ප්‍රජාතන්ත්‍රවාදය අඳුරේ තබා ෆැසිස්ට්වාදයට පහන් දැල්වීම! | සිළුමිණ

ප්‍රජාතන්ත්‍රවාදය අඳුරේ තබා ෆැසිස්ට්වාදයට පහන් දැල්වීම!

ජන ජීවිතය සැහැසිව උදුරා ගත්තු
ඒ කොටි නමින් කිම පහනක් කර පත්තු

ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්ෂේත්‍රය වඩාත් උණුසුම් කළ මාතෘකා දෙකක් ලෙස පළාත් පාලන මැතිවරණය හා උතුරේ මහවිරු සැමරුම් ක්‍රියාදාමය හැඳින්වීම නිවැරදිය. මෙයින් පළාත් පාලන මැතිවරණය පිළිබඳ කතිකාව සෑහෙන කාලයක පටන් අපට ඇසෙන්නකි. පළාත් පාලන මැතිවරණයට බිය වූ සම්මුති ආණ්ඩුව එය කල්දැමීම සඳහා විවිධ නීති ආවරණයන්ට මුවා වන බව විපක්ෂවල චෝදනාවය. මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා යන ආයතන මේ පළාත් පාලන පද්ධතියට අයත් වේ. පළාත් සභා එයට වඩා වෙනස් ව්‍යූහාත්මක ආයතනයකි. මේ පාලන පද්ධති ආණ්ඩුවට අවශ්‍ය වන පරිදි සංශෝධනය කිරීමට බාධාවක්ද නැත. මේ රටේ පවතින මැතිවරණ ක්‍රමය නූතන ප්‍රජාතන්ත්‍රවාදි අභිලාෂයන්ට පටහැණි බව දේශපාලන පක්ෂ පමණක් නොව, බහුතර ජනතාවගේද අදහස වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාධිපත්‍යය හිමි වූ ජනතාව තම බලය හා අභිමතය ප්‍රකාශ කිරීම සඳහා යොදාගන්නේ ඡන්දය හෙවත් මැතිවරණයයි. ඒ ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට බාධා සිදු නොකළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියල්ලෝම පිළිගනිති.

පළාත් පාලන ආයතන විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතා හා ප්‍රමුඛතා හඳුනාගත් පුද්ගල සහභාගිත්ව නියෝජනයක් ලෙස පිළිගනු ලැබේ. එදා ‘මැම්බර් මහත්තයා’ ලෙස ගමට සේවය කළ අයට අද තරම් දේශපාලන ‘ඇම්මක්’ තිබුණේද නැත. පළාතේ මන්ත්‍රීතුමා තෝරාගැනීමට පක්ෂවලට බෙදුණත් මැම්බර් මහත්තයා ඊට වඩා පොදු අයෙක් විය. එහෙත් අද මේ පළාත් පාලන ඡන්දයද දේශපාලන පක්ෂවල ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන මිනුම් දණ්ඩක් බවට පත්ව තිබෙන බව කවුරුත් දනිති. දේශපාලන භේදවලින් මේ රටේ බොහෝ හොඳ දේවල් නරක් කර තිබෙන බව අපි මීට පෙරද කියා ඇත්තෙමු. මැම්බර් මහත්තයා වෙනුවට පැමිණි ප්‍රාදේශීය සභා නියෝජිතයන් මෙන්ම ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සමහර දෙනකුද පිළිබඳ පසුගිය කාලය තුළ සිදු වූ විවේචනද එමටය. ඒවා අපේ දේශපාලනයේ නරක, පරිහානිය පිළිබඳ අප්‍රසන්න තොරතුරුවලින් පිරී තිබෙන බව කවුරුත් දනිති. ඒ අතර ගමට, ප්‍රදේශයට අවංකව මෙහෙවරක් ඉටු කළ ප්‍රාදේශීය දේශපාලකයන් ස්වල්ප දෙනකු හෝ නොවූහයි කීමටද නොහැකිය.

