ඇත්ත කතා කරන එක නතර කරල වැල යන අතට මැස්ස ගහන්න | සිළුමිණ

ඇත්ත කතා කරන එක නතර කරල වැල යන අතට මැස්ස ගහන්න

නරේන්ද්‍ර අපි කාගෙ කාගෙත් ජීවිතවල කාටවත් කියන්න බැරි පුංචි පුංචි සිදුවීම් කතාබහ රහස් තියෙනවා. ඒ් ගැන හිතමින් දුක් වෙන්න දෙයක් නැහැ. අපිට අතීතයේ ජීවත් වෙන්න බැහැ. අනාගතේ ජීවත් වෙන්නත් බැහැ. නමුත් දැන් මේ මොහොත තමන් ජීවත් වෙන්නෙ කොතනද අපි එතනට ඒ මොහොතට මුහුණ දෙන්න ඕන. ජීවත් වීමේ කලාව ඒකයි.

නරේන්ද්‍ර තමා කෙරෙහි ම පුදුම‍ වෙමින් සිටියේය. ගැහැනියක හමුවේ සිත කය වචනය මෙතරම් ම සංසුන්ව හසුරුවා ගැනීමට හැකි වීම ඇය ලත් ජයක් නොව තමා ලත් ජයකැයි ඔහුට සිතිණි. ඇය පෙර කවරදාක හෝ නොවූ තරමේ ළෙන්ගතු කරුණාවකින් තමා වට කර ගෙන සිටින්නේ හෘදයේ වේදනාව කෙරෙහි බියෙන් යැයි සිතෙන විට ඔහු සිත උපන්නේ ලජ්ජාවකි. හෘද වේදනාව කෙසේ වුණත් හදවතට පීඩා දුන් දුක්ඛිත බරකින් නිදහස් වීම නම් මුසාවාදයක් නොවේ යැයි ඔහු සිතුවේ බොරුකීම පිළිබඳ ඇය තුළ ඇති අප්‍රසාදය සිහියට නංවා ගනිමිනි.

“ප්‍රියදෝණි මහමායා, දැන් කොහොමද ඔයා ගෙ මිනිස් ජනාවාස ව්‍යාපෘතිය? තාම ක්‍රියාත්මක ද? නැත්නම් අපේ රටේ හැටියට හිස් ප්‍රලාපයක් විතරද?”

ඔහු ඇසුවේය. ඇය පිළිතුරු දෙනු වෙනුවට කල්පනා දෙනෙතින් ඔහු දෙස බලා සිටින්නට වූවාය.

“මට පේන්නෙ ව්‍යාපෘතිය අතෑරිලා වගේ?”

“නෑ නරේන්. මෙහෙට ආවට පස්සෙ තමයි මට හුඟක් ම තේරුම් ගියෙ මේ මහ පොළොව මත්තෙ ගොඩ නැගෙන්න ඕන මිනිස් ජනාවාසමයි කියලා. රටවල් සිය ගානක ගෑනු ළමයි පිරිමි ළමයි මෙතන හරිම සතුටෙන් සාමයෙන් ඉගෙන ගන්නවා. සමහරු විවාහ වෙනවා. ලෝකය හුඟක් පුංචි වෙලා නරේන්. ඒ පුංචි ලෝකෙ අනවශ්‍ය විදිහට ගතානුගතික පැවතුම් එක්ක ජීවත් වෙන්න බැහැ. සදාචාරය, සංස්කෘතිය, සම්ප්‍රදාය, ශිෂ්ටාචාරය වැදගත්. ඒවා ජීවිතය අර්ථවත් කරනවා. ඇත්ත. නමුත් මිනිහෙක් වීම තමා වැඩියෙන් ම අවශ්‍ය.”

