ලෝකයෙන් එතෙර වීම සහ ධර්ම ස්වභාවය | සිළුමිණ

ලෝකයෙන් එතෙර වීම සහ ධර්ම ස්වභාවය

 ලෝකයෙන් එතෙර වීම සඳහා කවර වූ මාර්ගයක් උපනිශ්‍රය වේ ද යන්න බෞද්ධ දර්ශනය තුළ මනාව විග්‍රහ කොට ඇත. ශාස්වත හා උච්ජේද දෘෂ්ටිවලින් බැහැරව මධ්‍යම වූ ප්‍රතිපදාවන් ඔස්සේ මෙම මාර්ගය පෙන්වා දී ඇත. ලෝකයේ සාමාන්‍ය ස්වභාවය නම් සත්‍යය නිවැරදි ලෙස තේරුම් ගැනීම පසෙකලා විවිධ වූ දෘෂ්ටි තුළ පිහිටා කටයුතු කිරීම ය. එක් වරක් දැඩි ලෙස යම් දෘෂ්ටියක් ග්‍රහණය කළේ නම් එම දෘෂ්ටිය අතහැරීම පහසු නොවේ. ඇතැම් පුද්ගලයින්ට සත්‍යය කෙතරම් පහදා දුන්න ද ඔවුහු තමන් පූර්වයෙන් ගත් දෘෂ්ටිය බැහැර කොට සත්‍යය තේරුම් ගැනීමට මැළි වෙති. මේ නිසාම ඔවුහූ ලෝකයෙන් එතරෙ නොවී ලෝකය තුළ නැවත නැවත ගමන් කිරීමේ හේතු සම්පාදනය කොටගනිති. සියල්ල ඇත යනුවෙන් ගැනීම එක් අන්තයකි. සියල්ල නැත යනුවෙන් ගැනීම තවත් අන්තයකි. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක බැහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කළහ. එම මධ්‍යම ප්‍රතිපදාව නම් පටිච්ච සමුප්පාද ධර්මයයි. හේතුඵල ධර්මයට අනුව ලෝක ස්වභාවය මෙහි දී පෙන්වා දී ඇත. (පටිච්චසමුප්පාදාදී ධර්ම පිළිබඳ ඉදිරි ලිපි මගින් සාකච්ඡා කෙරේ.)

දෘෂ්ටි

විමුක්තිය උදෙසා විග්‍රහ කළ ධර්මය අප තේරුම් ගත යුත්තේ විමුක්තිය ලැබීම පිණිස ය. සත්ත්ව සන්තානයේ ස්වභාවය නම් නිරතුරුව ප්‍රිය ආරම්මණයේ ඇලීම සහ අප්‍රිය අමනාප ආරම්මණයන් සමඟ ගැටීම ය. අරමුණුවල සත්‍යය ස්වභාවය තේරුම් ගැනීම පසෙකලා මෙසේ ඇලීම් ගැටීම් ඔස්සේ මනස ගමන් කරන හෙයින් ඒ ඒ මොහොතේ සිත ඇසුරු කරන ආරම්මණයන්ගේ සත්‍යය ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි වේ. සිහිය හෙවත් සතිය පවත්වා ගැනීමට නොහැකි වීම මෙයට හේතුව යි.

ඇතැම් විට නිවන් දැකීමේ අදහසින් යුක්තව පිළිවෙත් පූරණය කරන පුද්ගලයින් විමුක්තිය උදෙසා දේශිත ධර්මය ඉගෙන ගන්නා හෝ ශ්‍රවණය කරන අතර එම ධර්මයන් ද තම දෘෂ්ටියට අනුගත කරගැනීමට මහත් උත්සහයක් දරන බව පෙනේ. සංක්‍ෂිප්තයෙන් පවසන්නේ නම් විමුක්තිය උදෙසා දේශිත ධර්මය ද දැඩි ලෙස ග්‍රහණය කොටගෙන තිබේ. කරුණු මෙසේ හෙයින් ලෝකයෙන් එතෙර වීම සහ ධර්ම ස්වභාවයන් පිළිබඳ අප නැවත නැවත මනා සිහියෙන් යුක්තව දෘෂ්ටිවලට හසුනොවී සාකච්ඡා කළ යුතු ය.

