නාග්පූර්හි නොකවුට් වුණේ ඇයි? | සිළුමිණ

නාග්පූර්හි නොකවුට් වුණේ ඇයි?

 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ අායු කාලය දවස් හතරයි. ප්‍රතිඵලය ඉන්දියාවට ඓතිහාසික ජයක් හා ශ්‍රී ලංකාවට දැවැන්තම ටෙස්ට් පරාජය හිමි වීමයි. ඉනිමකින් හා ලකුණු 239කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ලැබූ ඒ ජය, තම විශාලතම ටෙස්ට් ජයග්‍රහණය සම කිරීමකුත් වුණා. සහභාගි වූ රාජ්‍යයන් දෙකම එක කාසියේ දෙපැත්ත වගේ වාර්තා ලියාගැනීමත් ඒක අතකින් විශේෂිතයි. මේ පරාජයට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ඇයි? යළි නිසි රිද්මය සොයාගැනීමට නම් ශ්‍රී ලංකාව සිදු කළ යුත්තේ කුමක්ද? චන්දික හතුරුසිංහ අැවිත් කණ්ඩායම බාර ගත්තම ඔක්කොම හරියයිද? අප මේ ලිපිය මඟින් සාකච්ඡාවට බඳුන් කරන්නේ ඒ සම්බන්ධවයි.

‘අපේ පිතිකරුවෝ මේ පරාජය ගැන හුඟාක් ලජ්ජා වෙන්න ඕනෑ. මම දන්නෙ නෑ මේ ලොකු ලකුණු ගානකින් ඒ වගේම ඉනිමකින් ඇයි අපි පරාජය වුණේ කියලා. ඇන්ජලෝ වගේ පිතිකරුවකුට මෙතැනදී හුඟාක් දේවල් කරන්න තිබුණා.’ තරග පරාජයෙන් පසු අන්තර්වාර පුහුණුකරු වශයෙන් කටයුතු කරන නික් පොතාස් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණා.

තිලාන් සමරවීර ශ්‍රී ලංකා පිතිකරුගේ පුහුණුකරු. ඔහු අන්තර්ජාතික මාධ්‍ය වෙත පරාජය සම්බන්ධයෙන් කතා කරමින් ඊට පිළිතුරක් දී තිබුණේ මෙහෙමයි...

‘ඇත්තටම මම ඇන්ජි එක්ක කතා කළා. ඔහු ඉන්නේ දැඩි පීඩනයක. පසුගිය අවුරුදු දෙකේදීම ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය විස්සට අඩුයි. ඒ ගැන ඇන්ජි ඉන්නේ කම්පනයෙන්. ඇන්ජලෝ කියන්නේ ටෙස්ට් තරග 71කට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු අංක හතර ස්ථානයට දැනට ඉන්න හොඳම තේරීමක්. මම ඇන්ජිට කිව්වා නිදහසේ තමුන්ගේ සැලැස්ම අනුව ක්‍රීඩා කරන්න කියලා.’

‘ඔබට ලොකු දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි ඒවා දවස අවසන් වෙද්දී ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ. ක්‍රීඩකයෙක්ගේ ලකුණු තමයි ධනය; එහෙම නැත් නම් කඩුලු; එහෙමත් නැත්නම් උඩපන්දු. ඒ ඕනෑම ආකාරයකින් ඔබට ඒ ධනය උපයාගන්න පුළුවන්. එහෙත් ඔබ ලකුණු උපයාගන්නේ නැත් නම්, කඩුලු දවාගන්නේ නැත් නම් ඒකෙ දුර්විපාකවලට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකෙ දෙකක් නෑ. ඒක තමයි වෘත්තීය ක්‍රීඩාවේ ස්වභාවය.’ නික් පොතාස් පවසන්න අමතක කරලා තිබුණේ නැහැ.

