නොහි­ක්මුණු වත - ථුල­තිස්ස | සිළුමිණ

නොහි­ක්මුණු වත - ථුල­තිස්ස

සද්ධර්මරත්නාවලී සිව්වන කථා පුවත අද ඔබට පරිකථා කරන්නෙමු. එනම් ථුලතිස්ස තෙරුන‍්ගේ නොහික්මුණු වතයි. බොහෝ උසස් විභාග සඳහා ‍නිර්දේශිත මෙම කථා පුවත දම් සෙනෙවියන්ගේ වඩාත් අවධානයට යොමු කෙරෙන්නේ දඹදෙණි සමාජයේ නොහික්මුණු ජනයා සත්පුරුෂ බවට පත් කරලීමේ අවශ්‍යතාව පෙරදැරිවය. කතා කරුවා පොදු ජන විඥානය මැනවින් නිරික්ෂණය කළ එකල සි‍ටි සමාජ විද්‍යඥයෙකි. සමාජය නිරීක්ෂණය කොට ගැටලු තැන් සොයා පිළියම් යෝජනා කිරීම සමාජ විද්‍යඥයාගේ කාර්ය භාරය වන්නේ නම් ධර්මසේන හිමියෝ එය මැනවින් ඉටු කළහ. පිළිවම් යෝජනා කිරීමෙන් ඔබ්බට ගොස් ඒ හිමියෝ සමාජ දුබලතාව ධර්මයෙන් ප්‍රතිකර්ම කළ කෙනෙකි. ථුලතිස්ස කථාව ගොඩ නගන ආකාරය බැලු විට ප්‍රකට කෙරෙන්නේ තත්කාලීන මානව දුබලතාවට කදිම පිළියම් ධර්මයෙන් සොයා දුන් ආකාරයයි.

කතාව අරඹන්නේ පෙර කළ කතාව සිහිපත් කරමිනි. එහිදී අකීකරු බවේ විපාක මිලිදු නාගසේන කථාවෙන් ඉදිරිපත් කළා සේම එහිම දෝෂ දක්වනු පිණිස මෙම කතාව ද කියන බව දක්වයි. ථුලතිස්ස තෙරුන් වහන්සේ හඳුන්වාදීමට කතාකරුවා යොදන විවරණය නිර්මාණශිලී බවින් හාස්‍යයෙන් ද යුතුය.

“ගොයම් කළ මනා වක තබා පියා කල් පසු කො‍ට කරන ගොයමක් සේ පිළිවෙත් පිරීමට යෝග්‍ය වු බාල අවස්ථාව ගිහි ගෙයිම රඳා වැඩිමාලු කල මහණව රූක්ෂ ප්‍රතිපත්ති නමැති රළු පරළු දෙය හැර බුදුන්ට උපන් මියුරු අහර සුවසේ වළඳා පිළි වෙතින් සීන් වුවත් මසින් ලෙයින් මහත්ව ඉසත් බඩත් මහත් හෙයින් ථුලතිස්ස තෙරුන් වහන්සේ යයි ප්‍රසිද්ධව”

ථුලතිස්ස තෙරුන් වහන්සේ පිළිබඳව කතාකරුව‍ාගේ මෙම ප්‍රකාශයට අමුතුවෙන් කිසිවක් එකතු කළ නොහැකිය. පරිපුර්ණය. හාස්‍යයෙන්ද පිරී පවතී. ගොයම් වැපිරිය යුතු කාලය මගහැර පසුව කරන ගොයමක ස්වභාවය ගැමියාට හොඳින් වැටහේ. එමෙන් ම පැවිදි දිවියේ පිළිවෙත් පුරන්නට ළාබාල වියේ පැවිදි විය යුතුය. එය මග හැර වියපත් කල්හි පැවිදිව පිළිවෙත් කිසිවක් නැති බුදුන් නිසා ලබන අහරින් පෝෂිතව කඳ බඩ මහත් වු හෙයින් ම ථුලතිස්ස වු වග ධර්මසේන යතිවරයාගේ ප්‍රකාශයයි.

