ගෞතම දරුවන්ගෙන් වැලිකන්දට නිවාස | සිළුමිණ

ගෞතම දරුවන්ගෙන් වැලිකන්දට නිවාස

“ගෞතම දරුවෝ” සද්කාර්යයේ

අපට ස්ථිර ආදායමක් නැහැ. අපිට ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. වැඩිමල් පුතාලා දෙන්නම පැවිදි වුණා. අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් දෙක වසරේ ඉගෙනුම ලබනවා. බාලම පුතාට අවුරුදු එකහාමරයි.

මේ දවස්වල කුරුලුබැද්දට වහිනවා. අපිට වැස්සට කළින් ගේ හදලා දුන්න එක ලොකු දෙයක්. නැත්නම් මේ වැස්සට අපේ මැටි ගේ කඩා වැටෙනවා. එහෙම වුණා නම් අපි දරුවොත් එක්ක තවත් අසරණ වෙනවා.

කොළොම්පුරයේ වයස පහළොවේ දාසයේ යෞවනියෝ වැඩිදුර අධ්‍යාපනය ලබන විට වැලිකන්දේ ඇතැම් දැරියෝ පවුල් ජීවිත ගත කරන්නාහ. ඔවුහු බොහෝ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන්නාහ. ඇතැම්හු ජීවිතය විඳින්නට පෙර විඳවන්නාහ. මෙවැනි තත්වයක දිවිගෙවනඔවුහූ කලක් කොටි ත්‍රස්තවාදීන්ට බියෙන් දිවි ගෙවූහ. දැන් ඔවුන් දිවි ගෙවන්නේ නිතර දෙවේලේ ගම් වදින වන අලියාට බියෙනි. ඒ හැරුණු විට ඔවුන්ට තවත් ප්‍රශ්න ඇත්තේය. මාස ගණන් එක දිගට පෑවිල්ල ඇල්ලු විට බීමට ජල බිඳක් නොමැතිව දුක් විඳින වැලිකන්දේ ගැමියෝ එක දිගට වැසි වැටෙන්නට ගත් විටද පීඩා විදින්නාහ. නමුදු ඔවුහූ මේ දුෂ්කරතා මධ්‍යයේ අනේක දුක්ඛ පීඩා විදිමින් තම දරුවන් රැක ගනිමින් දිවි ගෙවන්නාහ. විවිධාකර වූ සමාජිය ආර්ථික ගැටලු මැද්දේ දිවිගෙවන මොවුන්ට කාගේ වුව පිහිටක් උදව්වක් ලැබෙන්නේ නම් එය ඔවුන්ගේ ජීවිතවලට ඇස් වැසිල්ලකි.

එවැනි අසවැසිල්ලක් ලැබීමට නම් ඔවුන් වෙනුවෙන් කවුරුන් හෝ පෙනී සිටිය යුතුය. අහම්බෙන් වැලිකන්ද ප්‍රදේශයට ගිය පස්යාලේ “ගෞතම දරුවෝ” පදනම අද වන විට වැලිකන්ද අවට ගම්මානවල වෙසෙන ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විදින මිනිසුන්ට අපමණ ශක්තියක් වී ඇත්තේය.

දෙදහස් දාසය වසරේදී අධික පෑවිල්ල නිසා හටගත් නියඟයෙන් පීඩා විඳි වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට ජලය බෙදා දීමට ගිය ගෞතම දරුවෝ අවසානයේ එම ප්‍රදේශයේ ජනතාවට නිවාස සාදා දීමට තරම් පරිත්‍යාගශිලී වුහ.

ගෞතම දරුවන් බොහොම සුළු කාලයක් තුළ කරන ලද කාර්යය සුවිශාලය. මෙම කටයුත්තේදී පෙරමුණ ගෙන කටයුතු කරන චමිල පතිරණ වැලිකන්දේ ජනතාව වෙනුවෙන් බොහො කැප කිරීම් කර ඇත්තේය.

චමිල මුලින්ම සේවය කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. නමුදු දැන් ඔහු සේවය කරන්නේ වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේය.

