හේමසිරිගෙන් පසු ට්‍රැවල් ඒජන්සිය කාටද? | සිළුමිණ

හේමසිරිගෙන් පසු ට්‍රැවල් ඒජන්සිය කාටද?

 

රටක සමස්ත ක්‍රීඩාවට බොහෝ දෑ කළ හැකි එහෙත් ලාංකේය ක්‍රීඩාවට මෙලෝ මලදානයක් නොකළ, නොකරන, රටක ජාතික ඔලිම්පික් කමිටුවක වගකීම කුමක්ද යන්නවත් නොදන්නා අපේ රටේ ඔලිම්පික් කමිටුවේ වත්මන් පාලනය ගෙදර යවා නව පාලනයක් ගෙන ඒමේ පිඹුරුපත් මේ දිනවල දිගහැරෙමින් පවතී. වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මෙවර තරග නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට ලේකම් මැක්ස්වෙල් සිල්වා නැවතත් තරගයට පිවිස තිබේ.

සියලුම දෙනා මේ මොහොතේ මැක්ස්වෙල්ට එරෙහිව කඩු අමෝරාගෙන සටනට පිවිස තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් වරට නිලවරණයක් පවත්වා ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. එකී වසර කිහිපයේම එක පොල් කට්ටේ ලුණු කෑ සැමෝම මේ වන විට බෙදී වෙන්වී තරග කරන තැනට පත්ව තිබේ. එහි ප්‍රමුඛ කාරණය මෙවර සභාපතිධූරයට හේමසිරි ප්‍රනාන්දු තරග නොකරන බැවිනි. ඒ අනුව දෙකට පිල් බෙදී ඇති පිරිස් හේමසිරි ප්‍රනාන්දු ඉවත් වූ තරගයේ පොරවල්ලා වීමට සටනට පිවිස තිබේ.

හේමසිරි මෙවර තරග නොකළ ද මීට වසර කිහිපයකට පෙර විධායක කමිටු රැස්වීමක් කැඳවා නිලවරණය පවත්වන්නට සැලසුම් කළද එකී නිලවරණය පැවැත්වීමට නොහැකි විය. එතැන් පටන්ම එවකට මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ජාතික ඔලිම්පික් කමිටුව ගැටෙන්නට විය. එකී ගැටුම ජාත්‍යන්තරයට ගියේ දේශපාලන අධිකාරිය ජාතික ඔලිම්පික් කමිටුවට ඇඟිලි ගසන බවට චෝදනාවද සමගින්ය. මේ පිළිබඳ උත්තර බඳින්නට අලුත්ගමගේ ඇමැතිවරයාට ලුසැන් නුවර ඔලිම්පික් කමිටු මහා ගෙදරට පවා යාමට සිදුවිය. එදා ඔලිම්පික් මහගෙදරට ගිය අය අද හේමසිරි ප්‍රනාන්දු පාර්ශ්වයට එරෙහිවම අවි ඔසවා අවසන්ය. ජනවාරි මස මුල නිලවරණය පවත්වන බවට මීට සති කිහිපයකට පෙර ක්ෂේත්‍රයේ කතාබහ වුවද තවමත් එය ස්ථිර නැත.

ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය වසර කිහිපය පුරාම ගිනුම් වාර්තා පවා ලබාදී නොමැති තත්ත්වයක් තුළ පවා ඔලිම්පික් නිලවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන්නෝද හිඟ නැත. ක්‍රීඩා අමාත්‍යවරයා පවා මීට පෙර ප්‍රකාශ කළේ ගිනුම් වාර්තා නොමැති නම් නිලවරණය නොපවත්වන බවය. අද මේ පොරයට වැටී සිටින්නේ කාලයක් තිස්සේම හේමසිරි ප්‍රනාන්දු ගොඩ නැගූ අයම වීම විශේෂත්වයකි. අද මැක්ස්වෙල්ට පහර දෙන අය හේමසිරි ප්‍රනාන්දු සමඟ ෂේප් න්‍යායෙන් ගනුදෙනු කරන බවද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුව යනු ට්‍රැවල් ඒජන්සියක් බව ප්‍රකාශ කළේද හේමසිරි ප්‍රනාන්දුමය. එසේ නම් හේමසිරි ප්‍රනාන්දු ගෙන් පසු මේ ඒජන්සිය කාටද යන්න නිලවරණයෙන් පසු තීරණය වනු ඇත.

 

 

කනිෂ්ඨ ආසියානු රට හරහා දිවීමේ ශූරතාව ශ්‍රී ලංකාවට

 

 

තුන්වැනි කනිෂ්ඨ ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවුරුදු 17 න් පහළ බාලක බාලිකා ශූරතා හා කණ්ඩායම් ශුරතාව දිනා ගැනීමට සමත් විය.

රටවල් 9 කගේ සහභාගිත්වයෙන් යුත් මෙම තරගාවලිය හොංකොං හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවුරුදු 15 න් පහළ හා 17 න් පහළ වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට එක් වූහ.

 

ශූරතා දිනාගත් ක්‍රීඩකයන්

චමිදු මදුසංක (කෑගල්ල රන්දිවල මහා විද්‍යාලය), හර්ෂ කරුණාරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල), සිතුම් සංජය ඩෙන්සිල් (වලල ඒ. රත්නායක මැදි විදුහල), ධම්මික විජේසූරිය (කෑගල්ල රන්දිවල මහා විද්‍යාලය), ප්‍රදීප් කුමාර (වලල ඒ. රත්නායක මැදි විදුහල), කවිෂ්ක එරංග (කලුතර බණ්ඩාරනායක මහා විද්‍යාලය)

 

ශූරතා දිනාගත් ක්‍රිඩිකාවන්

චාමිනී හේරත්, ජයන්ති කරුණරත්න, ප්‍රසාන්ති රත්නායක, සුභාෂිණී ප්‍රේමරත්න, ගිහාන්ති ජයසිංහ (වලල ඒ. රත්නායක විදුහල) හසන්ති මධුමාලි (මාතර සුජාතා බාලිකා විද්‍යාලය) 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.