නිකවැරටියෙන් ඇසුණු ඓතිහාසික පණිවිඩය | සිළුමිණ

නිකවැරටියෙන් ඇසුණු ඓතිහාසික පණිවිඩය

 අප ආඩම්බරයෙන් හිස මත තබාගෙන සිටින ජනවාරි ජයග්‍රහණය ඉහ මොළ රත් වන ගිනි කබලක් බවට පත් වේද? 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කළ සිවිල් සමාජ අරගලයෙහි කොල පාට නිල් පාට පක්‍ෂ දේශපාලනයක් නොතිබිණ. සටනේ පුරෝගාමියා ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්වරයා විය. උතුරු දකුණු භේදයකින් තොරව කවුරුත් සටනට කර දුන්හ. මේ වන විට එහි ගෞරවය සහ වාසි ලබාගැනීමට දේශපාලන පක්‍ෂ අතර ඇත්තේ බලු පොරයකි. එහි පවත්නා පිළිකුල් සහගත භාවය, ජනාධිපති ක්‍රමය වෙනස් කරනවාට මෙන්ම, දූෂණ වංචා විමර්ශන දේශපාලන පලි ගැනීම් ලෙස කරන ප්‍රකාශයන්ය. එකී ප්‍රකාශ කරන්නෝ 18 වැනි සංශෝධනයට අත එසවූ පුද්ගලයෝ වෙති. 18 වැනි සංශෝධනයට අත එසවූ මෛත්‍රීපාල සිරිසේන 19 වැනි සංශෝධනය හරහා ජනාධිපති බලතල කපාහැරීමෙන් සිය වරද නිවැරදි කර හමාරය. ජනවාරි පෙරළිය හරහා විසිවුණේ මහින්ද රාජපක්‍ෂ පමණක් නොවේ. ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයේ බංකොලොත් භාවයද ජනතාව ප්‍රතික්‍ෂෙප කළ බව මෛත්‍රි රනිල් ඇතුළු සියලු දේශපාලනඥයන් තේරුම්ගත යුතුව තිබේ.

2015 පෙබරවාරියේ රට කැලඹූ බැඳුම්කර සිද්ධිය ජනවාරි ජයග්‍රහණයේ කීර්තියට කැළලකි. බැඳුම්කර ගනුදෙනුව යනු තවමත් අවසන් නොවූ පරීක්‍ෂණයකි. බලයෙන් විසි වුණු රාජපක්‍ෂ එකී බැඳුම්කර සිද්ධිය හරහා සිය පව් සෝදාගැනීමට උත්සාහ කරමින් සිටියි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාර නොගත්තා නම්, එසේම අගෝස්තුවේ එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තු බහුතරය ලබාගත්තා නම් රාජපක්‍ෂ නඩයට සම්මුති ආණ්ඩුවට රිංගාගැනීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. 2015 අගෝස්තු 18 වැනි දින එජාපයට ලැබුණු 106ක සුළු බහුතරයෙන් අගමැතිවරයාට එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පැවතිණි. ඒ අවස්ථාවේ බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රීන් 7 දෙනා වෙනුවට පැයක් ඇතුළත 14 දෙනකු එජාප ආණ්ඩුවට රිංගාගැනීමට සූදානමක් තිබිණි. එසේ වී නම් මෛත්‍රීපාල සිරිසේන, මහින්දවාදි වහලුන්ගේ සිරකාරයකු වන්නේ නැත. අද ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීයයි ජනාධිපති මෛත්‍රිට චෝදනා නැගෙයි. බන්ධනාගාර ඝාතන පරීක්‍ෂණ වාර්තාව භාර දී වසර දෙකකට පසුව හෝ ඊට වග කිව යුත්තන් අත්අඩංගුවට නොගැනීම ගැන කිසිවෙක් කතා නොකරති.

මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාරගැනීම නිසා රනිල් පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු නොකළා විය හැකිය. රනිල්ගේ දේශපාලන භාවිතයෙහි එවැනි විශිෂ්ට හැසිරීම් බොහෝ වෙයි. ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනය වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ ආකාරය ඓතිහාසික මැදිහත් වීමකි. 1994 දී එජාපයට නැවත රජයක් පිහිටුවීමට පැවැති අනගි අවස්ථාව අහිමි කළේ රනිල් වික්‍රමසිංහ විසිනි. එදා ඔහු පෙනී සිටියේ රටේ ජනතාව අපේක්‍ෂා කළ වෙනස වෙනුවෙනි. එසේම එක් වැඩි ඡන්දයකින් ගාටමින් සිටි, චන්ද්‍රිකාගේ 1994 ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ අත තිබ්බේ නැත. 2001 දී බලයට පත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති චන්ද්‍රිකාට හෝ අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව දෝෂාභියෝග ගෙන ඒමට ක්‍රියා කළේ නැත. ඒ දෙදෙන ඊට කෙළෙහිගුණ නොදැක්වූවා පමණක් නොවේ; රනිල් කෙරෙහි ඉතා අකාරුණිකද වූහ.

ජනාධිපති චන්ද්‍රිකා අමාත්‍යාංශ තුනක් පවරාගත් අවස්ථාවේ දසදහස් ගණනක් ජනතාව ජනාධිපති මන්දිරය වැටලීමට වීදි බටහ. රනිල් ඒ ජන සන්නිපාතය ගෙදර යැව්වා මිස, චන්ද්‍රිකා පලවාහැර රටේ විධායක ජනාධිපති වීමට කල්පනා කළේ නැත. ඒ රනිල් වික්‍රමසිංහ අදටත් එසේමය. මහින්ද ප්‍රභාකරන් ගිවිසුම නොවන්නට 2005 දී රටේ ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහය. මෙකී දෛවෝපගත අවස්ථා මගහැරුණු රනිල්ගෙන් රටේ දේශපාලන ජයග්‍රහණ ඈත් වන්නට විය. ඊට හේතු කාරණ කිහිපයකි. පළමුවැන්න තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමේ ජවයයි. දෙවැන්න රනිල් වට කොට සිටි චොක්සිලාය. 2001 දී චන්ද්‍රිකා-රනිල් අතර ඇති වූ අර්බුදයට, රවි කරුණානායක මුල් විය. එදා කැබිනට් රැස්වීමේ දී රවි කරුණානායක නැටූ නාඩගම්, කෙනෙහිලිකම් සිදු නොවිය යුතුව තිබිණි. සුජීව සේනසිංහ 2017 දී රවිට වඩා බරපතළ හානියක් සිදු කළේය. විධායක ජනාධිපතිවරුන් සමඟ ගැටීමේ අවාසිය එජාපය තේරුම්ගත යුතුව ඇත.

යුද ජයග්‍රහණයේ උණුසුම තේරුම් ගත් රනිල් 2010 දී ස්වකැමැත්තෙන්ම පොදු අපේක්‍ෂකයකුට ඉඩ සැලසීය. රනිල් වික්‍රමසිංහ 2015 දී පොදු අපේක්‍ෂකත්වය ලබාගැනීමට ගත් උත්සාහ සියල්ල අසාර්ථක විය. අවසානයේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා විය. එකී කම්පනයෙන් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහින්ද රාජපක්‍ෂ වෙතට විසි විය. රනිල් වික්‍රමසිංහ 1994 දී ගාමිණි දිසානායකද, 2010 දී සරත් ෆොන්සේකාද තනි කළ ආකාරයට 2015 දී මෛත්‍රීද තනි කරන බව තිස්ස අත්තනායක මහින්දට සහතික විය. එහෙත් 1993 මැයි 1 වැනිදා රනිල් දැක්වූ දේශපාලන කෘතහස්තභාවය 2015 ජනවාරි සටනේ දී ඔහු නැවත නැවත තහවුරු කළේය. ඊට ප්‍රතික්‍රියා දැක්වූ මෛත්‍රි ජනාධිපති තනතුර භාරගත් වහාම රනිල් වික්‍රමසිංහ තම රජයේ අගමැති ලෙස නම් කළේය. අද පවත්නා සම්මුති ආණ්ඩුව ආරම්භ වන්නේ එහෙමය. සම්මුති ආණ්ඩුවේ හෙට දවස ගැන සමහරු ප්‍රශ්න කරති. ජනාධිපතිවරයාගේ නිකවැරටිය කතාව ඇසු ජනවාරියේ පෙරළියට කතිරය ගැසූ නීතිඥයෙක් මෙසේ කීය:

‘‘මහ බයක් දැනෙනවා.’’ නමින් එම්.ආර්.එම්. කරුණාරත්න බණ්ඩා වන එකී නීතිඥයා ජනවාරි 09 වැනිදා සිට ආණ්ඩුවේ හැම අතපසුවීමක්ම කුරිරු ලෙස විවේචනය කරන්නෙකි; ‘වියත් මග’ සහ ‘එළිය’ වැනි සම්මන්ත්‍රණ ධනාත්මකව නිරීක්‍ෂණය කරන්නෙකි. ඔහුට බැඳුම්කරය වංචාවකි; ජනාධිපතිගේ ශ්‍රීලනිප පයිරුපාසනය පිළිකුලකි; වංචා දූෂණ නඩු පමා වීම තක්කඩිකමකි. එවැනි දැක්මක් සහිත නීතිඥ කරුණාරත්න බණ්ඩාට නිකවැරටිය කතාව අසා ඇති වූ චකිතය, මහින්දගේ කාලකන්නි පාලනය සිහි වීමෙන් ඇති වූ එකකි. රටේ අදටත් සක්‍රිය යටිබිම්ගත දේශපාලන දැක්ම එවැන්නකි. මේ බිය මෛත්‍රි සමඟ ආණ්ඩුවට එක් වූ ජෝන් සෙනෙවිරත්නලාට, සුසිල් ප්‍රේම්ජයන්ත්ලාට එස්.බී. දිසානායකලාට ඇති වන්නේ නැත. ඔවුන් බලා සිටින්නේ 2015 දී මෛත්‍රීපාල සවුත්තු කරමින් කළ කතාවල වාසිය මහින්දගෙන් ලබාගන්නා හෙට දවස ගැනය. ඔවුන් ඒ කාලකන්නි හෝරාව උදා වන තෙක් ඇමතිකම්වල ගුළි වී සිටිනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට මෛත්‍රීපාල සිරිසේන තෙක් බලයට පත් වූ හැම විධායක ජනාධිපති අපේක්‍ෂකයාම ජනතාවට පොරොන්දු විය. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ජනතා වුවමනාව විකෘති කළ මහින්ද රාජපක්‍ෂ බැඳුම්කරය හරහා සිය තක්කඩි දේශපාලනයට හුළං ගසමින් සිටියි. 19 වැනි ව්‍යස්ථා සංශෝධනයට මුල් වූ මෛත්‍රීපාල ජනතාව සමඟ පාරට බහිනවා කීම සරල කතාවක් නොවේ. මෛත්‍රී පාරට බැස්සොත් එස්.බී., ඩිලාන්, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් ආදීන් ආපසු මහින්ද වෙත යනු ඇත. ලැබෙන බලය රිසි සේ බුක්ති විඳීමට නම් මහින්දම පාලකයා විය යුතු බව ඔවුහු අදහති. නිකවැරටිය කතාව අසා නීතිඥ කරුණාරත්න බණ්ඩාට බියක් දැනුණේ රටට ඇති ආදරය නිසාය.

මෛත්‍රී රනිල් සම්මුතිය ගිය සතියේ බරපතළ ලෙස චලනය විය. ජනවාරි 8 වැනිදා ඉර පායන මොහොතේත් රනිල් යනු මිස්ටර් ක්ලීන්ය. අදටත් කිසිවකු මෛත්‍රීට හොරා කියන්නේ නැත. බැඳුම්කර සිද්ධිය නොවන්නට, එජාපයට පහසුවෙන් ආසන 120ක් ලබාගත හැකිව තිබිණි. ආසන සීයක් ලැබුණත් මම මහින්ද අගමැති කරන්නේ නෑ කියා මෛත්‍රී මහ මැතිවරණයේ දී ප්‍රසිද්ධියේ කීවේ මහින්ද සමඟ ගමනක් නැති නිසාම නොවේ. තමන් දිනවූ හැට දෙලක්‍ෂයක් ඡන්දවලින් 93%ක්ම පිරිසුදු එජාප ඡන්ද බව මෛත්‍රී අදටත් විශ්වාස කරන නිසාය. මේ සාරාංශ කළේ 2015 ජනවාරියේ සිට නිකවැරටිය කතාව තෙක් ගෙවී ගිය කාලයේ රනිල්-මෛත්‍රී සහ-සම්බන්ධකම්ය.