නොගැඹුරු චෝදනා

මෛත්‍රීපාල ජනාධිපතිවරයා මෙරටේ යහපත් දේශපාලන සංස්කෘතියක් තහවුරු කළ යුතුය යන ආස්ථානයේ දැඩිව පිහිටා ක්‍රියා කරන නායකයෙකි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙන්ම ප්‍රාදේශීය දේශපාලන ව්‍යූහයද සාධනීය ලෙස වර්ධනය කිරීම මෛත්‍රී දැක්ම වී තිබේ. එනිසා පළාත් පාලන ක්‍රමයේ නිෂේධනීය අංග ඉවත දමා එය සාධනීය හා සාඩම්බර මහජන සේවාවක් ලෙස ඔසවා තැබීමට පළාත් පාලන ක්ෂේත්‍රයද වෙනස් කිරීමේ කටයුතු ඇරඹිණි. ඒ සඳහා අදාළ මෙහෙයුම් යන්ත්‍රණයේ පමාවන් ඇතුළු වෙනත් නීති ගැටලු දිගින් දිගට මතු වීම මේ පළාත් පාලන ඡන්ද කල්දැමීමට හේතු වූ බව සත්‍යයකි. එහෙත් ගෙවී ගිය දෙවසරකට නොඅඩු කාලයක් මුළුල්ලේ පළාත් පාලන ඡන්ද නොපැවැත්වීම ගැන ආණ්ඩුවට කෙරෙන චෝදනා එයින් අවලංගු නොවේ. එසේම ජනතා මතයට බියෙන් මේ ඡන්දය කල් දමන බවට කෙරෙන චෝදනාවේ නම් දේශපාලන ගැඹුරක් නැති බවද කිව යුතුය.

ශ්‍රී ලංකාවේ එතෙක් පැවති මැතිවරණ ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමයේ මැතිවරණයක් සම්මත කිරීම ආණ්ඩුව කළ ඉතා යහපත් වැඩක් මෙන්ම ජනතා අභිලාෂයක් ඉටු කිරීමක්ද වේ. ඒ සඳහා අදාළ නීති පනත් සම්මත කිරීම ගාටමින් තිබීම ගැන මැතිවරණ කොමසාරිස්වරයාද කනස්සල්ල පළ කර තිබිණි. ආණ්ඩුව ඒ සියලු විවේචන පමණක් නොව, අවලාද හා ගැරහුම් ද විඳ-දරාගනිමින් පළාත් පාලන ඡන්දයට දින නියම කර තිබියදීත් අන්තිමට නීති බාධාවක් ඉදිරිපත් විය. ඒ පළාත් පාලන ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය බලාත්මක කිරීම වළක්වන ලෙස ගොනු කරන ලද පෙත්සමක් නිසාය. එහෙත් නීති ගැටලු මතු නොවන පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම්ය. ඒ අනුව දැනටමත් ඡන්දයට ඇප මුදල් තැන්පත් කිරීම්ද සිදුව ඇත.

මේ අතර පළාත් පාලන ඡන්දයට හරස් වී තිබෙන පෙත්සම අධිකරණයෙන් ඉවත් කරගැනීමේ සූදානමක් පිළිබඳවද මේ සටහන ලියන අවස්ථාවේ අපට වාර්තා විය. පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා වූ බව ද වාර්තා විය. මේ නීති බාධා පසුපස කවුරුන් සිටිත්දැයි අපි නොදනිමු. එහෙත් ශ්‍රීලනිපයද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ තම පක්ෂයට මේ ඡන්දය කල් දමාගැනීමේ කිසිම අවශ්‍යතාවක් නැති බවය. එජාපය, ජවිපෙ මෙන්ම අනෙක් කණ්ඩායම් ප්‍රකාශ කරන්නේද ඡන්ද කල්දැමීම කිසිසේත් අනුමත නොකරන බවය.