“මහාමායා, දැන් ඉතින් ඔයා මෙහෙ හිටියා ඇති. ඔයාගෙ ජීවිත දර්ශනය වටින්නෙත් ප්‍රායෝගික වන්නෙත් අපේ රටේදි. ඉන්දියාවෙ හැම මනුෂ්‍යය ම ඉන්දියානුවෙක්. ලංකාවෙ හැම මනුස්සයම ශ්‍රී ලාංකිකයෙක් කරන්න නේද ඔයා මහන්සි වුණේ? ඔය ශිෂ්‍යත්වයෙන් ඔයාටවත් රටටවත් පලක් නැහැ. අපි යමු. ඔයාගෙ පුංචි හඬ මහා මිනිස් ඝෝෂාවක්, මහා ප්‍රාර්ථනාවක් කරන්න අපි එකතු වෙමු. රටක් පිළිබඳ මනා ප්‍රාර්ථනාවක් පෞද්ගලික ප්‍රාර්ථනාවකින් අඩපණ කරන එක අසාධාරණයි.”

තමා කොතෙක් ඇවිටිලිකළ ද ඇය දැඩිව ගත් තීරණයකට අනුව ආපසු ඒම ප්‍රතික්ෂේප කළේ සාධාරණ හේතු පෙන්වමිනි. තවත් තුන් මසක අධ්‍යයනයකින් පසු ආපසු ඒමට හැකි බවත් ඉතිරිය අන්තර්ජාලය ඔස්සේ නිමා කළ හැකි බවත් ඇය පවසන විට එය පිළිගැනීම මිස බලපෑමෙන් ඵලක් නැතැයි ඔහු සිතා ගත්තේ අමනාපය සඟවාගෙනය.

“‍‍හොඳයි වස්තුවෙ මං ලබන ඔක්තෝබර් මාසෙ මෙහාට ඇවිත් ඔයා අරන් යනවා. අපි එත‍කොට ටිකක් ඇවිදිමු. ඔයා මට ඕ‍න. මතක තියා ගන්න.”

තමා එසේ පොරොන්දු දී ආපසු ආවද සැප්තැම්බර් මාසයේ අනපේක්ෂිත ලෙස මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් වුණෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට සිදුවීම තුළ සුපුරුදු ලෙස තමාට ඇය අමතකව ගියා සේ වීම බලවත් වරදකැයි නරේන්ද්‍රට සිතුණේ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා දෙසතියකට පමණ පසුවය. ඔහු නියෝජනය කළ පක්ෂය පරාජයට පත්ව තිබුණත් දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද සටනින් දෙවෙනියා වීම ඔහුට සතුටක් ගෙන දුන්නේ නැත.

මේ කාර්ය බහුල කාලයේ ඔහ‍ුගේ ජංගම දුරකථනය තාවකාලික පෞද්ගලික ලේකම්වරියක සේ සේවය කළ ඥාති දියණියක අත තිබුණෙන් ඇයගේ අවධානය මුළුමනින්ම දේශපාලන ඇමතුම් කෙරෙහි පමණක් යොමු වී තිබිණි.

ඔක්තෝබර් මැතිවරණ මෙහෙයුම පොදුවේ පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා නොව එකිනෙකා අබිබවා යන්නට උත්සාහ කරනා එක් එක් පක්ෂ තුළ පැවති සටනක් සේ විය. පක්ෂ දේශපාලනය පිළිබඳ ඔහු තුළ උපන්නේ කලකිරීමකි. ඒ සටනේදී තමා තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වේදිකාව දෙදරවන, වහසි බස් දොඩවන, උදම්ව සිටින මිතුරු සතුරු සියලු දේශපාලනඥයින් පිළිබඳව ඔහු තුළ උපන්නේ නොරුස්නා හැඟීමකි. දේශපාලනඥයින් තුළ තිබිය යුතු අවංකකම වල් වැදී ඇතැයි ඔහු කීවේ ලේකම්වරයාටය.

“අපි සේරම‍ මෝල් දේපාලනඥයො”

ඔහු කියන විට ලේකම්වරයා නිහඬව අසා සිටියා පමණි.

“වේදිකාවල කතා කරන්නෙ පක්ෂ ප්‍රතිපත්ති ගැනවත් විකිණෙන්න යන රට ගැනවත්, දරුවන්ගෙ අනාගතය ගැනවත් නෙමේ. කොහොම හරි දිනලා තමන්ගෙ පෞද්ගලික බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තමා අපිට ඕන. මට මේ දේශපාලනේ එපා වෙලා සිරිමෙවන්.”

