අපි ඉල්ලන්නේ බාපු මාළු නෙවෙයි බිළී පිත්තයි | සිළුමිණ

අපි ඉල්ලන්නේ බාපු මාළු නෙවෙයි බිළී පිත්තයි

2012 වර්ෂයේ කරන ලද සංගණනයට අනුව අපේ රටේ අවුරුදු 5ට වැඩි ආබාධ සහිත වූවන්ගේ ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 8.7ක්, ඒ කියන්නේ ලක්ෂ 16ක් පමණ වනවා.

කසුන්ජිත් පඩිපෙළ නැඟගෙන සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ශාලාව ඇති මහලට ආවේය. සිය සහතිකවල පිටපත් ගොනුවක් ඔහු අතේ විය. ඇත්තෙන්ම කසුන්ජිත්ට අවශ්‍ය දිගට කරගෙන යන රැකියාවක් නොවේ. විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අන්තර්කාලීන පුහුණුවක් ලබාගැනීම පමණි. ඒ සඳහා ඔහු පෞද්ගලික ආයතනවලට ඉල්ලුම්පත් යොමු කළේ රාජ්‍ය ආයතනයකට වඩා වැඩි විශ්වාසයක් ගොඩනඟාගන්නට හේතු සාධක තිබූ නිසාය. තමන්ගේ නම කියනු ඇසුණු කසුන්ජිත් මහත් බලාපොරොත්තු ඇතිව පරීක්ෂකවරුන් ඉදිරියට ඇදුණේය.

“මාව දැක්කා විතරයි පැනල්-එක ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. ඒ අය මගේ සහතික ෆයිල්-එක වත් බැලුවේ නෑ. ඒත් මගේ අත්වාරු දෙක දිහා බැලුවා. ටිකක් කතා කළා. පස්සේ දැනුම් දෙන්නම් කීවා. මම දොරෙන් පිට වෙන කොටම දැනගත්තා ඒ අයගේ උත්තරේ වෙන්නේ මට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ කියන-එකයි කියලා.” කසුන්ජිත් සටනාරච්චි කිසිදු පසුතැවීමකින් තොරව කීවේ තමන් සක්සුදක් සේ හේතුව දන්නා බැවිනි.

“උපතින්ම මගේ පාදවල පවතින ආබාධ සහිත තත්ත්වය නිසා මට මෙහෙම වුණු අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ඒත් ඒක මට ඉන්ටර්න්ශිප් නොදෙන්න හේතුවක් වන්නේ කොහොමද? මම මගේ ඉල්ලුම් පත්‍රයේ ආබාධ සහිතයි කියලා සඳහන් නොකළෙත් පොඩි ගවේෂණයක් හැටියට. මොකද එහෙම සඳහන් කළා නම් කැඳවීමක් වත් ලැබෙන්නේ නැති බව මම දන්නවා.”

ඔහු අහිංසකව සිනා සුණේය.

හෝඩියේ සිට එකොළහ වසර දක්වා ඔහු අධ්‍යාපනය ලැබුවේ කළුතර මහා විද්‍යාලයේය. ඉන් පසු උසස් පෙළ සඳහා කළුතර ගුරුළුගෝමී විදුහල ඔහුට උපකාර විය. දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සිංහල විෂයය සඳහා ඒ සාමර්ථ්‍යයක් සහ බී සාමර්ථ්‍ය දෙකක් ලබමින් ඔහු 1.2518ක ඉසෙඩ් අගයක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් ලැබුවේය.