මෛත්‍රී ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ්‍රීලනිපය මේ පළාත් පාලන මැතිවරණයේදී බින්දුවට බැස්සවීම මහින්ද පිල ප්‍රමුඛ ඒකාබද්ධයේ අපේක්ෂාව වී තිණි. එහෙත් අද තිබෙන දේශපාලන වාතාවරණය ඊට වඩා වෙනස්ය. මේ මැතිවරණයට එජාපය, ජවිපෙ හා පොහොට්ටුව වෙන වෙනම තරග කරනු දැකීමට රිසි කොටසක්ද වෙති. එයින් මෛත්‍රීගේ ශ්‍රීලනිපයට පාඩමක් ඉගැන්වීම ඒ කොටස්වල අරමුණ බව පැහැදිලිය. පොහොට්ටු පක්ෂයේ අය කෙබඳු පුරසාරම් දෙඩුවත් ගම්වල නෙබෙදුණු ශ්‍රීලංකාකාරයන්ට වුවමනා වී තිබෙන්නේ තම පක්ෂයට බලය ලබා දීම ද පෙනේ. මෛත්‍රීගේ ශ්‍රීලනිපය හා මහින්දගේ ඒකාබද්ධ පිල අතර සිදු වන යහපත් කතා බහ මේ පළාත් පාලන මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වන බව පමණක් අපට දැන් ප්‍රකාශ කළ හැකිය. එජාපයට, ජවිපෙට මෙන්ම දෙමළ සන්ධානයටද වෙන-වෙනම තම පක්ෂවලට තිබෙන ජනතා ප්‍රසාදය මෙහිදී දැක-බලාගත හැකි වනු ඇත.

දේශපාලන පක්ෂවල නායකයන්ට මෙන්ම ක්‍රියාකාරීන්ට නොපෙනෙන දෙයක්ද මේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් ලැබෙනු ඇත. එනම් මේ ඡන්දයේ දී ක්‍රියාත්මක වන සියයට පනහේ අලුත් ක්‍රමයයි. මේ සියයට පනහ පක්ෂවල නායකත්වයේ අභිමතය අනුව තේරී පත් වනු ඇත. එහිදී ජනතාව තේරූ නියෝජිතයාට වඩා පක්ෂයේ නායකත්වය විසින් තෝරන ලද නියෝජිතයා ඉදිරියට ඒමටද බාධාවක් නැත. මෙයින් ක්‍රියාත්මක වන්නේ කෙබඳු ප්‍රජාතන්ත්‍රවාදයක්දැයි ඇතැම් දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති. ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේදී වුව අද සිදුව ඇත්තේ දේශපාලන කප්පම් ගෙවීමටදැයි පසුගිය දිනක දේශපාලන සංවාදයකදීත් ඇසිණි. ඇත්තවශයෙන්ම මේ තත්ත්වයන් සියුම්ව වටහාගෙන පළාතට, ප්‍රදේශයට සාධනීය මෙහෙවරක් ඉටු කළ හැකි චරිත තෝගැනීමට ජනතාව සමත් විය යුතුය.

එළඹෙන පළාත් පාලන ඡන්දයේදී මෛත්‍රී ජනාධිපතිවරයා ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීම සඳහා දේශපාලනිකව ක්‍රියා කිරීම පිළිබඳව සමහරු නහයෙන් හඬති. ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය අතර එකඟතාවක් ඇතිවීම නොරුස්සන අය වෙති. තම පක්ෂය ඡන්දයකදී පරාජය වීමට ඉඩ දෙන අයට පක්ෂ නායකත්වයේ සිටිය නොහැකිය. මෛත්‍රී ජනාධිපතිවරයාට තම පක්ෂය සුරැකීමේ වගකීම ද තිබේ. ශ්‍රීලනිපය දෙකඩ නොකර එකට තබාගැනීමේ වැඩි වගකීම තිබෙන්නේද පක්ෂයේ නායකයා වන මෛත්‍රී ජනාධිපතිවරයාටය. සම්මුති ආණ්ඩුවේ සිටින එජාප පසු පෙළේ සමහරුන්ට මේ දේශපාලනය නොතේරීමද අපට පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගියදා තම පක්ෂ හමුවකදී මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් වැළකිය යුතු බවට අවවාදයක් දෙන්නේ මෙම තතු වටහාගත් පරිණත නායකයකු ලෙසය.

