ඇයි බයද? | සිළුමිණ

ඇයි බයද?

 1953දී උතුරට ගිය ජෝන් කොතලාවල සිංහල-දෙමළ දෙබසටම සමතැන දෙන බව කීවේය. උතුරට ගිහින් ජෝන් කීව කතාවෙන් දකුණ කුලප්පු විය. තල් රුප්පාව වෙනමත්, පොල් රුප්පාව වෙනමත් දුටු මිනිස්සු එදත් සිටියහ. කාගේත් ලේ ‘රතු’ පාට බව නොහිතන මිනිස්සු එදත් සිටියහ. ජෝන්ට එරෙහිව දකුණ බර අවි තනන්නට පටන් ගත්තේය. විපක්ෂය බොරදිය මතට ට්‍රෝලර් දමා මාළු බෑම පටන් ගත්හ.

“මේක අපිට අයිති රට, මේ රටේ රජ බස අපේ බස. එහෙව් එකේ කොහොමද ජෝන් දෙමළට සම තැන දෙන්නේ?’’

ජාතිකානුරාගයෙන් ඔද වැඩුණු ඊනියා දේශප්‍රේමීන් ජෝන්ගේ මතයට ගිනි තියන්න යද්දී විපක්ෂය පෙට්‍රල් පොම්ප කරන්න පටන් ගත්තේය.

‘ජෝන් ජාතිය පාවා දෙන්නෙක්’ විපක්ෂය චෝදනා කළේ එහෙමය.

‘බලන්න අපේ හාමුදුරුවනේ, මේ ජෝන් කොතලාවල අගමැතිවරයා කරන්න යන වින්නැහිය. මේක අපේ රට නේද? චිරාත් කාලයක් අපි මේ රටේ හිමිකාරයෝ. උතුරට ගිහින් දෙමළට සම තැන දෙන්න ගිහාම සිංහලයට මොකද වෙන්නේ?’

විපක්ෂය එවක පිදුරු දමා ගින්නක් අවුළුවා, ගින්නට අවැසි අඩුම කුඩුම සපයගන්න වෑයම් කළේ එහෙමය. හිතුවා වගේම භික්ෂූන් වහන්සේ ජෝන්ට එරෙහිව පෙරට ආහ. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධනලා එක්ක එකතුව ‘නැගෙන ගින්නට පිදුරු දැම්මේය.’ ඒත් ජෝන් ආපසු හැරුණේ නැත. ඔහු කෙළින් සිටියේය.

‘හාමුදුරුවෝ නෙවේ කවුරු කීවත් මම මගේ මතය වෙනස් කරගන්නේ නෑ.’

ජෝන් හිටියේ එහෙම මතයකය. අවුරුදු හතරක් තිස්සේ විපක්ෂය ජෝන්ට ගැහුවේය. 56 මැතිවරණය ආවේ ඔය අතරය.

‘මෙදා පාර අපි ජෝන්ව එළවලයි පස්ස බලන්නේ. එක්කෝ ජෝන් වලව්වට යයි. නැත් නම් යාපනේ නවතියි.’

විපක්ෂය කීවේ එහෙමය.

56 ඡන්දේ කට උඩ තියාගෙන බණ්ඩාරනායක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවේය.

‘අපි, අපේ රජයක් යටතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නෙමු.’

හිතන්නට දෙයක් නැත. බණ්ඩාරනායකගේ පැත්තට රැල්ල ගැසුවේය. මහා මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්ෂය ආසන 08ට බස්‌සවා ආසන 51ක විශිෂ්ට ජයග්‍රහණයක්‌ මහජන එක්‌සත් පෙරමුණ ලැබීය. ආසන අටට බැස්ස යූඇන්පියත් එක්ක ජෝන් ගෙදර ගියේය.

‘හැමදේම උණේ ජෝන්ගේ උද්ධච්චකම් හින්දා, අඩු තරමේ ඡන්දේ කිට්ටුවවත් ටිකක් වෙනස් වෙන්න තිබ්බා. එහෙම වුණා නම් මෙහෙම පරදින්නේ නෑ.’

ජෝන්ගේ කැබිනට් එකේ හිටිය ප්‍රබලයෝ පවා එහෙම කීහ.

‘බණ්ඩා ජාතිය ගැන ආගම ගැන හිතුවා. රෙද්ද බැනියම ඇන්දා. ඒවා තුට්තුවකට මායිම් නොකළ හින්දා ජෝන්ට කෙළ වුණා.’

