කට­ගැ­ස්මට ගෙනා මැල්ලුම | සිළුමිණ

කට­ගැ­ස්මට ගෙනා මැල්ලුම

“මතට තිත තබමු’ යැයි කියූවද, තිතට මත් වූවත් අපි අනන්තවත් දැක ඇත්තෙමු.

මඟුල, අවමඟුල, බණ, දානේ හා උපන් දින සාද යන සියලු තැන්හිදීම සමහර අයට සියල්ලට වඩා ඉස්සර වන්නේ ‘මතය.”

මේවාට යන සමහර අය, බොන්නට ම බලාගෙන යති. එහිදී බොන්න නො දෙන්නේ නම් තමන්ගේ ‘කාර්’ එකේ හෝ ‘බාර්’ එක දමා ගනිති.

මඟුලට, තෑග්ගට දෙන මොනර කොළ ගණන තීරණය කරන්නේ ද බීමට දෙන තරමටය. ටයි කෝට් ඇඳගෙන යන මහත්වරුන් හතර ගාතෙන් ගෙදර එන්නේ ද මේ අපූරු බීම නිසා ය.

මේ ඒ බීම ගැන නොව ‘බයිට්ටෙක’ ගැන කතාවකි.

සමන්තගේ මව මිය ගියේ හදිසි හෘදයාබාධයකිනි. ඔහුගේ කාර්යාලයේ සිටි බොහෝ දෙනෙකු මළ ගෙදරට ගොඩ වී සමන්තගේ මවට අවසන් ගෞරවය දැක්වූ අතර, සමන්තගේ සමීපතම මිත්‍රයන් තිදෙනෙක් අවසන් කටයුතු සිදු කරන දාද එයට සහභාගි වීමට තීරණය කර ගත්හ.

ඒ අවමඟුල් කටයුත්තට සහභාගි වීමේ අවශ්‍යතාවයට වැඩිය ඒ හරහා ලැබෙන අවකාශයෙන් ‘මත්’ වීමේ අභිලාෂය සඳහා ය.

මේ තිදෙනාම බීමට රුසියෝ ය. මළගෙදර, මඟුල්ගෙදර, දානෙ ගෙදර කෙටහලු ගෙදර, උපන් දින සාදය, මෙකී නොකී ඕනෑම තැනක නැතිනම් තනිවම හිටගෙන හරි බොන්නට කැමැති ‘බේබද්දෝ’ ය.

බීමට මහත් රුචිකත්වයක් දක්වන ඔවුහු සමන්තගේ මවගේ මළ ගෙදරට ද ගොස් බීමට කතිකා කර ගත්හ.

සමන්ත මේවට එතරම් ලොල් වූවෙකු නොවන නිසා, ඔහුට‍ කරදරයක් නොකොට යන ගමනෙන් ම ‘බාර්’ එකකින් බෝතලයක් රැගෙන යමු යැයි තිදෙනා තීරණය කළහ.

මිල දී ගත් බෝතලයත් සඟවා ගෙන මළගෙදරට ගොඩ වූ ඔවුන් සමන්තට කීවේ ‘සෙට්’ වෙන්නට තැනක් ‘සෙට්’ කරන ලෙස ය.

මළ ගෙදරට මදක් එපිටින් පිහිටි තම අසල්වැසියෙකුගේ නිවෙසකට මේ තිදෙනා කැඳවා ගෙන ගිය සමන්ත, එහි ඔවුන්ට ‘සෙට්’ වෙන්නට කටයුතු සැලසුවේ ය‍.

පිටතින් ඇති කුස්සියට යාබද ඉස්තෝප්පු කෑල්ලක ඔවුහු සෙට් වූහ.‍

“සමන්ත අපි එනකොට බෝතලෙත් එක්ක මුරුක්කු පැකට් එකක් ගත්තා. උඹට පුළුවන් ද තව මොනවා හරි කට ගැස්මට සෙට් කරන්න?” යනුවෙන් අසේල සමන්තට යෝජනාවක් කළේ ය.

“හරි, හරි මම මොනව හරි බලලා උඹලට එවන්නම්, උඹලා එතකං වැඩේ පටන් ගනිල්ලා.” කියමින් සමන්ත මළ ගෙදර දෙසට පිටව ගියේ ය.

බෝතලය කඩා ‘වැඩේ’ ආරම්භ කළ ඔවුහු සමන්තගේ ‘කටගැස්ම’ එනතුරු අපේක්ෂාවෙන් සිටියහ. ගෙනා මුරුක්කු පැකට් එක ද ඉවර වෙන්නට ආසන්නය.

එහෙත් තවම සමන්ත නැත.

“කෝ බං අරූ ගේනවා කිව්ව බයිට්ටෙක?”