බඩජාරී දුශ්චරිත

අනෙක් අතට අද මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැතිවරුන්ට දැඩි විවේචන එල්ල වී තිබෙන්නේ වෙනින් කාගේවත් දොසකින් නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල ආදීනව වශයෙනි. වංචාව, දූෂණයට විරුද්ධ පිවිතුරු නායකයකු ලෙස මෛත්‍රී ජනාධිපතිවරයාට තම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයේ අයගෙන් සිදු වන වැරදි දෙස නොබලා අහක බලාගෙන සිටිය හැකිද? සැබැවින්ම මෛත්‍රී ජනාධිපතිවරයා කී පරිදිම සමහරුන් ක්‍රියා කර ඇත්තේ සිය දේශපාලන මජරකම් නිසා කළ වැරදි ක්‍රියාකාරකම් හත්පොළේම ගාගනිමින් ය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගෙන් මෙන්ම ඔවුන්ගේ දේශපාලන වේදිකාවලින්ද මේ ආණ්ඩුවේ ඇතැමුන් පිළිබඳව කෙරෙන චෝදනා හා විවේචන අපුල දනවයි. තමන්ගේ හොර මගඩි වසා ගැනීමට පාර්ලිමේන්තුවට අණපනත් ඉදිරිපත් කරන්නෝ මේ ආණ්ඩුව තුළ සිටිතියි ඔවුහු බරපතළ චෝදනාවක් එල්ල කරති. සත්තකින්ම මේවා සැබෑ නම් මේ ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ ඇති වන කලකිරීම සුළු-පටු නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයා අද මුහුණ දී සිටින එක් අභියෝගයක් වී ඇත්තේද ජවිපෙ කියන වර්ගයේ බඩජාරි දේශපාලන දුශ්චරිත සමඟ යහපාලනය පවත්වා ගැනීමය. එජාප නායක රනිල් අගමැතිවරයාද තම රැහේ තිබෙන අඩු-පාඩු, දුබලතා, නොදන්නවා නොවේ.

අපි දැන් මේ සටහන ආරම්භයේදී සඳහන් කළ උතුරේ මහවිරු සැමරුම් හා දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ පළ වූ අදහස් උදහස්, වාද-විවාද දෙසත් අවධානය යොමු කරමු. මහවිරු සැමරුම නමින් උතුරේ සිදු වන්නේ කුමක්ද? උතුරේ ජනතාවට සැබැවින්ම ප්‍රභාකරන්ට මහවිරුවකු ලෙස ගරු කිරීමට වුවමනාවක් තිබේද? යන ප්‍රශ්න අපගේ අවධානයට ලක් විය යුතුය. උතුරේ ජනතාවගේ හෘදයසාක්ෂිය තුළ ප්‍රභාකරන් පිළිබඳ යහපත් සැමරුම් ඉතිරි වී තිබේද? අපට දැනෙන, පෙනෙන යථාර්ථය නම් එහි ජනතාවගේ හදෙහි ප්‍රභාකරන් නැත. මෛත්‍රී ජනාධිපතිවරයා උතුරට ගිය සෑම ගමනකදීම උතුරේ නොයෙක් ප්‍රදේශවල කළ සංචාරවලදී ඒ හැම අයකුම ඉල්ලා සිටියේ තමන්ට නිදහසේ ජීවත් වීමට වුවමනා දේවල් ලබා දිය යුතු බවයි. තම පවුල්වලින් අතුරුදන් වූවන් පිළිබඳ යුක්තිය ඉටු වීමත්, තමන්ගේ ඉඩම්, හිමිකම් යළි ලබා දිය යුතු බවත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර විය. එහෙත් අද උතුරේ දේශපාලනය අල්ලාගෙන සිටින ඇතැම් නායකයන්ට වුවමනා යළි ප්‍රභාකරන් ජනහදවත් තුළට ප්‍රවේශ කරවීමය. උතුරේ ජාතික උත්සවවලදී ජාතික කොඩිය ‘ඇලජික්’ වන්නේත් උතුරට ෆෙඩරල් ඉල්ලන්නේත් ඒ ප්‍රභාකරන්ගේ ඊළාම්වාදී මලකඩ කෑ හිස්ගෙඩි සහිත දේශපාලකයන් බව සැඟවිය නොහැකිය.

