නීතියට මේ තරම් බයද? | සිළුමිණ

නීතියට මේ තරම් බයද?

 රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකන නියෝගයක් අභියාචනාධිකරණයෙන් ලබාගැනීමට සමත්ව තිබේ. පසුගිය සතිය පුරා ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා පැතිර-ගිය අතර, මෙවර ඔහු ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍යම වූයේ පොදු දේපළ පනත යටතේ වූ චෝදනාවකටය. එමඟින් කියවුණේ තම දෙමවුපියන්ගේ පිළිරූ ඉදි කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් ප්‍රාග්ධනය ඔහු විසින් රජයේ දේපළ අවභාවිත කරමින් ලබාගෙන ඇති බවයි.

චෝදනාව ඔප්පු කර වරදක් කර ඇත් නම් ඔහුට තරාතිරම නොබලා දඬුවම් කළ යුත්තේ අධිකරණය මගින් පවතින නීති රීති යටතේය. එතෙක් ඔහු සැකකරුවකු පමණක් වන අතර, ඔහු අතීතයේ කුමන තනතුරු දැරුවද කුමන කාර්යභාරයක් කළද එය අධිකරණ ක්‍රියාවලිය සඳහා අදාළ නොවිය යුතුය. එහෙත් හිටපු ආරක්ෂක ලේකම් වූ නිසාම ඔහු විසින් කොටි සංවිධානය පරාජය කිරීම උදෙසා කළා වූ දායකත්වය නිසාම අධිකරණ ක්‍රියාවලියෙන් මුක්තිය ලැබිය යුතුයැයි සමාජයේ එක් ජන කොටසක් කල්පනා කරන්නේය.

ගොඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිගේ අනුමැතිය ලැබුණායැයි ආරංචි පැතිර ගිය වහා ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීම සඳහා සමහරු බරපතළ මැදිහත් වීමකට මුල පිරීය. ඒ අතුරින් ප්‍රමුඛ වූයේ කොළඹ කේන්ද්‍රීයව සිටිමින් බලයට පත් වන ඕනෑම ආණ්ඩුවකින් වරප්‍රසාද ලබාගැනීමට ඉදිරිපත් වන සංඝ සමාජයේ පිරිසකි. ඒ බව තහවුරු කරමින් ඇල්ලේ ගුණවංශ හිමි මහජන හමුවක් අමතමින් කීවේ තමන් ඇතුළු භික්ෂූන් පිරිසක් ජනාධිපතිවරයා හමු වී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලීමක් කළ බවය. ඒ භික්ෂු පිරිස අතර ඇල්ලේ ගුණවංශ හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, මැදගොඩ අභයතිස්ස හිමි වැනි හිමිවරුන් වූ බව කියවේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් සමාජයේ අනෙකුත් කොටස් අතුරින් ද යම් යම් විරෝධයන් මතු නොවූවාම නොවේ. ඒ සියල්ලන්ගේම අදහස වූයේ ඔහුව කුමන හේතුවක් නිසාවත් අත්අඩංගුවට නොගත යුතු බවය. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීමේ කූටප්‍රාප්තිය වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින්ම තමන් අත්අඩංගුවට නොගැන්නැයි වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමයි.

යම් කිසිවකු දරන සමාජ තත්ත්වය මත අධිකරණය ඉදිරියේ වෙනස් ලෙස සැලකීමට හේතුවක් නොවන්නේය. කවර තත්ත්වයක් දැරුවත් ඕනෑම අයකු නීතියේ නිසි ක්‍රියාදාමයට ලක් විය යුතුය. එහෙත් ඉතිහාසයේදී පවා මේ නීති භාවිතාවට අභියෝගයන් එල්ල වූ අවස්ථා නැත්තේම නොවේ. වරක් ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය තනතුරක් ඉසුලූ, ඇහැළියගොඩ මන්ත්‍රීවරයාව සිටි ආචාර්ය විමල් වික්‍රමසිංහ විශ්‍රාම සුවයෙන් සිටින කාලයේ යම් වරදකට වරදකරුවකු බවට පත් විය. එහෙත් ඔහුගේ සිවිල් තත්ත්වය සලකා බලා අධිකරණය විසින් ලිහිල් දඬුවමක් ලබාදුන් අයුරු තාමත් කවුරුත් දන්නා කරුණකි. එවැනි දඬුවම් සඳහා නීති පද්ධතියේ ප්‍රතිපාදනද පවතී. ඒ අතුරින් අත්හිටුවූ සිර දඬුවම හා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීමේ නියෝග ඉල්ලා අධිකරණයට යෑමේ හැකියාව ප්‍රධාන වේ.