නරේන්ද්‍රගේ කලකිරීම ලේකම්වරයාට වැටහී තිබිණි. එහෙත් මේ සත්‍ය මාවතේ ගොස් ඔහු හුදකලා වනු ඇතැයි ලේකම්වරයා බිය විය.

“සර්. කරුණාකරලා ඇත්ත කතා කරන එක ටිකක් නතර කරන්න. වැල යන අතට මැස්ස ගහන්න ඕන. ඊට පස්සෙ ඇත්ත කතා කරන්න.”

පාර්ලිමේන්තුවේ මහා ගාලගෝට්ටි මැද වැල යන අතට මැස්ස ගසන්නට නොසිතූ නරේන්ද්‍ර අතිශයින් හුදකලා දේශපාලනඥයෙකුගේ භූමිකාවකට අවතිර්ණ වූයේ ඔහුටත් නොදැනීමය.

“සර් ප්‍රියදෝණි මැඩම් ලංකාවට ඇවිත්.”

දිනක් සිරිමෙවන් ලේකම්වරයා කීවේ අසතුටු බැල්මක් නෙත ඇතිවය.

“සර්ට කෝල් පනහක් විතර අරන්.”

“නෑ... එහෙනම් අර කෙල්ල මට කියන්න නැතුව ඇති.”

දිනක් නරේන්ද්‍ර ඇය සොයා ගියේය. ඇය නිවෙසේ නොසිටියාය. ඔහුගේ දුරකථන ඇමතුම්වලට ද ප්‍රතිචාර නොදැක්වූවාය.

“ඒ අනිත් වධකාරි.” ඔහු සිතුවේය.

**********

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු යාන්ත්‍රණයක සමාජ හිතකාමී බවට නිවැරදි අර්ථ ගන්වන්නට ප්‍රථම වරට ස්විස්ටර්ලන්තයට ගිය ගමන මේ වන විට අතීතයේදී හමුවන ලජ්ජා සහගත සිදුවීමක් ලෙස සිත කොනක තැන්පත්ව තිබීම දඬුවමක ස්වරූපය ගෙන ඇතැයි නරේන්ද්‍රට දැනිණි. දෛවය එම දඬුවමට සරදම් කරමින් යළිත් තමා ස්විස් රටට කැඳවා ගෙන යෑමට දැලක් එළමින් සිටින්නාසේ සිත නොසන්සුන් කරවීම නරේන්ද්‍ර මවිතයට ද පත් කරවන්නක් විය.

ස්විස් යෑමට පෙර සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ගැනීමේ වුවමනාවෙන් ඔහු නේෂන් වෛද්‍යවරයා හමුවීමට ගියේය. එම වෛද්‍ය පරීක්ෂණය සැබවින් ම නේෂන් වෛද්‍යවරයා ගේ අවවාදයක් වන් ඉල්ලීමකට අවනත වීමකි.

“හැමදේ ම සාමාන්‍යයි.”

පරීක්ෂණය අවසානයේ නේෂන් වෛද්‍යවරයාත් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුත් නරේන්ද්‍රගේ සිත වූ සැක බිය පහ කොට සිත සුවපත් කළේ ස්විස් ගමනට ද සුබ පතමිනි.

“නරේන්ද්‍රලා මේ තුන්වෙනිදා යනවා. අපේ කණ්ඩායම හත්වෙනිදා ඔයාලට එකතු වෙන්න එනවා. එහෙමනෙ?”

“අපේ කණ්ඩායම කිව්වෙ?”

රෝහල් භෝජනාගාරයට ගිය නේෂන් වෛද්‍යවරයා සහ නරේන්ද්‍ර සේවකයෙකු එනතුරු කතා බහක යෙදෙන්නට විය.

“අපේ කණ්ඩායම කියන්නෙ ම‍නෝ දුවයි, රෝජායි යාපනෙන් එන රඝුපතියි භවානියි. රඝුපති යාපනේ විශ්වවිද්‍යාලේ උගන්වනවා. භවානිට භාෂා පහක් විතර හොඳට කතා කරන්න පුළුවන්. විශේෂයෙන් ඒ ළමයා ජර්මන් දන්නවා. ස්විස්වලදි ජර්මන් හුඟක් වැදගත්. ප්‍රයෝජනවත්. තව කාරණයක් රඝුපති භවානිව කසාද බැඳලා ඉන්නෙ. තව ම උත්සවයක් අරන් නැහැ.”