පොතාස්ට එහෙම කියන්න පැහැදිලිවම ඔහු නොසන්සුන් කරවන නිමිත්තක් තිබෙනවා. ඒ තමයි ඔහුගේ පුහුණුකාර අනාගතය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බව. ඒ වගේ අවස්ථාවක මිනිස්සු ඇත්ත කතා කරනවා. ඇත්තටම කියනවා නම් පරාජය කියන්නේ පිතෘවයක් නැති අවජාතක දරුවෙක්. ඒ නිසා පොතාස් මෙහෙම කතා කරන-එක ස්වාභාවිකයි. අනෙක් අතින් බලද්දී ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට මුහුණ දීපු ඊඩ්න් ගාර්ඩ්න් පිටියේදී ජාම ගලවාගත්තේ ඉන්දියාවට සිය උඩු ඇඳුම ගලවලා දීලා. අපි එහෙම කියන්නෙ ඒ තරගයේදී ශ්‍රී ලංකාවෙ සායම බේරුණේ කළුවර සළුව නිසා. කාලගුණය අයහපත් නොවුණා නම්, අන්තිම දවසේ තරගය ඉක්මනින්න නොනැවැත්තුවා නම් අපි නිසැකවම ඒ තරගය පරාජය වෙනවා. අම්මට මුවා වෙනවා වගේ අඳුරු සේලයට මුවා වෙලා ආලෝක මීටර්වල පිහිටෙන් තරගය ගලවාගත්තු අපි එක්ක එදා ඉන්දියාව උරණ වුණා. ඒ වාඩුව ගන්නත් එක්ක විරාත් කෝලිගෙ ඉන්දියාව නාග්පූර්හිදී පිඹුරො ඇල්ලුවා. ඒ පිඹුරා කොච්චර දිගද කියනවා නම්: ඔවුන් තව එක මොහොතක් ඉක්මන් වුණා නම් ඉන්දියාව ලබපු ඓතිහාසික ටෙස්ට් ජයට හිමිකම් කියනවා. ඒත් අන්තිමට ඔවුන්ට හැකි වුණේ ඔවුන්ගෙ හොඳම ටෙස්ට් ජය එක්ක මේ ලබපු ජය සමාන කරගන්නයි. අඳුරු සළුවෙ වාඩුව ගැනීම කොයිතරම් ප්‍රබලද කියන කාරණය මෙතැනදි අපට පේනවා.

‘සඳීර සමරවික්‍රම ගැන මොකද කියන්නෙ?’ ඉන්දීය මාධ්‍යවේදියෙක් තිලාන් සමරවීරගෙන් විමසලා තිබුණා. ‘මම ඔහු සමඟත් කතා කළා. මම ඔහුට මාවන්ගේ කතාව කිව්වා. මාවන් කියන්නේ තමුන්ගෙ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරද්දීම බින්දු පහක් ගහපු ක්‍රීඩකයෙක්. ඒත් එයා තමන්ගේ අධිෂ්ඨානෙ අත්ඇරගත්තේ නෑ. ද්විත්ව ශතක පහක් ගහලයි නතර කළේ කියලා මම සඳීරට කිව්වා. ඔහු තවමත් ළාබාල නිසා සංවේදී ක්‍රීඩකයෙක්. ඉදිරියේදී හැමදේටම සාර්ථකව මුහුණදෙයි.’ තිලාන් සමරවීර කියලා තිබුණා. තිලාන් වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ, ‘ඇත්තටම කියනවා නම් සඳීර නාග්පූර් දෙවැනි ඉනිමේ ක්‍රීඩා කළා වගේ දේවල් අපි හැමෝටම තරුණ කාලෙ වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්’කියලයි.