සමාජයේ සිවිල් චරිත මේ අන්දමින් අධිකරණ ක්‍රියාවලියට බිය වීම ලජ්ජාසහගතය. ඔවුන් වීරයන් මෙන් සමාජයේ නීතිය කඩකරමින් කටයුතු කළද සැබෑවටම නීතිය තමන් පසුපස හඹා එන විට අතිශය බියසුලු බවින් වෙව්ලන්නේය. එවිට වහාම කරන්නේ නීතියෙන්ම සලසා ඇති ප්‍රතිපාදන යටතේ තමන්ට රැකවරණ සලසා ගැනීමයි. මෙය බරපතළ තත්ත්වයක් වන අතර නීති ක්‍රියාවලිය හා රටේ සාධාරණ අවකාශය ලජ්ජාවට පත්විය යුතු කාරණාවකි.

එහෙත් නෛතික වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද සිවිල් චරිතයන්ට නීතිය වෙනස් කර සැලකීම ක්‍රියාත්මක වන්නේ සාපේක්ෂව අධිපති නොවන රාජ්‍ය ක්‍රියාවලියක් තුළය. ඊට හොඳම උදාහරණය වන්නේ හිටපු යුද හමුදාපති ජනරාල් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නා විට මේ කිසිම විරෝධයකට ඉඩ නොපැවතීමයි. 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්ව පරාජය වූ සැණින් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී හෝ නීති හෝ වග විභාගයකින් තොරව ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කළේය. එහිදී ඒ අත්අඩංගුව ගැනීම සිදු වූයේ කිසිම මානව අයිතියකට හෝ ගරු නොකරමිනි. ජනරාල්වරයා ඇදගෙන ගොස් පොලිස් බලු කූඩුවට දැමීමට තරම් එවකට ආරක්ෂක ලේකම්වරයාත් එවකට ජනාධිපතිවරයාත් වූ අයියා-මලෝ දෙදෙන අශ්ලීල වූහ.

ඊට ජන සමාජයෙන් විරෝධතා ඉල්ල වූවද ඒවා තඹ සතයකට මායිම් කරන්නට ඒ අයිය-මලෝ දෙදෙන උනන්දු නොවූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ගේ පසමිතුරා සතුරකු බවට පත් කර, ඔහුගෙන් පළි ගන්නටය. ඒ තත්ත්වය තුළ සියල්ලෝනීති අකුරු හා පද වැල්වලටම සීමා වී තීන්දු තීරණ ගත්හ. ජනරාල් සරත් ෆොන්සේකා යුද්ධය නිමා කළ හමුදාපති බවට වූ සිවිල් බලය අමතක කළේය. එනිසා ඔහුට අශ්ලීල ලෙස සැලකූ අතර, ඔහු වෙනුවෙන් පාරට බැස්ස විරෝධතාකරුවන්ට එළව-එළවා පහර දුන්නේය. අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධතා පෙත්සමක් හෝ අත්සන් කිරීමට අවස්ථාවක් ලබා නොදුන්නේය.

අතීතයේදී ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සමාජයද හැසුරුණේ ඒ අන්දමින්ය. එදා ජනරාල් සරත් ෆොන්සේකාට තිරිසනකුට සේ ගෝඨාභය රාජපක්ෂ විසින් සලකන විට ඊට එරෙහිව වචනයක් හෝ හඟවන අන්දමක් ඇල්ලේ ගුණවංශ හිමිගෙන් මැදගොඩ සුමනතිස්ස හිමිගෙන් හා ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිගෙන් පෙනෙන්නට නොවීය. ඒ කියන්නේ සමාජයේ සිවිල් බලය හිමි කිසිවෙක් ඔහු වෙනුවෙන් හඬ නොනැඟූහ. හඩ නැඟූ වරප්‍රසාද රහිත ජන කොටස තලා පෙළා දැමිණි.

