මගේ උත්සා­හය අනා­ගත පර­ම්ප­රා­වට අපේ උරු­මය ඉතිරි කිරී­මයි | සිළුමිණ

මගේ උත්සා­හය අනා­ගත පර­ම්ප­රා­වට අපේ උරු­මය ඉතිරි කිරී­මයි

විධිමත් සැලැස්මකින් තොරව ක්‍රියා නොකළහොත් අපේ උරුමය විනාශ වී යෑම වළකාලිය නොහැකිය. ඒවා උතුරේ, දකුණේ හෝ නැ‍ඟෙනහිර පැවතිය ද අදාළ වන්නේ උරුමය මිස වෙනත් කිසිවක් ම හෝ නොවන බව අවබෝධ කරගත යුතු කාලය එළැඹ ඇත. නිරන්තරයෙන් කෙටිකාලීන ගැටලුවලට පමණක් අවධානය යොමු කරන ලෝකයක අප, අපේ සංස්කෘතික උරුම රැක ගැන්මට මහත් ප්‍රයත්නයක් දැරිය යුතුව ඇතැයි ‘මේ අපේ උරුමයයි’ මා හැඟි ග්‍රන්ථය රචනා කරන නීල් කිරිඇල්ල නම් ගවේෂකයා සඳහන් කරයි.

අපේ උරුමය පිළිබඳ අප්‍රමාණ ආදරයෙන්, ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව ඔහු විසින් කරන ලද මාහැඟි පර්යේෂණයේ ඵලය “මේ අපේ උරුමයයි”, කෘතිය නැණිල ප්‍රකාශනයකි.

 

• අපේ උරුමය ලිඛිත සාක්ෂිගත කරන්නද ඔබ මේ උත්සාහ දරන්නේ..

නෑ... මම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. අපේ බොහෝ අතීත ස්මරණ වළදාලා තියෙන්නේ. අපේ ජනකතා, ජනශ්‍රැති ආශ්‍රයෙන් මේවා හොයන්න ඕන. අපි හුරුවෙලා ඉන්නවා යුරෝපීයන්ගේ ක්‍රමයට අපේ ඉතිහාසය දෙස බැලීමට. යුරෝපීයන්ට ඉතිහාසයක් නෑ; අපට තමයි ඉතිහාසයක් තියෙන්නේ. යුරෝපයේ ආසියාවේ තරම් දියුණු සංස්කෘතියක් තිබුණේ නැහැ.

අපේ රටේ කුරුණෑගල තියෙනවා ඉබ්බන්කටුව සුසාන භූමිය කියලා තැනක්. මිනිස්සු ඒකේ අවුරුදු ලක්ෂ 5කට කලින් සිටි බවක් කියනවා. සමහරු කියනවා ඒක ඉතිහාසය නොවෙයි කියලා. මං අහන්නේ ඒක ඉතිහාසය නොවේ නම් වෙන මොකක්ද? ඉතිහාසය කියන්නේ සංස්කෘතිය. වර්ෂ විවිධාකාර විධියට අපි ගණන් බලනවා. මේක හිතින් මවා ගත්ත දෙයක් විතරයි. ලෝකය ආරම්භ වෙද්දි වර්ෂ කියලා එකක් තිබුණේ නැහැ.

මම පොඩි කාලේ දැකපු උරුම එකක්වත් මගේ පුතාට බලන්න බැරි වුණා. දැන් මගේ පුතාගේ දරුවට මගේ පුතා දැකපු ‍දේවල්වත් දකින්න බලන්න බැරිවෙලා තියෙනවා. මම උත්සාහ කරන්නේ මේ අනාගත පරම්පරාවට අපේ උරුමය ඉතිරි කර දෙන්නයි. මේ පොත ලියන්නට හේතුව එයයි. මේ පොත දැන් වටින්නේ නැති වෙන්න පුළුවන්. ඒත් තව අවුරුදු පනහකින් සීයකින් මේ වැනි පොත්වලට මහා වටිනාකමක් එකතු වෙනවා. මම ගොඩක් පින්තූර මේ පොතට පාවිච්චි කළා. එයට හේතුව මේ ඉතිහාසය නිවැරැදි ව කියැවීමට හා සනාථ කිරීමටයි.

 

• ලංකාවේ ඉතිහාසය ගැන ලියැවුණු මේ පොතේ ඔබ කළ පර්යේෂණයේ මූලාශ්‍රය ඉතා පුළුල් බව පෙන්වනවා. එතරම් පුළුල් පර්යේෂණයක් සංක්ෂිප්ත කරන්නේ කෙසේද?

