සංහිඳියාව ඇති කළ හැක්කේ සාහිත්‍යයටයි | සිළුමිණ

සංහිඳියාව ඇති කළ හැක්කේ සාහිත්‍යයටයි

 සම්මානනීය ලේඛකයකු, චිත්‍රපට තිරනාටක රචකයකු, කෙටිකතාකරුවකු හා කාව්‍ය රචකයකු වන නිහාල් පී. ජයතුංග මහතා තරුණ පරපුර වෙනුවෙන් නවකතාවක් රචනා කිරීමේ දිගු කාලයක් පුරා තිබු අදහසකට අනුව 'කමලා දේවී' යොවුන් නවකතාව ලිවීමට අදහස් කර ඇත. අසූව දශකයේ අග භාගයේ සරසවි ප්‍රේමයක් අලළා ගෙතුණ මේ නවකතාවේ සන්නද්ධ දේශපාලන ගැටුමට පාදක වූ කරුණු පිළිබඳව ද සාකච්ජා කරයි. මෙහි අවසානයේ කතුවරයා සංහිදියාව ඇති කරලීමේ අවශ්‍යතාව මතුකරයි.

• ‘කමලා දේවී’ මොන වගේ නවකතාවක්ද?

කමලාදේවී නවකතාව මා ලිවීමට උත්සාහ කරන්නේ තරුණ පරපුරට. මා විසින් මෙතෙක් නිර්මාණය කරන ලද කෘති අතුරින් තරුණ පරපුර තරුණ පාඨකයන් මඟහැරී ගියා කියා මට හිතුණා. ඒ වගේම මගේ පාඨකයන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා, යොවුන් සිතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහට නවකතාවක් ලියන්න කියා. ඇත්ත වශයෙන් ම බොහෝදෙනාගේ ඉල්ලීම මතයි, මා තරුණ පරපුර වෙනුවෙන් මේ නවකතාව සම්පාදනය කරන්නේ. කෙටි කාලයකින් මට දැන ගන්න ලැබුණා විශාල පාඨකයන් පිරිසක් කමලා දේවී වටා රොක් වෙලා ඉන්න බව‍. එයට හේතුව කමලා දේවී යොවුන් නවකතාව සොඳුරු ආද‍රයේ මනුෂ්‍යත්වය, මානව දයාව ගැන කියා පෑමට උත්සාහ කළ ප්‍රේමණීය කතා බහක් වීමයි. එය මේ නවකතාව ජනප්‍රිය වීමට එක් හේතුවක්. මෙයට ප‍ාදක වන්නේ අසූව දශකයේ මැද භාගයේ කොළඹ සරසවියේ විද්‍යා අංශයේ කමලාදේවී නම් දෙමළ සිසුවියක හා පාලිත නම් සිංහල සිසුවකු අතර ගොඩනැඟුණ අවිහිංසක ආදර සම්බන්ධ‍යට සන්නද්ධ දේශපාලනය සංස්කෘතිය නිසා දෙපාර්ශවයේ වැඩිහිටියන්ගෙන් ඇති වන ගැටුම සහ ඊට හේතුසාධක වන සමාජ වටපිටාව පිළිබඳ ව යි, මේ කතාවේ සංවාදයට ලක් කරන්නේ. මම මේ නවකතාව ලිවීමට මුල පුරණ කාලයේදී මේ රටේ සන්නද්ධ දේශපාලන සංස්කෘතිකමය අරගලයක් පැවතුණා. එය පසුබිම් කරගෙනයි මා මෙය ලිවීමට උත්සාහ කළේ.

 

• ‍කමලාදේවී නවකතාවෙන් තාරුණ්‍යයේ සෙනෙහස ගැන පමණක් ද සාකච්ජා කෙරෙන්නේ?

කමලා දේවී නවකතාවේ සන්දර්භය ගොඩනැඟෙන්නේ තාරුණ්‍යයේ සෙනෙහස පිළිබඳ ව යි. නමුත් ඊට අමතරව න්‍යෂ්ටික කතා නායකයාගේ, නායිකාවගේ සහ අනෙකුත් පාත්‍රවර්ගයාගේ සංවාද සාකච්ජා හා සිදුවීම්වලින් සන්නද්ධ ගැටුමට පාදක වූ කරුණු ගැන සාකච්ජා කෙරෙනවා, සංවාදයකට ලක් වෙනවා. ඒවා දේශපාලන හෝ ප්‍රචාරක සංවාද නොවෙයි.

