සිංහල කුම­රි­ය­කට වශී වූ සුදු කුමා­රයා | සිළුමිණ

සිංහල කුම­රි­ය­කට වශී වූ සුදු කුමා­රයා

පනාමුරේදී සටන් වැදුණේ ඇතකු නොව අලියකු බව සනාථ කළේ දිවයිනේ සුප්‍රකටව සිටි පුද්ගලයෙකි. ඒ, නැසී-ගිය ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම මහතා ගුවන්විදුලියේ එක්ත‍රා වැඩසටහනකදීය. එතුමා කුඩා අවදියේදී සිය මාමා කෙනකු සමඟ මේ ඇත්ගාල නැරඹීමට ගිය වග ප්‍රකාශ කළේය.

මෙලෙස ඇත්ගාල් යුගයේ සිදු වූ අපූරු පෙම්පුවතක් ලේඛනගත වී තිබේ. ඒ පංචකල්‍යාණයෙන් සපිරි ඉද්දමල්ගොඩ කුමාරිහාමි සබැඳිවය. එය සිදු වූයේ 1870දී රාජකීයයන් වෙනුවෙන් පැවැත්වූ ලබුගම ඇත්ගාලේදීය.

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාර තැන ‍ඔහුගේ පෞද්ගලික සටහන් අතර ලියා ඇත්තේ 1872 අවුරුද්දේදී උඩරට රදළ විවාහ මංගල්‍යයකට සහභාගි වූ බවයි. ඒ මංගල්‍යය ඉද්දමල්ගොඩ රටේ මහත්තයාගේ එකම දියණියගේ විවාමඟුලයි. ඉංගිරිසි ආණ්ඩුකාරයා සිය සටහනේ තවදුරටත් විස්තර කර ඇත්තේ ඉද්දමල්ගොඩ රටේ මහත්තයා සිංහල ජනප්‍රධානීන් අතර අග්‍රගණයේ කෙනකු වූ අතර, ඔහු ඉතා ධනවත් ඉඩම් හිමියකු බවයි. 1870දී සිරිලකට සැපත් වූ එඩිංබරෝහි ආදිපාදයාණන්ට පවත්වන ලද ලබුගම ඇත්ගාල සංවිධානය කිරීමෙහිලා ප්‍රමුඛ ස්ථානය ගත්තේ ඉද්දමල්ගොඩ රටේ මහත්තයාය.

සපරගමු දිසාවේ රටේ මහත්තයා ලෙසත් සපරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙසත් කටයුතු කළ ඉද්දමල්ගොඩ රටේ මහත්මයා සිංහල ජනසමාජය අතර උසස් ජන නායකයකු ලෙස පිළිගනු ලැබූ අතර, සුදු පාලකයන්ගේද ගෞරවයට පාත්‍ර වූවෙකි.

විහාරගම් සහ දේවාලගම් පාලනය කිරීම ඒ ඒ ආයතනවලටම භාර දිය යුතු බැව් ඉද්දමල්ගොඩ රටේ මහත්මයා සුදු පාලකයන් ඉදිරියේ නිතරම කියා සිටියේය. පාලන කටයුතුවලට සහභාගි වීමට අමතරව පොත්පත් මුද්‍රණය කිරීමේ වුවමනාව මෙතුමා තුළ බෙහෙවින් දක්නට ලැබිණි.

එඩින්බරෝහි ඈපාණන්ට ලබුගම ඇත්ගාල නැරඹීමට රූස්ස ගහක් උඩ බඳින ලද මැස්සක් මත විශේෂ නිරීක්ෂණ මැදිරියක් තනන ලදී. මේ විශේෂ මැදිරියට රාජකීය අමුත්තා සමඟ පැමිණි සම්භාවනීය පිරිස හැරුණු විට සිංහල අයට ඇතුළුවීමට වරප්‍රසාද ලැබුණේ කීප දෙනකුට පමණි. ඇත්ගාලේ ප්‍රධාන සංවිධායකයා වූ ඉද්දමල්ගොඩ රටේ මහත්තයාගේ වලව්වේ ඇත්තන්ටද විශේෂ මැදිරියට යෑමට අවසර දෙන ලදී. තලතුනා කුල කාන්තාවක වූ රටේ මහත්මයාගේ මැතිනිය පැමිණියේ රූ සිරියෙන් හොබනා තවමත් දහඅට වියෙහි පසු වන එකම දියණියත් සමඟය. ගහ උඩ තනා ඇති නිරීක්ෂණ මැදිරියට නඟින්නට පෙර ඒ සමීපයට මේ කුල කතුන් දෙපළ කැඳවාගෙන ආවේ සේසත් සහ මුතුකුඩ රැගත් ආවතේවකරුවන් විසිනි. අම්මා සමඟ පැමිණි රූසිරියෙන් පිරි දියණිය වෙත සියලු දෙනාගේම නෙත් යොමු වන්නට වූයේ මෙතැන් සිටය.