තරමක් මත්වී සිටි එකෙක් ඇසුවේ ය.

“ඌට වැඩෑති බං”

තවෙකෙක් කීවේ ය‍.

“චැහ් මොනා හරි ටිකක් සැරට හැපෙන දෙයක් තිබ්බනං” අනෙකා කීවේ ය.

“හිටාං, හිටාං මං ෂූට්ටක් බලන්නං මේ කුස්සියේ මොනාහරි තියෙනවද කියලා... කියමින් එකෙක් පුටුවෙන් නැගිට්ටේ ය.

“ඔය දවල්ට උයපු මාළු වළඳවත් තියෙනවද බලපං”

එම මුළුතැන්ගෙය තරමක් අඳුරු එකක් වූ අතර වැනි වැනී ගිය මිතුරා ළිප උඩ තබා තිබ‍ූ වළඳට හොස්ස පොවා බැලුවේ ය.

අඳුර නිසා වළඳේ තිබෙන දේ ඔහුට නිශ්චය කරගත නොහැකි විය.

වළඳට අත දැමූ ඔහු ඉන් යමක් ගෙන කටේ දමා ගත්තේ ය. කට දවාලන සැරකුත් සමඟ අමුතු රසයක් කටට දැනුණේ ය.

“මැල්ලුමක්”

“මචං මැල්ලුමක් විතරයි බං කුස්සිය හරියටම තියෙන්නේ, හැබැයි කට කඩලා යනවා. කොච්චි දාලද කොහෙද කියමින් ඔහු වළඳත් ඔසවා ගෙනැවිත් කුඩා ටීපෝව මත තැබුවේ ය.

“මැල්ලුමක් හරි ඕන මඟුලක්” කියමින් එකෙකු මැල්ලුම් අහුරක් කටේ දමා ගත්තේ ය.

“ච්හාග්... කට කඩලා යන සැරක්... මරු ඔහු කට පිස දමා ගනිමින් කීවේ ය. ඉන් පසු තිදෙනා මැල්ලුම ‘බයිට්ටෙකට’ ගෙන අරක්කු බෝතලය හිස් කරන්නට වූහ.

“මැල්ලුමක් වු‍ණත් වෙලාවේ හැටියට ගැළපෙනවා” කියමින් තිදෙනාම මැල්ලුම් අහුරු කටට දමා ගත්හ.

කෙසේ හෝ අවසන් කටයුතු සඳහා යන්තම් වැනෙමින් කනත්තට ගිය තිදෙනා සමන්තට නෝක්කාඩු කියූවේ ‘බයිට්ටෙකට’ මොනවත් නොගෙනාව නිසා ය.

අවසන් කටයුතු අවසන් වූ පසු තිදෙනාම පිටව ගියේ ගේ දොර බලා යෑමට ප්‍රමාද වන බව දන්වමිනි.

සමන්ත යළි කාර්යාලයට පැමිණියේ දින දෙකකට පසුව ය. කාර්යාලයට පැමිණි වහාම ඔහු සිය මිතුරන් හමුවීමට ගියේ කාරණාවක් නිරාකරණය කර ගැනීම සඳහා ය.

“එදා උඹලා අර ගෙදර කුස්සියෙන් මොනවා හරි කෑවද?”

සමන්ත ඇසුවේ ය.

“උඹට බයිට්ටෙකක් සප්ලයි කරන්න කිව්වාම, ‍උඹ පැත්ත පළාතක ආවේ නෑ‍. අපි ගෙනාපු මුරුක්කු ටිකත් ‘බක්’ ගාලා ගියා. පස්සෙ මෙන්න මේ රංජියා කුස්සියෙ තිබිලා මැල්ලුං වළඳක් ගෙනාවා. අපරාදේ කියන්න බෑ මචං ඒ වෙලාවේ හැටියට, ඒ මැල්ලුමත් ‘පට්ට’ යනුවෙන් මිතුරා කීවේ ය.

“මැල්ලුම.... යකෝ තොපි කාලා තියෙන්නේ මැල්ලුමක් නෙමේ...!” සමන්ත උස්හඬින් කීවේ ය.

“හැහ්... මොකක්? නෑ මචං ඒක මැල්ලුමක්... කියමින් අනෙක් දෙදෙනා ද කතාවට පැන්නහ.

“මැල්ලුමක් නෙමේ යකෝ. තොපි කාලා තියෙන්නේ ඒ ගෙදර ඇන්ටිගෙ කකුලෙ දදයකට බඳින්න හදපු පත්තුවක්” යැයි සමන්ත කී විට මිත්‍රයන් තිදෙනාගේ කන්වලින් දුම් පිටවෙන්නට විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.