ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නගන්නට පෙරුම්පුරන නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය | සිළුමිණ

ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නගන්නට පෙරුම්පුරන නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය

පොළොව යට වැළලී තිබෙන මැණිකක අගය දැනෙන්නේ එය සොයා ගෙන ඔප මට්ටම් කළ විටය. එසේ ම යමෙකු තුළ සැඟව පවත්නා සහජ ක්‍රීඩා කෞශල්‍යය රටට - ලෝකයට පෙනෙන්නේ ද, එය වැරවෑයමෙන් ඉස්මතු කරගත් තරමටය.

එසේ මතුකරගත් ක්‍රීඩා කෞශල්‍යය රටක් ජාතියක් නියෝජනය කරන්නට නම් ඊට හයිය හත්තිය තිබිය යුතුය. අපේ රටේ පමණක් නොව, මුළු මහත් ලෝකයාගේම කතාබහට ලක්වන ලෝක පූජිත ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට සවිය සහ ශක්තිය දෙන පාසල් මේ දැවැන්ත කාර්යය පසුපස වන බැවිනි. මෙයින් පළමුව ක්‍රීඩාවත්, දෙවැනුව ඊට දායක වූ ක්‍රීඩක - ක්‍රීඩිකාවනුත් තෙවැනුව ඊට දායක වූ පාසල් ද බැබලෙන්නට මඟ හසර පෑදෙනු කොතෙකුත් අපි දැක ඇත්තෙමු. එහෙත් අප බොහෝ විට හඳුනා ගන්නේ අපට පෙනෙන ක්‍රීඩාව හෝ එහි නිරතවන්නන් මිස ඊට සවිය බලය සපයන පාසල නොවේ. ගහට පොත්ත මෙන් බැඳී පවතින මෙකී සබැඳියාව එකට ගැට ගසන්නට ගන්නා උත්සාහයකි මේ.

ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියට නාවල ජනාධිපති බාලිකාවෝ ආගන්තුක වුවද, දියගම දී නිමා වූ 48 වැනි රිට්ස්බරි සර් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලාංකේය පාසල් කෙළිබිමේ නොමැකෙන සටහනක් තබන්නට මෙවර සමත් වූහ. මෙත්මා කිත්මිනිගේ කේවල ජයග්‍රහණයන් ඔස්සේ ලාංකේය පාසල් කෙළිබිමේ මඟහසර සොයමින් සිටි නාවල ජනාධිපති බාලිකාවෝ එකී ඉතිහාසය මෙවර පෙරළා දමන්නට සමත් වූහ.

1996 පෙබරවාරි 13 දා සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ මාලනී අබේසේකර දිසානායක මහත්මියගේ උත්සහය - කැපවීම සහ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස බාලිකාවෝ දහතුන් දෙනකුගෙන් සහ එක් ගුරුවරියකගෙන් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය ආරම්භ විය. මාලනී අබේසේකර දිසානායක මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කර තිබේ.

ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණි මෙකි විද්‍යාලයේ බාලිකාවෝ හොකී ක්‍රීඩාවෙන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවීමට සෑම විටකම සමත් වුහ. හොකී පුහුණුකරු වශයෙන් ඒ. එම්. පෙරේරා සහ බැඩ්මින්ටන් පුහුණුකරු වශයෙන් සමන් විජේසිංහ කටයුතු කරති. විද්‍යාලයේ හොකී ඉතිහාසය ද එතරම් ඈතට දිව යන්නක් නොවන අතර, එහි කාලය වසර දොළහකි. නමුත් මෙකී කෙටි ඉතිහාසය තුළ සමස්ත ලංකා තරග රැසක ජයග්‍රහණ ද භුක්ති විඳීමට තරම් මෙකී බාලිකාවෝ හැකියාවන් ගෙන් සහ දක්ෂතාවලින් පොහොසත්ය.

වසර දොළහක් ගුරිවරියක ලෙස සේවය කළ නයනා ලක්ෂිතා පෙරේරා ගුරු මෑණියන් මීට සිවුවසරකට පෙර තෙවැනි විදුහල්පතිනිය ලෙස පත්ව 117 ක් වූ ගුරු මඩුල්ලක් සමඟ එක්ව තුන් දහස් තුන්සියයක් ඉක්මවූ දරු කැලකගේ සිප් සතර නැණ පහන් දැල්වීමට නිබඳව කැපවී කටයුතු කරන්නීය.