කටකාර ඇමැතිවරු එහෙමත් කීහ.

ජෝන් උත්තර බඳින්න ගියේ නැත. ඒ වෙනුවට බණ්ඩාරනායකට ආණ්ඩුව දීලා වලව්වට ගියේය.

‘කෙළවුණේ ජෝන්ටද රටටද කියලා ළඟදීම පෙනෙයි.’

ජෝන් තනියම හිතුවේය.‘මායාව පැළ කරන්නට යන හැම විටම යථාර්ථය එහි මුල් ගලවා දමයි’ යන්න ඇත්තකි. සොබාදහමේ නීතිය වන්නේ සැමටම සමානාත්මතාවයි. එයට එරෙහි වන්නන්ට උරුම වන්නේ තාවකාලික ජයක් සේම දිගුකාලීන පරාජයකි. එය ඇත්තක් වෙමින් වැඩි කල් යන්නට පෙර පෙරළිකාර මහජන එක්‌සත් පෙරමුණ ඇතුළේම කැරලි පටන් ගත්තේය.

‘සිංහලය රාජ්‍ය බස කරනු!’

ඡන්දෙට කලින් දුන්න ‘ජනප්‍රියම’ පොරොන්දුව වෙනුවෙන් බණ්ඩාරනායක අගමැතිට හතර වටෙන් බලපෑම් එන්නට විය. ජෝන්ට එරෙහිව ගබඩා කළ ‘ජාතිවාදී පෙට්රල්’ වලින්ම ’56 ආණ්ඩුව දැවෙන තැනට පත් වීම ආරම්භ විය.

“කරුණා කර ඔබ දුන් පොරොන්දුව ඉටු කරන්න!’

ආණ්ඩුව හැදූ ගාමක බලවේග බණ්ඩාරනායක අගමැතිවරයාට බලවත් සේ බලපෑම් කළහ. බණ්ඩාරනායක අගමැතිවරයා බිත්තියට හේත්තු වී සිටියේය. රටම කුලප්පු වු අතර, භික්ෂූන් වහන්සේ පවා බණ්ඩාරනායකට එරෙහිව පෙරට එන්නට වූහ. අන්තිමට ‘ආසියාවේ රිදී සීනුව’ චීවරධාරියකුගේ වෙඩි ප්‍රහාරයකින් නිහඬ වී ගියේය.

අවමඟුල දා බණ්ඩාරනායක දේහයට අවසන් ගෞරව පුද කරන්නට ආ ජෝන් මෙහෙම කීවේය:

‘මම දැනගෙන හිටියා මෙහෙම වෙන බව. මම බැඳලා දැම්ම බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. උන් බණ්ඩව හපා කෑවා.’

ජෝන් එහෙම කීවේ ජාතිවාදීන්ටය.

ඒ දවස්වල විපක්ෂය ජෝන්ට බැන්නේ ‘රට ගැන හැඟීමක් නැති කුකුල් කේන්තිකාරයා’ කියලාය.

හැබැයි අවුරුදු එකහමාරක් වගේ කාලයක් අගමැති හැටියට හිටිය ජෝන් රට ගැන හිතලා කරපු දේ වෙන කවුරුත් නොකරපු තරම් ය.

1954දී ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත් කරමින් මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයකු පත් කිරීමේ පිළිවෙත හඳුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලය. සෑම නිදහස්‌ දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රීසි කොඩිය එසවීමේ පිළිවෙත ඉවතට දමන්නේ කොතලාවලය. ලංකාවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට මූලික වන්නේ කොතලාවලය. ඒ අතරේ දෙවන එලිසබත් මහා රැජනත්, වල්ලභ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුත් මුල්වරට ලංකාවේ සංචාරයක නියැළුණේ කොතලාවල අගමැතිව සිටියදීය.

එහෙම බැලුවම කොතලාවල කියන්නේ පුදුම නායකයෙක්ය. ඒත් මිනිස්සු බොහෝ දේ තේරුම් ගන්නේ ‘අශ්වයා පලා ගියාට පස්සේය’.

