අමතක නොවන මතක | සිළුමිණ

අමතක නොවන මතක

සැමියා මියගිය පසුවත් මංගල යෝජනා ආවා

ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු

සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන කලා මාධ්‍යයන් තුනටම ඇය එකලෙස හපන්කම් දක්වයි. පවුරු වළලු, දුහුල් මලක් වැනි සිනමාපට තුළින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරය පවා දිනාගත් මේ රංගන ශිල්පිනිය මෙරට සිනමාවේ දශක ගනණාවක සිට ඉහළින්ම වැජඹෙන්නේ නවක රංගන ශිල්පිනියන්ටද ආදර්ශයක් වෙමිනි. නීටා ප්‍රනාන්දු නම් වන ඇය මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙමින් ගෙවුණු මතකයන් අවධි කළේ මෙසේයි.

දඟ මල්ලක්

කතෝලික පරිසරයක් වන වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශය මා උපන් ගම. කතෝලික පවුලකින් පැවත එන අපේ පවුලේ සියලු දේවල් සිදුවන්නේ පල්ලියේ ආශිර්වාදය ලබමින්. පියා ගුරු වෘත්තියේ නියැළුන නිසාවෙන් ගුරු පවුලක් ලෙසයි ගම්වැසියන් අප පවුල හැදින්වුයේ. මව, පියා,සහ සහෝදරයන් දෙදෙනකුත් සහෝදරියකුත් සිටින පවුලේ වැඩිමලා මමයි. ඒ නිසාම පුංචි කාලෙ පටන්ම ගෙදර වගකීම් පැවරුණා. මට මතකයි අපි තුන් දෙනාට යාඥා කරන්න කී විට අම්මා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා මාරු වෙනවා.ඒ හැම දඟ වැඩකටම මමයි මල්ලිලාට නංගිලාට අනුබල දෙන්නේ.මොනතරම් ගෙදරදි දඟ වැඩ කළත් ගෙදරින් පිටතදී හරිම කීකරුයි. ඒ නිසා හැම කෙනෙක්ම මාව දැනගෙන හිටියෙ හරිම අහිංසක කීකරු ළමයෙක් ලෙස.

පාසල් කාලයේ ආදරවන්තියක්

 

වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය මා ඉගෙනගත් පාසල. කුඩා අවධියේ සිටම නැටුම් ගුරුවරියක් වීමට පෙරුම් පිරුවත් රංගනයට පැමිණීම නිසා එය මග හැරුණා. මට මතකයි නංගි පාසල් යද්දි මගේ පස්සෙන් එන්නෙ ස්කූල් බෑග් එක ඔලුවෙ තියාගෙන දූවිලි අවුස්සමින්. කොච්චර එපා කීවත් කරනවා. පාරෙ යන හැමෝම අපේ දිහා බලාගෙන යනකොට මට හරිම ලැජ්ජයි. පස්සෙ පස්සෙ නංගි පස්සෙන් ආවත් මගේ නංගි නෙමෙයි වගේ යන්න ගත්තා. පාසල් යන කාලෙ ආදරේ ඉල්ලන් ආපු පිරිමි ළමයි හිටියත් අම්මට තියෙන බයට ඒ කිසි දේකට කැමතිවුණේ නෑ. ඒත් පාසලේ අවසාන කාලයේ ආදර සම්බන්ධතාවයක් තිබුණා. ඔහු මට රඟපෑම නතර කරන්න කී නිසා දුකෙන් වුවත් එම සම්බන්ධය නවත්වන්න සිදුවුණා.පාසල් අධ්‍යාපනය නිමා කළාට පස්සේ ඥාති මාමා කෙනෙක් කීවා රඟපාන්න කැමතිනම් අවස්ථාවක් අරන් දෙන්නම් කියා.අම්මා එක පයින්ම අකමැති වී නැටුම් ගුරුවරියක් වෙන්න ඉගෙන ගන්නා ලෙස කීවත් තාත්තාව කැමතිකරගෙන රංගනයට යොමුවුණා. ඔය විදිහට තමයි 1965දි 'ළඳක මහිම' චිත්‍රපටියට සම්බන්ධවෙන්නේ. පළමු රංගනයේදි ජෝ අබේවික්‍රම සමඟ රඟපාන්න ලැබීම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.

