නව කති­කාව 8 | සිළුමිණ

නව කති­කාව 8

සංස්කෘත සාහිත්‍යයේ කාව්‍ය විශේෂ හතරක් ඇති බව පෙර සඳහන් කරන ලදී. ඒවා නම් පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය සහ මිශ්‍ර හෙවත් චම්පු කාව්‍යයයි. ඉන් බැහැර ව මේ වනවිට ගේය කාව්‍ය නම් කාව්‍ය විශේෂයක් ද ඇති බව වර්තමාන පිළිගැනීමයි. ගේය කාව්‍ය යනු ගැයීම සඳහාම ලියැවුණු කාව්‍යයයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගීතයක් යනු තනුවකට අනුව ගැයෙන වචන සමූහයක් ලෙස ගැනේ. මෙයට ඉංග්‍රීසියෙන් යෙදෙන පදය lyric යන්නයි. පුරාතන ග්‍රීක සාහිත්‍යයේ මේ පදය යෙදුණේ භාව ප්‍රකාශන යන්න සඳහා ය. මේ භාව ප්‍රකාශන lyre නමැති සංගීත භාණ්ඩයක් වයමින් ඒ අනුව ගැයිය හැකි ඒවා විය යුතු වූ අතර අනිවාර්ය කොන්දේසිය නම් ඒවා පෞද්ගලික සහ භාවමය හැඟීම් ප්‍රකාශනය කෙරෙන නිර්මාණ විය යුතු බවයි.

පුරාතන සංස්කෘත සාහිත්‍යයේ lyric නමැති කාව්‍ය හෝ පද්‍ය හෝ නොතිබුණු බව ප්‍රකට කරුණකි’යි පූනේහි ඩෙකෑන් පශ්චාත් උපාධි ආයතනයේ සිව් මාසික ප්‍රකාශනයේ 1960 පළමු කාර්තුවේ බුලටිනයට සපයන පර්යේෂණ පත්‍රිකාවක් මගින් ආචාර්ය සිබානි දාස්ගුප්ත පෙන්වා දෙයි. එය ග්‍රීක සංකල්පයකි. වර්ග කිරීම අර්ථ දැක්වීම ඒ සංකල්පවලින් උපුටා ගත් ඒවා ය.

ඒ අනුව භාරතීය ගේය සාහිත්‍යයට පැරණි ඉතිහාසයක් නොමැත. lyric එන්නේ ප්ලේටෝගේ (ක්‍රි.පූ 3-4 සියවස්) සාහිත්‍ය කෘති වර්ගීකරණයේ ය. එය lyre යන්නෙන් බිඳී ආවක් වන අතර එම වර්ගීකරණයේ අනෙක් කොටස් දෙක වන නාට්‍යය සහ වීර කාව්‍යවලින් එය වෙනස් වන්නේ එම ස්වරූපය නිසා ම ය.

lyric poetry නමැති සාහිත්‍ය ශානරය එන්නේ ක්‍රි.පූ 7 වන සියවසේ පමණ ය.

දේවස්ථානවල සංගීත භාණ්ඩ සමග ගැයෙන සමූහ ගායන ද lyric ගණයට ඇතුළත් කරන ලද හෙයින් ඉහත අර්ථකථනයේ ඇති ගායනා melic නමැති වඩා විස්තෘත වර්ගයකට ඇතුළත් කරන ලද බව ඇතැම් තැනක සඳහන් ය. එහෙත් වර්තමානයේ මෙලික් යන්න භාවිතයේ නොමැති අතර ලිරික් යන්න පමණක් භාවිත වන බව පෙනේ. lyric poetry යනු ‘සංගීතය සමග සමීප සබඳතාවක් පවත්වමින් සෞන්දර්යාත්මක පෞද්ගලභාවයේ පූර්ණතම අදහස් ප්‍රකාශ කිරීම වාස්තවික ලෙස ළඟා කැර ගන්නා වූ’ දෙයක් ලෙස අර්ථ දැක් වේ. මෙම අර්ථ දැක්වීම එම ඉංග්‍රීසි වචන දෙකේ පදයේ එක් එක් වචනවල අරුත් වෙන් වෙන් වශයෙන් ගත් කළ ‘ගී පද මාලාව සංගීතය සමඟ යන භාව ප්‍රකාශන කවියකි’ යන සරල අරුත වඩා විකාශ කිරීමක් ලෙස ගත හැකි ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න මෙයින් ඉදිරියට ගොස් සංගීතයෙන් වියුක්ත හුදු පද මාලාව පමණක් එහි සාහිත්‍යයමය පාර්ශ්වය සලකා එය වෙනම සාහිත්‍යය ප්‍රභේදයක ඇතුළත් කළ යුතු බව පෙන්වා දෙයි. ගේය කාව්‍ය යනු එයට දෙන නම වේ. මහාචාර්ය ආරියරත්නට අනුව මේ අදහස මුලින් ම පළ කොට ඇත්තේ 1963 වසරේ සිය ‘ගේය සංහිතා’ නම් කෘතියේ විමල් අභයසුන්දර සූරීන් විසිනි. වරක් රූපවාහිනි වැඩ සටහනක දි ආචාර්ය අමරදේවයන් ද එබඳු අදහසක් පළ කළ බැව් මතක තිබේ.