පරාජිතයන් බලය ලබාගැනීමට බොහෝ විට භාවිත කරන්නේ ‘විකුනන්නට’ පුළුවන් මාතෘකාය. මහින්ද ආණ්ඩුව එහෙම විකිණිය හැකි මාතෘකා කිහිපයක් හදා තිබුණේ ඕනෑම මොහොතක ප්‍රයෝජනයට ගන්න බලාගෙනය. මහින්ද පරාජය වූ බව ඇත්තක් වුවද අර මාතෘකා විටින් විට ජාතිවාදී වෙළෙඳපොළේ ගජරාමෙට අලෙවි වෙයි. ඒවා මිලට ගැනීමට රිසි ජනප්‍රිය පාරිභෝගිකයෝ කොටසක්ද සිටිති. ඔවුහු ඒවා මිලට ගෙන පෙන්න පෙන්නා කති. දැන් වෙන්නේ ඒකය.

ජාතිවාදී කුලප්පුවකින් ඉතිරි වන්නේ විනාශයක් විතරක් බව එදා ජෝන් තේරුම් අරන් හිටියේය. ඒ හින්දාම ඔහු ඕනෑවට වඩා ජාතිවාදී වුණේ නැත. හැබැයි ඔහු රට බෙදා වෙන් කරන්න වැඩ කළේත් නැත. ඔහුට ඕනෑ වුණේ ‘ජාත්‍යන්තර රටක්’ හදන්නටය; ලී ක්වාං යූලාට පුදුම හිතෙන රටක් හදන්නටය. හැබැයි, සිල්ලර දේශපාලනයේ අරුමැසි සටන් පාඨ ඒ සිහින පුපුරවා හැරියේය. අන්තිමට අවුරුදු 50ක් විතර ආපස්සට ගිය රටක් බිහි විය.

එදත් අදත් අවස්ථාවාදී දේශපාලනයේ ‘කළු පාට කුණු කහට’ ඉවරයක් වී නැත.

යහපාලන ආණ්ඩුවට සමහරුන් බණින්නේ මැද මාවතක යනවාය කියලාය; ජාතිවාදී නොවෙනවා කියලාය; දකුණට වගේම උතුරටත් සලකනවාය කියලාය; රට බෙදනවා කියලාය; රට ගැන හැඟීමක් නෑ කියලාය; ව්‍යවස්ථා හදන්නේ අමෙරිකාවෙන්ය කියලාය.

මේ තරම් ගජබින්න ‘ගජබින්නාලංකාරයේවත්’ නැත.

මේ රටේ බොහෝ වාරයක් ආණ්ඩු බිහි වී තිබේ; ආණ්ඩු පෙරළී තිබේ. 2015 ජනවාරි 8 වැනිදා මේ රට සිදු කරන්නේ එදා මෙදා තුර බිහි නොවූ වර්ගයේ පෙරලියක්ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට එන්නේ වෙන කවරදාටත් වඩා ‘වෙනස්’ පසුබිමකින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉල්ලුවේ ‘අමුතු මාදිලියක්’ හඳුන්වා දෙමින්ය. ඊටත් දින 300කට පසු බිහි කරන්නේ ඉතිහාසයේ බිහි වූ වෙනස්ම ආණ්ඩුවය. අපූර්වතම ආණ්ඩුවය! චිරාත්කාලයක්, වෙන්ව ගමන් කළ පක්ෂ දෙකක් එකට එක් වීම ඒ අපූර්වත්වයය.

ඉතිහාසය නැවත නැවත කැරකෙන බවට කතාවක් තිබේ. එහෙත් ඉතිහාසයේ වරද යළි යළි කරනවා නම් ඒ තරම් ඛේදවාචකයක් තවත් නැත.

ඒකාධිපතිවාදයේ උග්‍රතම දවස් උදා වුණේ ‘මහින්ද යුගය’ එක්ක ය. ඒකාධිපතිවාදයේ බිහිසුණු රඟ රටක් හැටියට අත්විඳිමින් සිටියහ. රටට ආසියාවේ ආශ්චර්ය කැන්දාගෙන එන බව කියමින් බිහි වූ ආණ්ඩුව ලෝකයේ කොන් වූ රටක් බවට පත් විය. සුරතලයට මෝරුන් ඇති කරන, වින්දනයට සුදුවෑන්වලින් මිනිසුන් අතුරුදන් කරන රටක් නිර්මාණය වී තිබිණ.

