බොලිවාරියන් ජය කොළොම්බියාවට | සිළුමිණ

බොලිවාරියන් ජය කොළොම්බියාවට

ලොව පැවැත්වෙන දැවැන්තම, ප්‍රධානතම සහ ජනප්‍රියතම ක්‍රීඩා උළෙලක් වේ. ඒ ඔලිම්පික්ය. ඊට ලොව සෑම රටක්ම සාමාන්‍යයෙන් සහභාගි වේ. මීට අමතරව විවිධ කලාපයන්ට පමණක්ම සීමා වූ ක්‍රීඩා උළෙලවල් ද තිබේ. ඒ අතරට බොලිවාරියන් ක්‍රීඩා උළෙලත් අයත්ය.

මීට සහභාගි වනුයේ බොලිවියාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පැනමා, පීරු, වෙනිසියුලා සහ චිලි වැනි රටවල්ය. එය සංවිධානය කරනු ලබන්නේ බොලිවාරියන් ක්‍රීඩා සංවිධානයයි.

2017 බොලිවාරියන් ක්‍රීඩා උළෙල පැවැත්වූයේ කොලොම්බියාවේ සැන්ටා මාර්තා නුවරය. ඊට සහභාගි වු මුළු රටවල් ගණන 11 කි. පැවැති ක්‍රීඩා ගණන 34 කි.

මෙවර සමස්ත පදක්කම් සටහනට අනුව මුල් ස්ථානය කොලොම්බියාවටයි. ඔවුනට රන් 209, රිදී 132, ලෝකඩ 109 සමඟ මුළු පදක්කම් 450 කි. මෙවර දෙවැනි තැන වෙනිසියුලාවටය. ඔවුනට 93 - 96 - 101 = 290 කි. චිලිට තෙවැනි තැනය. ඔවුනට 42 - 40 - 68 = 150 කි. සිවුවැනි තැන ඉක්වදෝරයටයි. 32 - 70 - 83 = 185 කි. පීරුට පස්වැනි තැනය. 31 - 53 - 68 - = 152 කි.

මෙවර පැවැත්වූයේ 28 වැනි බොලිවාරියන් ක්‍රීඩා උළෙලයි. එය ප්‍රථම වරට පැවැත්වූයේ 1938 වසරේදීය. ඒ කොලොම්බියාවේ බොගොටා නුවර 400 වැනි සංවත්සරය වෙනුවෙනි. මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමේ මුල්ම අරමුණ ඇති වී තිබෙන්නේ 1936 ජර්මනියේ බර්ලින් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය මතය. 1973 වසර සිට සෑම සිවු වසරකට වරක්ම මේ ක්‍රීඩා උළෙල පැවැත්වේ.

මෙය බොලිවාරියන් ලෙස හැඳින්වීමටත් විශේෂ හේතුවක් බලපා තිබේ. ඒ ප්‍රකට වෙනිසියුලා මිලිටරි සහ දේශපාලන නායකයකු වූ සයිමන් බොලිවාර්ට ගරු කිරීමක් වශයෙනි. බොලිවාර් (1783 - 1830) ධනවත් පවුලක පුත්‍රයෙකි. හෙතෙම වෙනිසියුලාව, බොලිවියාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පීරු, පැනමාව වැනි රටවල් ස්පාඤ්ඤ පාලනයෙන් මුදවාගෙන ස්වාධීන රටවල් බවට පත් කිරීමට ක්‍රියා කළේය.

එමෙන් ඉහත රටවල් කිහිපයක ජනාධිපතිවරයා ලෙසටත් ක්‍රියා කරන ලදී. ඒ වෙනිසියුලාව (1813 - 14 / 1817 - 19), බොලිවියාව (1825), පීරු (1824 - 27) සහ කොලොම්බියාව (1819 - 30) වශයෙනි.

 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.