ධර්ම ස්වභාවය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ධර්මතාවයන් යනු හේතුප්‍රත්‍යයන්ට අනුරූපීව පවත්නා ස්වභාවයන් වේ. නිදසුනක් ලෙස දක්වන්නේ නම් පඨවි නමින් හඳුන්වන ධර්මයේ ස්වභාවය නම් තද ගතියෙන් යුක්ත වීම ය. එය කවුරුන් විසින් හෝ උපදවන ලද්දක් හෝ නිර්මාණය කරන දෙයක් නොවන බව තේරුම් ගත යුතු ය.

ධර්මය

මේ අකාරයෙන් ම අප ධර්මය ලෙස දක්වන දේ තුළ ඒ ඒ දෙයට සුවිශේෂි වන ස්වභාවයක් තිබේ. ධර්ම ස්වභාවය යනු එම ලක්‍ෂණය යි. තවත් වරෙක ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන යනුවෙන් ද මෙම ස්වභාවයන් විග්‍රහ කෙර්. (ඒ පිළිබඳ පසුව සාකච්ඡා කෙරේ.) ධර්මයෝ ඔවුනොවුන්ගේ ස්ව ලක්‍ෂණයන්ට අනුරූපීව හැසිරෙති. ඒ ධර්මයන්ට බලපෑම් කිරීමට කිසිවෙකුට ද නොහැකි ය. අප විසින් ප්‍රථමයෙන් ම අවබෝධ කොටගත යුත්තේ මෙම ස්වභාවය යි. ලෝකයෙන් එතෙර වීම පිණිස මාර්ගය දේශනා කළ බුදුරජාණන් වහන්සේ පවා මෙම ධර්ම ස්වභාවයට යටත් වේ. ඒ පිළිබඳ කරුණු වටහා ගැනීමට පහත සූත්‍ර පාඨය උපකාරී වේ.

‘‘.....උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා, තං තථාගතො අභිසම්බුජ්ඣති, අභිසමෙති, අභිසම්බුජ්ක්‍ධිත්‍වා අභිසමෙත්‍වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති, පස්සථාති චාහ.....’’

(සංයුත්ත නිකාය, අභිසමය සංයුත්තය, පච්චය පච්චයුප්පන්න සූත්‍රය, 40 පිටු.

ස්වභාවය

මෙම පාඨයෙන් විග්‍රහ වනුයේ බුදුරදුන් ලොව උපන් කල්හිත් නූපන් කල්හිත් මේ දේශනා කරන ධර්මය ධර්ම නියාමයක් ධර්ම ස්වභාවයක් වන බව යි. පටිච්චසමුපාදය යනු එය යි. බුදුරදුන් සිදුකළේ එම ස්වභාවය මනාව අවබෝධ කොට ලෝකයට දේශනා කිරීම ය. විවරණය කිරීම ය. මෙයින් තේරුම් ගත යුත්තේ බුදුරදුන් ලොව කිසිවක් නිර්මාණය කළේ හෝ වෙනස් කිරීමක් සිදු නොකළ බව ය. ලෝකයේ පවත්නා ස්වභාවය ඒ අයුරින් ම අවබෝධ කිරීමක් පමණක් සිදු කොට ඇත. බුදුරජාණන් වහන්සේලා උපන් කල්හි සහ නූපන් කල්හි එම ස්වභාවය ඒ අයුරින් ම පවත්නේ ය, ධර්ම නියාමයක් ය යනුවෙන් සිදු කළ ප්‍රකාශයෙන් ලෝකයේ පැවැත්මට හා ධර්මයන්ගේ ස්වභාවයන්ට බුදුරදුන් කිසිවක් සිදු නොකළ බව තේරුම් ගත යුතු ය. එසේ සිදු කිරීමට බුදුරදුන්ට ද හැකියාවක් නොමැත. නිදසුනක් ලෙස මෙසේ තේරුම් ගත යුතු ය. චතුරාර්ය සත්‍යය දේශනයේ දුක පිළිබඳ විග්‍රහ කිරීමේ දී ව්‍යාධිය හෙවත් ලෙඩ වීම දුකක් වශයෙන් දක්වා ඇත. ලෝකයේ කිසිවකුට ද ලෙඩවීම සැපයක් යැයි පැවසිය නොහැක. එසේ ම රෝගයන්ට බදුන් වීම සැපයක් වශයෙන් වෙනස් කිරීමට කිසිවකුට ද නොහැක. කළ හැකි එක ම දෙය නම් ලෙඩවීම දුකක් වශයෙන් අවබෝධ කර ගැනීම පමණි. ලෝකයේ හෝ ධර්මයන්ගේ ස්වභාවය අප තේරුම් ගැනීමට මේ දක්වන ලද නිදසුන නුවණින් කල්පනා කළ යුතු ය. එවිට ධර්ම ස්වභාවය කුමක් ද යන්න සහ අප එය අවබෝධ කළ යුත්තේ කෙසේ ද යන්න තේරුම් ගත හැකි වේ.

