දේශගුණික වෙනසට ගැළපෙන ගොවිතැන් ක්‍රමයක් | සිළුමිණ

දේශගුණික වෙනසට ගැළපෙන ගොවිතැන් ක්‍රමයක්

 ඒ ඒ කාලවල දේශගුණ විචල්‍යතාවලට අනුහුරුව ගොවිකාල චර්යාද වෙනස් වෙමින් පැවතිණි. මෙහි 1 වැනි රූපයෙන් පෙන්නුම් කරණුයේ වර්ෂ 1974 දී නිමකළ අධ්‍යයනයක් සඳහා වර්ෂ 1951 සිට 1956 දක්වා වූ පස් අවුරුදු කාලයකදී අනුරාධපුර දිස්ත්‍රික්කය මාසිකව මාස 60ක් තිස්සේ ලැබූ වර්ෂාපතන ප්‍රමාණ දක්වන රේඛා සටහනකි. එහි රතු පාට කවයෙන් දක්වා ඇත්තේ සාමාන්‍යයෙන් මාසයකදී වාෂ්පීකරණය විය හැකි මිමි. 150 (අඟල් 6) දනවන්නකි. මේ අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල මෙන්ම අප්‍රේල් යන මාසවලදී මාසික වාෂ්පීකරණ ඉම වන මිමි. 150 ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත. සමස්තයක් වශයෙන් ගත් කළ අවුරුද්දක ඉතිරි මාස හතේ ලැබී ඇත්තේ ඉතා අඩු වර්ෂාපතනයන්ය. එයිනුත්, ජූනි මාසයේදී වැසි ලැබීම නැත.

මේ රූපසටහනෙන් ඉස්මතුවී පෙනෙන විශේෂ කරුණු තුනකි. ඉන් පළමුවැන්න අධ්‍යයනයට යොමු කොට ඇති පස් අවුරුදු කාලය තුළදී කිසියම් නියමිත මාසයකදී සෑම අවුරුද්දේදීම එක හා සමාන වැසි නොලැබීමය. උදාහරණයක් වශයෙන් අවුරුද්දකදී වැඩිම වර්ෂාපතනයක් ලැබෙතැයි සැලැකෙන දෙසැම්බර් මාසයේදී 1954 දී ලැබී ඇත්තේ මිමි. 300 කට වැඩි වර්ෂාපතනයක් වුවද 1951 දී එම මාසයේදීම ලබා ඇත්තේ මිමි. 200 කි. තවද 1952 දී එම මාසයේදීද ලැබී ඇත්තේ මිමි. 100 කි. වර්ෂ 1955 දී ලැබී ඇත්තේ මිමි. 65 ක් පමණි. මේ පස් අවුරුදු කාලයේදී වූ සෙසු මාසයේදීත් විශේෂයෙන්ම අප්‍රේල් සහ ඔක්තෝබර් මාසයෙත් මෙවැනි වෙනස් කම් සිදුවී ඇති බැවින් 1 වැනි රූපයෙන් පෙනේ. කෙටියෙන් කිවහොත් එක එක අවුරුද්දේදී එක එක මාසයේදී ලබා ඇත්තේ විවිධ වර්ෂාපතනයන්ය.

එවැනි ආකූල ව්‍යාකූල වර්ෂාපතන තත්ත්ව යටතේ වැඩි අඩුවැඩි කාල පරිච්ඡේද පෙන්නුම් කිරීම දෙවැනි වැදගත් කරුණය. මෙහි 1 වැනි රූපයේ රතු කවයේ ඇතුළත මේ අඩු වර්ෂාපතන ඇති මාස පැහැදිලිවම පෙන්නුම් කෙරේ. පෙබරවාරි, මැයි, ජූනි, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මුල් භාගයේදී මේ තත්ත්වය පැහැදිලිව පෙන්වයි.

