ගම්මිරිස් වගාව සඳහා ක්ෂේත්‍රය සකස්කිරීම | සිළුමිණ

ගම්මිරිස් වගාව සඳහා ක්ෂේත්‍රය සකස්කිරීම

 ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව වැඩි වශයෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ පහත රට හා මැද රට ප්‍රදේශ වල තෙත් හා අතරමැදි කලාප වේ. මේ ප්‍රදේශවල තැනිතලා බිම් මෙන්ම බෑවුම් සහිත බිම්ද බහුලව හමුවේ. බෑවුම් සහිත බිම්වල ගම්මිරිස් වගා කිරීමට අදහස් කරන්නේ නම් එම බිම් සඳහා වඩාත් සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වේ. එසේම පවත්නා කාලගුණික වෙනස් වීම් සමඟ වර්ෂාපතන රටාවේ ඇතිවී තිබෙන වෙනස්කම් හේතුවෙන් ගම්මිරිස් වගාකිරීමට අදහස් කරන සෑම අයෙක්ම පාංශු සංරක්ෂණ ක්‍රම වලට අමතරව පාංශු තෙතමන සංරක්ෂණ ක්‍රම පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ යුතුය. ඊට හේතු වන්නේ පැළ සිටුවීමත් සමඟ ප්‍රමාණවත් ලෙස වර්ෂාව නොලැබුණහොත් පැළවල ක්ෂේත්‍ර ස්ථාපන ප්‍රතිශතය ඉතාමත් අඩුවීමයි. නව වගාවන් සඳහා බින්දු ජල සම්පාදන ක්‍රම යොදාගත හැකිනම් වඩාත් සුදුසු වේ. වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශය (කෘෂි-කාලගුණික කලාපය) සහ තෝරාගත් භූමියේ ස්වභාවය අනුව වඩාත් පාංශු සංරක්ෂණ ක්‍රම අවශ්‍ය වේද, එසේ නම් වඩාත් සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රමය කුමක්ද යන්නත් ඒ වගේම ජල සම්පාදන ක්‍රම භාවිතය පිළිබඳවත් විශේෂයෙන් සලකාබැලීම වැදගත් වේ.

ගම්මිරිස් වගාකිරීම තනි වගාවක් ලෙසත් අන්තර්භෝග වගාවක් ලෙසත් සිදුකළ හැකිය. අන්තර් භෝග වගාවක් සිදුකරන්නේ නම් වඩාත් සුදුසු වන්නේ පොල් වගාව සමඟ හෝ තේ වගාවත් සමඟ ගම්මිරිස් වගාකිරීමයි. මෙහිදී අප මුලින්ම ගම්මිරිස් තනි වගාවක් සඳහා ක්ෂේත්‍ර සකස්කිරීම පිළිබඳව සලකා බලමු.

තනි වගාවක් ලෙස ගම්මිරිස් වගාකිරීම

ගම්මිරිස් තනි වගාවක් සඳහා ක්ෂේත්‍ර සකස්කිරීමේදී ප්‍රධාන කටයුතු 2 ක් සිදුකළ යුතුය.