ඉද්දමල්ගොඩ කුමාරිහාමිගේ පැමිණීම සහ රූ සිරියෙන් හෙබි මේ සිංහල කාන්තාව දැක එඩින්බරෝහි ආදිපාදවරයා කුල්මත් වූ හැටි දුටු සුදු වාර්තාකරුවා එය විස්තර කළේ මෙසේය:

මේ ඇත්ගාල නැරඹීමට ආ විශේෂ අමුත්තන් අතුරින් රජ කුමරුන්ගේ නිරීක්ෂණ මැදිරියට පිවිසීමට අවසර ලැබුවේ තලතුනා අයකු ව‍ූ ඉද්දමල්ගොඩ රටේ මහත්මයාගේ භාර්යාවටය. එතුමිය පැමිණියේ සිය දියණියත් සමඟය. ඇත්ගාලට වඩා මේ දෙපළට රාජ කුමාරයා බලාගැනීමට අවශ්‍ය වූ බව නොරහසකි.

තරුණ ඉද්දමල්ගොඩ කුමාරිහාමි මනාව වැඩුණු අඟපසඟින් හෙබි රූමතියකි; එමෙන්ම විශාල බූදලයකට උරුමක්කාරියකි. දහඅට වැනි වියට පා තබා ඇති මේ රූමතියගේ දෙඅත් හා රූ සපුව මූර්ති කලාකරුවකුට කදිම ය. උරහිස් මතට වැටී ඇති ඇගේ නිල්වන් කෙස් කලඹත්, තැනින් තැනින් දඟර වැටී එල්ලෙන කියඹුවැල්වලත් ඇත්තේ හරිම අපූරුවකි. මුතුමැණික් ඔබ්බා ගන රනින් කළ මාල වළලු අබරණින් සැරසී සිටි ඈ දකින ඕනෑම කුමරියක් ඉරිසියාවෙන් ඉපිල යනු නියතය.

මේ මෝහිනිය පිළිබඳව අපේ රාජ කුමාරයා කී දේ තේරුම් ගැනීමට ඉංගිරිසි බස නොදැන සිටියත් ඇගේ මුවග රැඳි සිනා රැල්ල ඒ හැමටම ප්‍රාණවත් පිළිතුරක් විය. ඇගේ හැඩරුව ගැන රජ කුමරා වරින් වර සිය සගයකුට කී දේ වැටහුණාක් මෙන් රූමතියද වරින් වර මඳ සිනාවක් පෑවාය. ඉද්දමල්ගොඩ කුමාරිහාමිගේ රූපලාවණ්‍ය ගැන සිංහල ජනයා අතර බොහෝ කතා-බහ ඇති වුවද විදේශිකයකු අතින් ලියවුණු වාර්තාවක් ඇත්තේ මෙය පමණි. ඇත්ගාලකදී රාජ කුමාරයකු පවා අන්දුන්-කුන්දුන් කරවීමට සමත් වූ මේ පුවත අපගේ අලි අන්දර අතරට එක් වූයේ එහෙයිනි.

ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන් (1865–1872) ලංකාණ්ඩුකාරයාගේ අදහස වූයේ මෙතරම් අගේ කොට කතා කරනු ලබන මේ සුකුමාරවතිය සැබවින්ම තම දෙනෙතින් දැකගැනීමේ ආශාවයි. ඔහු ඒ සඳහා උපායක් යොදමින් උන් හිටි ගමන්ම සපරගමු පළාතේ නිල සංචාරයක් පිළියෙල කරගත්තේය. ඒ සංචාරයේදී පිළිගැනීමේ උත්සව රාශියක් විය. ඉද්දමල්ගොඩ රටේ මහත්මයා ඒ සියල්ලේම ප්‍රධාන තැන ඉසිලීය. ඒ අනුව ඔහු සිය රූබර දියණියන්ද එම උත්සවවලට කැඳවාගෙන එනු ඇතැයි ආණ්ඩුකාරයා සිතන්නට ඇත. ඔහුගේ බලාපොරොත්තුව සුන් වී ගියේ ඒ එකම උත්සවයකටවත් ඇයගේ සහභාගි නොවීමයි.

