ලකුණු දෙකේ ලෝක වාර්තාව නාගලන්තයට... | සිළුමිණ

ලකුණු දෙකේ ලෝක වාර්තාව නාගලන්තයට...

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දු ඕවර 50 තරගාවලියේ තවත් තරගයක් පසුගියදා පැවැත්විය. එහිදී තරග කළේ නාගලන්ත සහ කේරල කණ්ඩායම්ය.

මෙම තරගය නිමාවට පත්වූයේ සුවිශේෂි ලෝක වාර්තාවක් බිහි කරමිනි. ඊට දායක වූයේ නාගලන්ත කණ්ඩායමයි. ඒ ඔවුන් සියලු දෙනාම ලකුණු 02 කට දැවී යාම නිසාය. එය ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ඕනෑම නිල තරගයක ඉනිමකදී සම්පූර්ණ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව බවට පත් විය.
මීට පෙර පළමු පෙළ තරගයක ඉනිමකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන වූයේ 06 කි. ඒ 1810 වසරේදීය.
මෙම කේරල කණ්ඩායම සමඟ පැවැති තරගයේදී නාගලන්ත ක්‍රීඩිකාවන් නව දෙනකුම කිසිදු ලකුණක්වත් රැස් කර ගත්තේ නැත. ආරම්භක පිතිකාරිණිය වූ මෙන්කාට ලකුණකි. ඉතිරි ලකුණ වයිඩ් පන්දුවකි. තරගය ජය ගැනීමට කේරල ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වූයේ පන්දුවක් පමණි.
මෙම තරගාවලියේම ඊට පෙර පැවැති තවත් තරගයකදී නාගලන්ත පන්දු යවන්නියන් ද අපූරු පන්දු යැවීමක නිරත වුහ. ඒ ප්‍රතිවාදී මානිපුර් පිලට වයිඩ් පන්දු 42 ක්ම ලබා දෙමිනි. මෙම තරගාවලියට නාගලන්ත කණ්ඩායම සහභාගි වන්නේ ප්‍රථම වතාවටයි.

පළමු පෙළ අඩුම
පළමු පෙළ තරගයක ඉනිමකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු වාර්තාවේ මුල් ස්ථාන ත්‍රිත්වයම එංගලන්ත කණ්ඩායම්වලට හිමිවීම විශේෂත්වයකි. එහිදී මුල් තැන බී නැමැති කණ්ඩායමටයි. ඔවුන් 1810 වසරේදී ලකුණු 06 ට දැවී ගියහ. ප්‍රතිවාදීන් වූයේ එංගලන්තයයි. මෙම තරගය පැරණි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
මෙහි දෙවන තැන ලකුණු 12 බැගින් ලබාගත් කණ්ඩායම් දෙකකට හිමිවිය. 1877 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 12 ලබාගත්තේ එම්. සී. සී. (මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය) ට එරෙහිවයි. එංගලන්ත ප්‍රාන්ත තරගයකදී 1907 වසරේදී නොදම්ටන්ෂයර් ලකුණු 12 ට දැවී ගියේය. ඒ ග්ලොස්ටර්ෂයර්ට එරෙහිවය.

ටෙස්ට් අඩුම ලකුණු
කාන්තා තරගයක ඉනිමකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන 35 කි. ඒ එංගලන්තය 1958 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිවය. එහි දෙවන තැන ඔස්ට්‍රේලියාවටයි. ඔවුනට ලකුණු 38 කි. ඒ එංගලන්තයට එරෙහිවය. මෙම අවස්ථා එකම තරගයකදී වාර්තා වීම විශේෂත්වයකි. මීට අමතරව නවසීලන්තය ලකුණු 44 ක් රැස් කර ගත්තේ 1935 වසරේදීය. ඒ එංගලන්තයට එරෙහිවයි.
ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වී තිබෙන්නේ ටෙස්ට් තරගයකට පමණකි. එය 1998 වසරේදී පැවැත්වූයේ පාකිස්තානයට එරෙහිවයි. ශ්‍රී ලංකාව එහිදී 305 - 9 ක් සහ 275 - 8 ක් ලෙස ලකුණු රැස් කර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ වැඩිම සහ අඩුම ලකුණු ගණන වේ.
පිරිමි තරගයක ඉනිමකදී අඩුම ලකුණු ගණනකට කණ්ඩායම් දැවී ගිය අවස්ථා 03 දීම ප්‍රතිවාදීන්ව එසේ දවා ගත්තේ එංගලන්තයයි. එහි මුල් තැන ලකුණු 26 ක් රැස් කර ගත් නවසීලන්තයටයි. ඒ 1955 වසරේදීය. මීට අමතරව දකුණු අප්‍රිකාව ලකුණු 30 බැගින් අවස්ථා දෙකකදී දැවී ගොස් තිබේ. ඒ 1896 සහ 1924 වසරවලදීය.
ශ්‍රී ලංකාව සම්පූර්ණ ටෙස්ට් ඉනිමකදී ලබා ගත් අඩුම ලකුණු ගණන 71 කි. ඒ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිවයි.

එක්දින ජාත්‍යන්තර අඩුම ලකුණු
පිරිමි තරගවල මුල් ස්ථාන සතරටම ශ්‍රී ලංකාව සම්බන්ධය. 2004 දී සිම්බාබ්වේ ලකුණු 35, 2003 දී කැනඩාව ලකුණු 36 සහ 2001 දී සිම්බාබ්වේ ලකුණු 38 ක් ලබා ගත්තේය. ඒ ත්‍රිත්ව අවස්ථාවලදීම ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ලංකාවයි. මේ අතර 2012 දී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 43 කි.
කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයක අඩුම ලකුණු ගණන 22 කි. එහි හිමිකාරිණියන් නෙදර්ලන්තයයි. ඒ 2008 දී බටහිර ඉන්දීය කොදෙව්ට එරෙහිවය. 1997 දී පාකිස්තානයට ලකුණු 23 කි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. 2001 දී ස්කොට්ලන්තයට ලකුණු 24 කි. ප්‍රතිවාදිනියන් වූයේ එංගලන්තයයි. ඉන්දියාවට 2002 දී ලකුණු 26 කි. ඒ නවසීලන්තයට එරෙහිවයි. 2005 දී ශ්‍රී ලංකාවට ලකුණු 57 කි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

20 - 20 ජාත්‍යන්තර අඩුම ලකුණු
කාන්තා තරගවල මුල් ස්ථාන ද්විත්වයම බංග්ලාදේශයටයි. ඒ ලකුණු 44 පාකිස්තානයට සහ ලකුණු 54 ඉන්දියාවට එරෙහිව 2016 වසරේදීය. තෙවන තැන ශ්‍රී ලංකාවටයි. ඒ 2012 දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 57 කි.
පිරිමි තරගයක අඩුම ලකුණු ගණනේ වාර්තාව නෙදර්ලන්තයටයි. 2014 දී ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ ලබා ගත්තේ ලකුණු 39 කි. නේපාලයට දෙවන තැනය. ඒ 2015 දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 53 කි. කෙන්යාවට 2013 දී ලකුණු 56 කි. ප්‍රතිවාදින් වූයේ ඇෆ්ගනිස්තානයයි. 2014 දී නවසීලන්තය ලකුණු 60 ක් රැස් කරගත්තේය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවයි. ශ්‍රී ලංකාවේ අඩුම ලකුණු ගණන 82 කි. ඒ 2016 දී ඉන්දියාවට එරෙහිවයි.

 ප්‍රශාන්ත ඇල්පිටිය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.