අපි දැක්කේ නැහැ! | සිළුමිණ

අපි දැක්කේ නැහැ!

 

 “අපි කුමක් කරමුද?”

“අපි බොරු කියමු!”

ලක්ෂිතා ගුරු මේසය ළඟ හිටගෙන ඇසූ පැනයට පිළිතුර ලැබුණේ පන්තියේ එහා කෙළවරේ සිටිය හේමන්තගෙන්.

“ඒයි හේමන්ත. කවුද අපි කියන්නෙ....?”

“කටවහගෙන ඉන්න ම බැරි සවන්දිට අපි ගැන විග්‍රහයක් ඕන වෙලා.

“අපි කියන්නෙ අපි....!”

හඬවල් කිහිපයක් එක තැන් වුණා.

“මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි....”

අරුණි පන්තිය ඉස්සරහට ඇවිත් වැඳගෙන කෑගහලා කියනවා.

“අපි තුෂ්ණීම්භූතව බලාගෙන ඉමු...!”

“නෑ නෑ මං කියනව සර් ඇත්තට ම මං දැක්කෙ නෑ කියල...”

“එතකොට මොකද වෙන්නෙ?”

“මොනවද දරුවො තොප දුටුවේ නැත්තෙ....?”

“මේ.... මේ....”

“ඔව් මේ මේ....?”

“මෙතන ලයිට් එකක් තිබුණ කියල මං දැක්කෙ නෑ....!”

තිසර ගේ කතාව, පන්තිය පුරාම දිව්වෙ මහ හිනා හඬක් එක්කයි. විදුර පන්තිය ඉස්සරහට ඇවිත් හිටගත්තෙ දොරටුව ළඟට ගිහින් දෙපැත්තට ම ඔළුව හරවල බලලයි.

“ඇත්තට ම සහෝදරවරුනි, ඔබට සිද්ධවෙනවා මේ බොරුවේ භාෂාව හොඳින් අධ්‍යයනය කරන්න. මන්ද මිනිසුන් විසින් සාදා නිම කර ඇති මිනිසුන් විසින් ම එහා මෙහා පද්දන මේ මහා වනාන්තරයේ ඔබටත් ජීවත්වීමට උවමනා නිසා.... ඔබ බොරුවේ භාෂාව හොඳින් අධ්‍යයනය කළ යුතුයි.”

‍ලොකු අත්පොළසන් හඬක් මතු වුණා.

“එසේ නම් සහෝදරවරුනි, අපි බොරු කියමු” තිසර හඬ නැඟුවා.

“අපි බොරු ගොතමු!”

දිව්‍යා මොර දුන්නා.

“බොරු ගොතන්නට පෙර පරිසරය ආරක්ෂා සහිත දැයි බලන්න මිත්‍රවරුනි.”

කවුරුත් සිමෙන්ති පෙළොවට එබි එබී තැනින් තැනට සීරුවෙන් ගමන් කරන්ට වුණා.

“ඩෙස්ක් උඩ, පුටු උඩ, සාක්ෂි තිබෙන්නට ඉඩ ඇති බව අමතක කරන්ට එපා!”

“මේ ඇත්තමයි, මෙන්න මේ පුටුව උඩ පුංචි වීදුරු කෑල්ලක්....!”

“තව ඇති හොයමු!”

“ඇස් අසූවක්...!”

“එසේ මෙසේ පරීක්ෂාවක් නෙවෙයි....”

“මේ මේ වත්සලා අද ඇස් අසූවක් නෑ. හැරිල බලන්නකෝ ආපස්සට.... දැක්කද.... එකයි දෙකයි.... තුනයි.... නවයක් ම ඇවිත් නෑ....”

“ඒකත් හොඳයි. එතකොට ඇස් හැටදෙකයි.... ලස්සන ඉලක්කම් දෙකක්”

“ඒයි මේ මෙතන තියෙන හීනි කුඩු ගොඩ.... කොහොමද අරන් දාන්නෙ...?”

“අරන් දාන්නේ තමයි! මෙතන අර බඩා වාඩිවෙලා හිටිය නම් එහෙම. හොඳ වෙලාවට අද මිනිහ ඇවිත් නැහැ”

“මේ අහගනිල්ලා... මට හිතට ආව එක” සේපාල අලුත් කතාවකට ඇවිත්.

“හිතට ආව එක නෙවෙයි, සර් පන්තියට එන්න ඉස්සෙල්ලා මේව අස්කරන්න ඕනෙ...”

“එච්චරද ශ්‍යාමා...? එතකොට, කොහොමද? කවුද...? කොයි වෙලාවෙද? ඒවට උත්තර කෝ?”

“අනේ මට නම් තේරෙන්නෙ නෑ”

“ඉතින් ඒකනේ මං කියන එක අහන්න කිව්වෙ...”

“හා ඉතින් කියනව...”

සේපාල පටන් ගත්තා.

“විදුලි බුබුල ආලෝකයකි.

බිඳුණු පසු මහා වියවුලකි.....”

“ඒයි සේපාල බිඳුණු පසු නෙවෙයි, බින්ද පසු මහා වියවුලකි....” තිසර කෑ ගැසුවා.

“හරි එහෙම කියමු....

සිරි සිරි කුඩු ගංගාවකි

අපට නැත්තේ හිවල් ඔළුවකි....”

ගෑනු ළමයි පිරිමි ළමයි, මල් සමනල් ඔක්කෝ ම එක රොත්තට හිනාවෙන්න පටන් ගත්තා. ඒ හිනාව ටික වෙලාවක් පන්තිය පුරා ඇවිද්දා.... එළියට එහෙම යනවා නෙවෙයි.... කියල කවුරු හරි තරවටුවක් කෙරුවද කියල හිතාගන්න බෑ. හිනාව නැවතුණේ ලක්ෂිතා ගේ හඬින්.