මේ ලිපියේ ඉහත මෙසේ දැක්වේ:

‘2001 දී චන්ද්‍රිකා-රනිල් අතර ඇතිවූ අර්බුදයට, රවි කරුණානායක මුල් විය. එදා කැබිනට් රැස්වීමේ දී රවි කරුණානායක නැටූ නාඩගම්, කෙනෙහිලිකම් සිදු නොවිය යුතුව තිබිණි. සුජීව සේනසිංහ 2017 දී රවිට වඩා බරපතළ හානියක් සිදු කළේය. විධායක ජනාධිපතිවරුන් සමඟ ගැටීමේ අවාසිය එජාපය තේරුම්ගත යුතුව ඇත.’ සම්මුතිවාදීන් අතර, මෙවැනි නොගැළපීම් අපේක්‍ෂා කළ යුතු වේ. එහි දී මැදිහත් විය යුත්තේ පරිණත මිනිසුන්ය. එක් යුගයක සුජීව සේනසිංහ, සජිත් ජනාධිපති කොට තමා අගමැති වන බව ප්‍රකාශ කළ චරිතයකි. ඔහු පොල්වත්තේ ධර්මකීර්ත්‍යාරාමයේ දී ‘මම තමුසෙගේ සරම ගලවලා ඔළුවේ බඳිනවා කියා’ කරු ජයසූරියට තර්ජනය කළේ බෞද්ධ භික්‍ෂූන් පිරිසක් ඉදිරිපිටය. ජනාධිපතිට තර්ජනය කළේ ඒ සුජීව සේනසිංහ බව තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත්ය.

හේවාහැට මැටිබැඹිය ගමේ පාසලෙන් විශ්වවිද්‍යාලයට ගිය නීතිඥ කරුණාරත්න බණ්ඩාට මෛත්‍රීගේ නිකවැරටිය කතාව අසා ඇති වූ තිගැස්ම, ගාමිණි දිසානායකලා, ලක්‍ෂමන් කදීර්ගාමර්ලා බිහි කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට බෙන්ස් කාර් එකෙන් ගියා කියන සුජීව සේනසිංහට නො දැනීම අරුමයක් නොවේ. මනාප සෙල්ලම නිසා සල්ලි විසි කළ හැකි මිනිසුන් දේශපාලකයන් වීමේ බරපතලකමට සුජිව සේනසිංහ හොඳ උදාහරණයකි. සම්මුතිවාදි දේශපාලනයක බරපතල කම ගැන කරුණාරත්න බණ්ඩාට දැනුණ ටික ලංකාවේ බහුතරයකට දැනී ඇත. නොවැම්බර් 27 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු කණ්ඩායමට දැඩිව අවවාද කළේ ඒ නිසාය. 2015 දී ජනතා අපේක්‍ෂාවන්ට නායකත්වය දීමට, එජාප ශ්‍රීලනිප දෙපක්‍ෂයම අපොහොසත් වීමේ ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන නිර්මාණය වීමය. මෛත්‍රීගේ ආගමනයෙන් වසර විස්සක් අවතැන්ව සිටි එජාපය ශක්තිමත් වුණාට සැක නැත. එහෙත් තවත් ජනවාරියක් හෝ මෛත්‍රීපාල සිරිසේන කෙනකු හමු නොවන බව එක්සත් ජාතික පක්‍ෂය තේරුම් ගත යුතුව ඇත.

එසේම මෛත්‍රී විසින්ද තේරුම් ගත යුතු දේ බොහෝය. රනිල් වික්‍රමසිංහ 1994 දී ගාමිණි දිසානායකද, 2010 දී සරත් ෆොන්සේකාද තනි කළ ආකාරයට 2015 දී මෛත්‍රීපාල සිරිසේන තනි කළේ නැත. ඕනෑම දේශීය හෝ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් ආරම්භයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්මුතිවාදි පාලනය විග්‍රහය අවසන් කරන්නේ ‘Headed by so and so’ කියාය. එයින් තහවුරු වන්නේ මෛත්‍රීගේ නායකත්වය මදිපුංචිකමක් ලෙස රනිල් වික්‍රමසිංහ නොසලකන බවය.