1. ආධාරක කණු සිටුවීම

2. පැළ සිටුවීම සඳහා වළවල් සකස් කිරීම

ආධාරක කණු සිටුවීම

ගම්මිරිස් භෝගය වැලක් ලෙස වර්ධනය වීම නිසා එය සිරස්ව ඉහළට වර්ධනය වීමට ආධාරකයක් අවශ්‍ය වේ. මේ සඳහා ජීවී හෝ අජීවී ආධාරකයක් යොදාගත හැකිය.ගම්මිරිස් වගාකරන රටවල විවිධ ජීවී හා අජීවී ආධාරක ආකාර භාවිතකළද, අප රටෙහි බහුලවම භාවිත කරනු ලබන්නේ ග්ලිරිසීඩියා ජීවී ආධාරකයයි. මීට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ග්ලිරිසීඩියා ඉනි පහසුවෙන් සොයාගත හැකිවීම, ඒවායේ ඉහළ ක්ෂේත්‍ර ස්ථාපන හැකියාවක් තිබීම (හොඳින් මුල් ඇදීම හා පැළවීම) සහ ඍජුව පවතින අඩි 7-8 ක් පමණ ඉනි පහසුවෙන් ලබාගත හැකිවීම යන කරුණු වේ. (ආධාරක ඉනි සඳහා කොට්ට, එරබදු සහ සූරිය වැනි විශේෂද භාවිතාකළ හැකිය. මේවායේ වාසි අවාසි පිළිබඳව පසු ලිපියකදී කෙටියෙන් සාකච්ඡා කරමු.) මේ සඳහා ලබාගන්නා ඉනිවල උස අඩි 8 ක් පමණ ද මැද පෙදෙසේදී විෂ්කම්භය අඟල් 1.5 ක් පමණ විය යුතුය. හොඳින් මේරූ ඉනි තෝරාගැනීමෙන් මුල් ඇදීමේ හැකියාව වැඩිවන අතර ඍජු කඳන් සහිත ඉනි සිටුවීමෙන් ක්ෂේත්‍රය ඒකාකාරව හා මනා පිළිවෙළකට සකස්කර ගත හැකිය. ඉනි ප්‍රවාහනය කිරීමේදී ඒවායේ මතුපිට පොත්තට හානියක් නොවන ලෙස පරෙස්සම් විය යුතුය. එසේම ඉනි කපාගත් පසු හැකි ඉක්මනින් සිටුවාගැනීම වඩා සුදුසු වන අතර කල්ගත වන්නේ නම් ඒවායේ පහළ කෙළවර පස් තුළ ගිලෙන සේ පසින් යටකර ඉහළ කෙළවර ගසකට හෝ වෙනත් ආධාරකයකට හේත්තු වනසේ සිරස්ව සිටින සේ තබාගැනීම වඩාත් සුදුසුය. ඉනි සිටුවීමට පෙර පහළ කෙළවර මඳක් ඇලයට (45ක කෝණයකට පමණ) කපාගැනීමත් ඉහළ කෙළවර තිරස්ව කපාගැනීමත් වඩා සුදුසු වේ.

මෙසේ සකස් කරගත් ඉනි අඩි 8 X 8 පරතරය සහිතව ක්ෂේත්‍රයේ සිටුවාගත යුතුවේ. එහිදී ඉන්නේ පහළ කෙළවර අඟල් 8 – 9 ක් පමණ පසේ ගිලෙන සේ සිටුවාගැනීම ප්‍රමාණවත් වේ. මේ සඳහා සුදුසු වළක් සකස්කර ගැනීමට මේ ඉනිවලට වඩා මඳක් විශ්කම්භයෙන් වැඩි ග්ලිරිසීඩියා ඉන්නක්ම භාවිතාකළ හැකිය. සිටුවීමෙන් පසු පහළ කොටසේ ඉන්න හා පස අතර හිස් අවකාශ නොපිහිටන පරිදි හොඳින් පස් තද කළ යුතුය. ඉනි සිටුවීමේදී වර්ෂා සහිත කාලයක් තෝරාගැනීමත් ගම්මිරිස් සිටුවීමට මාස 4 - 5 කට පමණ පෙර ඉනි සිටුවීමත් මඟින් ඉනිවල ක්ෂේත්‍ර ස්ථාපනය වැඩි කරගැනීමටත් ගම්මිරිස් සිටුවන කාලයේදී ග්ලිරිසීඩියා අතු මඟින් මඳක් සෙවණ සහිත පරිසරයක් සකස්කර ගැනීමටත් හැකියාවක් ලැබේ. ගම්මිරිස් වගාවේ මුල් කාලය තුළ සෙවණ සැපයීම ඒවායේ ක්ෂේත්‍ර ස්ථාපනය සඳහා ඉතාමත් වැදගත් වේ.

පැළ සිටුවීම සඳහා වළවල් සකස් කිරීම

පැළ සිටුවීමට මසකට පමණ පෙර වළවල් සකස්කිරීම ආරම්භ කළ හැකිය. මෙහිදී සෑම ඉන්නක්ම ළඟින්ම හා ඉන්නට නැ‍ෙඟෙනහිර දෙසින් වළක් සකස්කර ගත යුතුය. සකස්කර ගන්නා වළවල් හැකි තරම් ඉන්නට ආසන්න වන සේ කපාගැනීමෙන් ගම්මිරිස් පැළ සිටුවීමෙන් පසු ඒවා ආධාරකය මත පුහුණුකිරීම වඩාත් පහසු වේ. ව‍ෙළෙහි දිග, පළල සහ ගැඹුර අඩි 1.5 ක් බැගින් (සෙ.මී. 45 X 45 X 45) තිබීම ප්‍රමාණවත් වේ. මෙම වළවල් හොඳින් දිරූ ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර සමඟ මතුපිට පස් ( 1 : 1 අනුපාතය සහිතව) යොදා පුරවා සකස්කර ගත යුතුය. සකස්කර ගත් ක්ෂේත්‍රයේ පැළ සිටුවීම හා ඒවායේ මූලික නඩත්තු කටයුතු පිළිබඳව මීළඟ සතියේදී සාකච්ඡා කරමු.

ආචාර්ය ආනන්ද සුබසිංහ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පර්යේෂණ)
මධ්‍යම පර්යේෂණ ආයතනය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

Comments