එයින් අධෛර්යවත් නොවුණු ආණ්ඩුකාර තැන ඒ සඳහා තවත් අවස්ථාවක් සලසාගනිමින් රජගෙදර දිවා භෝජන සංග්‍රහයක් පිළියෙල කරන්නට වග බලාගත්තේය. එය වෙනුවෙන් සිය අඹු දරුවන්ද කැටුව එන ලෙස ඔහු සියලු රදළවරුන්ට මෙන්ම ප්‍රභූන්ට ගෞරවනීය ආරාධනයක් කළේය. ඉද්දමල්ගොඩ වලව්වද එය පිළිගත්තේය.

රජගෙදරින් කළ මේ ගෞරවනීය ආරාධනය නිසා සිය බිරිය සහ දිවයිනේම කතාබහට ලක් වූ සිය රූබර දියණිය කැටුව ඉද්දමල්ගොඩ රටේ මහත්මයාට කොළඹට එන්නට සිදු විය. එහිදී රජගෙදර දක්වා එන්නට අශ්ව රථයක් ආණ්ඩුකාර තැන විසින්ම එවා තිබිණි.

ඉද්දමල්ගොඩ කුමාරිහාමි අශ්ව රථයෙන් රජගෙදර දක්වා ගමන් ගන්නා ආරංචිය අසා නගරවැස්සෝ ඇය දැක–බලාගැනීමේ ආශාවෙන් මඟ දෙපස රැස් වී සිටියහ.

එදා රජ ගෙදර උත්සවයට සහභාගි වූ දේශීය හා විදේශීය ස්ත්‍රී–පුරුෂ හැම දෙනාම ඉද්දමල්ගොඩ කුමාරිහාමිගේ රූ සිරියෙන් වශී වූවා නිසැකය. භෝජන සංග්‍රහ අවස්ථාවේ ආණ්ඩුකාරතුමා ඇය ඉදිරියෙන්ම අසුන් ගත්තේය. ඔහුගේ ඇස් නිරන්තරයෙන්ම ඈ වෙත යොමු වනු දක්නා ලැබිණි. මෙය සියලු දෙනාගේම කුතූහලය අවුස්සන්නක් විය.

වික්ටෝරියා මහ රැජනගේ දෙවන පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් කුමාරයා දිවයිනට පැමිණෙන බව ආණ්ඩුකාරයා විසින් නිවේදනය කරන ලද්දේ මේ උත්සව අවස්ථාවේදීය. කුමාරයාගේ ඒ ලංකා සංචාරයේදී ඔහුගේ විනෝදය සඳහා ඇත්ගාල් කිරීමක් සබරගමුවේදී පැවැත්විය යුතු බවත්, එය සංවිධානය කිරීම ඉද්දමල්ගොඩ රටේ මහත්මයාට පවරන බවත් ආණ්ඩුකාරයා විසින් නිවේදනය කරන ලදී.

ආණ්ඩුකාර තැනගේ මේ තීරණයෙහි යටි අදහසක් ඇති බව කුමාරිහාමිගේ පියා කිසියම් ඉවකින් මෙන් වටහාගත්තේය. පාරම්පරික කුල ගෞරවය මනා කොට සිතූ හෙතෙම සුදුමැලිව ගිය මුවින් යුතුව කල්පනාවට පිවිසියේය. තම රූබර දියණිය ආණ්ඩුකාරයා විසින් රජකුමරු ඉදිරිපිට ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරගන්නට මාන බලන බව වටහාගන්නට ඔහු ගත කළේ ස්වල්ප වේලාවකි. ඊළඟට ඉද්දමල්ගොඩ රටේ මහත්මයා විපරමින් වට–පිට බැලුවේ එක්තරා අදහසක් මුදුන් පමුණුවාගැනීමටය.

එදා රජගෙදර උත්සවයට උඩරටින් පැමිණ සිටි රදළවරුන් අතර නෑකමින් ඔහුට ඇවැස්ස බෑනා වන කෙනකු දක්නට ලැබිණි. ඔහු අවිවාහකයකු වුවද පනස්වියට ආසන්නව සිටියේය. රූප ස්වභාවයෙන් හීන ඔහු ධනවත්කමින් මෙන්ම වැදගත්කමින්ද මුල් පෙළෙහි තැබිය හැකි කෙනෙකි. සිය දියණිය අතින් අල්ලාගෙන ඔහු කරා ගිය මේ මාන්නාධික රදළවරයා එවේලේම සිය දියණියත් ඔහුත් විවාහ ගිවිස්සවීය.