එපමණකුදු නොව බුදුන් නිසාම ලැබෙන සිනිදු සිව්රු ද දරා මහ තෙර කෙනෙකුගේ ලීලාවෙන් උස් අසුනකට වී හිඳිමින් තෙජස් ද මවා ගනිමින් වැඩ සි‍ටි ආකාරය හිස් මිනිසෙකුගේ ස්වභාවයම කියා පායි. අනෙකුත් තෙරුන් වහන්සේලා උන්වහන්සේගෙන් කළ යුතු වත් පිළිවෙත් විමසු විට කථා කරන බසින් ම බාල නියාව ඇගවෙන බැවින් නිහඬවම සිටී. එහෙත් එක් බාල භික්ෂුවක් උන්වහන්සේට වඳින්නට පෙර වස් ගණන විචාරයි. එයට වස් ගණන් කියන්ට නැතැයි උත්තර දුන් විට බාල නම විසින් ථුලතිස්ස තෙරණුවෝ දැඩි දෝෂ දර්ශනයට ලක් කෙරෙති. කතාකරුවා මේ බාල නමගේ විවේචනය අපුර්ව ලෙස ගොඩ නංවයි. උසින් මහතින් මහත් බව මුත් කටයුක්තේන් මහත් නොවන්නට කාරණ කීවේදැයි විමසයි. දෝෂාරෝපණයට ලක් වු ථුලතිස්ස බුදුන් වෙත ගොස් මෙම අවනඩුව දැනුම් දෙන්නේ නියං සමයේ අඩන අහසක් මෙනි. හිස් බව එනවා ඇගවෙයි.

බුදු රදුන් ථුලතිස්ස තෙරුන් වෙතින් විමසන්නේ මෙම තෙරුන් වහන්සේලා පැමිණෙන විට “දැක නැගී සිට පෙර ගමන් කළාද? පාසිවුරු ඉල්ලුවද? හිඳිනා අසුන් පනවා හිඳුවාලා පා සේදුද. පැන් පවස් විචාළාද? ඇගට පත් සැලුද? පය තෙල් ගෑවුද?” යනුවෙනි. එහෙත් තෙරුන්ගේ ඒ සියලුම ප්‍රශ්නවලට පිළිතුර වුයේ “නැත ස්වාමීනි” යන්නයි. එවිට බුදුන් වදාළේ

“හෙම්බා තිස්සයෙනි මාගේ ශාසනයට ජාතියෙන් හා ගෝත්‍රයෙන් හා වයසින් හා තරමින් හා ප්‍රයෝජන නැත. .... සියල්ල තොප කළමනා දෙයය. නොකළේ වැරැද්ද තුළින් හැම ක්ෂමා කරවා ගනුව” යනුවෙනි. බුදුරදුන් කළ මෙම ප්‍රකාශය ධර්මසේන යතිවරයන් ඉතා ප්‍රබල ප්‍රකාශයක් බවට පත් කරන්නේ ශාසනිකව ඉස්මතුව තිබු ගැටලුවකට මෙන්ම ජන සමාජයේ කුලය බලය නිලය මහත් කොට සලකමින් උමතුව ක්‍රියා කළ අයට එහි වැරැද්ද ධර්මානුකූලව පහදා දීම උදෙසාය. ඇතමුන්ගේ පැවති පහත් ගති හා උද්ධච්ඡ ස්වභාවයන් සමාජ ජීවිතයේදී බොහෝ දෙනා පීඩාවට පත් කරවන්නට ඇත. එවැන්නන්ට ලැබිය හැකි දඩුවම පිළිබඳව පවා කතාකරු‍වාගේ අවධානයට හසු කෙරෙයි.

කෙසේ වෙතත් බුදුන් දුන් අවවාදය ද නොඉවසූ ථුලතිස්ස කියා සිටින්නේ “ස්වාමිනී මුන් හැම මට බැණලු නියාව තරම. මම බිණිමුත් අසා මම ම ක්ෂමාත් කරව්ද? යන උඩඟු වදනිනි. බුදුන්ටත් අකීකරු වු ථුලතිස්ස පෙර භවයේදීත් මෙලෙස අකීකරුව සහ දඩබ්බරව හැසිරි ලීලාව බුදුහිමියෝ අනාවර්ණය කළහ.