 

• ඔබ මේ කතාව අවසානයේ ජාතීන් අතර සංහිඳියාව ඇති කරලීමේ අවශ්‍යතාව මතු කරනවා. මෙවැනි නිර්මාණ කාරියකින් එවැනි සංහිඳියාවක් ඇති කරලිය හැකියි කියා ඔබ සිතනවාද?

කමලාදේවී නවකතාවේ එන ප්‍රධාන චරිතවලින් සිංහල සහ දෙමළ ජාතීන් දෙක සහ ඒ වටා ගෙතුණු මේ රටේ පැවැති ජාතිවාදී සන්නද්ධ අරගලය පිළිබඳව කතා බහ කෙරෙනවා කියා පාඨකයාට සිතන්න පුළුවන්. සැබවින් ම මෙය යොවුන් කතාවක් වුණත් බොහෝ විට මෙහි එන ඇතැම් චරිතවලින් ඉස්මතු වන්නේ ජාතිවාදී අරගලය සහ ඒ අර‍ගලයට එරෙහි ව නැඟී සිටින විප්ලවවාදී තවත් සන්නද්ධ පාර්ශ්වයක් පිළිබඳ ව යි. මේ කතා සන්දර්භයේදී බොහෝවිට ප්‍රධාන චරිතවලින් මතු කරන්නේ ජාතිවාදය සහ ඒ ජාතිවාදයට එරෙහි ව නැඟෙන මානසික අරගලයක නිරත වන චරිත යැයි කිව හොත් නිවැරදි යි. මා ලේඛකයකු වශයෙන් මගේ කාර්ය භාරය ලෙස දකින්නේ ජනතාව වෙනුනේ යම් දෙයක් කරලීමට උත්සාහ කිරීමයි. ඇතැම් රටවල ලේඛකයාට පුළුවන් වෙලා තියෙනවා සමාජ පෙරළියක් ඇති කරලීමට. මම කියන්නේ නැහැ අදවන විට නිර්මාණ හරහ‍‍ා එතරම් විශාල කාර්ය භාරයක් කරන්න හැකි වෙතැයි කියා. නමුත් යම් කිසි ‍බලපෑමක් කරන්න හැකි වෙතැයි කියා මා සිතනවා‍. මේ කමලා දේවී මතු පිටින් බලන කෙනකුට පෙනෙන්නේ සිංහල තරුණයකු සහ දෙමළ තරුණියක අතර ඇතිවන ආදර සම්බන්ධයක් ලෙසයි. නමුත් අති සරල ව කියාපාන වාර්ගික යුද්ධය ඇතිවන ආකාරය විවිධ කෝණවලින් සාකච්ඡාවට ලක් කිරීමක් මේ නවකතාවේ දී සිදු කෙරෙනවා. අවියෙන් සතුරන් මර්දනය කරන්නත් පුළුවන්, සතුරන් ජය ගන්නත් පුළුවන්. ඒ වගේම අධ්‍යාපනයෙන් සතුරන් ජය ගන්නත් පුළුවන්, මර්දනය කරන්නත් පුළුවන්. සාහිත්‍ය කලාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් අන්‍ය ජාතීන් ජය ගන්න පුළුවන්. ඒ මනුෂ්‍යත්වය තේරුම් ගැනීමෙන් විශේෂයෙන් සිංහල හා දෙමළ ජාතීන් හඳුනා ගැනීම‍ට හැකියාව ලැබෙනවා‍. මම මේ පොත ලිව්වේ යොවුන් ප්‍රේම කතාන්දරයක් ඉස්මතු කිරීමට වුවත්, මේ නවකතාවේ අන්තර්ගතයේ ඇති ප්‍රධාන චරිත දෙකෙන් මේ සිංහල හා දෙමළ ජාතීන් අතර සංහිඳියාවෙහි ඇති වැදගත්කම ඉස්මතු කරනවා. ඇත්තට ම මේ චරිත යොදා ගත්තේ උපක්‍රමයක් ලෙසයි. එක් ජාතියක් පමණක් ‍නියෝජනය වන චරිතවලින් ජාතිවාදී අරගලය පිළිබඳ ව කතා කරන්න අපහසුයි. ජාතීන් දෙකේ ගැටලු කතා කිරීමට නම් ප්‍රස්තුත කාරණාවට ජාතීන් දෙක ම නියෝජනය විය යුතුයි. ජාතීන් දෙක අතර ඇති හැඟීම්, සංස්කෘතිකමය වෙනස්කම්, අදහස් උදහස්, සිතුම් පැතුම් සියල්ල පිළිබඳව අපි දැනුවත් විය යුතුයි. ඒ වගේ ම ජාතින් අතර ඇති ඒ වෙනස්කම්වලට අනෙක් ජාතිය ගරු කළ යුතුයි. එසේ නොමැති විටයි මේ ගැටුම් ඇතිවන්නේ. මා විශේෂයෙන් ම දෙමළ ජාතියට ඇති ගැටලු පිළිබඳ ව කතා කරනවා. ඒ ගැටලු හඳුනා නොගෙන මේ මතවාදී ගැටුම් නිරාකරණය කිරීම අපහසුයි.

