‘ගෝඨාභය’ හා - හෝවේ යටිබිම් දේශපාලනය | සිළුමිණ

‘ගෝඨාභය’ හා - හෝවේ යටිබිම් දේශපාලනය

 යහපාලනය පිළිබඳ අපේක්ෂා දල්වාගත් මේ රටේ අති බහුතරයක් වූ ජනතාව එක්තරා අන්දමකට වික්ෂිප්ත කළ කාලයක් ලෙස පසුගිය සතිය දැක්විය හැකිය. පළාත් පාලන මැතිවරණයට අදාළව තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට අභියාචනාධිකරණය මඟින් දී තිබූ මුල් නඩු තීන්දුව, එකී මැතිවරණයට අදාළව ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සිදු කළ සාකච්ඡා වට කිහිපය මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පැවතියේයැයි කියන සූදානමක් වැළකීම හෝ එසේ වැළැක්වීම සඳහා කටයුතු කළේයැයි පැතිර-ගිය පුවත් ඊට මුල් වූ ප්‍රමුඛ හේතු විය. ඒ අතර මේ රටේ යුක්තිගරුක ජනතාවට කිසියම් හෝ අස්වැසිල්ලක් ගෙනදිය හැකි කරුණක් සිදු වූයේ නම් එය දැක්විය හැක්කේ විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කිරීමය.

2015 ජනවාරි 08 මේ රටේ සිදු වූ දේශපාලන විප්ලවයට උරදුන් අතිබහුතරයක් වූ ජනතාව ඒ සඳහා පෙළගැසුණේ නිදහසේ ජීවත් විය හැකි සාමකාමී රටක් පිළිබඳ අපේක්ෂාව තුළ පමණක්ම නොවේ.

පැවැති දූෂිත පාලනය තුළ මේ රටේ මහජන මුදල් හා දේපල කොල්ලකෑ බවට පැහැදිලි චෝදනා එල්ලවී පැවැති දූෂිතයන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දෙන ලෙසට එල්ල වූ බලපෑමද ඒ පිළිබඳ දැඩි අපේක්ෂාවන්ද ඒ අතර විය.

ඒ අනුව එවැනි දූෂිත සිදුවීම් කිහිපයකට අදාළව පසුගිය කාලය තුළ ආරම්භ කරන ලද විමර්ශන හා පර්යේෂණ කෙරෙහි පොදු සමාජය තුළ දැඩි අවධානයක් පැවැතිණි.

එහි දී පවා බොහෝ දෙනකු පළ කළ දුක්ගැනවිල්ලක් වූයේ සිදු වන පරීක්ෂණ කටයුතු ඔවුන් අපේක්ෂා කළ අන්දමට වේගවත් බවකින් සිදු නොවීම ගැනය.

එවන් පරිසරයක ගෝඨාභය රාජපක්ෂ මූලික වශයෙන් වගකීමට බැඳී සිටින දූෂිත ගනුදෙනු හා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට අදාළ විමර්ශන ගණනාවක් පැවැති බව කිසිවකුට රහසක් නොවීය. එමෙන්ම වාර්තා වන අන්දමට ඊට අදාළ ඇතැම් පරීක්ෂණ සම්පූර්ණ කර මේ වන විට කිසියම් කාලයක් ගත වී ඇති බව ද ඒ අතර සිටි දැනුවත් පුරවැසියන් බොහෝ දෙනකු තුළ අවබෝධයක් විය. ඩිඒ රාජපක්ෂ පදනම නම් රාජ්‍ය නොවන සංවිධානය මඟින් ඉදි කරන ලද රාජපක්ෂ පරපුරේ ස්මාරක හා සිහිවටනද ඇතුළත් කෞතුකාගාරය සඳහා රාජ්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 910ක මුදලක් නීතිවිරෝධී ලෙස වැය කිරීම පිළිබඳ චෝදනාවට අදාළවද පරීක්ෂණයක් සිදු වන බව ඒ සියලු දෙන හොඳින් දැන සිටියහ. එපමණක්ද නොව, එකී විමර්ශනයේ මූලික කටයුතු අවසන් වී මේ වන විට මාස ගණනාවක් ගත වී තිබූ බව ද ඔවුහු දැන සිටියහ.