ප්‍රභාකරන්ගේ ෆැසිස්ට්වාදී පාලන යුගය තුළ උතුරේ අහිංසක ජනතාවට අහිමි වූ දේ බොහෝය. ඒ අතර උතුරේ දරුවන්, පවුල්වල වෙනත් සාමාජිකයන් කොපමණ සිටිත්දැයි තවම හරියට ගණන් බලාවත් තිබේදැයි අපි නොදනිමු. තම හදවත් තුළ සදාකාලික දුක් කඳුළක් රඳවා අතුරුදන් වී සිටින හෝ මියගිය තම දරුවන් වෙනුවෙන් ශෝක වීමටත්, ඔවුන් සිහි කර පහනක් දැල්වීමටත් උතුරේ අම්මලාට, උතුරේ ජනතාවට තිබෙන අයිතියට ගරු කළ යුතුය. එය යුක්තිසහගත, සාධාරණ, මානුෂික හිමිකමක් බව නිසැකය. එහෙත් ප්‍රභාකරන්ගේ යුගයේදී තම දරුවන් උතුරෙන් පිටමං කරවූද, ඔවුන්ට වෙනත් භෞතික හා ආධ්‍යාත්මික ජීවිත සලසා දුන්නා වූද ඇතැම් දේශපාලකයන් දැන් උතුරට පැමිණ, මහවිරු සැමරුම්වලට ඝෝෂා කිරීම නීච, ව්‍යාජ හා අශිෂ්ට ක්‍රියාවක් බව කිව යුතුය. ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද වීරයන් හා ද්‍රෝහීන් පිළිබඳ අපටද විවේචන තිබේ. ලෝක ඉතිහාසයේ මෙන්ම අපේ ඉතිහාසයේද වීර භූමිකාවන් පිළිබඳ නොයෙක් ආවර්ජන සිදු වන බව රහසක් නොවේ. දකුණේ රෝහණ විජේවීර ඉල්මහ විරුවකු ලෙස සලකා ඔහුට ගරු කරන ආකාරයට උතුරේ ප්‍රභාකරන්ටද මහවිරුවකු ලෙස සලකා ගරු කිරීමට ශිෂ්ට සම්පන්න කිසිවකුට හැකිද යන්න ගැටලුවකි. දකුණේ කැරැලිවල විජේවීරගේ සගයන් ත්‍රස්තවාදීන් වූවා සේම උතුරේ ප්‍රභාකරන්ගේ හමුදා ත්‍රස්තවාදීන් ලෙස සැලකූ ආණ්ඩු හැඳි දෙකකින් බෙදන බවට තර්ක කරන්නෝද සිටිති. එහෙත් විජේවීර ගෙන ගිය ව්‍යාපාරයට වඩා බෙහෙවින් සාහසික, ෆැසිස්ට්වාදී ක්‍රියාදාමයක් ප්‍රභාකරන් විසින් අනුගමනය කරන ලද බව මේ සැසඳීමේදී පෙනී යයි. ක්‍රෑරත්වයට හා ප්‍රචණ්ඩත්වයට තිබෙන්නේ එකම මුහුණක් බව සැබෑය. එහෙත් ප්‍රභාකරන්ගේ මෘග ෆැසිස්ට්වාදය මේ රටට ලබා දී තිබෙන ත්‍රාසය හා භීෂණය සුළු-පටු නොවේ. අනෙක් අතට විජේවීර ආණ්ඩු බලය අල්ලාගැනීමට විප්ලවයක් මෙහෙයවූ අයෙකි. එය යුක්තිසහගතද යන්න වෙනම කතාවකි. එහෙත් ප්‍රභාකරන්ගේ මෙහෙයුම මේ රට දෙකඩ කිරීම හා ඊළමක් පිහිටුවීමය. ඒ සඳහා තිස් වසරකට අධික කාලයක් ඔහු ගෙන ගිය ක්‍රියාදාමය කෙබඳුදැයි විස්තර කළ යුතු නැත.