‍නේෂන් වෛද්‍යවරයා යාපනයෙන් පැමිණෙන තරුණයා සහ තරුණිය පිළිබඳව නරේන්ද්‍ර දැනුවත් කළේ පෙර දිනයේ රෝජා දියණිය තමාගෙන් කළ ඉල්ලීම ඉටු කරමිනි.

“ඒ ගොල්ලන්ගෙ පරණ ම යාළුවා ඉන්ද්‍රජිත් පස්වෙනිදා ලංකාවට එනවනෙ... නැත්නම් ඔයා යනකොට ම දරුවන්ටත් යන්න තිබුණා.”

නේෂන් වෛද්‍යවරයාගේ හඬ කල්පනා සහගත විය. ඔහු රෝජා ගැන සිතනවා ඇතැයි නරේන්ද්‍ර සිතුවේය.

“දූ කෙල්ල ගැන බය වෙන්න එපා.”

නරේන්ද්‍ර කීවේ පිය සිත සනසවන්නටය. ගතවූ දින කිහිපය පුරාම ඔහු වරින් වර රෝජා සඳපාණිට දුරකථන ඇමතුම් ගත්තද ඇයගෙන් ප්‍රතිචාරයක් පිළිතුරක් ලැබුණේ නැත. දියණියගේ මුරණ්ඩුකම ගැන පියාට කීමට නුපුළුවන.

“නැහැ නැහැ. මගෙ දරුවා ගැන මට කිසිම බයක් නැහැ.”

නේෂන් වෛද්‍යවරයා කීවේ දියණිය නිසා උපන් විශ්වාසයේ සහ ආදරයේ සංකලනයක් වන් සිනාවක් මුවඟ ඇතිවය.

“එයා බොහොම කල්පනාවෙන් ජීවිතේට මුහුණ දෙන්නෙ. අනවශ්‍ය ප්‍රශ්න පටලවා ගන්නෙ නැහැ.”

දියණියක පිළිබඳ පියෙකුගේ මේ විශ්වාසී කතාව වැනි කතාවක් මින් පෙර නරේන්ද්‍ර අසා තිබුණේය.

“නරේන් මං ජීවිතේ පටැලැවිල්ලක් කර ගන්න කැමති නෑ. ඒක මහ වධයක්. ඇත්තට ම අනවශ්‍ය ප්‍රශ්නයක්.”

එවිට ප්‍රියදෝණි මහමායාට කතාවේ අවසානයක් දීමට නරේන්ද්‍ර නොසිතුවේය. නොරුස්නාව සිතේ පිරෙන්නට විය.

“හරි. හරි ඔයා කියන්නෙ මං ඔයාගෙ ජීවිතේට මහා පටලැවිල්ලක් කියලනෙ. එතකොට මං ඔයාට අනවශ්‍ය ප්‍රශ්නයක්. ඇත්තට ම ඔයාව ආස්සරේ කරනවට මට මඩුවලිගෙකින් තලන්න ඕන.”

එදින ඔහු අප්‍රසාදය පළ කළේ ඇය දෙස තර්ජනාත්මකව බලමිනි. ඇය ඔහු කෙරෙන් දෙනෙත් ඉවතට යොමු කර ගත්තාය.

“නරේන්, මං සතුටෙන් ඉන්නවා දකින්න ඔයා කැමති ම නැද්ද?”

දුකින් තැවෙන සිතෙන් ඇය ඇසූ ප්‍රශ්නවලට තමා කළේ ඇය හෑල්ලුවට ලක් කරමින් සරදම් සිනා පෑම නොවේ ද? ගැහැනියකගේ නොකිලිටි අහිංසක ප්‍රේමයට තමා මෙතරම් පීඩා දුන්නේ කුමන අකුසලයකට නතුවද?

“මේ.. මේ... ඔයාගෙ හිතේ අසතුටක් දුකක් ඇති වුණොත් ඒක ඔයාගෙ ප්‍රශ්නයක්. ඒක මට අදාළ නැහැ.”

