරගන්නේ කොහොම ද? ඔන්න ඔය වගේ අසුන්දර ප්‍රශ්න තමයි වැඩිහිටියන්ගේ ඔළුව බරකරන්නේ. අපි ජීවත් වෙන්නේ බිල්ගෙවන්න විතරම ද කියලත් වෙලාවකට හිතෙනව. ඒත් අර පුංචි ළමයින්ගේ ප්‍රශ්නවලට අපි ආයිමත් යොමු වෙනව නං ජීවිතය අඳුරගන්න වගේම ජීවිතයට පහසුවෙන් මූණ දෙන්නත් අපට අවකාශයක් විවර වෙනවයි කියල මම පෞද්ගලිකව විශ්වාස කරනව.

ලෝකේ කොච්චර දේවල්, කොච්චර අමුතු විදිහට, හිතාගන්න බැරි විදිහට බිහිවෙලා, නිර්මාණය වෙලා තියෙනව ද? අපි පුංචි උදාහරණයක් ගනිමු. ලෝකේ මිහිරිම හඬ විදිහට අපි සලකන්නේ කොවුලාගේ හඬ. කෝකිලයන්ගේ කෝකිලනාදේ ගැන හරි අපූරු ගීත නිර්මාණය වෙලා තියෙනව. අවුරුදු කාලෙට අපට අවුරුද්ද මතක් කරල දෙන්න කොවුලා ගයන්නේ ගීතයක්. මේ හඬ හරිම මිහිරියි. ලෝකේ ලස්සන ම ස්වරය මේක නේ ද කියලයි අපට හිතෙන්නේ. ඒත් මේ තරම් මිහිරි හඬක් තියන පක්ෂියාට ඇයි ලස්සන රූපයක් නොලැබුණෙ? ඇයි මෙයා වෙන කුරුල්ලෝ තරමට ලස්සන නොවුණෙ?

තවත් දෙයක්. ලෝකෙ සමහර දේවල්වලට වටිනාකම් ලැබිල තියෙන්නෙත් පුදුම හිතෙන විදිහකට. ඉතිං ඒ ලෝකේ ලස්සනට වටිනාකම් දීල තියෙන විදිහත් හරි අමුතුයි. උදාහරණයකට අපි ගඳපාන මලක් ගනිමු. මේ මල මොන තරම් ලස්සන ද? මොන තරම් වර්ණ ගොඩක් ඒකට ලැබිලා තියෙනව ද? සමහර ගඳපාන මල් හරියට පාට පාට ගල් අල්ලපු කරාබුවක් වගේ. ඒත් කවුද ගඳපාන මල අගය කරන්නෙ? නිකම්ම නිකම් පාටගන්වපු කොළයක් වගේ තියන ඇන්තූරියම් මලට ඒ වගේ වර්ණ ගොඩක් හිමිවෙලා තියෙනව ද? ඒත් අපි ඒකට මොනතරම් අගයක්, වටිනාකමක් ආරරෝපණය කරනව ද?

මං හිතන හැටියට නං ඒක වුණේ මෙහෙමයි. සොබාදහම වේවා, දෙවියන් වහන්සේ වේවා, වෙන අදෘශ්‍යමාන බලවේගයක් වේවා, ඒ දෙවියා, ඒ බලවේගය හැමෝටම හැමදේම දෙන්නේ නෑ. මේක අපට, අපේ ආගමික විශ්වාසවලට අනුව කැමති විදිහකට හිතාගන්න පුළුවනි. කොහොම බැලූවත් උත්තරේ එකයි. ඒ උත්තරේ හුඟක් දුරට සමානයි. ආගම පෙන්නල දෙන ඉහළ මුදුන හරියට කඳු මුදුනක් වගේ. මේ කන්දට නගින්න අපි විවිධ මාර්ග තෝරගන්නව.

අපි වටිනාකම් දීල තියෙන්නේ මොනවගේ දේවල්වලට ද කියල වෙලාවකට මට ප්‍රශ්නයක් ඇතිවෙනව. මැණික් ගලකයි, වීදුරු ගලකයි බැලූ බැල්මට නම් වෙනසක් පේන්නේ නෑ. ඒත් මැණික් ගල හුඟක් වටිනවා. හේතුව තමයි දුර්ලභ කම.

