ගොවියා ශක්තිමත් කරන වගා රක්ෂණයක් | සිළුමිණ

ගොවියා ශක්තිමත් කරන වගා රක්ෂණයක්

 ඉහළ අවදානමක් අවිනිශ්චිතතාවයක් සහිත කෘෂි කර්මාන්තයේ යෙදෙන අයට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත ව්‍යසනයත් ආපදාවත් හමුවේ සිදුවන මූල්‍යමය හානිය ප්‍රතිපූර්ණය කිරීමටත් ගොවියාගේ සියලු චංචල හා නිශ්චල දේපළ රැකගැනීමේ අරමුණින් මෙන් ම ගොවියන් අනපේක්ෂිත උවදුරුවලින් මුදවා ගැනීමේ අරමුණින් 1973 දී හෙක්ටර් කොබ්බ‍ෑකඩුව මහතා විසින් අරඹන ලද කෘෂි රක්ෂණ මණ්ඩලය වර්තමානයේ ගොවියා වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරයි. කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ ගොවියාගේ වටිනාකම හඳුනාගෙන ඔවුන්ගේ වගා හානි සඳහා රුපියල් මිලියන 3000 ක (ලක්ෂ 30,000) මුදලක් මෙවර අයවැයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වෙන්කර ඇත. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා මේ සම්බන්ධයෙන් සිළුමිණට අදහස් දැක්වීය.

“හෙක්ටර් කොබ්බෑකඩුව මහතා දුරදිග කල්පනා කරලා බලලා කෘෂි රක්ෂණ මණ්ඩලය ඇරඹුවා. 1970 වකවානුවේ ලංකාවට කාලගුණික දේශගුණික විපර්යාසවලින් එතරම් හානියක් වුණේ නැහැ. වසර 5 පමණ වරක් තමයි ස්වාභාවික උවදුරකින් වගා හානි සිදුවුණේ. එම නිසා ගොවි රක්ෂණය සම්බන්ධයෙන් ගොවීන් එතරම් උනන්දු වුණේ නැහැ. එහෙත් 1980 අවසාන වකවානුව වනවිට කෘෂි කර්මාන්තය පමණක් නෙමෙයි. ධීවර කර්මාන්තය සඳහා ද කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් සහන සැලැසීමේ පනතක් අනුමත කළා.

පසුගිය අවුරුදු 10දී නම් ගොවීන්ට පාලනය කළ නොහැකි ස්වාභාවික අනතුරුවලින් විශාල පීඩාවක් සිදුවුණා කිවවොත් නිවැරැදියි. ඒ සමඟම කෘෂිකර්මාන්තයේ වැදගත්කම ඉහළින් ම දැනෙන්නට වුණා. 2013 – 14 වකවානුවේ ‘ගොවිකෙතට අරුණ’

නමින් සෑම වී ගොවියකු සඳහා ම පොහොර සහනාධාරයක් ලබාදුන්නා රජය මඟින්්‍. එම ක්‍රමය යටතේ අක්කරයකට ගොවීන්ගෙන් කන්නයක් සඳහා රු. 450 මුදලක් අය කරගෙන හානි සිදුවීමේ දී රු. 10000ක රක්ෂණ ආවරණයක් ලබාදුන්නා. මුලින් ම වී ගොවිතැන සඳහා මේ රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වුණත්, ඊට අමතරව ඕනෑම භෝගයක් සඳහා රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. අනිකුත් භෝගවලට කන්නයකට රු. 1800 වාරිකයක් අය කරන නිසා‍. ගොවීන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. වසර 2015 සිට තමයි ගොවීන් තුළ මේ රක්ෂණය ප්‍රචලිත වන්නට පටන්ගත්තේ. මේ ගැන යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා. වාරික සහනයක් ලබාදීම, ගොවීන්ට හානි වූ විට ඉක්මනින් හානිපූර්ණය කිරීම තමයි මූලික යෝජනා වුණේ. හානි ව‍ූ දින සිට දින 14 ඇතුළත හානි ප‍ූර්ණය සිදුකරනවා. ඒ අනුව යමින් අප විසින් මේ වනවිට වී, බඩඉරිඟු, සෝයා, ලොකු ලූනු, අර්තාපල්, මිරිස් යන වගාවන් සඳහා 2017 වසරේ සිට වගා රක්ෂණය ලබාගැනීම අනිවාර්ය කරලා කියනවා.