ඒ විධිහට බලද්දී ශ්‍රී ලංකාව ඇත්තටම මේ ලබන ක්‍රිකට් පරාජයන් සාමාන්‍යයද? අපට එහෙම කියලා සියල්ල අමතක කරන්න පුළුවන්ද? මේ තරම් මුදල් වියපැහැදම් කරලා අපි වැටිලා ඉන්න තත්ත්වය ගැන ඒ විධිහට සෑහීමකට පත් විය හැකිද? ඒ ගැන අපි කතා කළ යුතුයි. ඒ ගැන කතා කරද්දී වැරැද්ද තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතේද? එහෙමත් නැත් නම් පරිපාලකයන් අතේද කියන ප්‍රශ්නය කරළියට එනවා. ඇතැමුන් චෝදනා කරන්නෙම ක්‍රිකට් පරිපාලනය අවුල් කියලයි. ඒ නිසා මේ පරාජයන්ට මුහුණ දෙන්න වෙන බව ඔවුන් චෝදනා කරනවා. එතනත් යම්කිසි සාධාරණයක් ගැන අපට හිතන්න වෙනවා. තිලංග සුමතිපාල මහතාට කලක් ජාත්‍යන්තරය හැඳින්වූයේ ‘පුංචි ඩැල්මියා’ කියලයි. ඩැල්මියා පසුගියදා මියගියා. එතැනදී තිලංග සුමතිපාල සභාපතිවරයා කතාවක් පවත්වමින් ප්‍රකාශ කරලා තිබුණා 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි කරගන්න උපකාර කළ අය අතර ඩැල්මියා විශේෂයි කියලා. ඒ කියන්නේ ඩැල්මියා එසේ මෙසේ පරිපාලකයෙක් නොව බොහොම ඉහළ සංවිධාන ශක්තියකින් හෙබි නිලධාරියෙක් වීම නිසයි. එවකට ජාත්‍යන්තරය ඊට සමගාමිව දක්ෂතා තිබුණු පරිපාලකයෙක් හැටියට තිලංග සුමතිපාල මහතා හැඳින්වුවා. ඒත් දැන් තත්ත්වය ඊට වෙනස් වෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නය අප ඉදිරියේ පැන-නඟිනවා. ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක හරි-හරියට ඔට්ටු වෙන්න වත්මන් සභාපතිවරයාට තමන්ගේ දේශපාලනය එක්ක හැකියාවක් නෑ. අනෙක් කාරණය තමයි තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයේ යටතේ ඉන්න ක්‍රීඩක කණ්ඩායමේ දක්ෂතාව ජාත්‍යන්තරය ජය ගන්න තරම් ප්‍රමාණවත්ද කියන කාරණය. අපි එහෙම කියන්නේ දක්ෂතාව පිතිහරඹ හා පන්දුයැවීමේ දක්ෂතාව පමණක් නොවෙයි. ඔවුන් ප්‍රතිවාදී ක්‍රීඩකයන්, කණ්ඩායම් හඳුනාගැනීම වගේම, ඔවුන්ට එරෙහිව භාවිත කරන තාක්ෂණය, උපක්‍රම, මානසික සැලසුම් ගැනත් මෙතැනදී සිතන්න වෙනවා. එහෙම දෙයක් අපි දැන් කරනවාද? කළත් එය අන්තර්ජාතික තලයේදී ප්‍රමාණවත්ද යන්න සම්බන්ධයෙන් අප ප්‍රශ්න කළ යුතු වෙනවා.