මවුපියන් හැටියට ඔබටත් ඔබේ දරුවන් දිහා බලන්න මේ කෝණය පාවිච්චියට ගන්න පුළුවනි. ඔබේ දරුවාට උපතින් ශ්‍රවණූනතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසාම කතාකිරීමේ හැකියාව අහිමි වෙන්නත් පුළුවන්. මතුපිටින් පේන්න තියන මේ පුංචි ඌනතාව යට මහා ශක්තියක්, කුසලතාවක් නිදන්ගත වෙලා තියෙන්නත් පුළුවන්. ඒ කුසලතා නිධානයේ ආරක්ෂිත ආවරණයක් හැටියට ඒ කර්ණාබාධය මතුපිටින් මතු වෙන්න සැලැස්සුවා වෙන්නත් පුළුවන්. මං එහෙම කියන්නේ ඔබ සතුටට, ප්‍රමෝදයට පත්කරවන්න නෙවෙයි. ඒකට උදහරණ අපට මේ ප්‍රජා පාසලෙන්ම වුණත් පෙන්වන්න පුළුවන්.

මං මුලින් කිව්වා සොබාදහම හෝ දෙවියන් මිනිසාට, සත්ත්වයාට යම් යම් දේ ප්‍රදානය කරන්නේ සමානුපාතිකව, නැත්නම් සමතුලිත ආකාරයටයි කියල. දෘශ්‍යාබාධ, කර්ණාබාධ ඇති අයගේ වෙනත් හැකියාවන් වර්ධනය වන බව බේතෝවන් කියන මහා සංගීතවේදියා ඔප්පු කළා. ඔහු අවසාන කාලයේ මහා සංගීත සංධ්වනි නිර්මාණය කළේ බිහිරිව ඉඳගෙනයි. ඔබට පුදුම හිතෙන්න පුළුවන් කොහොම ද සංගීත සංධ්වනියක් වගේ දෙයක් කනට නෑසී නිර්මාණය කරන්නේ කියලා. ඒ මොක ද කිව්වොත් සංගීතය කියන්නේ ඍජුවම කර්ණගෝචර දෙයක්. එහෙත් ශ්‍රවණේන්ද්‍රිය දුර්වල වෙනකොට වෙනත් ඉන්ද්‍රියක් ප්‍රබල වෙන්න එහෙමත් නැත්තං කලාතුරකින් හරි අතින්ද්‍රිය ඥානයක් වගේ දෙයක් පහළ වෙන්නත් පුළුවං. මේ තත්ත්වය තමයි බේතෝවන් කියන මහා සංගීතඥයා ඔප්පු කළේ.

‘සමගිය බලය වේ’ කියල අපි කතාවටත් කියනව. සමගිය බලය වෙන්නේ කෙහොම ද කියන එක ගැන ලස්සන උදාහරණයක් දෙන පුංචි කතාවක් මං කියන්නං. සමහරවිට ඔබ මේ කතාව අහලත් ඇති. ඒත් අහපු දෙයක් වුණත් නැවත නැවත මතක් කරගන්න එකයි වැදගත් වෙන්නේ.

එක තාත්ත කෙනෙක් දවසක් තමාගේ පුතාට කතා කරල කියනව ‘පුතේ, ඉරටුවක් අරං එන්න’ කියල. පුතා ඉරටුව ගෙනාවම තාත්තා කියනව ‘මගේ පුතා හපන නං ඔය ඉරටුව කඩල පෙන්නන්නකො’ කියලත්. පුතා වීරය වගේ බොහොම පහසුවෙන් ඉරටුව කඩල පෙන්නනව. ‘හා බොහොම හොඳයි. දැං එහෙනං ඉළපතකුත් අරං එන්න කෝ මගේ පුතා’ කියල තාත්ත කියනව. ඉළපත කියන්නේ ඉරටු රාශියක් එකතු කරලා පොළොව අමදින්න ඉස්සර අපේ අම්මල තාත්තල හදාගත්තු දේකට. ඉතිං පුතාත් ගිහිං ඉළපතක් අරගෙන එනවා. තාත්තා ආයිමත් කියනවා ‘හොඳයි පුතේ දැං ඉතිං ඔය ඉලපතත් දෙකට කඩලා දෙන්න’ කියල. දැං මේ පුංචි පුතා තමාගේ සම්පූර්ණ ශක්තියම යොදලා අර ඉලපත දෙකඩ කරන්න උත්සාහ කරනව. බැරිවෙනව. තාත්තා හිනාවෙලා කියනව ‘සමගිය බල වේ’ කියන්නේ ඕකයි කියලා. තනි ඉරටුව ලේසියෙන් කැඩුවට ඉළපතක් කඩන්න බෑ. අපට වුණත් හුඟක් දේ ජයගන්න පුළුවන් වෙන්නේ සාමූහිකව එක්වීමෙන්.

