ස්වයංජාත ඇල් වී අලෙවියෙන් දිවි සරි කරගන්නා මල්ලිකා | සිළුමිණ

ස්වයංජාත ඇල් වී අලෙවියෙන් දිවි සරි කරගන්නා මල්ලිකා

බදුල්ල/බිබිල මාර්ගයේ දී හමුවන තැපැල් කාර්යාලය ළඟින් වැටී තිබෙන මාර්ගයේ ගමන් කරන අතර වම් පැත්තෙන් දැකිය හැකි මහවැලි සිනමා හලට අයත් ඉඩම කෙළවර දකුණු පැත්තට දිවෙන මාර්ගයෙන් මහියංගණය පොළට ඇතුල්වීමට යද්දී තිත්ත කුණුහරුප තොගයක් කණ වැකුණු අතර ඒවා ආවේ කොයින්දැයි විපරම් කළ විට දුටුවේ කිරිකැටියකු වඩා ගෙන ත්‍රිරෝද රථයක රියැදුරු අසුනේ උන් තරුණයෙකි.

අවුරුදු 28ක 29ක කෙනකු වූ හෙතෙම පොදු තැනක දී මහා හයියෙන් කුණුහරුප වැපුරුවේ කවුරු එල්ල කර දැයි බලද්දී දුටුවේ කිරිකැටියකු තුරුළු කර ගත් තරුණ කාන්තාවකි.

ඇය ඉදිරිපිට තබා තිබූ පරණ මේස රෙද්දක් ඇතිරූ කුඩා ප්ලාස්ටික් කනප්පුවක් මත, පාරදෘෂ්‍ය පොලිතීනයකින් ඔතා තිබූ වී කරලක්, එවැනි කරලකින් ගත් වී ප්‍රමාණයක්, එම වර්ගයේ වී ටිකක් ගෙන පිළියෙළ කර ගනු ලැබූ හාල් මිටක්-දෙකක් දැමූ හිස් ජෑම් බෝතලයක්, මෙකී වීත් හාලුත් ගැන කීමට යොදා ගත් මුද්‍රිත දැන්වීමක් හා ඒවා ගැන තවදුරටත් කියා දීමට බෙදාහැරෙන මුද්‍රිත තොරතුරු පත්‍රිකා 10ක් 15ක් වීය.

ඒ ළඟ ම ගාල් කර තිබූ ත්‍රිරෝද රථයකට ඈඳා තිබූ කුඩා ම කුඩා ශබ්ද විකාශන උපකරණයකින්, ඉහත කී වී වර්ගය හා හාල් ගැනත් ඒවා මෙරට ජනයාට වැදගත් වන්නේ ඇයි ද යන්න ගැනත් ඒවා මිලදී ගන්නැයි කැරෙන ඉල්ලීමකුත් මිලදී ගත් වී වගා කර ගත හැකි හා හාල් තම්බා බතක් පිළියෙළ කර ගත හැකි ආකාරය ගැනත් තොරතුරු දිගින් දිගට ම ප්‍රචාරය කරනු ලැබුණි.

එතැන දී ම අලෙවි කර ගැනීමට ඇය රැගෙන ආ බුලත් පඳුරු කිහිපයක් අඩංගු ප්ලාස්ටික් බේසමක් තිබූ තැනින් ඉවත් කර ගත යුතු යැයි ඇයට දෙනු ලැබූ නියෝගයකට බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබීමෙන් කිපී, තමා මේ ඉඳින්නේ තමාට හෝ තමාගෙන් වින්දිත කාන්තාවටත් හෝ අයත් තැනක නොව තවත් බොහෝ ජනයාටත් පොදු තැනක බව අමතක කර මහා හයියෙන් කුණුහරුප වපුරන ඉහත කී අධමයා කියන දේවල්වලටත් වරින් වර ප්‍රතිචාරය දක්වමින් මෙම කාන්තාව ඇය වෙත පැමිණෙන අය හා ගනු-දෙනු කළා ය.

ඇය අලෙවි කළේ, ඉබේ පහළ වූ යන අර්ථයෙන් ස්වයංජාත යන නම ලැබූ ඇල් වී වර්ගයකි--එම වී මිලදී ගන්නා අයට බෙදා හරිනු ලැබූ මුද්‍රිත පත්‍රිකාවේ, වී වගාවේ පෙරැළියක් යන මාතෘකාව යටතේ තොරතුරු දැක්වීම ආරම්භ කර තිබුණේ ....තථාගත බුදු පියාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවේ දී ජීවක වෛද්‍යවරයාණන් විසින් පළමු දානය වශයෙන් පිළිගැන්වීමට නියම කරන ලද, එදා රජ දරුවන් ගේ හා සිටුවරුන් ගේ රස නහර පිනවූ සුවිශේෂ වූ සහල් ප්‍රභේදය මේ වන විට ලංකාවේ පහළ වී ඇත යන වැකියෙනි.

