එදා යුද්ද කරපු හැටි මතක් වෙනකොට දැනෙන්නෙ පුදුම දුකක් | සිළුමිණ

එදා යුද්ද කරපු හැටි මතක් වෙනකොට දැනෙන්නෙ පුදුම දුකක්

 ‘අපි පුංචි කාලේ බත් කන්න බෑ කියනකොට මට යන්තම් මතකයි අපේ අම්ම කියනව බත් කෑවෙ නැත්නම් කොටියට දෙනව කියල, කොටිය කියන්නෙ කවුද? මොකෙක්ද කියන-එක ගැන දැනුමක් නොතිබුණත් අපි බයටම බත් ටික කෑව. ඉස්කෝලෙ යන්න පටන්ගත්තයින් පස්සෙ අපේ හිත්වල ජීවිතේ රැකගන්නව කියන-එක ගැන ලොකු බයක් ඇති වුණා. ඒ බය 1,2 පන්තිවල ඉඳලම තිබුණා, සිංහල මිනිස්සුන්ට හිරිහැර කරන කොටි සංවිධානය කියල කට්ටියක් ඉන්න බව අපිට තේරුණේ ඉස්කෝලෙ යන්න පටන් ගත්තයින් පස්සෙ.’

අපිට මේ කතාව කියන්න පටන් ගත්තෙ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ජීවත් වන එකම සිංහල තරුණයා වන දිනේෂ් කුමාරයි. දිනේෂ්ගෙ උපන් ගම වවුනියාව, අවසන් සටනේ මර්මස්ථානයක් වුණු පුදුකුඩුඉරිප්පුවල දිනේෂ් මොකද කරන්නෙ, එයා පාසල් ගියේ කොහොමද? අද මොකද කරන්නෙ, දිනේෂ් පුදුකුඩුඉරිප්පුවලට ආවෙ ඇයි කියන ප්‍රශ්න සේරටම උත්තර එයාගෙන්ම අහල දැනගන්න-එක හොඳයි කියලයි අපට හිතෙන්නේ.

‘ඉස්කෝලෙ යන දවස්වල අපි පුදුමාකාර බයකින් ජීවත් වු‍ණේ, දකුණේ දරුවන්ට තිබුණු ගෝණිබිල්ලන්, සන්නාසියන්, කප්පම්කරුවන්ට වඩා ලොකු බයක් අපේ හිත්වල තිබුණේ බිම්බෝම්බ, කොටි පිස්තෝල කල්ලිය වගේ දේවල් ගැනයි. මම ඉපදුණෙත් පාසල් ගියේත් වවුනියාවෙ, සිංහල ගම්මාන කිහිපයක් විතරයි වවුනියාවෙ තිබුණෙ. අධ්‍යාපනය පවා අපට හරියට කරගන්න බැරි වුණේ ත්‍රස්තවාදී කරදර බාධක නිසයි. අපේ ඇස්වලින්ම දැකල තිබුණා බිම්බෝම්බ පුපුරන හැටි. අපිට අත වනාගෙන බයිසිකලේ නැඟල තාත්ත එක්ක ගිය අපෙ යහළු-යෙහෙළියො මීටර් 300ක් 400ක් දුර ගියාට පස්සෙ අළු-දූවිලි ගානට ගිය හැටි අපේ ඇස්වලින් දකින්න අපි පව් කරල තිබුණ. මේ වගේ ලෝකයකයි අපි ජීවත් වුණේ. වවුනියාවෙ ජීවත් වුණු ගොඩක් අය ගෙදරින් යන්නෙ ආයෙත් ගෙදර එන්න ලැබෙයිද කියන්න බැරි තරම් චකිතයකින්. අම්ම තාත්තල කවදාවත් තමන්ගෙ දරුවො දෙන්න නැත් නම් තුන්දෙනා එකට පාසල් යවන්නෙ නැහැ. පාසල් ඇරිල ගෙදර එන්න කියල තියෙන්නෙත් පාරවල් දෙක-තුනකින්. මේක තමයි 90 ගණන්වල 2000 අවුරුද්දට කිට්ටුව අපේ ජීවිතවල තත්ත්වය.

පාසල් අධ්‍යාපනය නිමා කරල මම සිවිල් ආරක්ෂක හමුදාවට බැඳුණේ 2006 අවුරුද්දේ. එදා ඉඳල අපිට යුද හමුදාවත් එක්ක මේ ගම් ආරක්ෂා කරන කාර්යය පැවරිලා තිබුණා. සමහර දවස්වලට කෑම්ප් එකෙන් එළියට ගියහම දවස් තුන-හතරකට ආපහු එන්න ලැබෙන්නෙ නැහැ. ඒත් ඒ කරදර දුක් කම්කටොලු සියල්ල විඳගත්තෙ අපේ මේ ගම්-බිම් රැකගන්න ඕනෑ නිසයි. 2009 අවසන් සටන බොහොම දරුණුවට ගියා. අපේ ජීවිත බේරුණේ අනූනවයෙන්. යුද්ධය අවසන් වුණාට පස්සෙ පුදුමාකාර සැහැල්ලුවක් අපට දැනුණා. ඔළුව ලොකු බරකින් නිදහස් වුණා වගේ තේරුණේ.