අපිම නැඟිටින තැනකයි ඉන්නේ

නයනා ලක්ෂිතා පෙරේරා

විදුහල්පතිනිය

 

 

මේ ජයග්‍රහණයත් එක්ක ක්‍රීඩාවලට දරුවන් පවා විශේෂ උනන්දුවක් දක්වනවා. දරුවන්ව නිරන්තරයෙන්ම ඇගැයීමට ලක් කරන නිසා ඔවුන්ගේ විතරක් නෙවෙයි දෙමාපියන්ගේ පවා විශේෂ උනන්දුවක් මෑත කාලයේ ක්‍රීඩාවට ඇති වෙලා තියෙනවා.

අපොස සාමාන්‍ය පෙළ සියයට අනූහයක ප්‍රතිඵල තියෙනවා. ඊට කලින් අවුරුද්දේ සියයට අනූ හතයි. අපේ ඉලක්කය අපොස සාමාන්‍ය පෙළ සියයට සියයක ප්‍රතිපලයි. සාමාන්‍ය පෙළට දරුවෝ තුන්සියයක් පෙනී සිටිනවා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල පවා හොඳ මට්ටමක තියෙනවා.

ලබන වසරේ විශේෂ සැලසුම් එක්ක ඉදිරියට යන්න බලනවා. සර් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලිය දිනුවා. ලබන අවුරුද්දටත් මේ ජය රැගෙන යන්න ඕනා. හොකී ක්‍රීඩාවත් හොඳ තැනක තියෙනවා. බැඩ්මින්ටන් මධ්‍ය ප්‍රමාණයක තියෙනවා. අනිකුත් ක්‍රීඩාවලත් තරගකාරිත්වයක් ඇති කරලා ඉදිරියට යන්න ඉලක්ක තියාගෙන ඉන්නවා.

අපිම නැඟිටින්න තැනකයි ඉන්නේ. මේක ලොකු අභියෝගයක්. අපිම තමයි පාසලට අවශ්‍ය හැම දෙයක් වෙනුවෙන්ම විශේෂ ව්‍යාපෘති දියත් කරගෙන වැඩ කරන්නේ. මේ හැම දෙයකදීම මවුපියන් ගෙන් වගේම ගුරු මණ්ඩලයෙන් පවා ලොකු සහයෝගයක් තියෙනවා. අපේ පාසලට අනුබද්ධ ප්‍රාථමික පාසලක් මාදින්නාගොඩ තියෙනවා. ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියේ මතුවන දරුවෝ ඉන්නවා. 1 - 5 ක්‍රියාකාරීව, ප්‍රීතිමත් වෙමු තේමාව යටතේ තියෙන ක්‍රීඩා තරගාවලියේ කොට්ඨාශයේ තුන්වැනි තැන ලැබුණා.

මලල ක්‍රීඩා පුහුණුවීම් සඳහා බුද්ධදාස ක්‍රීඩාංගණයට පැයට රුපියල් 600/- ක් ගෙවලා යන්නේ. මේ මුදල පවා ගෙවන්නේ මවුපියන්. බැඩ්මින්ටන්වලට පැයකට රුපියල් දහසක් සහ හොකීවලට පැය දෙකට රුපියල් පන්දහසක් අපි ගෙවනවා.

 

 

2012 දී ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් මෙත්මා කිත්මිනි එළිපෙහෙළි කර ගන්නා වූ විද්‍යාලීය මලල ක්‍රීඩා වපසරිය 2015 දී මලල ක්‍රීඩාව බාර ගන්නා තනුජා රත්නායක ගුරු මෑණියන් ප්‍රමුඛ ක්‍රීඩිකාවෝ වසර දෙකක් වැනි කෙටි ඉතිහාසය තුළ 48 වැනි සර් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ප්‍රබල විද්‍යාල රැසක් පසුපසට ඇද දමමින් විජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සමත් වූහ.

බාහිර මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන ඩිලාන් මෙන්ඩිස් මෙකී ජයග්‍රහණයේ යෝධ සෙවණැල්ල විය. මේ ජයග්‍රහණයට පෙර යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ පැවැති සහාය දිවීමේ සැණකෙළියේ වයස අවුරුදු 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට ජනාධිපති බාලිකාවෝ සමත් වූහ. ඒ අතරම සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 14 පහළ බාලිකා ශූරතාවද ජනාධිපති බාලිකා විද්‍යාලය සතු විය.