මානව හිමිකම් සෝදාපාළු වූ, අයිතිවාසිකම් සුනුවිසුනු වූ, බලලෝභය දෝරෙ ගැලූ, පවුල්වාදය ඔඩුදිවූ දශකයක් අවසන් කාර්තුවේ උදා වෙමින් තිබ්බේය.

පොල් ගෙඩි දෙකක් ඉස්සූ දරුවාට දඬුවම් දෙන රටකුත්, කතුන් සීයක් දූෂණය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඒවා උත්සවශ්‍රීයෙන් සමරන රටකුත් නිර්මාණය වී තිබිණි.

ලස්සන වචනවලින් තොරොම්බල් කළ, එහෙත් ඊට වඩා හාත්පසින් වෙනස් පැවැත්මක් සහිත රටක් නිර්මාණය වී තිබිණි. ලෝකයට ‘පාට්’ දාන පාලනයක් බිහි වී තිබිණි. අන්තිමට කාත්කවුරුවත් නැති හුදකලා ‘පාපන්දුවක්’ වී ලෝකයාගේ ‘පාපහරවලට’ ලක් වූ රටක් නිර්මාණය වි තිබිණි. මරණ භීතිය, පලි ගැනීම්, ජාතිවාදය, ආගම්වාදය, රටේ ‘එදා වේල’ බවට පත් වී තිබිණි. නීතිය වෙනුවට අවනීතිය, සදාචාරය වෙනුවට අවිචාරය, හික්මීම වෙනුවට නොහික්මීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ෆැසිස්ට්වාදය, සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය, යහපාලනය වෙනුවට පවුල් පාලනය රට වෙළාගෙන තිබිණි.

‘ජනවාරි අට නිහඬ විප්ලවය’ සිදු වන්නේ අන්න එහෙම අන්ත දූෂිත පාලනයක් කෙළවර කරමින්ය. සිල්ලර කාරණාවලින් ඔබ්බට ගිහින් දේශපාලනික අරමුණු අරභයා මිනිස්සු පෙළගැහුණු මැතිවරණයක් වූවා නම් ඒ ඉකුත් මැතිවරණයය. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වැනි දේශපාලනික කාරණා ප්‍රමුඛ කොටත්, ආර්ථිකමය අවශ්‍යතා දිවිතීයික කොටත් ප්‍රාර්ථනා ගොඩගසාගනිමින් මිනිස්සු අලුත් ආණ්ඩුව හැදූහ.

මේ ගෙවෙමින් තිබෙන්නේ එහෙම බිහිවෙච්ච ආණ්ඩුවක්ය.

උභතෝකොටික රැසක් මැද වුවත් මේ මොහොතේ තියෙන්නේ වෙන්ව ගමන් කරන පක්ෂ දෙකක් එකම ‘ඒදණ්ඩක’ ගමන් කරන ආණ්ඩුවක්ය.

එක් වීමත් වෙන් වීමත් කාලානුරූපීව සාධාරණ හෝ අසාධාරණව සිදු වෙන්නක්ය.

එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් පිටමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදා ගත් මොහොතේ සමහරුන් ‘හොඳ’ කී අතර සමහරු ‘නොහොඳජ කීහ. දෙදහස් පහළොවේ ජනවාරි අට විප්ලවයක් කරමින් අගෝස්තු 17 පක්ෂ දෙකක් එකට එක්කොට ‘අසිරිමත්’ විප්ලවයක් කරමින් කළ වෙනස සමහරුන්ට හොඳය; සමහරුන්ට නොහොඳය.

ආණ්ඩුව බලයට එන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනෙන බව කියමින්ය. ඔවුන්ගේ ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුලින්ම තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවය. එය ජනතාවට දුන් පොරොන්දුවක්ය. එය තවදුරටත් තහවුරු කරමින් අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතා මෛත්‍රී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙහෙම ප්‍රකාශයක් තිබිණි:

‘‘ගරු කථානායක තුමනි,

යම් රටක් හෝ ජාතියක් ස්වකීය අනන්‍යතාවේ පදනම වශයෙන් සලකන්නේ එරටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතියේ උත්තරීතර ලේඛනය ලෙස අප සලකන්නේ ඒ හේතුවෙන්. නිදහසේ සිට ගෙවුණු වසර 60ක කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා. එහෙත් අද වන තෙක් අපට ශ්‍රී ලාංකික ජාතියෙහි පදනම ලෙස සියලු දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නොහැකි වීම අභාග්‍යයක්. විශේෂයෙන්ම, අද අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ පටන් ම එහි පදනම වන විධායක ජනාධිපති ධුරය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව බොහෝ පාර්ශ්වයන්ගේ මැසිවිලි සහ විරෝධතා එල්ල වෙමින් පවතිනවා. ‘මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.’’