“ඒ වසරේ ඉස්කෝලෙන් විශ්වවිද්‍යාල වරම් ලැබුවේ අපි දෙන්නෙක් විතරයි. ඒත් මට නීතිඥයෙක් හැටියට කටයුතු කරන්න බැරි වෙන නිසා මම විදෙස් විශ්වවිද්‍යාලක තමයි නීති උපාධිය හැදෑරුවේ. මොකද: අපේ රටේ වෛද්‍ය, නීතිඥ සහ ඉංජිනේරු කියන විෂය ධාරාවන්හි ආබාධ සහිත වූවන්ට අවස්ථාවක් නෑ. පාසල්වල වුණත් ආබාධ සහිත වූවන්ට දක්වන්නේ වෙනස් සැලකිල්ලක්. සමහර ගුරුවරු වගේම සමහර දෙමවුපියන් වුණත් අපි වගේ ළමයෙක් අනෙක් ළමයි එක්ක ඉන්නවට කැමති නෑ. ඒ අය හිතන්නේ අපි අනෙක් අයට වඩා අඩු වේගයෙන් ඉගෙනගන්න, අනෙක් අයට බරක් වුණු පිරිසක් කියලා. ඒ නිසා අප වෙනම පාසල්වලට යොමු කරන්න ඕනෑ කියලා සමහරු හිතනවා. ඒක වැරැදි මතයක්. සාමාන්‍ය අය වගේමයි අපට නම් අප ගැන හැඟෙන්නේ. අපේ අම්මයි තාත්තයි මට හිතට ධෛර්යය දුන් නිසා මේ ගමන ආවා. ඒත් එහෙම හයියක් නැති ආබාධ සහිත වූවන් නිරපරාදේ කොන් වෙනවා.”

තුන්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ ආබාධ සහිත නියෝජිතයා මෙන්ම තමන් අයත් සමාජ කණ්ඩායමේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නඟන සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් මැනවින් සන්නිවේදනය කළ හැකි නීතිවේදී උපාධිධරයකු වන කසුන්ජිත් ආබාධ සහිත වූවන් පිළිබඳ පර්යේෂණවලද යෙදෙන්නෙකි. ලෝකයේ මිලියන දහයකට වැඩි වූ තමන් වැන්නවුන් වෙනුවෙන් ඔහු මෙසේ හඬ නඟයි...

“සාමාන්‍යයෙන් ආබාධ සහිත වූවන් කොටස් හතරකට බෙදනවා. ඒ ශ්‍රව්‍ය, දෘශ්‍ය, කායික හා බුද්ධි වර්ධන කියලා. 2012 වර්ෂයේ කරන ලද සංගණනයට අනුව අපේ රටේ අවුරුදු 5ට වැඩි ආබාධ සහිත වූවන්ගේ ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 8.7ක්, ඒ කියන්නේ ලක්ෂ 16ක් පමණ වනවා. ඒත් මේ සංගණනයට වයසට යෑම නිසා චලනය විය නොහැකි අය, අවුරුදු පහට අඩු දරුවන් වගේම මානසික රෝගී තත්ත්වයන්වලින් පෙළෙන අය අයත් වෙලා නෑ. ඒ නිසා දත්තවල නිරවද්‍යතාවේ යම් ගැටලුවක් තිබෙනවා. කොහොම වුණත් මේ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ මේ රටේ ශ්‍රම බළකායට එක් වෙලා තිබෙනවා. ඒත් ඉන් බහුතරයක් පිරිමි අය. මොකද කාන්තාවන්, කාන්තාවන් වීම සහ ආබාධ සහිත වීම කියන කරුණු දෙක නිසා ද්විත්ව අසාධාරණයකට ලක් වෙනවා. හැබැයි අපේ පිරිසෙන් සියයට 70ක් ඉන්නේ වැඩක් කරන්න පුළුවන් අය. රජයේ රැකියාවලින් සියයට 3ක් ආබාධ සහිත වූවන්ට දිය යුතුයි කියලා තිබුණාට ඒ ප්‍රතිශතය සම්පූර්ණ කෙරෙන්නේ නෑ. මම කියන්නේ මානසික දුර්වලතා තිබෙන අය ගැන නොවේ. ඔවුන්ට යමක් තේරුම් ගැනීම අපහසු නම් වැඩ කරන්න බැරි වෙයි. ඒත් අනෙක් කොටස් තුනම සමහර විට යම් ආධාරකයක් සමඟ හෝ වැඩක යෙදෙන්න පුළුවන් අය. උදාහරණයක් ලෙස මට වේගයෙන් ලියන්න බැරි වුණාට පරිගණකයකින් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය අයටවත් හරියට කරගන්න බැරි ස්වයං රැකියා සඳහා ආබාධ සහිත වූවන් යොමු කිරීම සාර්ථක ක්‍රමයක් නොවෙයි. මේ දේවල් පිළිබඳ රටේ තීන්දු-තීරණ ගන්නා අය නිවැරදිව සිතිය යුතුයි. 2007දී අස්සන් කළ ලෝක ප්‍රඥප්තිය අනුමත ක‍ෙළ් 2016දී. එයින්ම තේරෙනවානේ තරම!”