“ඒ අනුව ඉංග්‍රීසි සාහිත්‍යයේ ද පද්‍ය කාව්‍ය හා ගේය කාව්‍යය අතර පටලැවිල්ලක් තිබෙන බව පැහැදිලි ය.

ගේය කාව්‍ය යනු සමස්ත විශ්වය පුරා මහත් සේ ජනප්‍රියත්වයට පත් ව තිබෙන ගීතය නමැති කලා මාධ්‍යයේ සාහිත්‍ය පාර්ශ්වයයි. එහි අනෙක් පාර්ශ්වය සංගීතයයි. එහෙයින් ගීතය යනු සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයයි. ගීතය සිංහල භාෂාවේ ‘ගී ’ ‘ගීත’ ‘සින්දු’ යන පදවලින් ද, දෙමළ භාෂාවේ ‘පාට්ටු ’ යන නමින් ද, පාලි භාෂාවේ ‘ගීත’ යන නමින් ද, සංස්කෘත භාෂාවේ ‘ගීත’, ‘ගාන’, ‘ගීති’, ‘ගේය’ ‘ගාන්ධර්ව’ යන නම්වලින් ද, ඉංග්‍රීසියේ ‘song’ යනුවෙන් ද හැඳින්වේ. මෙකී කලා මාධ්‍ය සම්බන්ධයෙන් සංස්කෘත හා ඉංග්‍රීසි භාෂාවලින් ඇති නිර්වචන මෙසේ ය:

1. ගීයතේ ඉති ගීතම් (ගායනය කරනු ලබන්නේ ගීත නම් වේ.)

2. Song - that which is sung (ගයනු ලබන දෙය ගීතයයි.)

ගේය කාව්‍යය ගීතයක් බවට පත් කරන්නට නම් තනු රචකයෙක් ද සිටිය යුතු ය. ඔහු සංගීත ශාස්ත්‍රයේ හසළ තැනැත්තකු පමණක් නොව නිර්මාණ කුසලතාවෙන් ද හෙබියා වූ සංගීතවේදියෙකි. ගේය කාව්‍ය රචකයා වචන හසුරුවමින් සිය නිර්මාණය කරන්නේ යම්සේ ද එසේම සංගීතවේදියා ස්වර හසුරුවමින් මධුර අරුත්බර තනුවක් නිර්මාණය කරන්නේ ය. පෙරදිග සංගිතය උගත් අය ස්වර ප්‍රස්තාර මගින් ද, අපරදිග සංගීතය උගත් අය රේඛා මණ්ඩල ප්‍රස්තාර ක්‍රමයෙන් ද මේ තනුව නිර්මාණය කරන්නෝ ය. මේ අනුව ගිතයක් බිහි වන්නේ ගේය කාව්‍ය රචකයා, තනු රචකයා සහ ගායනා කරන්නා යන ත්‍රි පුද්ගල සම්මාදමෙනි.”

(ආරියරත්න, සුනිල් - නූතන ගේය කාව්‍ය සංහිතා 26, 27 පිටු) මෙනයින් ‘ගේය කාව්‍ය ’ යන පදය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නිමැවුමක් බව පැහැදිලි ය. ඊට තත්සම ඉංග්‍රීසි පදයක් ඒ කෘතියේ සොයාගත නොහැකි වන අතර එය ‘singable poetry ’ ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වීමේ දොසක් නොමැත. lyric poetryවලින් එය පැහැදිලිවම වෙන් කැර ගැනීම එවිට අපහසුවකින් තොර ව කළ හැකි වනු ඇත.

ලොව මුල්ම ගීතය මීට වසර 3,300කට පමණ පෙර සුමේරියානු ජන කණ්ඩාමට අයත් අයකු හෝ කිහිප දෙනෙකු විසින් ලියා සංගීත භාණ්ඩ වයමින් ගයන ලද බව සඳහන් ය.

16 සියවසේ පමණ ගායනය වෘත්තියක් බවට පත්වුවකි. එදා මෙදාතුර විවිධ ගී සින්දු බිලියන ගණනක් ලොව පුරා ශ්‍රාවකයන් වෙත ඉදිරිපත් වන්නට ඇත. චිත්‍රපට කර්මාන්තය සහ වෘත්තිය ගායක කණ්ඩායම් විසින් ගීතවල තත්ත්වය උසස් බවට පත් කරන්නට ඇත. එසේ වීමේ දී සාහිත්‍යකරුවාගේ භූමිකාව වැදගත් ය. මන්දයත් ගීතය නම් සාමුහික කෘතියේ සාහිත්‍යමය හිමිකරුවා ඔහු වන හෙයිනි.

ගේය නිසා කාව්‍ය විනාශ වන්නේ ය යන මතයේ එල්ලී සිටින අය නැතිවා නොවුණත්, ගීතයක් බවට පත් වීමෙන් කාව්‍ය ඔප වැටෙන්නේ ය යන්න බහුතර මතය වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.