බැඳුම්කර කොමිසමට යෑමට, අග්‍රාමාත්‍යවරයා තීරණය කළ පසු, ඔහුද රවි කරුණානායක මෙන් අස් විය යුතු බවට කතා පැතිරිණි. මේ ගැන විමසූ කෙනකුට ජනාධිපතිවරයා දුන් පිළිතුර මෙසේය: ‘‘රටේ අගමැතිට අස් වෙන්න කියන්න පුළුවන් ජනාධිපතිට. මගේ අගමැතිට අස් වෙන්න කියලා මට කියන්න පුළුවන්ද? ප්‍රශ්නය අගමැති නොවේ. අප දෙදෙනාගේ මේ සම්බන්ධය බොහෝ අය තේරුම් නොගැනීමය.’’ අප නැවත 2015 අගෝස්තු මැතිවරණ සටන අතර, පොදුජන එක්සත් පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් තනතුරු වෙනස් කිරීම මෙන්ම, ශ්‍රීලනිපය ආසන සීයක් ගත්තත් අගමැති වෙන්නේ මහින්ද රාජපක්‍ෂ නොවන බවට මෛත්‍රී කළ ප්‍රකාශයන්ද මෙහිලා සිහිපත් කළ යුතු වේ.

මේ සියලු කරුණු ඒකරාශී කළ විට ලැබෙන පිළිතුර කුමක්ද? වර්තමානයේ පවත්නා එකම අනතුර අනවබෝධය සහ අනාගත අපේක්‍ෂාවන්ගෙන් නළියන ‘එහෙයියන්’ පමණක් බවය. එදා විධායක ක්‍රමය වෙනස් කිරීමට දුන් පොරොන්දුව යටපත් කිරීමට මෛත්‍රී කැමැති නැත. සම්මුති ආණ්ඩුවට රිංගාගත් කිසිවකු මෛත්‍රීට බලපෑම් කළ යුතු නැත. මේ කියන්නේ බරපතළ එහෙයියන් රනිල් සමඟ මෙන්ම මෛත්‍රී සමගද සිටින බවය. බැඳුම්කර පරීක්‍ෂණ මෙන්ම සාප ලත් යුගයේ මනීමරුවන්ට, සොරුන්ට, වංචනිකයන්ට මෙන්ම දූෂිතයන්ටද එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු වේ. බණ්ඩාරනායක, මෛත්‍රී හැර වෙනත් කිසිදු ශ්‍රීලනිප නායකයකු වංචා-දූෂණවලට එරෙහිව ක්‍රියා කර නැත. රවි කරුණානායකලා තෙක් කිසිදු අවස්ථාවක එජාපයට දූෂණ චෝදනා එල්ල වී නැත. අප ආඩම්බරයෙන් හිස මත තබාගෙන ගමන් කළ ජනවාරි ජයග්‍රහණය ඉහමොළ රත් වන ගිනි කබලක් බවට පත් කළ යුතු නැත.

මීට අමතරව තවත් ඓතිහාසික කරුණක්ද සිහිපත් කළ යුතුව තිබේ. එජාපය සහ ශ්‍රීලනිපය 1948 නිදහස් ලංකාවේ දේශපාලන පරිසරයට හා ජනතා අපේක්‍ෂාවන්ට අනුගතව නිර්මාණය වූ බව සැබෑය. එජාපයේ කෘෂිකාර්මික අපේක්‍ෂා මෙන්ම, ශ්‍රීලනිපයේ ආගම්වාදි සහ ජාතිවාදි සටන් පාඨ රටේ ඉදිරි ගමනට බාධා පමුණුවමින් සිටිත්. තවත් බොහෝ හේතු නිසා එජාපය සහ ශ්‍රීලනිපය කල් ඉකුත්ව ඇති බව 2015 ජනවාරිය සහතික කර හමාරය.