“පහුගිය අවුරුද්දේ පෑවිල්ල කාලයේ අපි වතුර බවුසර් දෙකක් අරගෙන ගියා වැලිකන්ද ප්‍රදේශයට බෙදන්න. ඒ ගිය ගමනෙදි තමයි එක තරුණ අම්මා කෙනෙක් ඇවිත් කිව්වේ එයාගේ ගේ හදලා දෙන්න කියලා. ඇතතටම ඒ ගේ කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ ගෙයක් හදන්න පුළුවන් කමක් අපිට තිබුණේ නැහැ. නමුත් ගමට ආවට අපිට හැම වෙලාවෙම අර අම්මගෙ ඉල්ලීම මතක් වුණා. ඒ ගමන තමයි යාළුවෝ කතා වුණේ අපි මේ ගේ කොහොම හර හදමු කියලා. අපි සුළුවෙන් පටන් ගත්තේ. වැඩේ සාර්ථක වුණා. ඒ ගේ හදාගෙන යන කාලේ ඊට එහා ගෙදර කෙනති් අපෙන ඉල්ලීමක් කළා ඔවුන්ගේ ගේ හදාදෙන්න කියලා. අපි ඒ ඉල්ලීමත් ඉටු කළා. අපි කාගෙන්වත් සල්ලි එකතු කළේ නැහැ මුහුණු පොත හරහා තමයි ගෙවල් හදලා දෙන්න කැමති අය එකතු වුණේ. කෙසේ හෝ ගෞතම දරුවෝ පදනම අදවන විට ගෙවල් පනහක් හදන්න පටන් ගෙන තියෙනවා මෙයින් නිවාස විසිහතරක් බාර දී තිබෙනවා. මම සේවය කළේ මිනුවන්ගොඩ. නමුත් වැලිකන්දට යන්නයි රාජකාරිය කරන්නයි අමාරුයි. ඒ නිසා මම වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මාරු වුණා.” අනුන් වෙනුවෙන් සේවය කිරීමට ඔහු අවුරුදු එකහාමාරක් වයසැති පුතු සහ බිරිය තනිකර දමා බොහෝ දුර බැහැර පැමිණ දුෂ්කර දිවියක් ගෙවන්නේය.

වැලිකන්ද ප්‍රදේශයේ කුරුලුබැද්ද, මොනරතැන්න, අසේලපුර, නාගස්තැන්න, කඩවතමඩුව, කාලිංගවිල, ආදී ප්‍රදේශවල“ගෞතම දරුවෝ” විසින් නව නිවාස ඉදිකරන්නේය.

නව නිවෙසක හිමිකාරියක වන කුරුලුබැද්දේ පදිංචි සුරංගි විජයන්ති තම සතුට ප්‍රකාශ කරන්නේ මෙසේය.

“මගෙ මහත්තයා ගොවිතැන් කරන්නේ. අපිට ජීවත් වෙන්න අමාරුයි. හේතුව තමයි කාලෙකට මෙහෙ පෑවිල්ල. ඒ කාලෙට වගාකරන්න බැහැ. අපට ස්ථිර ආදායමක් නැහැ. අපිට ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. වැඩිමල් පුතාලා දෙන්නම පැවිදි වුණා. අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් දෙක වසරේ ඉගෙනුම ලබනවා. බාලම පුතාට අවුරුදු එකහාමරයි. මේ දවස්වල කුරුලුබැද්දට වහිනවා. අපිට වැස්සට කළින් ගේ හදලා දුන්න එක ලොකු දෙයක්. නැත්නම් මේ වැස්සට අපේ මැටි ගේ කඩා වැටෙනවා. එහෙම වුණා නම් අපි දරුවොත් එක්ක තවත් අසරණ වෙනවා.

විජයන්ති පමණක් නොව නව නිවාස ලැබූ වැලිකන්ද ප්‍රදේශයේ කවුරුත් චමිල ඇතුලු පිරිස කරන සත්කාරය අගේ කරන්නේය.

මිනිසුන්ට සේවයක් කිරීමේ අරමුණින් මෙම පදනම ආරම්භ වුයේ දෙදහස් හය වසරේදීය. ඒ කන්නිමහර භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහසේගේ උපදෙස් පරිදිය. මුලින්ම මෙහි සාමාජික පිරිස පනහක් පමණ වූයේය. ඔවුන් කරන වැඩ පිළිබඳ අද බොහෝ දෙනා අගය කරන්නේය. ‍ඔවුන් හා බොහෝ දෙනෙකු අත්වැල් බැද සිටින්නාහ. මේ වනවිට ඔවුන්ගේ සාමාජික සංඛ්‍යාව තුන්සිය ඉක්මවා සිටී. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතා , මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම්තුමා, ඇතුළු චමිලගෙ සමීපතමයන් වන අරවින්ද සුදර්ශන හා ශම්මි මනෝජ් මේ සද්කාර්යයේදී කැපවීමෙන් කටයුතු කරන්නාහ.

ඉසවි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.