ප්‍රභාකරන් සැමරීම වරදක් බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍යවලට කියා සිටියේ ඒ තහනම නොතකා ක්‍රියා කළ අය අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවයි. මහවිරු සැමරුමට මුවා වූ අවස්ථාවාදි පිරිස් කැප වන්නේ එදා ප්‍රභාකරන්ගේ මාරක මෙහෙයුම්වලට නිරපරාදේ, බලහත්කාරයෙන් රැගෙන ගිය අහිංසකයන්ට යුක්තිය ඉටු කිරීමට නොවේ. උතුරේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වීම මේ ප්‍රභාකරන්ගේ නඩයම නුරුස්සති. යාපනය සරසවියේ අද මතු වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයට වගකිව යුතු කවරහුද? යාපනය සරසවි පරිශ්‍රයේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් පෝස්ටර් ප්‍රදර්ශනය කළ අයට වුවමනා කුමක්ද? උතුරේ මහ ඇමැතිවරයාට හෝ දෙමළ ඊළාම් සිහින දකින කවරකුට හෝ අවශ්‍යව වී ඇත්තේ මේ තරුණ සිසුන්ට යථාර්ථය පෙන්වා දීම නොවේ. උතුරේ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කරේ සයනයිඩ් කරල් එල්ලා ආයුධ අතට දුන් ප්‍රභාකරන් උතුරේ තරුණ ජීවිත බිලිගත් ආකාරය මේ ප්‍රබුද්ධ සරසවි සිසුන් තේරුම් නොගනිත් නම් එය මේ රටේම අභාග්‍යයකි.

සාහසිකත්වය, ප්‍රචණ්ඩත්වය, ක්‍රෑරත්වය පිළිබඳ කුප්‍රකට චරිත ලෙස ලෝක ඉතිහාසයට එක්ව සිටින හිට්ලර්, මුසොලිනීට හිමිව තිබෙන ස්ථානය කුමක්දැයි කවුරුත් දනිති. ඉතිහාසය මේ අය ද්‍රෝහීන් ලෙස සලකා තිබෙන්නේ කරුණු ඇතිවය. මෑතකදී ප්‍රභාකරන්ගේ සාහසිකත්වයේ පරිමාව විශ්ලේෂණය කළ යුද විශ්ලේෂකයකු පවසා තිබුණේ ප්‍රභාකරන්ගේ නිමැවුමක් වූ මරාගෙන මැරෙන මිනිස් බෝම්බය තරම් ලොමුදැහැගන්වන විනාශකාරී දෙයක් මතු අනාගතයේදීවත් දැකගත හැකිදැයි සැකසහිත බවය. ප්‍රභාකරන්ට මහවිරු පදක්කම් පැලඳවීමට සැරසෙන අයත්, ඔවුන්ට ප්‍රතිපාදන පහසුකම් සපයා දෙන ඩයස්පෝරාවේ සමහරුන්ටත් තවමත් අවශ්‍ය මේ රට ලේවිලක් කිරීම බව නිසැකය.