වැටහීම

ධර්මය ලෙස විග්‍රහ කළ බොහෝ දේ දැක්විය හැක. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ස්වභාවයන් පිළිබඳ නුවණින් කල්පනා කළහොත් ලෝකයෙන් එතෙර වීම යනු කුමක් ද යන්න වටහා ගත හැකි ය. එසේ ම ධර්මයන් පිළිබඳ අප දැක්විය යුතු ආකල්පය කෙසේ ද යන්න ද ඉන් මනාව පිළිඹිබු වේ. ස්ථිරව නොපවත්නා බව හෝ වෙනස් වීම අනිත්‍යය නම් වේ. මෙම ස්වභාවය ලෝකයේ සියලු ජීවි අජීවි වස්තූන්ට පොදු ධර්මයක් වේ. මින් වටහා ගත යුතු කරුණ නම් අප ධර්මය ලෙස විග්‍රහ කරන ස්වභාවයන් ලෝකයට අයිති බව ය. වෙනස් වීම අයත් වනුයේ ලෝකයට මිස විමුක්තියට නොවන බව තේරුම් ගත යුතු ය. විමුක්තිය ලැබීමේ අදහසින් කටයුතු කරන පුද්ගලයින් සිදු කරන විශාල වරදක් නම් ධර්මය පවා දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම ය. එහෙත් බුදුරදුන් ධර්මය දේශනා කළේ ග්‍රහණය කර ගැනීමට නොව පවත්නා ස්වභාවය තේරුම් ගෙන ලෝකයෙන් එතෙර වීමට ය. මේ ස්වභාවය අලගද්දූපම සූත්‍රයේ දක්වා ඇත.

‘‘කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නිත්ථරණත්ථාය නො ගහණත්තාය. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති.’’

(මජ්ක්ධිම නිකාය 1, ඕපම්ම වග්ගය, අලගද්දූපම සූත්‍රය, 336 පිටු.)

‘‘මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙර වීම පිණිස ය. ගැනීම පිණිස නොවේ.’’

එතෙරවීම

පහුර අප භාවිත කරනුයේ එතෙර වීම සඳහා පමණි. එය ග්‍රහණය කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. එසේම තරණය කිරීමෙන් පසුව පහුර නැවත අපට වෙන කිසිවක් සඳහා උපනිශ්‍රය නොවේ. කරුණු මෙසේ හෙයින් නියමිත කාර්යය සම්පූර්ණ වූ පසුව නැවත එයින් ප්‍රයෝජන නොමැති නම් ඒ පිළිබඳ ග්‍රහණය කිරීම වෙහෙසක් විනා සැනසීමක් නොවන බව දත යුතු ය. ධර්මය පිළිබඳව ද අප දැක්විය යුත්තේ මෙවැනි ආකල්පයන් ය. ධර්මය අවැසි වනුයේ ලෝකයෙන් එතෙර වීම සඳහා පමණි. එයින් පසු ඉන් ප්‍රයෝජනයක් නොමැත. ලෝකයෙන් එතෙර වීම පිණිස පෙන්වා දුන් ධර්මය යමෙක් දැඩි ලෙස ග්‍රහණය කර ගන්නේ නම් ඔවුනට කිසිදා ලෝකයෙන් එතෙර විය නොහැකිය. එයට හේතුව නම් ධර්මය යනු ලෝකයට අයත් දෙයකි. ලෝකයට අයත් කිසියම් හෝ දෙයක් යමෙක් දැඩිලෙස ග්‍රහණය කොට ඇත්නම් ඔහු ලෝකයෙන් එතෙර වූ කෙනකු නොව ලෝකය තුළ ම රැඳී සිටින කෙනකු බව දත යුතු ය. ඉහත නිදසුනෙන් දැක්වූ පරිදි පහුර අතනොහැර සිටීමෙන් ඔබ එතෙර නොවී ගඟ අසල ම රැඳී සිටියි. ධර්මය අල්වාගෙන සිටීමෙන් ලෝකයෙන් එතෙරට යා නොහැකිව ලොව තුළ ම රැඳී සිටියි. මෙම කරුණු දෙකින් සිදු කළ හැක්කේ එක් දෙයක් පමණි. එනම් ලෝකයෙන් එතෙර විය යුතු ය. නැතහොත් ලෝකය තුළ ම රැඳී සිටිය යුතු ය. කිසිවෙකුටත් මේ කරුණු දෙක ම එකවර සිදු කළ නොහැක. ලෝකයේ පවත්නා දේ අල්වා ගෙන සිටීමෙන් ඔබ ලෝකය තුළ ම රඳවා තබයි. විමුක්තිය ලබා ගත හැකි වන්නේ ලෝකයට අයත් දේ අල්වා නොගෙන එය අවබෝධ කිරීමෙන් පමණි. ධර්මය ද අල්වාගෙන සිටීම ලෝකය අල්වා ගෙන සිටීමකි. ධර්මය පිළිබඳ දැක්විය යුත්තේ ද මෙවැනි ආකල්පයකි. ධර්මයන් පවා බැහැර කළ යුතු ය. එසේ නම් අධර්මයන් ගැන කවර කථා ද? (ධම්මාපි පහාතබ්බා පගෙව අධම්මා)