ඒ අනුව දැන් අප සලකා බැලිය යුතු වැදගත්ම කාර්යය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව පමණක් සැලකීමේ දී වුවද ඔහුට එරෙහිව මතුවී පැවැති චෝදනා ආශ්‍රයෙන් සිදු කරන ලද විමර්ශනයන්ට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති එකම විමර්ශනය එය පමණක්ද යන්නය.

දෙවන හා ඉතා වැදගත් කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ කරගනිමින් එල්ල වී ඇති චෝදනා හා ඒවාට අදාළ විමර්ශන කටයුතු පිළිබඳව සලකා බැලීමේ දී අනෙකුත් චෝදනා සහ ඩී ඒ රාජපක්ෂ පදනමට රජයේ මුදල් වැය කිරීම පිළිබඳ චෝදනාව අතර බරපතළකම පිළිබඳව කොතරම් පරතරයක් ඇත්ද යන්න කාරණයයි.

ඒ පිළිබඳව යම් මූලික අවබෝධයක් ඇතිකර ගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව බරපතළ චෝදනා එල්ල වූ අනෙකුත් සිදුවීම් මොනවාද යන්න පිළිබඳව ද යම් අවබෝධයක් ඇති කරගත යුතුය.

ඒවාට අදාළ බරපතළකම සැලකීමේ දී නිශ්චිතවම අනුපිළිවෙළට සටහන් කිරීම දුෂ්කර හා ප්‍රශ්නසහගත වුවත් දූෂිත මිග් යානා ගනුදෙනු, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනකු ඝාතනය කිරීමට අදාළ සිදුවීම, ඇවන්ගාඩ් සමාගම ආශ්‍රයෙන් සිදු කර ඇති දූෂණ හා නීතිවිරෝධී ක්‍රියාවන් අතිශයින්ම බරපතළ බව අවිවාදිතය. විශේෂයෙන්ම මිග් යානා ගනුදෙනුව හා ඒ පිළිබඳව බරපතල හෙළිදරවු කිරීම් ගණනාවකට මුල් වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනයද ඊට අදාළ කර ගැනීම තුළ ඩීඒ රාජපක්ෂ පදනම මුල් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වූ චෝදනාව සිල්ලර එකක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම සිදු කර ඇති වරදට අදාළව නොව වරදෙහි ස්වභාවයට එනම් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කළේයැයි කියන චෝදනාවට අදාළව ඇතැම් විට රටේ පවත්නා නීතිය තුළ අභියෝගයක් එල්ල කළ හැකි එකම චෝදනාව එය වනවාට කිසිදු සැකයක් නැත.

සත්‍ය වශයෙන්ම අවාසනයේ සිදු වී ඇත්තේද එයමය. එනම් අදාළ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩුවක් පැවරීමේ දී ඒ සඳහා පොදු දේපළ පනත උපයෝගී කරගත හැකිද යන ප්‍රශ්නය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා අවලංගු වී නැතත් ඒ සඳහා නඩු පැවරීමක දී යොදාගන්නා නීතියේ ස්වභාවය පිළිබඳව මේ වනවිටත් විවාදයක් මතු වී තිබීම ඊට මනා නිදසුනකි. ඒ තුළ යම් තාවකාලික හෝ රැකවරණයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සමත් වී තිබේ.

අද වනවිට මේ පිළිබඳව සමාජය තුළ මතුව ඇති විවාදය තුළ කැපීපෙනෙන දෙපාර්ශ්වයක්ද එකී දෙපාර්ශ්වය තුළ එක් එක් පාර්ශ්වයන්ට අදාළව මතු කරන පම්පෝරි මෙන්ම වේදනාත්මක දුක්ගැනවිලිද දැකගත හැකිය. ඉන් එක් පාර්ශ්වයක් රාජපක්ෂවාදී කඳවුර නියෝජනය කරන විට අනෙක් පාර්ශ්වය නියෝජනය කරන්නේ ජනවාරි 08 ජයග්‍රහණයට ඍජුවම දායක වූ මේ රටේ අතිබහුතර ජනතාවයි.

