සේරා සහ චැඩ්ට ලෝක පිහිනුම් කිරුළු | සිළුමිණ

සේරා සහ චැඩ්ට ලෝක පිහිනුම් කිරුළු

ෆීනා හෙවත් ලෝක පිහිනුම් සම්මේලනය වාර්ෂිකව පවත්වන තරගමාලාවක් වේ. ඒ ලෝක කුසලාන තරගමාලාවයි. 2017 වසරේ ලෝක කුසලාන තරගමාලාව පසුගියදා නිමාවට පත්විය. මෙවර එහි සමස්ත කාන්තා ශූරතාව හිමි කරගනු ලැබුවේ ස්වීඩනයේ සේරා සියොස්ටෙ‍්‍රීම්ය. මෙවර පිරිමි සමස්ත ශූරතාව දකුණු අප්‍රිකාවේ චැඩ් ලි ක්ලොස්ටය.

මෙම ලෝක කුසලාන තරගමාලාව අදියර 08 කින් සමන්විතය. එය අගෝස්තු සහ නොවැම්බර් මාස අතර දී පැවැත්වේ. ඒ විවිධ රටවල නගර 08 කදීය. මෙහිදී මෙම රටවල් යුරෝපයට සහ ආසියාවට අයත්ය. මේ සෑම අදියරක්ම දෙදිනක් පුරා පැවැත්වේ. ඊට අයත් වන ඉසව් ගණන 36 කි. ලෝක කුසලාන පිහිනුම් තරගමාලාව පැවැත්වෙන්නේ කෙටි දුර හෙවත් මීටර් 25 පිහිනුම් තටාකවලය.

1988/89 දී ප්‍රථම වරට මෙම තරගමාලාව පැවැත්විය. සෑම අදියරකදිම දක්වන දස්කම් මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලකුණු හිමිවේ. අවසානයේදී මෙම සියළුම ලකුණු මත සමස්ත ශූරයා සහ ශූරිය තෝරා ගනු ලබයි.

ඒ අනුව පළමු ස්ථාන ත්‍රිත්වය හිමිකර ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග හිමිවේ. මෙම වසරේදී එම මුදල තවත් වැඩි කරනු ලැබීය. එහිදී සමස්ත ප්‍රථම ස්ථානයට අමෙරිකානු ඩොලර් 150,000 කි. දෙවැනි ස්ථානයට 100,000 කි. තෙවැනි ස්ථානයට 50,000 කි. මෙය කාන්තා සහ පිරිමි දෙඅංශයටම පොදුය.

මෙවර සමස්ත ශූරිය වූ සේරා මෙම ශූරතාව හිමිකර ගත්තේ ප්‍රථම වතාවටයි. එහිදී ඇයට හිමි මුළු ලකුණු ගණන 629 කි. 1993 වසරේ අගෝස්තු 17 උපත ලැබූ සේරා අඩි 6 ක් උසැතිය. මේ වන විට ඇය ඔලිම්පික් පදක්කම් ත්‍රිත්වයක් (රන්, රිදී සහ ලෝකඩ 01 බැගින්), ලෝක ශූරතා දිගු දුර (මීටර් 50) රන් 07, රිදී 04, ලෝකඩ 01 සහ කෙටි දුර ලෝක ශූරතා රන් 03, රිදී එකක හිමිකාරිණියකි. එමෙන්ම ලෝක වාර්තා රැසකුත් ඇයට හිමිය.

2017 ලෝක කුසලාන තරගමාලාවේ මෙවර සමස්ත අනුශූරිය වූයේ හංගේරියාවේ කැටින්කා හොෂුය. යකඩ කත යන නමින් ප්‍රකට ඇයට ලකුණු 482 කි. 1989 මැයි 03 උපත ලැබුවාය. අඩි 5 අඟල් 9 ක් උසැතිය. 2012, 13, 14, 15, 16 දක්වා පිට පිටම ලෝක කුසලාන සමස්ත ශූරිය වූයේත් ඇයයි. ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් 23, රිදී 09 සහ ලෝකඩ පදක්කම් 07 ක්ද ඇයට හිමිය. තවද ලෝක වාර්තාවන් ද ඇය සතුය.

ලකුණු 289 ක් හිමිකර ගනිමින් මෙවර තෙවැන්නිය වූයේ නෙදර්ලන්තයේ රානෝමි ක්‍රොමොවිඩ්ජෝජෝ ය. 1990 අගෝස්තු 20 උපත ලැබූ රානෝමි අඩි 5 අඟල් 11 ක් උසැතිය. ඇයටත් ප්‍රධාන ශූරතාවලියන්හි පදක්කම් රැසක්ම මෙන්ම ලෝක වාර්තා ද හිමිය.

මෙවර සමස්ත ශූරයා වූ චැඩ් ලි ක්ලොස්ට ලකුණු 447 කි. ඔහු මෙම ශූරතාව හිමිකර ගත්තේ සිවුවැනි වතාවටය. ඊට 2011, 13 සහ 14 වසරත් අයත්ය. ඔහු 1992 අප්‍රේල් 12 උපත ලැබීය. ඔහුගේ උස අඩි 6 අඟල් 1 කි. ලෝක වාර්තා සහ ඔලිම්පික් මෙන්ම ලෝක ශූරතා ජයග්‍රහණත් ඔහු සතුය.

මෙවර සමස්ත අනුශූරයා වූයේ රුසියාවේ ව්ලැදිමිර් මොරොෂොව්ය. ඔහුට ලකුණු 333 කි. ඔහු 1992 ජුනි 16 උපත ලැබීය. අඩි 5 අඟල් 11 ක් උසය. 2016 වසරේ ලෝක කුසලාන සමස්ත ශූරයාය. එක් ලෝක වාර්තාවකි. ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම්ලාභියෙකි.

ලකුණු 270 ක් හිමිකර ගත් රුසියාවේම කිරිල් ප්‍රිගෝඩාට මෙවර තෙවැනි තැනය. 1995 දෙසැම්බර් 29 උපත ලබා තිබේ. ලෝක ශූරතා පදක්කම්ලාභියෙකි.

මෙවර ලෝක කුසලාන තරගමාලාව පැවැත්වූයේ රුසියාවේ මොස්කව්, ජර්මනියේ බර්ලින්, නෙදර්ලන්තයේ අයින්ඩ්හෝවන්, හොංකොං, කටාර් දෝහා, චීනයේ බෙයිජිං, ජපානයේ ටෝකියෝ සහ සිංගප්පූරුවේදීය.

ප්‍රශාන්ත ඇල්පිටිය

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.