මෙයිනුත් පැහැදිලි වන්නේ නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ පොරොන්දුවය. ‘අත්හැරීම’ සම්බන්ධව වත්මන් ජනාධිපතිවරයා තරම් ආදර්ශයක් දුන් නායකයක මෙවක දේශපාලන පොළොව තුළ සොයාගැනීම අතිශය උගහට කරුණකි. අනෙක් අතට දිවි ඇති තෙක් ජනාධිපතිකම් කරන්නට ව්‍යවස්ථාව වෙනස් කළ ‘රජවරුන්’ සිටි රටක ‘අත්හැරීම’ විස්මය දනවන සිදු වීමකි. එය මෛත්‍රී කළේය.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට පිළිලයක් කීවේ හැමෝමය. ආණ්ඩු පෙරළුණේ, පත් වුණේ ‘මේ බහුභූත ව්‍යවස්ථාව වෙනස් කරනවා’ කියලාය. ඉතිහාසය විසින් වර්තමානයට දුන් ස්වර්ණමය අවස්ථාව දැන් සපල කරගන්නවාද නැද්ද යන්න කාගේත් තීන්දුව විය යුතුය. ජාතියක් හැටියට රටම උන්නේ කලක් තිස්සේ ‘ගිනි ගනිමින්’ ය. දැන්වත් ඒ ගින්නෙන් එළියට පැනගත යුතුය.

“ජනාධිපතිතුමනි, දුෂ්කරම‍ දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගානක් දුම් බිම්මා. තැටිය රත් කරලා දුන්නේ රොටිය පුච්චන්න. දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න.’’

2015 මාර්තු 1වැනිදා එහෙම කියන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝය.

ආණ්ඩුවේ බොහෝ දෙනා ආණ්ඩුව හදන්න වෙහෙසෙන කොට හිටිය අය නොවේ. ඒ නිසාම ආණ්ඩුව පිහිටුවන විට තිබූ අරමුණු ගැන බොහෝ දෙනාට වගක් නැත. දැන් දෙපාර්ශ්වයම උත්සාහ කරන්නේ තමන්ගේම ‘ආණ්ඩුවක්’ හදාගන්නටය. එකට යමින් දෙපිට කැපෙන කතා කියමින් දෙපිරිසම පුරුදු පක්ෂ දේශපාලනයේ ‘නාඩගම’ නටන්නට හදමින් ඉන්නවාය.

මේ හින්දාම ‘යහපාලනය’ අමතක වී ‘පුරුදු දේශපාලනය’ මතු වෙලාය.

ඒ අතරේ ‘හොරු’ ඉන්නවා කියන කතාවත් ආණ්ඩුවට එකතු වෙලාය. හිටපු ආණ්ඩුවේ සමහර ‘කැත හොරුත්’ මේ ආණ්ඩුවට එකතු වෙලාය.

“ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුළු ජීවිතය පුරා එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා.’’ එහෙම කීවේ නෙල්සන් මැන්ඩෙලා ය.

“ආරම්භයේදී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක්, පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක්... මේ කිසිවක් නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් (එය බෙදීමට පෙර) ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමකමණිකයෝ වීමු. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලු ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි.’’

මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූය. රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ කියා ලී ඔප්පු කළේය. ලෝකය දිනන රටක් හදන්නට නම් වෙනස් විය යුත්තේ ආණ්ඩු නොව, අරමුණු ය. අරමුණු එක නම් ආණ්ඩු සීයක් හැදුවද වෙන්නේ එකම වින්නැහියය. ඒ නිසා ‘එක රටක්’ සේම ‘එකම හැඟීමෙන්’ අනෙකා වැලඳගන්නා මිනිසුන්ද බිහි කිරීම වටී. 2015 ඇරඹියේ ‘මෛත්‍රී වේවා!’ කියලාය. ඒ මිනිස්සුන්ගේ ආත්මයෙන් ආ හැඟීමය. තවදුරටත් මිනිස්සු ඒ ප්‍රාර්ථනයට කැමැතිය.

අනුරාධ මහඋල්පත 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.