තුන්වැනි වැදගත් කරුණ වනුයේ මෙහි 1 වැනි රූපයෙහිදී එක එල්ලේම පැහැදිලිව නොපෙනුනත් පැරැණි වාරි ඉංජිනේරුවන් විසින් වැඩි වර්ෂාව ලැබෙන මාසවලින් ලැබෙන ජලය රතු කවය ඇතුළත ඇති අඩු හෝ වැඩි නොලැබෙන කාලයේදී අවශ්‍ය ජලය රඳවා තබාගැනීම සඳහා හැකිතරම් කුඩා වැව් බැද දැමීමය. මේ වතුර හිඟ මාසවලදී රඳවා තබාගෙන ඇති ජලය ඉතා අර පරිස්සමෙන් යුතුව භාවිතා කිරීමේ ක්‍රමද එම ඉංජිනේරුවන් විසින් විකාශය කරදී තිබේ. වැව්වලට දරාගත නොහැකි වතුර පිට කිරීමට වාන්ද, ඇති සීමිත වැව් වතුර අරපරිස්සමෙන් යුතුව කුඹුරුවලට මුදා හැරීමට හොරොව් නිර්මාණය කර තිබීම ඊට දිය හැකි උදාහරණ දෙකක් පමණි.

මෙහි 2 වැනි රූපයෙන් පෙන්නුම් කෙරෙනුයේ ඉහත දැක්වූ නොයෙකුත් වර්ෂාපතන විපර්යාසවලට අනුහුරු ගොවිතැන් රටාවක්ද විකාශය කරගෙන තිබීමය. වර්ෂ 2015 සහ 2016 යන අවුරුදුවල මෙන් නියං ඇති නොවූ සෙසු අවුරුදු වලදී, සාමාන්‍යයෙන් බලාපොරොත්තු පරිදි වැසි ඵල ඇතිවූ අවුරුදුවලදී, ඔක්තෝබර් මාසයේ මැද බාගයෙන් මාස් කන්නයේ කුඹුරු සැකසීම අරඹා දෙසැම්බර් මාසය අවසාන වන විට කුඹුරු වැපිරීම නිමා කෙරිණි. ඒ කුඹුරුවල අස්වැන්න කපා අහුරාගැනීම පෙබරවාරි මැද සිට අප්‍රේල් මැද දක්වාම කර ඇත. වැව්වල ඉතුරු කරගත් වතුරත් මාර්තු මාසයේ අග හරියේදීත් අප්‍රේල් මාසයේ මුල හරියේදීත් සීමිත වැසි ලැබී වැව්වල වතුර වැඩි වුවහොත් ඊළඟ මැයි මාසයේදී සීමිතව යල් කුඹුරු වැපිරීම කර ඇත. එහි අස්වැන්න නෙළීම අගෝස්තු මාසය තුළදී සිදු කෙරිණි.

මාස් සහ යල් කන්නවලදී කුඹුරු ගොවිතැන් කිරීමට අමතරව මාස් සහ යල් හේන්ද ගොවිතැන්කළ කාලවලදී ගොවි කාල චර්යා මීට වඩා සංකීර්ණව පැවතිණි. අද හේන් ගොවිතැනට වඩා ගොඩ භෝග වගාව මෙන්ම ගෙවතු වගාවටද වැඩි අවධාරණයක් පවතින බැවින් ඒ වගා සංකීර්ණත්වයෙහි විශාල වෙනසක් සිදුවී නොමැත.

අද වෙමින් පවත්නා දේශගුණ විපර්යාසයට අනුහුරු වීමේදී ඉහත සඳහන් ගොවිකාල චර්යාවේද වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. ඉහත දැක්වූ ගොවි කාල චර්යාවේදී මෙන්ම ඉඩම් සැකසීමට දීර්ඝ කාලයක් ගතකළ නොහැකි වෙන අතර වැව් ජලය වඩාත් සකසුරුවමින් කළ යුතුව තිබේ. එමෙන්ම අවශ්‍ය ජල ප්‍රමාණ කුඩා ගම් වැව්වල වැඩි වැඩියෙන් රඳවා ගැනීම සඳහා දශක ගණනාවක් තිස්සේම පිරෙමින් පැවති රොන්මඩ ඉවතට ඇද දූව ලෙස ගොඩගසා වැව්වල ජලධාරිතා වැඩිකළ යුතුය.

වැඩි කල් නොයවාම ඉදිරි අවුරුදු කීප‍යේදී වෙමින් පවත්නා දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දී සිටීමට යුහුසුළු ක්‍රියාත්මක වීම වැව් ජලය ඇතුළු සියලු භෞතික සම්පත් පාලනය කරන / මෙහෙයවන අයත් සම්පත් පරිහරණය කරන ගොවීනුත් එක්වී අප්‍රමාදව ක්‍රියා කළ යුතුමය. ඊට සුදුසු නව ගොවි කාල චර්යාවක්ද විකාශය කරගත යුතුය.

ආචාර්ය එම්.යූ.ඒ.තෙන්නකෝන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.