චිත්‍රයක් හැදෙන්න ඒ චිත්‍රයේ සෑම අනුකොටසක්ම වැදගත්. එක කොටසක් අමතක කරලා අර සුන්දර චිත්‍රය අපට සර්ව සම්පූර්ණව දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම තරගයක් ජය ගන්න නම් සැලසුමක් තියෙන්න අවශ්‍යයි. ඒ සැලසුම ජය ගන්න නම් අවස්ථානුකූලව කටයුතු කළ යුතු වෙනවා. එතැනදී පළමු දේ වාසනාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාසියේ වාසිය වගේ දෙයක්. එතැනදී අපට තණතීරුවෙන් උපරිම වාසිය නෙළාගන්න අවස්ථාව උදා වෙනවා. දැන් අපි තණතීරුවේ වාසිය ගනිද්දී මුලින්ම වේග පන්දුවෙන් වාසි ගන්න යනවා කියලා හිතුවත් සිව්වැනි ඉනිම ක්‍රීඩා කරද්දී ඔවුන්ගේ දඟ පන්දුවෙ බැරි අමාරුකම්වලට මුහුණදෙන්න වෙනව නම් කළ යුත්තේ පවතින තත්ත්වයෙන් අඩුම අනතුරුදායක තත්ත්වය පිළිගන්න-එක. ඒ කියන්නේ දිවා ආහාර වන තුරු කෙසේ හෝ කඩුල්ලේ රැඳී ඉන්නවා කියලා හිතලා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කරන එක. එය ධනාත්මක බලාපොරොත්තුවක්. තරග සැලසුම් ඇතැම්විට වෙනස් කිරීමක් වෙන්නත් පුළුවන්. කොහොම හරි අවස්ථානුකූලව එයට මුහුණදීම තමයි අවශ්‍ය වන්නේ. එතැනදි නික් පොතාස්ගේ ප්‍රකාශය සමඟ යළි අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ‘කතා කළාට පමණක් වැඩක් නෑ. එදා දවසෙ හවස් වෙන කොට එය ඔප්පු කරලා පෙන්වන්න අවශ්‍යයි.’ පොතාස්ගෙ කතාව සම්පූර්ණ සත්‍යයක්. දැන් කාසියේ වාසිය දිනාගෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන්න තීරණය කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ මොකක්ද කළේ? තරග සැලසුමට අනුවද ක්‍රීඩා කළේ? ඒ ගැන සොයා බැලිය යුතුයි. ඔවුන්ට තිබුණේ ඔළුව පහත දමාගෙන හැකි තාක් වැඩි පැය ගණනක් ක්‍රීඩා කරන-එක. ජයග්‍රහණය පටන් ගන්නෙ එතැනින්. විශ්වාස පරමඥාතියා වෙයි, කියන කතාව මෙතනදී අපිට අමතක කරන්න බෑ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී එහෙම පන්දුවට පහරදීලා සතුටු වෙන්න කැමති ක්‍රීඩකයන් අවශ්‍යයි. ඔවුන් අතර ටෙස්ට් තරගයක් ගැන සැලසුමක් තියෙන්න ඕනෑ. දැන් ඉන්නේ එහෙම ක්‍රීඩකයොද? කිසිම ක්‍රීඩකයෙක් සම්පූර්ණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා කරනවද? ඔවුන්ගේ මේ පෙනෙන්න තියෙන්නේ පන්දුවාර විස්ස හා පන්දුවාර පනහ තරගවල අන්තර්-මධ්‍ය අවස්ථාවක් නොවන්නේද? ඒ ගැන සිතා බැලිය යුතුයි.

අපි එහෙම කියන්නෙ දැන් තිලාන් සමරවීරලා, හෂාන් තිලකරත්නලා, අසංක ගුරුසිංහලා වගේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කණ්ඩායම තුළ කණ්ඩායම තුළ දකින්න නැති නිසයි. නැත්තේ ඇයි? අරවින්ද ද සිල්වලා, රොෂාන් මහානාමලා, සනත් ජයසූරියලා, රොමේෂ් කළුවිතාරණලා නොදකින්නේ ඇයි? මේ සියල්ලට හේතුව වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ ක්‍රීඩකයන් අතර අයිපීඑල් වැනි කෙටිකාලීන තරග සටහන්වලට වැඩි වශයෙන් නැඹුරුතාවක් පවතින බව නොවේද? ආරම්භක පිතිකරුවන් හැකි තාක් පන්දුව පැරණි වන තුරු කඩුල්ලේ රැඳී සිටිය යුතුය කියන මූලික නීතිය දැන් අපේ ක්‍රීඩකයන් අතින් ගිලිහිලා. පන්දු යවන්නා පන්දුවේ දාරය තබාගෙන ඇති ස්වරූපය අනුව ඔහුගේ අතින් පන්දුව නිකුත් වන ආකාරය අනුව පහරවල් එල්ල කළ යුතුය කියන මූලික කාරණා පවා අමතක වෙලා. පළමු කඩුල්ල බිඳවැටුණු පසු පිටියට එන ක්‍රීඩකයාගේ වගකීම වන්නේ හැකි තාක් පන්දු යවන්නන් වෙහෙස වන ලෙස පිටියේ රැඳී සිටීම හා ලකුණු රැස් කිරීම වගේම ඊට පසු පිටියට එන පිතිකරුවන්ට පන්දුවට පහරදීම කියන කාරණය දැන් අමතක වී ගිහින්. කණ්ඩායමක අංක තුනේ පිතිකරු කියන්නේ හුඟාක් තාක්ෂණයෙන් ඉහළ, ඉවසීම අතින් ප්‍රබල ක්‍රීඩකයෙක්ට කියන කාරණයත් අමතකයි. මේ හැම දෙයකින්ම කියවෙන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකාර්ථ නිවැරදි කළ යුතු බවයි.