නිදහස ලබා ගෙවුණු වසර 69ක් තුළ රට මුහුණ දුන් කිසිදු ගැටලුවකට නිත්‍ය විසඳුම් දීමට අපේ දේශපාලන පක්‍ෂ මෙන්ම නායනකයෝද අසමත් වූහ. 1980 ගණන්වල ශ්‍රීලනිපය තුළ ටී.බී. ඉලංගරත්න, හෙක්ටර් කොබ්බෑකඩුව විජය කුමාරතුංග ආදීහූ කළ පෙරළියද, 1992 දී ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි ආදීහු එජාපය නව මාවතකට ගැන්මට කළ උත්සාහයද එකී අසමත්කම්වලට එරෙහිව සිදු කළ නැ‍ඟී සිටීම් වේ. ජනවාරි පෙරළිය ඊට ඉතිහාසය දුන් විසඳුම නොවේද? ඔක්තෝබර් විප්ලවයෙන් වසර 69කට පසුව, සොවියට් රුසියාවට පවා විතැන් විය. සෝවියට් රුසියාව මුහුණ දුන් පෙරස්ත්‍රොයිකා සංසිද්ධිය (1917-1986) වූ 69 වැනි තීරණාත්මක වසරකට (1948-2017) ශ්‍රී ලංකාවද මුහුණ පා සිටියි. නිකවැරටිය කතාවෙන් නිකුත් වන්නේ ඒ ඓතිහාසික පණිවිඩයේ දෝංකාරය විය හැකිය.

රනිල්ගේ පියා එස්මන්ඞ් වික්‍රමසිංහද, මෛත්‍රීපාල සිරිසේන මෙන්ම පටන් ගත්තේ වාම දේශපාලනයෙන් බව සිහිපත් කරගත යුතු වේ. සෝවියට් දේශය සිය තීරණාත්මක 69 වැනි වසරට සාර්ථකව මුහුණ දුන් බව ඉතිහාසයේ ලියැවී ඇත. නිදහස් ලංකාවට තීරණාත්මක 69 වැනි වසර හැසිරවීමේ ඓතිහාසික වගකීම මෛත්‍රීපාල සිරිසේනට භාරව ඇත. මේ සත්‍යය මෛත්‍රී සහ ඔහුගේ ගමන් සගයා රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුව ඇත. යුගය අපේක්‍ෂා කරන නායකත්වයන් සහ නව සංවිධානවලට ලෝකය දැකීමට මෛත්‍රී-රනිල් ද්විත්වය කැප විය යුතුව ඇත.

ජාතිවාදීව ආගම්වාදීව ගෝත්‍රවාදිව අප තිස් වසරක් එක දිගට ලේ කඳුළු මතින් විනාශයේ මුවදොර වෙත ළං වෙමින් සිටින්නෙමු. මහපාරේ සීසීකඩ විසිවූ අපේ දූදරුවන්ගේ ප්‍රියයන්ගේ මස් වැදලි නිදහස් ලංකාව පුරා විසිරී ඇත. හැම කනත්තකම වර්ගවාදයේ නාමයෙන් ජීවිත දුන් මිනිසුන් වැතිර සිටිති. ඒ සියල්ලන්ගේ නම් විකුණමින් රාජපක්‍ෂලා විමුක්තිය අපේක්‍ෂා කරති. ඔවුන් අපේක්‍ෂා කරන්නේ ඝාතනවලට හොරකම්වලට තක්කඩිකම්වලට සමාවය. එයින් නොනැවතී ඔවුහු වීරත්වය මෙන්ම රටේ භාරකාරත්වයද අපේක්‍ෂා කරති. යුද්ධයේ නාමයෙන් මිනීමරුවන් හොරුන් තක්කඩියන් රැකිමට විදි බසින තක්කඩියන්ට මෛත්‍රී බිය විය යුතු නැත. අප සිදු කළ යුතුව ඇත්තේ වසර 69ක් අප විසින් නොකළ, එහෙත් කළ යුතුව ඇති සියලු වෙනස්කම් සිදු කිරීමය. බලය බෙදීම, දූෂණ වංචා නතර කිරීම ආදි රටේ ප්‍රගමණනය පිණිස අවශ්‍ය සියලු දේ කිරීමට පක්‍ෂවාදයෙන් නොව සම්මුතිවාදයෙන් ක්‍රියා කිරීමට පැවරී ඇති මේ ඓතිහාසික කාර්යභාරය අප දැරිය යුතු වේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.