නමුත් වාරික සහනයක් නොලැබුණ නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම 2017 මහ කන්නය වනතුරු ප්‍රමාද කළා. ඒ අනුව කෘෂිකර්ම ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරලා මෙවර අයවැය මඟින්. ඉහත භෝග සඳහා 65% වාරික සහනයක් ලබාදීමට රුපියල් මිලියන 3000 ක්. (ලක්ෂ 30000) මුදලක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු අයවැ‍යකින් වෙන් කරනු ලැබුවා. මෙය ගොවියාගේ හෙට දවස වෙනුවෙන් තැබූ යෝධ පියවරක් ලෙස සලකන්න පුළුවන්්‍. රාජ්‍ය අංශයේ එකම කෘෂි රක්ෂණ ආයතනය වන මෙමඟින් දිවයින පුරා විහිදුනු ශාඛා 29 හරහා කෘෂිකර්ම පරීක්ෂණ, නියෝජ්‍ය සහකාර නිලධාරීන්, 9500 සේවයේ යෙදෙනවා. අධික වර්ෂාව ජල ගැල්ම වැනි ස්වභාවික විපත්වලින් ගොවිජනතාව අවධානයට ලක් වෙද්දී වෙනත් ආයතනවලට කලින් ක්‍රියාත්මක වෙලා සහන හා වන්දි ලබාදීමේදී ආදර්ශයක් ලබාදීලා තියනවා. වගා රක්ෂණය, පශු රක්ෂණය, වෛද්‍ය රක්ෂණය, ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ රක්ෂණය, ගබඩා රක්ෂණය ආදී ලෙසින් රක්ෂණ ක්‍රම කීපයක් ක්‍රියාත්මක වෙනවා. කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මඟින්, ලංකා බැංකු හා මහජන බැංකු මඟින්, ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින්. මේ සඳහා සම්බන්ධ විය හැකි වෙනවා.

වගා රක්ෂණය යටතේ බඩ ඉරිඟු, උක්, මිරිස්, ලොකු ලූනු, අර්තාපල්, අතිරේක භෝග, කෙසෙල්, විසිතුරු මල් පැළ, තේ, ඉරිඟු, එළවළු, කුරුඳු , ගම්මිරිස්, ගස්ලබු, කජු, බුලත් කොවුල් සඳහා රක්ෂණ ආවරණ ලැබිය හැකියි. කුරුඳු සඳහා අක්කරයකට රු. 40,000, වාරික මුදලක් සඳහා රු. 130,000 ප්‍රතිලාභයක් වගා හානි වෙනුවෙන් ලබාගත හැකියි. ගම්මිරිස් සඳහා රු‍. 37,500 වාරිකයක් යටතේ රු. 120000 ප්‍රතිලාභ ලැබිය හැකි ය. අර්තාපල් සඳහා රු. 65000 වාරිකයක් යටතේ රු. 110,000 ප්‍රතිලාභ ලැබිය හැකියි.

පශු සම්පත් රක්ෂණය යටතේ ගවයන්, එළුවන්, බැටළුවන් ආදී සතුන් සඳහා රක්ෂණ ආවරණ ලැබෙනවා. මීට අමතරව ගොවියා වෙනුවෙන් සුවසෙත සෞඛ්‍ය රක්ෂණය, වෛද්‍ය රක්ෂණය ක්‍රියාත්මකයි.

මෙම වැඩපිළිවෙළ ගොවිජනතාව වෙනුවෙන් රජය ගත් යෝධ පියවරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. රජය පොහොර සඳහා විශාල මුදලක් වැය කළත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් වෙලාවට ලබාදුන්නත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ඒවා ක්‍රියාත්මක වුවත්, දේශගුණ කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන බීජ හඳුන්වා දුන්නත් අවසානයේ මහා ගංවතුරකට හෝ වියළි කාලගුණයකට ලක්වීමෙන් වගා විනාශ වී ගොවීන් දුප්පත්කමේ අන්තයට ම තල්ලු කරනවා. එවිට ඔවුන් ගලවාගන්නා එකම ගැලවුම්කරුවා ලෙස ක්‍රියාත්මක වන්නේ ගොවිජන රක්ෂණයයි.