ඒ සඳහා තවමත් හැමෝම ශක්තිමත් දේශීය තරග පැවැත්වීමක් ගැන කතා කරනවා. ජාත්‍යන්තරයෙදි දින පහේ තරගවලට මුහුණ දෙන්න ක්‍රීඩකයන් මෙවැනි සිව් දින තරගාවලියකට මුහුණ දෙන්න ඉඩ දිය යුතු බවයි යෝජනා වෙන්නෙ. ඇත්තට මේ දෙවල් කෙරෙන්නේ මුදල් වියදම් කරන්න තියෙන අකැමැත්තට. අපි කියන්නේ ක්‍රීඩාවන් උපයන මුදල් ක්‍රීඩාවට ආයෝජනය කළ යුතුයි කියලයි. සල්ලි නෑ කියලා දින තුනට, දෙකට දේශීය තරග සීමා කරන කොට අපට ජාත්‍යන්තර තරගවලදී හිමි වන්නේ ඔවුන් ගහන කොට අපිට බෝලය පස්සෙන් දුවන්න විතරයි. ඒ වගේම ක්‍රීඩකයන්ගේ රට පිළිබඳ හැඟීම් මීට වඩා ශක්තිමක් කළ යුතුයි. ඔවුන් නිල නොලත් ශ්‍රී ලංකා තානාපතිවරුන් බව යළිත් වරක් ඔවුන් තුළ තහවුරු කළ යුතුයි. එකී අභිමානය තමන් තුළ ඇති වන තාක් කල් නාග්පූර් ටෙස්ට් තරග අත්දැකීමෙන් අපට විතැන් වෙන්න නොලැබෙන බවයි කනගාටුවෙන් වුණත් පවසන්න වෙන්නේ.

‘හතුරුසිංහ කියන්නේ දක්ෂයෙක්ට. එයා ගාව හොඳ සැලසුම් තියෙනවා. ඒ වගේමයි තාක්ෂණික උපක්‍රම. මේ හැමදෙයක් එක්කම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට යමක් කරාවි’ තිලාන් පවසා තිබෙනවා. ඒ කියන්නේ ගිය නුවණ ඇතුන් ලවා අද්දවන්න බැරි වුණාට හතුරු ලවා අද්දවන්න පුළුවන් වෙයි කියන-එකයි. තිලාන් කියන විධිහට නම් එය පුළුවන් වෙයි. ඒත් අපි ක්‍රිකට් බලධාරීන්ට එක දෙයක් කියන්න කැමැතියි. ඒ තමයි චන්දික හතුරුසිංහ කියන්නෙ මැවුම්කරුවෙක් නොවන බව. එක අතකින් ඒකත් හරියට ඉස්කෝලෙකට ළමය බාර දීලා ඒ ළමයාගේ සකල විධ අධ්‍යාපන වගකීමක්ම ගුරුවරයාට බාර දෙනවා වගෙයි. මොකද පුහුණුකරුට කළ හැකි දෙයක්, සීමාවක් තියෙනවා. රටේ ක්‍රීඩාව ගැන ඉලක්ක හදන්න ඕනෑ බලධාරීන්. ඒක තිලංග සුමතිපාල මහතාගේ පරිපාලනයට බාර වෙනවා. එ්කට අවශ්‍ය පහසුකම් සොයන්න හැකි වෙන්නෙත් ඔහුටම තමයි. මොකද: ක්‍රිකට් කියන්නේ දැනට ලංකාවේ තියෙන වඩා වෘත්තීය ක්‍රීඩාව, හොඳටම ගෙවන ක්‍රීඩාව නිසා.