2015 සර් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ වයස අවුරුදු 12 පහළ ක්‍රීඩිකාවන් දෙදනකු සහ 15 න් පහළ ක්‍රීඩිකාවක් සමගින් ඔවුන්ගේ සහභාගිත්වය තිදෙනකුට සීමා විය. එයින් 15 පහළ දුර පැනීමේ ඉසව්වට වර්ණ හිමිව තිබේ. 2016 ඇඹිලිපිටියේ පැවැති තරගාවලියේ දී වයස අවුරුදු 12 පහළ තරග කළ දුල්මි රුවන්සා එකී තරගාවලිය තම මලල ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂයක් කරගැනීමට සමත් වූවාය. එකී තරගාවලියේ පරිසාදන මට්ටම් ඉක්මවූ දක්ෂතා වෙනුවෙන් වර්ණ 15 ක් පමණ ජනාධිපති බාලිකා විද්‍යාලයට හිමිවිය.

රිට්ස්බරි සර් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ සුවිශේෂි දක්ෂතා දැක්වූ දුල්මි රුවන්සා වීරක්කොඩි සිය ඉසව් ත්‍රිත්වයේදීම වයස අවුරුදු 13 න් පහළ තරගාවලි වාර්තා තුනක් පිහිටුවීමට සමත්වීම කැපීපෙනෙන සිද්ධියක් විය.

මීටර් 100 ඉසව්ව තත්පර 13.00 කදී නිම කළ දුල්මි රුවන්සා 2006 දී සහ 2008 දී පිහිටුවා තිබූ තත්පර 13.20 ක වාර්තා බිඳ දැමුවාය. ඊට අමතරව මීටර් 200 ඉසව්වේදි තත්පර 26.70 ක කාලයක් වාර්තා කරමින් 2008 පිහිටුවා තිබූ තත්පර 28.80 ක වාර්තාව ද බිඳ දැමීමට සමත් වූවාය.

දුර පැනීම ඉසව්ව සඳහා පැවැති දශක දෙකකටත් වඩා පැරැණි එනම් 1994 දී පිහිටුවා තිබූ මීටර් 4.83 ක වාර්තාව දුල්මි බිඳ දැමුවේ මීටර් 4.88 දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය.

ක්‍රීඩා පුහුණුකරුවන් ඉතා වෙහෙස මහන්සි වී ගොඩනඟන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරප්‍රසාද දිගු කරමින් බිලිබා ගැනීම ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුලබ දසුනක් බව නොරහසකි. මේ වන විට ජනාධිපති බාලිකාවන්ට ද ඉන් මිදීමට නොහැකි බව තහවුරු වී අවසන්ය.

රෝද සපත්තු ක්‍රීඩාව හඳුන්වා දීමේ ගෞරවය මෙන්ම දැනට තාවකාලිකව නතරකර තිබෙන අංගම්පොර ක්‍රීඩාවට යොමුවූ එකම බාලිකා පාසල ජනාධිපති බාලිකා විද්‍යාලය වීම ද විශේෂත්වයකි.

ළඟම පාසල හොඳම පාසල සංකල්පයට මෙකී පාසල තේරී නැති අතර, ප්‍රතිපාදන හිඟවීම ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉදිරි ගමනට බාධාවක් වී තිබේ. සිය විද්‍යාලය ක්‍රීඩා සංවර්ධනය සඳහා ලබන වසරේ පා ගමනක් සංවිධානය කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ.

මේ සියලු දේ තුළ විද්‍යාලයේ ක්‍රීඩා බාර ගුරුවරියන් දෙදෙනා වන තනුජා රත්නායක සහ තුල්යා තිලකරත්න හැර විද්‍යාලය සතුව කිසිඳු ක්‍රීඩාවකට පුහුණුකරුවන් නොමැතිවීම ද විශේෂත්වයකි. ඔවුන් මේ ගමන යන්නේ බාහිර පුුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින් වීමත් බලධාරින්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි. මෙහිදී ගුරුවරුන්, මවුපියන් සහ පාසල් සංවර්ධන සමිතිය විශාල කැප කිරීමක් කරමින් මේ ගමනට දිරි දෙති.

බන්දුල ජයමාන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.