තමාගේ එවන් රුදුරු වචන නෑසෙන සවනින් සිටින්නට ඇය ගත් සියලු උත්සාහයන් නිරර්ථක වූ තැන ඇය තම දෙනෙත් හමුවෙන් නොපෙනී යෑම ඔහුට ඇදහිය නොහැකි පිළිගැනීමක් විය. ඇයට එවැනි දැඩි තීරණයක් ගත නොහැකි බව ඔහුගේ විශ්වාසය වී තිබිණි.

තමා ඉදිරියේ සිටිනා නරේන්ද්‍ර මන්ත්‍රීවරයා සිතට දැරිය නොහැකි ගැඹුරු කල්පනාවක් පතුලේ ගිලි ගිලී සිටින්නාසේ නේෂන් වෛද්‍යවරයාට දැනෙන්නට විය. රෝජා දියණියට අසන්නට ලැබී ඇති කෙටි ඉතිහාස කතාවක ඛේදාන්තය මේ මිනිසාට පෙම් කළ ගැහැනියක් ඔහුගේ කෲරකම් දරා ගත නොහැකිව ඔහු කෙරෙන් සැඟවී පලා යෑමය.

“නරේන්”

නේෂන් වෛද්‍යවරයා නරේන්ද්‍ර ඉදිරිපිට මේසයට ඇඟිල්ලකින් තට්ටු කළේ හඬ නැගෙන පරිදිය. තිගැස්සුණ නරේන්ද්‍ර නේෂන් වෛද්‍යවරයා දෙස බලා බොල් සිනාවක් පෑවේ සිනා නොවී බැරිකමටය.

“ලොකු කල්පනාවක්? මොකද?”

“මීට කලින් මං රාජ්‍ය නියෝජිතයෙක් හැටියට ස්විස් ගිහින් තියෙනවා. ඒත් මේ වගේ ම ලෝක ව්‍යාප්ත ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනකට තමා. ස්විස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මං ටිකක් කැමතියි. අපේ රටට ඕන විදිහට ඒකෙ වෙනස් කම් කරන්න තියෙනවා. හැබැයි ස්විස් නීති දේශපාලනේට හොඳ වුණාට පක්ෂ දේශපාලනේට හොඳ නැහැ.”

“ඒක මිසක්”

ඔහු මුසාවාදයක් පවසන බව දැන දැන වුවද කල්පනාකාරී ලෙසින් නේෂන් වෛද්‍යවරයා කීවේ හිනැහෙමිනි.

“ඉතින් හිනා වෙන්නෙ? මං මහ ලොකු රහසක් හංගගෙන නොකියා ඉන්නවා වගේනෙ?”

එවර නේෂන් වෛද්‍යවරයා නරේන්ද්‍ර දෙස බැලුවේ විමසිලිමත් දෙනෙතිනි.

“නරේන්ද්‍ර අපි කාගෙ කාගෙත් ජීවිතවල කාටවත් කියන්න බැරි පුංචි පුංචි සිදුවීම් කතාබහ රහස් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හිත හිතා දුක් වෙන්න දෙයක් නැහැ. අපිට අතීතයේ ජීවත් වෙන්න බැහැ. අනාගතේ ජීවත් වෙන්නත් බැහැ. නමුත් දැන් මේ මොහොත තමන් ජීවත් වෙන්නෙ කොතනද අපි එතනට ඒ මොහොතට මුහුණ දෙන්න ඕන. ජීවත් වීමේ කලාව ඒකයි.”

“පුංචි පුංචි සිදුවීම්?”

නරේන්ද්‍ර මුවඟින් දුක්බර සිනාවක් මතු විය.

“ෂර්මිලා නැති වුණ එක ඩොක්ටර්ට පුංචි සිදුවීමක් නෙමේ නේද?”

“ස්වාමි පුරුෂයෙක් විදිහට මං අසරණ වුණා. ඇත්ත. ඒත් තාත්තා කෙනෙක් විදිහට මං අතිශයින් ම සාර්ථක වුණා. මගෙ දරුවා මට සම්පූර්ණ ‍ලෝකයක්. සම්පූර්ණ ජීවිතයක්.”

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.