මේ අතර මුලතිව් කිට්ටුව විශ්වමඩු සිවිල් ආරක්ෂක බළකා කඳවුරක් ස්ථාපනය කළා. මටත් එහේ යන්න කිව්වා. මමත් එහේ ගියා. ටික කාලෙකට පස්සෙ අපිට විරුද්ධව අවි ආයුධ ගත්ත කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරන්න ඒ කඳවුරට ගේනව කියල කිව්වා. මට පුදුම තරහක් ආවා. මම හිතුවා මේ රස්සාවෙන් අස් වෙන්න. අපි විඳපු දුක් වේදනා සියල්ල දවස් ගණන් කැලේ හිටියේ මේ කොටි ත්‍රස්තවාදීන් නිසා නේද කියල දැනෙනකොට පුදුමාකාර වෛරයක් ආවා. මම ඒ ගැන ගිහින් අපේ අණ දෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු සර්ට කිව්වා. සර් මට වාඩි වෙන්න කියල ගොඩක් වෙලා මාත් එක්ක කතා කළා. මගේ හිතේ තිබුණු වෛරය, ක්‍රෝධය සේරම නැති වෙලා තමයි මම එතැනින් නැඟිටලා ආවෙ.

අපි කොටි කියල ලේබල් ගැහුවත් ඒ සේරම අප අපේම රටේ අය බව මට තේරුණා. දකුණේත් උතුරේත් අන්තවාදීන් කොටසකට විතරක් මේ රට දෙන්න ඕන බව මෙට තේරුණා. යම යම් දේශපාලඥයන්ගේ වැරැදි නිසා ඒ අය අවි අතට ගන්න ඇති කියලත් මට හිතුණා. ඒක නිසා අර වෛරය අනුකම්පාවක් බවට පත් වුණා.

ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැහුණු අය පුනරුත්ථාපනය කරල ඒ අයට විශ්වමඬු කඳවුරේම රැකියාව දුන්නා. ඒ සේරම අය අපේ හොඳම මිතුරන් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. අපි එකට වැඩ කළා. එකට කෑව බිව්වා. එක බත් එක බෙදාගෙනත් කෑවා. අපේ මිතුදම වැඩි වුණා. ඒක කොයිතරම් දුර දිග ගියා කියලද හිතන්නෙ. පුනරුත්ථාපනය වෙච්ච රශ්මි මාත් එක්ක ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න තීරණය කළා. අපි දෙන්න 2014 අවුරුද්දෙ විවාහ වුණා. දැන් අපි පදිංචි වෙලා ඉන්නෙ රශ්මිගේ ගමේ ඒ කියන්නෙ අවසන් සටනේ තීරණාත්මක ස්ථානයක් වෙච්ච පුදුකුඩුඉරිප්පවල, අපි බොහොම සතුටින් ඉන්නව. අපට දැන් හොඳට තේරෙනව යුද්දෙ ඕන කරල තිබුණෙ මේ රටේ ඉතාම සුළු පිරිසකට විතරයි කියල.’

උදයකුමාර විවාහ වෙලා ඉන්නෙ රශ්මි එක්ක. සිංහල වචනයක් වත් බැරිව හිටපු ඇයට අද සිංහල කතා කරන එක සාමාන්‍ය දෙයක් වෙලා. රශ්මිගෙ නම ඇහුවහම කියන්නෙ රශ්මි උදයකුමාර කියල.