මානව ද්‍රෝහියෝ

අද ලෝකයේ බොහෝ තැන්වල යුද්ධ නිසා පීඩනයට පත් වූවන්ගේ විලාප ඇසෙයි. ඔවුන්ගේ කඳුළද, සුසුම්ද සංවේදී මිනිසුන්ගේ හද ප්‍රකම්පිත කරවයි. සත්තකින්ම කොතැනකවත් ‘හොඳ යුද්ධයක්’ සිදු වී නැත; අනාගතයේ සිදු වන්නේද නැත. යුද අපරාධ, වැළැක්වීමේ එකම මග යුද්ධය නැති සාමයෙන් පිරුණු ලොවක් පමණි. දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකාව ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට කළ විනාශය ගැන ඉතිහාසය අදත් කඳුළු සලයි. එදා මෙම පරමාණුක බෝම්බය පිළිබඳ අදහස ඇමෙරිකානු ජනාධිපතිවරයා වී සිටි ‍ෆ්රෑන්ක්ලින් ඩි රුස්වෙල්ට් හට ඉදිරිපත් කරන ලද්දේ කීර්තිමත් විද්‍යාඥයකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසිනි. එහෙත් පසුකලක අයින්ස්ටයින් ප්‍රකාශ කළේ තමා ඒ සිද්ධිය පිළිබඳව මහත් සේ කම්පා වන බවය. එය තමන් අතින් සිදු වූ වරදක් බව ඔහු පාපෝච්චාරණයක විලාසයෙන් කියූ බව වාර්තා වී තිබේ. එහෙත් නූතන ලෝකය තවමත් යුද අවි අත්හදා බැලීමේ මනදොළ සංසිඳුවාගනිමින් සිටියි. මානව ශිෂ්ටාචාරයේ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන යුද්ධය ඔවුන්ගේ මානසිකත්වය තුළ වැජඹෙන අයුරු අපි දකිමු.

මේ නිසා උතුරේ යළිත් යුද්ධයක් ඇති කිරීමට ඉඩ නොතැබීම සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු ජනකොටස්වල වගකීමක් බව සඳහන් කළ යුතුය. මෛත්‍රී ජනාධිපතිවරයා මෙන්ම රනිල් අගමැතිවරයාද නිබඳව කරන අවධාරණයක් වන්නේද යළිත් උතුරේ යුද්ධයක් ඇති වීමට කිසිම ඉඩක් නොතබන බවයි. මෛත්‍රී ජනාධිපතිවරයා නොබෝදා කොරියාවේ නිල සංචාරයකට එක් වෙමින් එරට සිටින ශ්‍රී ලාංකිකයන් අබියස අවධාරණය කළේද මේ රට කඩා හෝ බෙදා දී ද්‍රෝහියකු ලෙස ඉතිහාසයට එක් වීමට තමා සූදානම් නැති බවයි. මාතෘභූමිය තම දේශපාලනයේ අංක එක බව ජනාධිපතිවරයාගේ අවධාණය විය. එහෙත් උතුරේ ප්‍රභාකරන්ගේ ඊළාම්වාදයේ විෂ සමාජගත කිරීමට හීන් නූලෙන් ද ප්‍රසිද්ධියේ ද, අප්‍රසිද්ධියේද කටයුතු කරන ඇතැම් දෙමළ දේශපාලකයන් හරස් වන්නේ ඒ මානවවාදි, සම්මුතිවාදි ගුණයෙන් උතුර හා දකුණ එක් වීම වැළැක්වීමටදැයි අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරමු. සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් මෙන්ම ජනතාවද අද ප්‍රභාකරන්ගේ අන්ධකාර යුගයේ මෙන්ම දකුණේ කැරලිවලදීත් දරුවන් බිලි ගත් හා මිනිසුන් අවතැන් කළ මරුවන් කවුරුන්දැයි හඳුනාගත යුතු බවද අවධාරණයෙන් සටහන් කරමු. ඒ යථාර්ථය අමතක කර ෆැසිස්ට්වාදයට පහන් දල්වන කවරකු වුවද ප්‍රජාතන්ත්‍රවාදය අඳුරේ තබන ද්‍රෝහියෙක් නොවේද?

සුමේධ ජයබාහු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.