අද වනවිට ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වන අය මර්දනය කරන්නේ නැත. එනිසා සමාජයේ වරප්‍රසාද සහිත ජන කොටස මෙන්ම වරප්‍රසාද රහිත ජන කොටසද සැකයෙන් හා බියෙන් තොරව තම අභිමතය අනුව දේශපාලන තීන්දු තීරණ ගනිති. එනිසා ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙති. එහෙත් මේ කිසිවකු නොසලකන්නේ සමාජයේ සිවිල් බලයක් ඇති නිසාම ඒ තැනැත්තා නීතිය ඉදිරියේ වෙනස් කර සැලකීමට හේතුවක් නොමැති බවය. එහෙත් කොළඹ කේන්ද්‍රීය භික්ෂු ප්‍රජාවේ කොටසක් මෙන්ම මැද පාන්තිකයන්ගේ සමාජ කොටසක්ද නිර්ලජ්ජාශීලීව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු හමුදා නිලධාරිවරයෙකි. ඔහුගේ භාවිතාව හමුදාමය සංස්කෘතියට ආවේණිකය. සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරුත්වයක් ලබා දෙමින් ඊට අනුගතව කටයුතු කරන සංස්කෘතික ගුණාංගයන් ගෝඨාභය රාජපක්ෂ විසින් හඳුනාගෙන නොමැත. එනිසා ඔහු නිතරම උත්සාහ ගන්නේ තම අභිමතය අනුව උද්දච්චකමින් හා අත්තනෝමතිකව කටයුතු කරන්නටය. ඔහුගේ භාවිතය මේ තරමින් හෝ තුලනය වී තිබුණේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂත් නිසාය. ඔවුන් නොවන්නට ගෝඨාභය රාජපක්ෂ විසින් ලාංකික සමාජය දිනාගෙන තිබූ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් එක රැයෙන් විනාශ කර දමන්නේය.

ලාංකික සමාජය ප්‍රජාතන්ත්‍රවාදය ආනයනය කර භාවිතයට ගත්තද මේ සමාජයේ බොහෝ පිරිසකට තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ආගන්තුක අමුත්තෙකි. බොහෝ පිරිසක් තුළ අවිඥානක ආශාව ලෙස පවතින්නේ බලහත්කාරය, මැරකම, ප්‍රචණ්ඩත්වය හා ලේ හලාගැනීමයි. ඒ අවිඥානක ආශාව ඇති ජන කොටස්වලට ප්‍රජාතන්ත්‍රික වටිනාකම්වල අගයන් නැත. ඔවුන් උත්සාහ දරන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ තම අභිලාශයන් ජය ගැනීමට ය. ගෝඨාභය රාජපක්ෂ වටා එක් රොක් වි සිටින ජන කොටසද එවැනි රූපික ලක්ෂණ පෙන්නුම් කරන ජන කොටසකි.

මේ සංස්කෘතික වහල් වීම සමාජය තුළින්ද නිතර නිරූපණය වේ. 1994 දී පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඒකාධිපති සංස්කෘතිය පරාජය කළද 1996 වන විට බරපතළ වැඩවර්ජන රැල්ලක් ආවේ ය. ඊට පිළිතුරු ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව මෙන්ම සමාජයද ඉල්ලා සිටියේ ප්‍රේමදාස කෙනෙකි. තමන් භාවිතයේ කොතෙක් ප්‍රතික්ෂේප කළද ඒ ප්‍රතික්‍ෂේප කරන ප්‍රපංචයටම අවිඥානකව පෙම් බැඳීම සංස්කෘතික ලක්ෂණයකි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන්නට කතා කරමින් නීතිය පවා නොතකා හරින්නට සමහරුන් උත්සාහ ගන්නේ ඔවුන් අවිඥානකව ඒකාධිපතිවාදයට එකඟ නිසාය.

නීතියේ හා අධිකරණයේ නිසි ක්‍රියාදාමය අමතක කරමින් සමාජ කොටස් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් වීමෙන් ගලවාගන්නට උත්සාහ කරන්නේ ඒකාධිපති නායකයන්ට ඔවුන් කැමැති නිසාය. ඒ අවිඥානක ආශාව සමාජයක් ආපස්සට කරකවන්නට හොදටම ප්‍රමාණවත්ය.

[email protected]
කේ.ජී. පිලිප් ශාන්ත 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.