ඒත් මේ සාමූහිකව එක්වෙනවයි කියන එකත් හිතන තරම් ලේසි-පහසු දෙයක් නෙවෙයි. තීරණ ගැනීමේ දී තමයි අභියෝග මතුවෙන්නේ. ඒ මොක ද කිව්වොත් මනුෂ්‍යයා විවිධයි. මනුෂ්‍යයාගේ සිතුම් පැතුම් විවිධයි. අවශ්‍යතා විවිධයි. සාමූහිකව ක්‍රියා කරද් දී ගැටුම් ඇතිවෙන්නේ ඒ නිසා. හැමෝම හිතන්නේ එක විදිහට නෙවෙයි. නමුත් සාමූහිකව ක්‍රියාකරන හැම අවස්ථාවකදීම වැදගත් වෙන්නේ පරිත්‍යාගශීලිත්වයයි. වැඩි දෙනෙකුගේ පොදු එකඟතාව වෙනුවෙන් තමුන්ගේ පුංචි කැමැත්තක්, වුවමනාවක් පරිත්‍යාග කරන්න අපට සිද්ධ වෙනව. මේක තමයි සාමූහිකත්වයේ අත්‍යාවශ්‍යම අංගෙ. අපි ‘විවාහය’ එහෙම නැත්තං ‘පවුල් ඒකකය’ කියන මේ පුංචි සංස්ථාව උදාහරණෙකට ගනිමු. විවාහයක දී එක්වෙන්නේ පුද්ගලයෝ දෙන්නෙක්. නන්නාඳුනන දෙන්නෙක්. වෙනස්ම පරිසරවල උපන් වෙනස්ම වෙනස් පරිසරවල හැදුණු වැඩුණු වෙනස් රුචි-අරුචිකම් ඇති දෙන්නෙක්. මේ දෙන්නාගේ අතැඟිලි නූලකින් ගැටගැහුවට හදවත්වලින්, සිත්සතන්වලින් එහෙම සම්බන්ධ කරනවයි කියන එක ලේසි නෑ. ඒ මොකද කිව්වොත් දෙන්නා දෙවිදිහක්. සැමියා රතුපාටට කැමතියි. බිරිය සුදුපාටට කැමතියි. සැමියා මාංසලෝලියෙක්. බිරිය නිර්මාංසිකයි. දැං කොහොම ද මේ දෙදෙනා අතරේ බැඳීමක් නිර්මාණය වෙන්නේ. පරිත්‍යාගශීලිත්වය කියන එක ඉස්සරහට එන්නේ ඔතනදි. විවාහයක පැවැත්ම රඳා පවතින්නේ තනිකරම පරිත්‍යාගශීලිත්වය මත. පරිත්‍යාගශීලිත්වය අත්හදා බලන්න බැරි නම් අවිවාහකව ඉන්න එකයි නුවණට හුරු.

මවුපියන්ට දරුවන් කියන්නේ සම්පතක්. ඔබට ඉන්නේ දෘශ්‍යාබාධයක් හෝ කර්ණාබාධයක් සහිත දරුවකු නම් ඒ සම්පත වෙනුවෙන් පුංචි අභියෝගයකට මූණ දෙන්නත් ඔබට සිද්ධ වෙන්න පුළුවනි. ඇත්තටම ජීවිතය කියන්නේ අභියෝග දාමයක්. දැන් ඔබ, ඔබේ දරුවා ගැන වඩ-වඩාත් සැලකිලිමත් වන්නේ මේ අභියෝගය නිසාමයි. තව පැත්තකින් ජීවිතයට අභියෝග අවශ්‍යයි. ජීවිතයට ජවය සපයන්නේ අභියෝගයි. මං හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් විශේෂයෙන් මෙතන ඉන්නේ බෞද්ධාගමික මවුපියන් නිසැකවම සිරිපාද වන්දනාවේ ගිහින් ඇති. මේ වන්දනාගමන ඔබට අභියෝගයක් වුණ බව නියතයි. උඩමළුවට ගිය විට, සිරිපා කරුණා කරන විට, ඉර සේවය නරඹන විට ඔබට මහත් වූ ප්‍රබෝධයක් දැනෙන්නේ ගමනේ අභියෝගයට මුහුණදීමේ සතුටත් සමඟයි. යම් හෙයකින් ඔබ හෙලිකොප්ටරයකින් උඩමළුවට පහසුවෙන්ම පැමිණියා නම් ඔබට දැනෙන්නේ හැඟෙන්නේ භක්තියෙන් අර්ධයයි. සතුටෙන් අර්ධයයි.

ඉතින් ශ්‍රවණූන දරුවකුගේ ඒ පුංචි දුබලතාව මගහැරුණම ඔහු ජීවිතයට මූණ දෙන්නේ අලූත්ම ජවයක් එක්කයි. එහි දී ඔහු වෙනුවෙන් ම අලූත් ලෝකයක් නිර්මාණය වෙනවා. මේක නිකම් ම නිකම් හිතලූවක් නෙවෙයි කියන එක මං හිතන්නේ මෙතනින් ම ඔප්පු වෙලා ඉවරයි. විවිධ විෂය හදාරමින්, විවිධ විශ්වවිද්‍යාවලින් බිහිවුණ, විවිධ උපාධිධාරීන් මේ ශ්‍රවණූන ළමයින්ගේ පාසලිනුත් පිටවුණ බව ඔබ සැම දන්නා කරුණක්.