මුළු දිවයිනේම එදා කතා–බහට ලක් වී සිටි මේ සුකුමාර පංචකල්‍යාණියගෙ අනාගත ඉරණම ගැන ඇසූ සෑම කෙනකුගේම මුහුණු මලානික විය. කොයි කවුරුත් දුක් සුසුම් හෙළමින් රජගෙදරින් පිට වී ගියහ.

රජකුමරු සිරිලංකාවට සැපත් විය. උත්සව රාශියකට සහභාගි වූ ඔහු සපරගමුවේ ඇත්ගාල් කිරීමේ උත්සවයටද පැමිණි‍ෙය්ය. ඉද්දමල්ගොඩ කුමාරිහාමිගේ රූපය ගැන ආණ්ඩුකාර තැන විසින් කල් තියාම කුමාරයාට දැනුම් දී තිබිණි.

ඇත්ගාල් කිරීම නැරඹීම සඳහා ලී දඬු උපයෝගි කරගෙන රූස්ස ගස් කීපයක් මැදි කර මහා අට්ටාලයක් සකසා තිබිණි. රාජකීයයන් උදෙසා එහි විශේෂ ආසන වෙන් කර තිබිණි. ආරාධිත අමුත්තෝ තම තමන් හට නියමිත අසුන් අරා සිටියහ. ඒ අතර සිය මව හා පිරිවර කාන්තාවන් කීප දෙනෙකු සමඟ පැමිණි ඉද්දමල්ගොඩ කුමාරිහාමිද නියමිත තැන අසුන් ගත්තාය.

මේ අතර රජ කුමාරයා සිය පිරිවර සමඟ පැමිණ මණ්ඩපයට ගොඩ විය. ඔහු එක එල්ලේම ගමන් කොට ඉද්දමල්ගොඩ කුමාරිහාමි සමීපයෙහි තිබුණු හිස් අසුනෙහි වාඩි වූයේය. කුමාරිහාමි මෙහිදී කලබල නොවීමට වග බලාගත්තේ ඒ වන විට ඇය පිය කැමැත්ත අනුව විවාහ ගිවිස්වා සිටීම නිසාය.

කුමාරයා වඩාත් ඇය වෙතට ළං විය. ඔහු ඈ අමතා කතා කළේ සෙමෙන්ය. කුමාරයා ඇගේ රූපශ්‍රීයෙන් වශීව සිටින බව කාට–කාටත් වැටහෙන්නට විය. එහෙත් ඔහු අපේක්ෂා කළ දේ පල නොදරන බව නොදැන සිටියේය. මේ අපූරු සුන්දරිය කුමාරයාට පිළිතුරු දෙන්නට තරම් ඉංගිරිසි දැන නොසිටියාය‍. ඒ බව නොදත් කුමාරයා යළි–යළිත් ඇය අමතා ඉතා ප්‍රීතිමත් විලාශයකින් කතා කළේය.

ඉද්දමල්ගොඩ කුමාරිහාමි තැනට සුදුසු අයුරින් හැසිරෙමින් කුමාරයා කතා කරන විට ඔහු කී කරුණු තේරුණාක් මෙන් හඟවමින් ඇගේ මුහුණේ ශාන්ත සිනා රැලි නංවමින් සිටියාය.

ආණ්ඩුකාර තැනත් කුමාරයාත් සිය දියණිය ගැන දක්වන විශේෂ උනන්දුව මුල සිටම ඉද්දමල්ගොඩ රටේ මහත්මයාගේ සිත් ගත්තේ නැත. එහෙත් සිය රාජකාරි කටයුතු වූ බැවින් මේ සියල්ල පිළියෙල කළේය. කුල ගෞරවය ගැන ඉහළින්ම සලකන මේ රදළවරයා ඒ රාජකීය උත්සවය අවසන් වී නොබෝ දිනකින්ම ඇය සරණ ගිවිස්සා සිටි තැනැත්තාටම කරකාර බැඳ දුන්නේය.

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාර තැනගේ පෞද්ගලික සටහන් අතර 1872 වසරේදී උඩරට රදළ විවාහ උත්සවයකට සහභාගි වුණායැයි සඳහන් කර තිබුණේ මේ ඉද්දමල්ගොඩ වලව්වේ සිදු වූ මංගලෝත්සවය ගැනය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.