එම පත්‍රිකාවේ තවදුරටත් කියා තිබෙන පරිදි, මෙම ඇල් වී ප්‍රභේදය ජාත්‍යන්තර සහල් පර්යේෂණ මධ්‍යස්ථානයක දීත් මෙරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආහාර විද්‍යා හා තාක්ෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. බී. නවරත්න මහතා ගේ රසායනාගාරයේ දී පර්යේෂණවලට භාජනය කරනු ලැබූවකි.

එම පර්යේෂණවල දී හෙළි වී තිබෙන්නේ මෙම වී ප්‍රභේදයෙන් ලබා ගන්නා හාල්, අනිකුත් හාල් වර්ග අභිබවා යන ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු ආහාරයක් බවකි.

දරුවන් ගේ අස්ථි, චර්මය හා ස්නායු වර්ධනයට ආධාර කරන මෙම හාල්වලින් කැඳ පිළියෙළ කර දීම ඉතා හොඳ දෙයක් බවට ඒ අතර වෛද්‍ය මතයක් ද තිබේ.

මේ වන විට, මෙරට ව්‍යාප්තව පවතින වකුගඩු රෝග, දියවැඩියාව, අධික හෝ අඩු හෝ රුධිර පීඩනය හා පිළිකා වැනි බෝ නොවන රෝග වැළඳී තිබෙන ජනයාට මෙම ඇල් වී වර්ගය ගුණදායක බවත් කියැවෙයි. ගර්භණී හා කිරිදෙන කාන්තාවන්ටත් මෙය ගුණදායී වෙයි. අමු සුදු ඇල් හාල්වල කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය 65. 2කි. ඒ අතර මේදය 4. 7ක් ද වෙයි. විටමින් හා ඛනිජ ලවණ 1. 9ක් පමණ වන බවත් ඉහත කී තොරතුරු පත්‍රිකාව දක්වා ඇත. මෙම හාල් ග්‍රෑම් 100ක විටමින් මයික්‍රෝ ග්‍රෑම් 34ත් 52ත් අතර ප්‍රමාණයක් අඩංගු බවත් එය ඉතා ඉහළ අගයක් බවත් එය තවදුරටත් දක්වා ඇත.

ඉහත කී පරිදි ගුණදායක, අඩි 3ක් පමණ දිගට දැකිය හැකි ස්වයංජාත රතු ඇල් වී ගොයම් කරලකින් ග්‍රෑම් 500ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි ලු--ඇතැම් විටක කිලෝවක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි ගොයම් කරල් ද හටගැනීමට හැකි බවත් දැක්වෙයි.

මෙම ඇල් වී ගොයම් වගාවට යෝග්‍ය පොළොවේ දී පඳුරක පැළ 25ක් පමණ ද වඩාත් සාරවත් පොළොවක දී නම් එම පඳුරක පැළ 50ක් පමණ තිබෙනු දැකිය හැකි බව ද පත්‍රිකාවේ දක්වා ඇත. රතු ඇල් වී ප්‍රභේදය එවැනි පොළොවක අඩි 12ක් පමණ උසටත් එම සුදු ප්‍රභේදය අඩි 3ත් 6ත් අතර ප්‍රමාණයක උසටත් වැඩෙයි. ඇල් වී සුදු ප්‍රභේදය වගා කර මාස 3ක දී පමණ කරල් හටගැනීම ආරම්භ වෙයි. එම රතු ප්‍රභේදය ඵල දැරීම ආරම්භ වන්නේ මාස 7ක දී පමණ බවත් තොරතුරු පත්‍රිකාවේ කියැවෙයි. හැම පුරුකක් ළඟි ම කරලක් බැගින් දැකිය හැකි ය. කරලක් හටගෙන මාසයක පමණ කාලයක් ගත වෙද්දී එය රන්වන් පැහැයට හැරෙයි--එවැනි කරල්වල් ඇල් වී හාල් ඇට මතු වී තිබෙන අයුරු දැකිය හැකි බවත් එහි තවදුරටත් කියැවෙයි. බොල් වී හට නොගැනීම හා රෝග නොවැළඳීමත් මෙම ඇල් වී වර්ගය ඉහළ තත්ත්වයක පැවැතීමට ආධාරයකි. පැසුණු වී කරල්වලින් ඇට වෙන්කර ගෙන පැය 4ක පමණ කාලයක් වතුරේ ගිලවා තබා ඉන් අනතුරුව භාජනයකට දමා තම්බා ගැනීමෙන් ඇල් වී හාලේ බතක් පිළියෙළ කර ගැනීමට හැකි බවත් කියැවෙයි.