කසුන්ජිත් සිය සමාජ කණ්ඩායම වෙනුවෙන් ප්‍රබලව පවසන්නේය. එයට උදාහරණ ඔහු සපයන්නේ පිටරටවලිනි...

“පිටරටවල අපේ තරම් මේ තත්ත්වය බලපාන්නේ නෑ. අපේ රටේ ආබාධ සහිත වූවන්ට සහාය දෙන ක්‍රමයක් සැකසී නැති වීම විශාල අඩුපාඩුවක්. අපේ අධ්‍යාපන ක්‍රමයේ වුණත් අන්තර්-කරණ ක්‍රියාවලිය හැදිලා නෑ. අතක්-පයක් නැති වීම අධ්‍යාපනය නොලැබීමට හේතුවක් නොවෙයි. සමහර දෙමවුපියන් පවා තමන්ගේ දරුවාගේ ආබාධය මුදල් ඉපැයීමට ක්‍රමයක් කරගන්නවා. මේ වගේ හේතු නිසා සමාජය හිතන්නේ අපට අනුකම්පා කළ යුතුයි කියලා. ඒක නෙවෙයි විය යුත්තේ. ආබාධ සහිත අය වෙනුවෙන් අනුකම්පා කිරීමෙන්, සුළු උදවුවකින් අපේ අයිතිවාසිකම් වැසී යනවා පමණයි. ඒ සිතිවිල්ල වෙනස් කිරීමට ඔවුන්ට අවබෝධය ලබා දිය යුතුයි. ඇත්තෙන්ම ආබාධ සහිත වූවකු දුටු විට විය යුත්තේ සාමාන්‍ය අයගේ සිතේ සහ-කම්පනයක් ඇති වීමයි.

“පැරා ඔලිම්පික් පවත්වනවා. ඒ දිනන අය ගැන රටවල් කොයි තරම් ඇගයීමක් කරනවාද? ඒ වගේම අපේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තුන්වැනි ස්ථානය අරගෙන ආවා. ඔවුන් ගැන කතා කළේ කවුද? යුරෝපා රටවල වගේම සිංගප්පූරුව, ජපානය වගේ ආසියාතික රටවලත් ආබාධ සහිත වූවන් පිළිබඳ සමාජයේ තිබෙන ආකල්පය අපේ රටට වඩා බොහොම සුබවාදීයි. අප ඇති කළ යුත්තේත් එවැනි තත්ත්වයක්.”

ආබාධ සහිත වූවන් පිළිබඳ ඔහුගේ ඍජු අදහස අපට කීවේ මෙසේය...

“යුද්ධයක් අවසන් වුණු රටක, ආබාධ සහිත වූවන් ගැන මීට වඩා සිතිය යුතුයි. මොකද: යුද වාතාවරණයේදී ආබාධිත වූ අයත් මේ සමාජයේ සිටින නිසා. එත් අප සිතන්නේ මෙය කර්මය නිසා ඇති වූවක් හැටියට නොවෙයි. ඊට වඩා කර්මය පටිසන් දෙන්නේ මේ විදිහට හිතන සමාජ වටපිටාවක ජීවත් වන්න සිදු වන විටයි. අනෙක ආබාධ සහිත වූවෙක් කියන්නේ අනෙක් අයට පින් රැස් කරගන්න තිබෙන පින් කැටයකුත් නෙවෙයි. අපි ඉල්ලන්නේ බාපු මාළුන් නෙවෙයි. බිළී පිත්ත අපට දෙන්න. අපටත් පුළුවන් සාමාන්‍ය අයට වගේම මාළුවා බාගන්න.”

පාඨක හද ගැස්මට විවර වන සිළුමිණ ‘ජනහද, ඔබේම පිටුවට නිර්මාණ එවන්න.

සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්
ඩී.ආර්.විජයවර්ධන මාවත
කොළඹ 10

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.