‘අපි පාසල් යන කාලෙම තමයි මේ යුද්දෙ කියන පවට කරගහන්න වුණේ. සිංහල කියල මිනිස්සු පිරිසක් ඇවිත් අපේ ගෙවල් දොරවල්වලින් අපිව එළවල ඒව අල්ලගනන අපිව මරන්න එනවා කියල අපේ හිත්වලට කාවද්දල තිබුණ. ඒක නිසා අපේ ගෙවල් දොරවල් රැකගන්න අපි යුද්ද කරන්න ඕන කියන මානසිකත්වය තමයි හැම කෙනාගෙම හිත්වලට දීල තිබුණෙ. සිංහල කියන්නෙ කවුද? කොහේද ඉන්නෙ? මේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ. අපිට පෙන්වල දීල තිබුණෙ යුද ඇඳුම් ඇඳගත්ත නිතරම තුවක්කව අතේ තියෙන යුද්ධ ටැංකිවල නැගල එන අය තමයි සිංහල කියල. අපේ අම්මත් එල්ටීටීඊ සංවිධානයේ වැඩට උදවු කළා. ඇත්තටම උදවු කරා නෙමෙයි උදවු කරන්න වෙලා තිබුණා. ඔය අතරේ දවසල් රතු කුරුස සංවිධානයත් එක්ක සිංහල කට්ටියක් ආව. මම ඒ අය දැකල පුදුම වුණා. ඒ අයත් අපි වගේම සාමාන්‍ය ඇඳුම් ඇඳල අපේ අයට තෑගි බෝග ගෙනැත් දීල ගියා. මට ඇත්තෙන්ම එදා ප්‍රශ්නයක් ආවා අපිට දීල තියෙන චිත්‍රය වැරැදියි කියල. කොහොම හරි අවසන් සටන ආරම්භ වුණාට පස්සෙ අපිට ලොකු වගකීමක් ආව මේ පැත්ත ආරක්ෂා කරගන්න. ඒත් ඒ සටනින් අපි පැරදුණා. අපිට යටත් වෙන්න සිදු වුණා. යටත් වුණු අපි සේරම පුනරුත්ථාපනය කළා. අපිට තුවක්කුව වෙනුවට කැත්ත උදැල්ල හුරු කළා. අපිට 7-8 පන්තිවලින් එහාට පාසල් යන්න බැරි වුණු නිසා අධ්‍යාපනික රැකියාවක් කරගන්න විදිහක් නැහැ. අපි දැන් සිවිල් ආරක්ෂක බළකායේ විශ්‍රාම වැටුප් තියෙන රස්සාවක් කරන්නෙ. මටත් මහත්තයටත් දෙන්නටම රුපියල් 50,000ක විතර පඩියක් ලැබෙනවා. දෙන්නගෙම එකතුව රුපියල් ලක්ෂයක් විතර. ඒක අපිට ලොකු දෙයක්. අපිට එරෙහිව සටන් කරපු අයමයි අපිට මේ උදවු කරන්නෙ. අපේ හිත් පුදුම විදිහට වෙනස් වුණා. විශ්වමඬු සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ කිසිම අවි ආයුධයක් නැහැ. අපිට තමන්ගේම සහෝරයන්ට වගේ කඳවුරේ සර් සලකන්නෙ. කවදාවත් යුද හමුදා නිල ඇඳුමක් ඇඳගෙන ඒ සර් එන්නෙ නැහැ. අපෙන් යුද්දෙ ගැනවත් අහල නැහැ. අපිට ජීවත් වෙන්න මාර්ගය හදල දුන්න. අපිට දියුණු වෙන්න කියල දෙනව එච්චරයි. අපි ආයුධ අරගෙන සටන් කරපු හමුදාවෙම කෙනෙක් වෙන උදය කුමාර එක්ක මම ගොඩාක් දේවල් කතා කළා. අන්තිමට අපි දෙන්න විවාහ වුණා. සමහර විට මේ යුද්දෙ තවත් අවුරුදු කිහිපයක් තිබුණා නම් එක්කො එයාගෙ උණ්ඩයකින් මගේ ජීවිතය නැති වෙන්න තිබුණා. නැත් නම් මගේ උණ්ඩයකින් එයාගෙ ජීවිතේ නැති වෙන්න තිබුණා. ඒත් ලංකාවේ සියලු දෙනාගේම වාසනාවට යුද්ධය 2009 අවුරුද්දෙ ඉවර වුණා. අපිට ඉතිරි වුණු දෙයක් නැහැ යුද්ද කරල. හොඳ හිත පලුදු වුණා. එච්චරයි. ඒත් මේ වගේ ළඟින් ඇසුරු කරන කොට ඒ තත්ත්වය හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණ නිසා තමයි එකිනෙකාට විරුද්ධව අවි ගත් අපි දෙන්න විවාහ වුණේ. අපිට දැන් අවුරුද්දක පුංචි බබෙක් ඉන්නව. මමත් ඉඳල-හිටල වවුනියාවෙ උදය කුමාරගේ ගෙදර යනවා. අපිට හොඳට ඒ අය සලකනවා. අනේ අපි නොදන්නාකම හින්දයි සිංහල අයට විරුද්ධව යුද්ධ කළේ කියල හිතන කොට දැනෙන්න පුදුමාකාර වේදනාවක්. ඒත් ඒ කිසි දෙයක් අපිට ඕනෑකමට වුණු දේවල් නෙමෙයි. මම අද ගොඩාක් සතු‍ටු වෙන්නෙ සිංහල කෙනෙක් කසාද බඳින්න පුළුවන් වුණු-එකට. ඒකෙන් මේ සහෝදරත්වය ගොඩනඟාගන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි, ඇපට ඇත්ත ඇති-සැටියෙන් දැනගන්නත් පුළුවන් වුණා.’

තාරක වික්‍රමසේකර
සේයාරූ- සමන්ත වීරසිරි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.