මෙම බත් වැඩිපුර ප්‍රමාණයක් අනුභව කිරීමට උවමනා නොවෙයි. කැඳ හැටියට පිළියෙළ කර ගැනීම ඉතා හොඳ දෙයකි. රෝගීන්ටත් කදිම ඇල් වී කැඳ භාවිතය නිර්මාංශ ආහාර-පානවලට හුරු ජනයාට අපූරු ආහාරයක් වනු ඇත. ඇල් වී හාල් පිටිකර ආප්ප හෝ ඉඳිආප්ප හෝ තනා ගැනීමට යොදා ගැනීමටත් හැකි ය. අවුරුද්ද මුළුල්ලේ ම කරල් හටගන්නා මෙම ස්වයංජාත ඇල් වී ගොයම් පඳුරු 15ක් පමණ 5 දෙනකුගෙන් යුත් පවුලකට ප්‍රමාණවත් වෙයි. ගෙවත්තේ හා ගෙය ඉදිරිපිට, මෙම ඇල් වී වගාවක් තිබීම වස්-දොස් මඟහැරැවීමට ආධාරයක් බවට මතයක් ගැමි ජනයා පළ කරති. මෙම ගොයම් වගාව හා හාල් භාවිතය ජනප්‍රිය කරලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මහා ලොකු අධ්‍යාපනයක් ලැබූ හෝ ඉහළ ධනයක් තිබෙන අයකු නොව, ඈත-එපිට ගමක ජීවත්වන ගැමි ලියකි.

පවුලේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට වෙන කවුරුවත් දහඩිය හෙලන අයුරු බලා නොඉඳ තමන්ට හැකි අයුරින් දායක වීමට ගෘහණියකට හැකි බව මැය කරන කාර්යයෙන් මැනැවින් පෙනී යයි. ඕපදූප දෙඩීමට හෝ උදේ පටන් රෑ වන තුරු රූපවාහිනිය නැරැඹීමට, ගුවන්විදුලියට කන්දීමට හෝ වෙනත් දෙයකට කාලය වැය කිරීමට වඩා හරවත් යම් කාර්යයක් නිරත වීම ගෘහණියක කළ යුතු දෙයක් බව මේ දිරිය කත නොකියා කියයි.

ඔබ කැමැති නම් මෙම ස්වයංජාත ඇල් වී මිටක්-හෝ-දෙකක් ඇගෙන් ලබා ගෙන මිදුලේ මල් පඳුරු අතර තැනක හෝ ඊට වඩා ප්‍රමාණයක් ලබා ගෙන ගෙවත්තේ හෝ වගා කර බලන්න. ලංකාවේ දිළිඳුතම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ අතර පවා කැපී පෙනෙන රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් ආඳාඋල්පත-ඔයගම ග්‍රාමයේ ජීවත්වන මැය ගැන දීර්ඝ තොරතුරු දැක්වීම වෙනුවට මේ ලිපියට අමුණා ඇති ඡායාරූප 5 තෝරා ගත්තේ පිටු ගණාවකින්වත් ඉදිරිපත් කළ නොහැකි කතාවක් ඒවායින් 3ක කියැවෙන හෙයින් ම ය.

මැගෙන් ඇල් වී මිලදී ගැනීමට කළ යුත්තේ: ජී. බී. මල්ලිකා, අංක 15-ඔයගම, ආඳාඋල්පත, ඌරණිය යන ලිපිනය මගින් හෝ 0778-92 30 61 නැතහොත් 0766-75 83 91 ‍නැතහොත් 072-119 5 950 යන අංකය මගින් හෝ ඒ බව ඇයට දැන්වීම යි.

මෙම ලිපිය නිම කිරීමට පෙර ලියා දැක්විය යුතු ම වන තවත් කාරණයක් තිබේ: එය නම් අර මුලින් කී අධමයා ඉතා හොඳින් හා වැඩි කරදරයක්-හිරිහැරයක් නොමැතිව වපුරා ගත හැකි භෝගයක් ගැන කී කාන්තාවකට එල්ලකර තිත්ත කුණුහරුප වැපිරීමෙන් නොනැවැතී තවදුරටත් නිවටයකු බවට පත් ව උගේ ත්‍රිරෝද රථය ඇයට මහත් බාධාවක් වන පරිදි ගාල් කිරීමට පියවර ගත්ත ද ඈ උන් තැනට නිරතුරුව ම ජනයා ඇදී යාම ය.

මතක තබා ගන්න. බල්ලන් බිරුවාට (නොනැවතී), තවලම ඉදිරියට යනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.