කැනඩාවට පදිංචියට ගියා

1966, 67 වසර දෙකේදි චිත්‍රපටි 40ක පමණ රංගනයෙන් දායකවුණා.ඒ වන විට සිංහල සිනමාවේ සිටි ජනප්‍රියම නිළියක ලෙස රටේ සියලුම දෙනා නීටා ප්‍රනාන්දුව හදුනාගෙන සිටි කාලය. ඔය කාලයේදි දැන හදුනාගත් ආදර සම්බන්ධතාවක් මත විවාහ ගිවිසගන්නා ලෙස අම්මාගෙන් බේරෙන්න ‍බැරි වුණා.රඟපෑමට යනවිට මා සමඟ ඒමට නොහැකි යැයි පවසමින් මගේ ආරක්ෂාවට සැමියෙක් සිටිය යුතුයැයි පවසමින් විවාහවෙන ලෙස පැවසුවා. මමත් ඒළියන්ට දැක්වු ආදරය නිසාම අම්මලාගේ තීරණයට එකඟ වී ඔහු සමග විවාහ වුවා. මම හිතන්නේ මම විවාහ වුණේ මගේ කලා ජීවිතයේ ජනප්‍රියම අවධියේ.ඔය කාලයේදි අළුත් චිත්‍රපට සඳහා ඇරයුම් ගලා ආවා. අප දෙදෙනාට විවාහ වුනත් එකට හමුවී කතාකරන්නවත් වෙලාවක් නැතුව ගියා. මගේ මේ අවිවේකි බවට ඔහු කැමති වූයේ නෑ.නමුත් ඔහු මට රඟපාන්න යන්න එපා කීවෙත් නෑ.ඔය කාලයේදි නීතිඥයෙකු වන ඒළියන් මටත් නොකියාම කැනඩාවට යන්න ඇප්ලයි කරලා. වීසා ලැබෙනතුරු ඒ බව මා දැන සිටියේ නෑ. ඔහු අවසාන වශයෙන් ඇහුවේ ඔයා කැමතිද මා සමග යන්න මම ඔයාගේ සෙලෝලයිට් ලෝකෙට වඩා වෙනස් ලෝකයක් පෙන්නවන්නම් කියා.ඒ වගේම කවදා හෝ දවසක නැවතත් මම ඔබව ගෟරවාන්විතව කලා ලෝකයට ගෙන එන්නම් කියාත් ඔහු පොරොන්දු වුණා.ඔහුට ගොඩක් ආදරය කළ නිසාත් ඔහු මගේ ජීවිතයේ මග පෙන්වන්නා නිසාත් මට දැනුණා ඔහු සමග යන එක මගේ ජීවිතයට වැදගත් කියා.ඒ වන විටත් තවත් අළුතෙන් චිත්‍රපට 10කට වඩා වැඩි සංඛ්‍යාවක් ගිවිසුම් අත්සන් කිරීමට තිබුණත් ඒ සියල්ල හරවා යවා 1975දි අප දෙදෙනා කැනඩාව බලා පිටත් වුණා.