 

• ඔබ මේ රටේ පසුගිය කාලය පුරා පැවැති ජාතිවාදී සටන සන්නද්ධ දේශපාලන සංස්කෘතියක් වශයෙන් හඳුන්වන්නේ ඇයි.?

මා ජාතිවාදි අරගලයකට වඩා මෙය සන්නද්ධ අරගලයක් කියා හදුන්වන්න කැමැතියි. එයට හේතුව අපි එකිනෙකාගේ සංස්කෘතියට ගති සිරිත් සිතුම් පැතුම්වල‍ට ගරු කිරීමයි. එසේම ඒ අතර ඇති යම් යම් පරස්පරතා හඳුනාගත හැකි නම් මේ අරගල ඇති නොවෙන්නට තිබුණා. ‍විශේෂයෙන් කමලා දේවී නවකතාවේ පාලිතගේත් කමලා දේවීගේත් මවුපියන් මධ්‍යම පාන්තික ගුරුවරු. දෙපාර්ශවයේ ම වැඩිහිටියෝ තම දරුවන්ගේ සම්බන්ධතාවට අකමැති වුවත් පසුව කැමති වෙනවා. කෙටි කලක දී කමලා දේවී පාලිතට සඟවා ගෙන සිටි දෙයක් අනාවරණය කරනවා. එනම් ඇගේ එක ම සහෝදරයා සන්නද්ධ කණ්ඩායමක කාඩර්වරයකු ලෙස කටයුතු කිරීමයි. ඒත් ඔවුන් ගේ ආදරය පෙර සේමයි. නොවෙනස් ව පවතිනවා.

 

• ඔබ මෙහිදී නවකතාව ලිවීමේ දී එක් චරිතයක් ඉස්මතු නොකර චරිත ගණනාවක් ඉස්මතු කර තිබෙනවා. විශේෂයෙන් ඔබ මේ නවකතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලිවීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

සංස්කෘතික අමාත්‍යංශයේ සිටින කාලයේ පටන් මේ ජාතිවාදී අරගලය සම්බන්ධයෙන් බොහෝ කෘති පරිශීලනය කරන්නට මට පුළුවන් වුණා. අරගලය නිවා දැමීමට සාහිත්‍යයෙන් කරන්නට පුළුවන් කාර්ය භාරය පිළිබඳ ව කතා කරන්නට කිසිවකු උත්සාහ කර තිබුණේ නැහැ. ඒ කාර්යය ඉටු කිරීමට මා කමලා දේවී නවකතාවෙන් උත්සාහ කළා.

 

• ඔබේ බොහෝ කෘති උත්තම පුරුෂ කතා ශෛලියෙන් සම්පාදනය වී තිබෙනවා. එයට සුවිශේෂ වූ හේතුවක් තිබුණවා ද ?

යම් නවකතාවක හෝ කලා කෘතියක එන සියලු ම පාත්‍ර වර්ගයාට මධ්‍යස්ථ ව සාධාරණ කාර්යය භාරයක් ඉටු කිරීමට නම් එහි එන සියලු චරිත ඉස්මතු කිරීමට උත්තම පුරුෂ‍ දෘෂ්ටි කෝණය භාවිතයේ වැදගත්කමක් මම දැක්කා. චරිතවල පාත්‍ර වර්ගයාගේ හැඟීම් ඉස්මතු කිරීමට නම් තුන්වැනි පාර්ශ්වයක් වශයෙන් ලේඛකයා කටයුතු කිරීමේ වැදගත්කම මා හඳුනා ගත්තා.

 

  

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.