මනෝ වෛද්‍යවරයෙක්ගේ සේවය ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වේවිද? බොහෝ දෙනෙක් විමසන කාරණය පසුගිය නාග්පූර් තරග පරාජයෙන් පසු ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යවේදියෙක් පිතකරණ පුහුණුකරුගෙන් විමසලා තිබුණා. ‘ඔබ හිතනවද එහෙම අවශ්‍යයි කියලා. හැබැයි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තරමක් වෙනස්. එහෙම සේවයක් ලබාදෙනවා නම් ඒක අහන්න, ඒ අනුව ක්‍රියාකරන්න ක්‍රීඩකයෝ කටයුතු කරාවි. එහෙම නැත් නම් වෙන කාගෙන් හෝ ලැබෙන උපදේශයකින් වුණත් අපේ ක්‍රීඩකයන් යථා ස්වරූපෙයන් ක්‍රීඩා කරන්න ඉඩ-කඩ තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන බලමු,’ කියලා ඔහු උත්තර දීලා තියෙනවා. කොහොම වුණත් අපේ ක්‍රීඩකයන්ට මානසික ස්ථාවරභාවය පිළිබඳ පාඩමක් කියලා දුන්නා කියලා වරදක් වෙන්නේ නෑ. ඒකටත් ලෝකයේ ඉන්න ඉස්තරම්ම මානසික පුහුණුකරුවෙක්ගෙන් නොවෙයි; සාමාන්‍යයෙන් අපේ තියෙන සම්පත් ඒ වෙනුවෙන් යොදාගන්න ක්‍රිකට් පරිපාලනය උත්සුක වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙතැනදි තවත් එක දෙයක් කිව යුතුයි. ඒ තමයි ලොව පහළ වූ හොඳම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් කර තිබූ ප්‍රකාශයක්. ‘දැනට ක්‍රීඩා කරන වඩාත් සාර්ථකම දඟපන්දු යවන්නා රවිචන්ද්‍ර අශ්වින්. ඔහු කෙටිම කාලයකින් ටෙස්ට් කඩුලු 300 වාර්තාව තමන් සතු කරගෙන තියෙන්නෙ ඒ නිසයි.’ මුරලි ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා. සමස්තයක් වශයෙන් ඉන්දියාව ලෝකයේ අංක එක වුණාට අපිට නම් ඉතිහාසය පුරා ඉන්දියාව අසල්වැසි ඉන්දියාවයි. කාලයකට පෙර ශ්‍රී ලංකාවෙ දුලිප් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් ශතක රැස් කරමින් ඉන්දියාවේදී ටෙස්ට් ජයක් ළඟටම පැමිණියේ අවම පහසුකම් මැදයි. ඒ කියන කාරණයත් මෙතැනදී අපට අමතක නැති බව පමණක් කිව යුතුයි. සැලසුම් හදන හැම කෙනෙක්ම එදා ඉඳලා මේ වෙද්දී ක්‍රීඩාව වෙනස් වෙලා තියෙන ස්වභාවය ගැනත්, අනෙක් රටවලට සාපෙක්ෂව අප ගත යුතු ක්‍රියාමාර්ගත් සිතා බලා ක්‍රියා කළ යුතුයි.

කසුන් ඉරුගල්බණ්ඩාර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.