ඒ අනුව මතු වන ප්‍රශ්නය වන්නේ දූෂණයෙන් හා භීෂණයෙන් තොර රටක් පිළිබඳ පමණක් නොව දූෂිතයන්ට එරෙහිව උපරිම ලෙස දඬුවම් ලබාදිය යුතුය යන අපේක්ෂාවන්ගෙන් සමන්විත ජනතාවක් වික්ෂිප්ත කරමින් ජනවාරි 08 ජයග්‍රහණය තුළ පරාජයට පත් වූ දූෂිත බලවේගයකට තාවකාලික සුවයක් ලබාදෙමින් පම්පෝරි ගැසීමට අවස්ථාවක් නිර්මාණය වීමයි. ඒ සමගම මතුවන බරපතළම ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට කාරණාකාරණ සිදු වන්නේ ඇයිද යන්නයි.

එය තේරුම් ගැනීමට නම් මේ රටේ දේශපාලනය වටහා ගත යුතුය. බලය උදෙසා පමණක් සිහින දකින, ඒ වෙනුවෙන් කරට අත දමාගෙන සිටින සගයාගේ පවා ගෙල සිඳින්නට ඉදිරිපත් වන දේශපාලන කල්ලි කණ්ඩායම්වල චෙස් ඇඳීමේ රටාව යම් ආකාරයකින් හෝ තේරුම් ගැනීම එහි දී ඉතා වැදගත්ය. ඒ සඳහා සංකීර්ණ ප්‍රහේලිකා පිරවීමට අවශ්‍ය නොවේ. මේ මොහොතේ රාජපක්ෂ කඳවුර දුර්වල නොකිරීමෙන් වඩාත්ම වාසිය අත්වන්නේ කාටදැයි යන්න තේරුම් ගැනීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත්ය.

එහෙත් එහි දී පෙර සඳහන් කළ දෙපාර්ශ්වයම වඩාත් සැලකිල්ලට ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ මතුපිට කරුණු කෙරෙහිය.

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවට ගොස් ඊට අදාළව ලබාගෙන ඇති සහනය තුළ අපි වෙනුවෙන් අපි යැයි කියා ගන්නා උදවිය රුපියල් මිලියන ගණන් වැය කරමින් මේ රටේ ජාතික පුවත්පත් පුරා දැන්වීම් පළ කරමින් ලබාගන්නා තාවකාලික සැනසීම තුළද වරදක බර මනින්නේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් අවසානයේ තමන් ප්‍රාර්ථනා කරන යුක්තිය කෙසේ හෝ ඉක්මනින් ලබාගත යුතුයැයි සිතන සාධාරණ සුධීමතුන්ද එහි දී පැටලී ඇත්තේ එකම පඹගාලකය.

ඒ බව තේරුම් ගැනීමට නම් දෙපාර්ශ්වයෙන්ම ඇසිය යුතු සාධාරණ ප්‍රශ්න දෙකක් තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ලබා දී ඇති තාවකාලික සහනය තුළ පාරම්බාමින් සිටින අපි වෙනුවෙන් අපි නම් නඩයෙන් පළමු ප්‍රශ්නය ඇසීම වැදගත්ය. මේ රටේ බොහෝ දෙනෙක් දන්නා පරිදි අපි වෙනුවෙන් අපි යනු රාජපක්ෂ පවුලේ හෝ රාජපක්ෂවාදී සනුහරයේ මුදල් යොදා ගොඩනඟන ලද අරමුදලක් නොවේ. රටේ මහජන මුදල්ද ඇතුළු රාජ්‍ය සම්පත් යොදා ගොඩනගන ලද අරමුදලකි.