කෘෂි රක්ෂණ මණ්ඩලය ගොවියාට ඉතා ඉක්මනින් වන්දි ගෙවීම සඳහා මේ වනවිට ලෝකයේ දියුණු රටවල් භාවිතා කරන විද්‍යාත්මක කෘෂි රක්ෂණ ක්‍රමවේදයන් මත කාලගුණිත හා දේශගුණික දත්ත මත පදනම් වූ රක්ෂණ ක්‍රමවේදයක් (Weather index insuarance) අනුගමනය කරමින් සිටිනවා. මෙය දැනට වවුනියා දිස්ත්‍රික්කයේ පමණක් මූලික වැඩසටහනක් ලෙස පටන්ගෙන තියනවා. 2018 මහ කන්නයේ දී දිවයින පුරාම ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තියනවා.

මෙහි විශේෂත්වය වන්නේ හානියක් වූ විට ගොවියාගේ ගොවිපළවලට නොගොස් එම දත්ත Automatic weather station හරහා සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලබාගන්නා තොරතුරු හා සිද්ධීන් මත ඉතා සුළු කාලයක් තුළ හානිය ගණනය කරලා ගොවියාගේ ගිණුමට මුදල් බැර කරනවා. මේ සඳහා අවශ්‍ය ස්වයංක්‍රීය, පරිගණක පද්ධති මේ ආයතනය තුළ දැනට සැකසෙමින් පවතිනවා.

මේ වනතෙක් ම රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ Indenity base රක්ෂණ ක්‍රමවේදයයි.

මෙහිදී සිදුවන්නේ යම් හානියක් වගාවට සිදුව‍ූ බව දැන්වූ විට, එම ගොවිපළ වෙත ගිහින් ඇස් මට්ටමින් පරීක්ෂා කරලා වාර්තා පිළියෙල කරලා. ගොවියා ගෙන් අයදුම්පතක් පුරවා ගෙන රක්ෂණ වන්දි මණ්ඩලයෙන් අනුමත කරගෙන මුදල් ගෙවීමයි. මේ සඳහා අවම වශයෙන් මාස 3 පමණ කාලයක් ගතවෙනවා. එතකොට ගොවියාට සිදුවිය යුතු දේ සිදුවී හමාරයි. එම නිසා නව ක්‍රමය ඉතා වැදගත් වෙනවා. අනික් අතට වෙනත් කිසිදු රක්ෂණ ආයතනයකින් වගා හානි රක්ෂණයක් ලබා නොදෙන්නේ කෘෂි රක්ෂණය අලාභදායක රක්ෂණ ක්‍රමයක් නිසයි. සාමාන්‍ය‍යෙන් රක්ෂණයකදී සිදු කෙරෙන්නේ වාසනාවන්ත විශාල පිරිසකගෙන් වාරිකයක් ලබාගෙන අවාසනාවන්ත සුළු පිරිසකට හානි පූරණය කිරීමයි. හැබැයි කෘෂි රක්ෂණයේදී සැමවිටම අවාසනාවන්ත පිරිස ඉතා විශාලයි. එබැවින් හැමවිටම හානිය 100% - Last rasio සීමාව ඉක්මවනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය 2016 දී පළමු වතාවට. ලාබ ලැබුවා. රුපියල් මිලියන 333 න්. ගොවීන් ලක්ෂ 8 ½ ලංකාව පුරාම සිටිනවා. එම ප්‍රමාණය ඉදිරියේදී මිලියන 1.2 දක්වා වැඩිවෙයි කියා හිතනවා. අනාගතයේ මිල උච්චාවචනය නිසා ගොවීන්ට වන හානිය වැළකීමටත්, අපේක්ෂිත අස්වැන්න නොලැබීම නිසා සිදුවන හානිය වැළැකීමටත් ආදායම රක්ෂණය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා Area yield Index (කලාපයකට වගාවෙන් ලබාගත හැකි ධාරිතාව) භාවිතා කරනවා.

ලංකාව වසර 2500 ක් තිස්සේ රැකගෙන පැමිණි කෘෂිකර්මාන්තය රැක ගැනීම අප කාගේත් වගකීමක් වෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මෙහෙවර (Mission) වන්නේ කෘෂිකාර්මික රක්ෂණය හා ආරක්ෂණය සැලසීම සඳහා සාමූහික ප්‍රයත්නයක් හා අදාළ ආයතනයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි විශිෂ්ට සේවාවක් සැපයීමයි. එහි දර්ශනය වන්නේ (Vision) දේශීය කෘෂිකර්මයේ අග්‍රගන්‍ය රැකවලාවීම මෙන් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂි රක්ෂණ ආයතනය වීමයි. මේ සඳහා ඇප කැපවීම අප කාගේත් යුතුකමයි.

නිශානි ලසිතා හේරත් බන්නැහැක 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.