ලංකාවේ ඉතිහාසය සොයා ගන්න මං අරාබි ඉතිහාසය පවා කියෙව්වා. හුඟක් කියැවීමෙන්, සෙවීමෙන් දැනුම ඒකරාශී කර ගත්තා. මට හිතෙන හිතෙන දේවල් ලියන්නට බැහැනේ. මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් පොත් ලියන්න මෙච්චර මහන්සි වුණා කියලා. ඉදිරියට මම මේවා කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒකට හේතුව මම භාවනාදිය කරමින් යම්කිසි ආගමික නිෂ්ටාවක් සොයන කෙනෙක්. ඉතින් මේ වැනි දේ ඒවාට බාධාවක්.

පසුව ඒවා එකතු කර අත්‍යවශ්‍ය කරුණු පමණක් කෘතියට ඇතුළත් කළා. ඒත් ඇත්තට ම ඒතරම් සංක්ෂිප්ත කරලත් මේ කෘතිය විශාල කෘතියක් බවට පත් වුණා. ඉතිහාසය ගවේෂණය කරන්නන්ට, දැනුම සොයන්නන්ට, පර්යේෂකයන්ට මේ කෘතිය බොහෝ පිටුවහලක් සපයාවි.

 

• උරුමය ආරක්ෂා කර ගැනීම යන්න අප අර්ථ දක්වා ගන්නේ කෙසේ ද?

උරුමය කියන්නේ ආරක්ෂා කිරීම, කැණීම, ප්‍රදර්ශනය කිරීම හෝ මානව කලා කෘති කාණ්ඩ කර නැවත ස්ථාපනය කිරීම යන ජනප්‍රිය ක්‍රියාවන්ගෙන් බොහෝ ඔබ්බට ගිය දෙයක්. ඓතිහාසික ගොඩනැඟිලි හා පුරා විද්‍යාත්මක භූමිවල වගේ නොවෙයි, අත්‍යවශ්‍ය යැයි අපි කාණ්ඩ කරන පරණ ගීතවල, නර්තනවල, චිත්‍රවල බොහෝ මූලිකාංගයන්හි අගය නිර්වචනය කිරීම අසීරුයි. අපේ ඒ පූජනීය උරුමය රැක ගන්නට නම් මහජන සහභාගීත්වය හා උපකාරය අත්‍යවශ්‍යයයි. එසේ නොවුණ‍හොත් අප නොදැනුවත්ව ම අපේ උරුමය වැළලී යනු නොඅනුමානයි.

• ඔබ මේ පවසන දෙයින් හැඟී යන්නේ අප අතීතය යැයි අර්ථ ගන්වා ගන්නා දේ ම උරුමය නොවන බවයි.

සරල අතීතය, උරුමය ලෙස අර්ථ ගැන්විය නොහැකියි. අතීතයක් නැත්නම් වර්තමානයක් හෝ අනාගතයක් නැහැනේ. අතීතය කියන්නේ අපේ උරුමය පිළිබඳ කතාවයි. උරුමය, නිර්මාණය හා වෙනස්වීම පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කරනවා. උරුමය කියන්නේ සංරක්ෂණය කර ආරක්ෂා කර ගැනීමට පමණක් ම නොවේ. උරුමය අපේ පාරම්පරික ක්‍රියාකාරකම්, ස්මාරක හා ශිෂ්ටාචාරයේ පූර්ණ එකතුවක්. ඒ කෙසේ වුණත් වැළලී ගිය අතීත ශිෂ්ටාචාරය ගැන වගේ ම ඒ ශිෂ්ටාචාරයේ වගතුග අපට කියාපාන දැනට මතුවී ඇති සාක්ෂි ගැන තකා කිරීම තමයි මගේ මූලික අරමුණ වුණේ.

 

• ඔබ සිතන ආකාරයට උරුමය ලෙසින් වර්ග වන්නේ කුමන දෑ ද?