නුවණ

කරුණු මෙසේ හෙයින් විමුක්තිය සළසා ගැනීමට ධර්මයන්ගේ ස්වභාවය සහ ඒ පිළිබඳ අප දැක්විය යුතු ආකල්පයන් පිළිබඳ මනා නුවණක් පැවතිය යුතු ය. කෙතරම් ධර්මය දැන සිටිය ද දිනපතා භාවනා කර්මස්ථානාදිය වඩමින් සිටිය ද විචක්ෂණ නුවණකින් තොරව කටයුතු කරන්නේ නම් ඔවුනට ලොව ඉක්මවා යා නොහැකි ය. ධර්මය ම පාදක කොටගෙන සිත තුළ සේ ම බාහිර සමාජය තුළ ද විවිධ දෘෂ්ටි හා බැඳි අප පමණක් නිවැරදි ධර්මය දේශනා කරන්නේ යැයි ලොවට හඬ ගා පවසමින් විවිධ කටයුතු කරමින් ලොව තුළ ම රැඳී සිටිමින් ලොවෙන් එතෙර වීමේ අපේක්ෂාව පමණක් තබා ජීවත් වන අසරණ මිනිසුන් කොතෙක් ලොව තුළ සිටී ද? අප අනුකපම්පාවෙන් මෙම ස්වභාවය පහදා දිය යුතු ය. මේ කරුණු පිළිබඳ සුලු මොහොතක් විවේක බුද්ධියන් කල්පනා කිරීමට හෝ මානසික සන්සුන් බවක් තිබිය යුතු ය. ධර්මය තුළින් ම උපදවා ගත් දෘෂ්ටි ඔස්සේ ලෝකයෙන් එතෙර වීමේ මාර්ගය ඔස්සේ තමා විසින් ම පවුරක් බැඳ ඒ තුළ සිරවී සිටින නුතන සමාජයේ බොහෝ මිනිසුන්ට ධර්මයන්ගේ මෙම ස්වභාවය පිළිබඳ කල්පනා කිරීමට හෝ අවකාශයක් ඒ සිත් තුළ පවතින්නේ ද යන්න ප්‍රශ්නාර්ථයකි. කරුණු මෙසේ හෙයින් මෙම දක්වන ලද කරුණු අනුසාරයෙන් මනා සිහියෙන් හා නුවණින් යුක්තව කල්පනා කොට ලෝකයෙන් එතෙර වීම සහ ධර්ම ස්වභාවයන්ගේ පවත්නා සත්‍ය ස්වභාවය තේරුම් ගෙන තව දුරටත් ලෝකයේ රැඳී සිටින මාර්ගයෙන් ඉවත් වීමට උත්සහ ගත යුතු ය.

ලබන සතියේ... විමුක්තිය සඳහා පූර්ණය කළ යුතු ධර්මතා

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.