පෙර කල දේවළ නම් තවුසාණ කෙනෙක් වස්සාන සමයෙහි හිමාලයෙන් අවුත් නුවර වාසල් දොර අසල පිහිටි කුඹල් හලක රාත්‍රිය ගත කිරීම සඳහා නතර වෙයි. අනතුරුව නාරද නම් තවත් තපස් චිවරයන් කෙනෙක් මේ නගරයට පැමිණ රාත්‍රියට ගත කිරීමට තැනක් සොයා කුඹලාණන් ගේ අවසර ලබා කුඹල්හල නතර වෙයි. දෙදෙනා ආගිය තොරතුරු කතා බහෙන් පසු දේවළ තවුසා නින්දට ගියේය. ඔහු නිදන තැන හොදින් බලා ඔහුට කරදරයක් නොවන සේ රාත්‍රියෙහි නැගිට යාමට හැකි වන සේ නාරද තවුසෝ සැතපුණහ. අසංවර ගති ඇති දේවළයෝ නාරද තවුසා නින්දට ගිය පසු නැගිට දොරටුව අවුරා නින්දට වුහ. ඒ බව නොදත් නාරද තවුසා රාත්‍රී නැගිට කුඹහල්හලින් පිටත යන්නේ දේවළ තවුසාගේ හිස පෑගිණි. කෝපයට පත් දේවළ තවුසා “හැයි සොර දුළුල්ල (ජටිලය) පල සිට එන්නෙහි මගේ හිස මඬින්නට ඇයිනැයි කිවුය”

එවිට නාරද තවුසා “ආචාරිනි, මා දැන කළ දෙයක් නොවෙයි ක්ෂමා කළ මැනවැයි” කීය. එසේ නාරද තවුසන් ඉතා නිහතමානී ගුණයෙන් යුතුව සමාව ආයාචනා කළ ද ‍දේවල තවුසා ඉතා අසංවර ස්වරයෙන් ම “මා හිස දෙවිටක් කොට පයින් මිරිකුවාට සෙට නැගිහිරින් තා හිස සක් කඩක් ව පැළී යේවයි” සාපයක් කළේය. නිවරද කෙනෙකුත් කෙරෙහි ගත් වැරැද්ද දෙනුන් හැඳින වස්සන් යන්නා සේ දේවළ තවුසන්ට ම එන බව දුටු නාරද තවුසෝ පසු දින හිර පායන්ට නොදී තම ආනුභාවය පළ කළහ.

පසු දින ඉර නොපෑවීමෙන් කලබලයට පත් රටේ ජනතාව බඹදත් රජු කරා පැමිණ විවිධ හේතු විමසා තවුසන් දෙදෙනාගේ ගැටලුවක් බව වටහා කාරණය අවබෝධ කළේය. ඉර පායද්දී දේවළ තවුසාගේ හිස සත්කඩක්ව පැළෙන නියාව පැහැදිලි කළ නාරද, තවුසන් රජුට කියා සිටියේ දේවළ තවුසා තමාගෙන් සමා ගත හොත් මෙම ගැටලුව විස‍ඳෙන බවය. පෙර බවයේ ද වත්මන මෙන් ක්ෂමාව ප්‍රතික්ෂේප කළ දේවළ තවුසාට සිදු වුයේ බයෙන් අල්වා ගෙන ගොස් නාරද තවුසන් ඉදිරියේ වන්දවා ක්ෂමා කරවාලීමය. නොක­ැමැත්තෙන් ක්ෂමාව ගත් හෙයින් හිස පැළීම නතර කළ නොහැකි බව කී නාරද තවුසා මොහු පොකුණක බස්වා හිසෙහි මැටි ගසා ඉර පායද්දී හිස පැළෙන්නා සේ මැටි පිඩ සත් කඩක්ව පැළී යන අයුරු පෙන්වා දුන්හ. දේවළ වැනි අසඤ්ඤතයන් කවර කලක කවර සමාජයක හෝ වෙසෙත් ද ඔවුනගේ හිස්වල ඇත්තේ මැටි බව පෙන්වා දෙන කදිම කථා වස්තුවකි ථුලතිස්ස කථා වස්තුව.

 

  

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.