වසර 20කට පසු නැවතත් මවු රටට

විදේශ ගතව සිටියදී මා රඟ පෑ ළසඳා, දුප්පතාගේ හිතවතා, දුහුල් මලක්, වාසනා, ශාන්ති, වැනි චිත්‍රපට ගණනාවක්ම අති සාර්ථක ලෙස මෙරට ප්‍රදර්ශනය වී තිබුණා. ‍රටින් පිටව ගියත් මා සමග සමීපව සිටි ටෝනි, රවීන්ද්‍ර,මංගලා,ශ්‍රියානි ආදි සිනමාරංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙහි සිදුවන සියලු තොරතුරු මට පැවසීමට අමතකකළේ නෑ. කේ.ඒ ඩබ්ලිව් පෙරේරා මහතා සහ ටයිටස් තොටවත්තයන් අදටත් මගේ මතකයට නැගෙන්නේ ඔවුන් මා සිනමාවට ගෙනා අධ්‍යක්ෂවරු වු නිසයි. කැනඩාවේ ගෙවු වසර 18ක කාලයේ දි පෞද්ගලික රෝහලක පිළිගැනීමේ නිලධාරිණියක ලෙස සේවය කිරීමේදි ජීවිතයට බොහෝ අත්දැකීම් ලබාගත්තා. විශේෂයෙන් ඉංග්‍රිසි භාෂාව සහ විවිධ ජනතාව පිළිබඳව දැනුම ලබා ගත්තා. කැනඩාවේ වසර 20ක් පමණ ගත වුවාට පසුව ඒළියන් මට කීවේ දැන් නැවතත් ඔයා සිංහළ සිනමාවට යන්න ඕන කාලය හරි අපි නැවතත් ලංකාවට යමු කියායි. ඔහු මට පොරොන්දු වු ලෙසම නැවතත් සිනමාවට මාව සම්බන්ධකළේ ඉතාම ගෞරවාන්විතව. ඒ පවුරු වළලු(1995), සහ සූරියකාන්ත(1981) චිත්‍රපට නිෂ්පාදනයත්,රංගනයටත් සම්බන්ධ වීමෙන්. ‍

සිංගප්පූරුවේදි හොඳම නිළිය වුණා

සිංගප්පූරුවේ පැවැති 11වෙනි අන්තර්ජාතික සිනමා උළෙලේදි හොඳම නිළිය ලෙස (1998) වසරේදි පවුරු වළලු චිත්‍රපටයට කළ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍රවුණා. ඇත්තටම කියන්න සතුටුයි මගේ සැමියා කී ලෙසම මාව ගෞරවාන්විත ලෙස නැවතත් සිනමාවට සම්බන්ධ කළා.මම සම්මානය ගන්නා අයුරු ඔහු බලන් සිටියේ ඔහු වෙනුවෙන් මා කළ පරිත්‍යාගයට ඔහු ලබා දුන් සම්මානයක් ලෙසයි. ඒ තරමට ඔහු එදා සතුටු වුණා. ඒ සියල්ල දැකබලා 2000වසරේ දි ඔහු මා හැර ගියේ මගේ තියෙන තරහ යෑම සහ දුරදිග නොබලා වැඩකිරීමේ චර්යාව හදාගෙන හොඳින් අනාගතයට මුහුණදෙන ලෙස අවවාද කරමින්.

චිත්‍රපට 3ක් තිරගතවීමට නියමිතයි

සැමියාගේ වියෝවට පෙර තාත්තාත් ඉන් පසුව අම්මාත් මිය ගියා. ඔවුන්ගේ සියලු වගකීම් පවුලේ වැඩිමහල් දුව ලෙස සියල්ල නොපිරිහෙලා ඉටුකළා . සැමියාගේ වියෝවෙන් පසුව විවිධ පුද්ගලයන්ගෙන් මංගල යෝජනා පවා ආවා. එහෙත් ඒළියන්ට පිදූ ආදරය වෙනත් කෙනෙකුට පුදකරන්න බැරි නිසා ඒවා ප්‍රතික්ෂේප කළා.මා රඟ පා නිෂ්පාදනය කළ තේජා, ස්වර, සහ පාංශු චිත්‍රපට ඉදිරියේදි තිරගතවීමට නියමිතයි. මන්දාරම්පුර කෙටිනාට්‍යය ඉදිරියේදි විකාශය වීමට නියමිතයි. විවිධ සමාජ සේවා වැඩ කරන අතර තුරදී හඳ එළියට වෙඩි තියන්න වේදිකා නාට්‍යයෙන් මේ දිනවල රටවටේ යනවා.කැනඩාවේ පුරවැසිභාවය තිබුණත් ලංකාවේ සිනමාවට තිබෙන ආදරය නිසාම මැරෙනතුරුම මගේ රටේ රැඳී සිටිමින් සිනමාවට කිසියම් මෙහෙවරක් කිරීමයි බලාපොරොත්තුව.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.