අනිත් විශේෂත්වය තමයි ආදරණීය මවුවරුන්, පියවරුන් වන ඔබත් දැන් මේ තක්සලාවේ ම ශිල්ප හදාරන ශිෂ්‍ය-ශිෂ්‍යාවන් බවට පත්වෙලා. මේ පෙරපාසලට ඇතුළත් කරන සිඟිත්තාත් සමඟ ඔබත් දැන් දිනපතාම පාසල් එනවා. දරුවා පාසලට ඇරලවා ඔබ ආපසු යන්නේ නෑ. දරුවාත් සමඟ ඔබත් පැය හතරක් පන්තියේ ඉගෙන ගන්නවා. දැන් මේ ඉගෙන ගැනීම නිසාම නිවසත් පාසලක් බවට පත්කරන හැකියාව ඔබට උදාවෙලා. පාසල නිවස වෙලා. නිවස පාසල වෙලා. මං හිතන්නේ මේක හරි අපූරු සංකල්පයක්. ඒ වගේම ඉගෙන ගැනීමට, උගැන්වීමට හොඳ උපක්‍රමයක්.

ඇත්ත වශයෙන් ම ඔබ මේ ලෝකයට තිළිණ කරපු සිඟිත්තාගේ මුල් ම ගුරුවරයා වන්නේ ඔබයි. බුදුන් වහන්සේ මවුපියන් නම් කළේ ‘පූර්වාචාරීන්’ හැටියට. ඒ කිව්වේ මුල්ම (ප්‍රථම) ගුරුවරු. මේ ගුරු භූමිකාව දිගින් දිගට ම රඟදක්වන ඔබ, දැන් මේ පාසලේ දී ශිෂ්‍ය භූමිකාවකටත් පිවිසෙනවා. හරිම අපූරුයි.

මනුෂ්‍ය සිතකට ලබාගත හැකි උපරිම සතුට ලෙස මා මගේ අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන ඇත්තේ පරාර්ථය බවයි. එහෙම නැත්නම් ‘දානයේ’ නැත්නම් ‘දීමේ’ සතුට යි. දැං ඔබ අහන්න පුළුවනි භෞතික සම්පත්, වස්තුව, මිල-මුදල් ලබා ගැනීමෙන් අපට සතුටු වෙන්න බැරි ද කියල. පුළුවනි. ඒත් ඒ කාලය බොහොම කෙටියි. හිත ඇතුළේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ නවාතැන් ගන්නේ මේ පරිත්‍යාගශීලි සතුට ම තමයි. උදාහරණයක් ගනිමු. පාරේ යන එන විට සාප්පුවක, වීදුරු අල්මාරියක (ෂෝ කේස් එකක) දමා ඇති ලස්සන ඇඳුමක් දැකලා අපට ඒ ඇඳුම ගැන ආශාවක් ඇතිවෙන බව ඇත්ත. නමුත් ඒ ආශාව, ආශාවක් හැටියට ම පවතින්නේ එය මිල දී ගන්න අතේ මුදල් නැතිව ඇඳුම දිහා බලමින් සිටින කාලසීමාව තුළ දී පමණයි. එය මිල දී ගෙන වරක් ඇඟලා ගත් සැණින්, ගමනක් ගොස් ආ සැණින් ඒ ආශාව මිලාන වී යනවා. ඒත් අනුන් වෙනුවෙන් වැය කරන කාලය, ශ්‍රමය පිළිබඳ සතුට එහෙම මිලාන වන්නේ නෑ. සතුට කියන්නේ මිල මුදල් ම නෙවෙයි.

පන්ති, කුල, ජාති-ආගම් බෙදීමකින් තොර මේ දෙමව්පියන් හා ගුරුවරුන් මේ රටට, ජාතියට අපූරු ආදර්ශයක් රැගෙන එන බවයි මගේ විශ්වාසය. සියලූ ආගම්, සියලූ දර්ශන නියෝජනය කරමින් සමානාත්මතාව හා අන්‍යොන්‍ය සහයෝගය කියන මූලයෙන් පැනනැගුණ ශ්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය නම් වූ මේ මහා වනස්පතිය ඉදිරියේදීත් ඔබ සැමට සෙවණ, සතුට හා සැනසීම ලබාදේවා කියන එකයි මගේ පැතුම.

 

(කැලණියේ දළුගම පිහිටි ශ්‍රවණූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ සාංවත්සරික උත්සවයේ දී ශ්‍රවණාබාධිත දරුවන්ගේ මවුපියන් අමතා කැත්ලීන් ජයවර්ධන කළ දේශනය ඇසුරෙනි) 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.