“අපි කුමක් කරමු ද?”

ලක්ෂිතා ප්‍රශ්න කරනවා.

“අපි බොරු කියමු!”

හේමන්ත පෙර ලෙස ම විසඳුම දුන්නා.

“ආ හරි... හේමන්ත එක බොරුවක් කියනව බලන්ඩ”

“මං ඉතින්, ගණනුත් බැරි, සිංහලත් බැරි, ඉතිහාසෙට ෆේල් ලකුණු ගන්න මිනිහ නේ ලක්ෂිතා... මට ඔය වැඩේ අමාරුයි...”

“මේ අමර... බෝලෙ උඩ වීසි කරනවා වගේ ලේසි නෑ බොරු ගොතන එක...”

අමර, උමයංගී දිහා බැලුවෙ, අසරණ පුංචි දරුවකු විදියටයි. තිසර ඔහු වෙතට ළං වුණේ හිනහවෙවී... තිසර අමරගේ අතක් අල්ලා ගත්තා.

“දැන් ඊළග පියවරට... අත් වැරැද්දක් වුණත් හිතා මතා ඕනකමින් ම කරපු වැරැද්දක් වුණත් ඒක ගැන හිතල දුක්වෙන්නෙ පල් මෝඩයො. හිතන්න ඕනෙ දඬුවමෙන් බේරෙන හැටි විතරයි...”

“ඒවට තමයි බොරු කියල ජාතියක් ලෝකෙට ඇවිත් ඉන්නෙ. ඒ ජාතියට උපන්බිමක් නෑ... අදහන්න ආගමක් නෑ. හිතවත්කම් නෑ. අඳුරනකම් නෑ. නරින්ගෙන් කුලියට ගත්තු මොළේ විතරයි වැඩ කරන්නෙ....”

සේපාල වැඩි විස්තර සැපයුවේ එහෙමයි. ඒ අතරේ පන්තියේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය විපුලී ඇවිත් සේපාල ළඟ නැවතුණා.

“අද අපේ සර් ඇවිත් නැද්ද....?” විපුලී අහන්නෙ රහසෙන් ව‍ගේ.

“වෙන පන්තියක ඇති.”

“නෑ මං හිතන්නෙ අද ඇවිත් නෑ. ඇවිල්ල නම් මේ වෙනකොට මේ පැත්තෙ රවුමක් ගහලා...”

“අපේ සර් නැතිවුණාට පන්තියට එන වෙන සර් ‍කෙනෙක් ඇහැව්වොත්...?”

“සර්ල නෙවෙයි ඕවා හොයන්නේ ටීචර්ලා.”

“හරි ඉතින් කවුරුහරි ඇහැව්වොත්....?”

“අපි ‍‍බොරු කියමු!”

හේමන්ත නැවතත් පන්තිය හිනැස්සුවා.

“මෙන්න මෙහෙමයි...!”

“සර් හරි ටීචර් හරි කවුරු හරි එනවා. අපි අපේ පාඩුවෙ පොත් දිග ඇරගන්නවා. අපි ඉන්නෙ පොත් දිහා බලාගෙන....”

“ආ ළමයි කෝ මේ පන්තියෙ බල්බ් එක...?” සර් අහන්නෙ පුදුමවෙලා. එතකොට අපි....?”

“ඔව්, හේමන්ත එතකොට අපි?”

කවුදෝ කෑ ගැහැව්වා.

“අපි කියනව බල්බ් එකක්....? අපි උඩ බලනව... අපිට මතක නෑනේ සර් බල්බ් එකක් තිබුණා කියල....”

එතකොට සර් අහනවා “ඔය බිත්තියෙ අල්ලල තියෙන ස්විච් එක මොකක්ද එහෙනම් කියල....”

හීන් හිනාවක හඬක් මතුවෙලා නැති වුණා.

“ඒක තමයි... දවල්ට කළුවර නැති නිසා ලයිට් දාන්න ඕනෙ නෑ නේ. ස්විච් එක විතරක් හයි කරලා ඇති...!”

හීන් හිනාව මහ හිනාවක් වුණා.

ඒ මහ හිනාව ආයෙම හීන් හිනාවක් වෙලා අවසන් හුස්ම පහතට දැම්මට පස්සෙ, ලක්ෂිතා මුල් ප්‍රශ්නෙ අරගෙන පන්තියෙ මැදට ආවා.

“අපි කුමක් කරමුද?”

“අපි බොරු කියමු!”

හේමන්ත සද්දෙට කිව්වා.

“අපි කට්ටිය සල්ලි එකතුකරලා අලුත් බල්බ් එකක් ගෙනත් හෙට උදේට හයි කර ගනිමු”

ශ්‍යාමාගෙයි ඒ සොයා ගැනීම. සේපාල ශ්‍යාමා දිහා බලාගෙන හිටියා.

“ඇයි?”

ශ්‍යාමා අහනවා.

“නෑ... ඇත්තට ම අපේ සෙවීම්, උපායමාර්ග, නිරීක්ෂණ මේ ඔක්කෝම මුළුමනින් ම අත්හරින තැනදි තමයි ආලෝකය මතුවෙන්නෙ.”

සේපාල කිව්වා.

“ඒ තමයි සේපාල අවබෝධය!”

ලක්ෂිතා කිව්වේ බොහෝම සන්සුන්ව.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.