එහි අරමුදල් යොදවා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දැන්වීම් පළ කළ හැකිද? එකී අරමුදල එවැනි කටයුත්තක් සඳහා සම්බන්ධ වී නැත් නම් අපි වෙනුවෙන් අපි වැනි අරමුදලක කීර්තිනාමය මේ ආකාරයට පටු හා දූෂිත අරමුණක් වෙනුවෙන් යොදාගැනීමට හැකිද යන්නයි.

ඒ සමගම මේ රටේ යුක්තිය ඉල්ලා එය මේ වන තෙක්ම ඉටු නොවීම පිළිබඳව කණස්සල්ලට හා විස්සෝපයට පත්ව සිටින ජනතා බලවේගයද සබුද්ධිකව විමසා බැලිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්: මේ මොහොතේ දී වරදක බර හා වරදේ ප්‍රමාණය නොසලකා දුර්වලම නඩු නිමිත්තක් තුළ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් වූයේ නම් ඇති විය හැකිව තිබූ ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්නයි. එවැන්නක් සිදු වූයේ නම් නිසැකවම සිදු වනු ඇත්තේ අත්අඩංගුවට පත් වීමෙන් පැය කිහිපයකට පසු ඇප ලබා වීරයකු ලෙස නැවත සමාජගත වීමට හැකියාව ලැබීමයි. එසේ වූයේ නම් ඔහු එළියට එනු ඇත්තේ තමාගේ කඳවුරු තුළ වීරයකු නිර්මාණය කරමින්ය.

එපමණක්ද නොව ඔහුට එරෙහිව නගා ඇති අන් සියලු බරපතළ චෝදනාවන්ද පුස්සක් වනු ඇතැයි යන මතයක් සමාජය තුළ ගොඩනැගීමටද ඒ තුළ ඔවුන්ට හැකියාවක් ලැබෙනු ඇත.

එවැනි තත්ත්වයක් තවත් බොහෝ දේ නිර්මාණය කළ හැකිය. ඒ තුළ අවසානයේ සිදු වනු ඇත්තේ ජනවාරි 08 බලවේගය තුළ තවමත් නොසිඳී ඇති යුක්තිය පිළිබඳව වන අපේක්ෂාවන් මලානික වන තැනකට පත් වී දූෂිත බලවේගයන්හි අපේක්ෂාවන් බලවත්ව නැඟීසිටීමේ තත්ත්වයකට පත් වීමයි. එවැන්නක අවසාන ප්‍රතිඵලය තම උපරිම වාසියට යොදාගත හැකි කණ්ඩායමක අරමුණු තුළ මෙකී සමස්ත සිදුවීමෙහි සැබෑ නිර්මාපකයන් හඳුනාගත හැකි වනු ඇත.

ඒ අනුව පසුගිය සතිය තුළ ඇති වූ තත්ත්වයන්හි මතුපිට සලකා බැලීමේ දී මේ රටේ යුක්තිගරුක ජනතාව තුළ කිසියම් පසුබෑමක සේයාවක් දැකගත හැකි වුවත් දූෂිතයන්ට හා දූෂණයට එරෙහිව මතු වන සැබෑ බලවේගයන්ට තවදුරටත් අපේක්ෂා දල්වාගැනීමට ඇති හැකියාව තවමත් ඇහිරී නැති බව තේරුම් ගැනීමද ඉතා වැදගත්ය.

විමල් වීරවංශ මහතා සිදු කර ඇති අයථා ඉපයීම් පිළිබඳ චෝදනා ගොනු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනකි. ඒ සමඟම ඉතා පැහැදිලි චෝදනා ඇති දූෂිත මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් හා බරපතළ මිනීමැරුම් චෝදනාද ඇතුළත් වැලිකඩ සිරකරුවන්ගේ ඝාතන වැනි අතිප්‍රබල නිමිති මුල් කරගනිමින් ශක්තිමත් පදනමකින් යුතු චෝදනා ඉදිරිපත් කරන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රටට විය යුතු සැබෑ යුක්තිය ඉටු කරගැනීමට කිසිවකුට නොහැකි වනු ඇත.

සුනිල් ජයසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.