මේ කෘතියේදී නම් මා වැඩි අවධානය යොමු කළේ අප සියල්ලන්ට ම දන්නා ස්ථාන වෙනුවට වැඩි අවධානයක් යොමු නොවුණු ස්ථාන හා සාක්ෂි ගැන අවධානය යොමු කරන්නයි. ගහකොළ, සතා සීපාවා, ආගම ධර්මය, ඇදහිලි, විශ්වාස, මතිමතාන්දර, අතීත හා වර්තමාන නිර්මාණ, ගොඩනැඟිලි, ස්තූප, නටබුන්, ගල්ලෙන්, විහාරාරාම ආදිය මෙන් ම නොයෙකුත් විද්‍යා කලා, වෛද්‍ය ක්‍රම ආදිය පිළිබඳ අතීත දැනුම ද අපේ උරුමයට අයිතිදෑයි. ඒ අතීත උරුමය සොයා යන අතර ම, තවදුරටත් වැළලී ඇති අපේ උරුමය මතු කර ගැනීමටත් මගේ සිතේ ඇති අභිප්‍රාය මෙවැනි කෘතියක් ව මා නිකුත් කළා.

 

• එල්ලෝරා ලෙනෙහි ඇති රාවණා කැටයම ඔබ ‘මේ අපේ උරුමයයි’ කෘතියේ සඳහන් කර එහි චිත්‍රයක් ද පළ කර තිබෙනවා. අප අසා ඇති පරිදි ඒ කැටයමේ තිබෙන්නේ විමානයක්. මේ පිළිබඳව පැහැදිලි කළොත්...

ඔව් ඒ කැටයමේ විමානයක් තිබෙනවා. විම­ානය කියන්නේ ගුවනේ සැරිසරන, ඉපැරණි උපකරණයක්. ලංක‍ාවේ ‍මේ විමානය හැඳින්වෙන්නේ දඬුමොනරය නමින්. මේ කැටයමේ දැක්වෙන්නේ රාවණා දඬු මොනරයෙන් සීතා දේවිය පැහැරගෙන යන අවස්ථාවේදී ජටායු නමින් හැඳින්වෙන පක්ෂියෙක් ඔහුට ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවයි.

මේ කැටයමට අනුව උපකල්පනය කළ හැකි අවස්ථා තුනක් තිබෙනවා. පළමුවැන්න රාමායනයේ දැක්වෙන ආකාරයට ජටායු, රාවණා අධිරාජ්‍යයාට ප්‍රහාරයක් එල්ල කරන්නේ සීතා දේවිය පැහැරගෙන යන අවස්ථාවේදීයි. මේ කැටයමේ සීතා දේවිය සිටින බවක් පෙනෙන්නේ නැත. සීතා දේවිය නැත්නම් ජටායුට රාවණා අධිරාජ්‍යයාට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාවක් නැත. කෙසේ වුවත් මේ කැටයමේ සෑම අංගයක් ම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ මෙහි නිරූපණය වන්නේ එක පැත්තක් බවයි. එවිට සීතා දේවිය අනෙක් පැත්තේ සිටියාද? ඒ වුණත් මේ ෙජට් ප්‍රචාලන ඇසුරුමේ දෙදෙනකුට යා නොහැකි බවක් පෙනේ.

දෙවැනි කරුණ වන්නේ රාවණ අධිරාජ්‍යයා පසුපසින් වෙනත් ෙජට් ප්‍රචාලන ඇසිරුමක සීතා දේවිය යන බව දුටු ජටායු ඇය බලෙන් පැහැරගෙන යනු ඇතැයි සිතා රාවණා රජුට පහර දීමයි. එහෙත් එය පැහැරගෙන යෑමක් නොවන්නේ ෙජට් ප්‍රචාලන ඇසිරුම සීතා දේවිය විසින් ම හැසිරවීම නිසායි. එසේ නම් අපට උපකල්පනය කිරීමට සිදුවන්නේ සීතා දේවිය මේ ගමන සිය කැමැත්තෙන් ම ගිය බවයි.

තෙවැනි උපකල්පනය වන්නේ තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධයෙන් ජයගෙන සීතා දේවිය අයෝධ්‍යාවට රැගෙන ගිය රාම කුමරු ඉතා සුළු කලකින් ඇය ගැන හිතේ ඇතිවූ සැකයක් නිසා මාලිගයෙන් නෙරපා දමන්නට ඇති බවයි.

කෙසේ වුවත් උරුමය ගැන මෙවැනි කතිකා ඇතිවීම අත්‍යවශ්‍යයයි. ඒ නිසයි මා එල්ලෝරා ලෙනෙහි ඇති රාවණා කැටයම මේ කෘතියට ඇතුළත් කළේ.

  

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.