තීක්ෂ­ණ - අනුරාධි ‍සොඳුරු කැදැල්ල | සිළුමිණ

තීක්ෂ­ණ - අනුරාධි ‍සොඳුරු කැදැල්ල

එයා නිසා අපේ ජීවිතේ හුඟාක් වෙනස් වුණා

ජීවිතේ බොහෝ දේ ඉටු කරගන්නට ඔහුට වාසනාව ගෙන ආවේ සහජයෙන්ම ඔහුට උරුම වූ මිහිරි කටහඬයි. සංගීතය තම ආත්මය කොටගත් මේ සොඳුරු ගායකයා මේ වන විට සැමියෙක් මෙන් ම පියෙක් ලෙසත් ඉටුකරන වගකීම් බොහොමයකි. ඔහු කවුරුත් ආදරය කරන ප්‍රවීණ ගායක තීක්ෂණ අනුරාධයි. ප්‍රිය බිරිය අනුරාධිකා‍ත් පුංචි පුතු ඒඩ්න් ලූක් සමඟ තීක්ෂණ දිවිගෙවන ඇරැව්වල පිහිටි ඔහුගේ පුංචි කැදැල්ලට අපි ගොඩවැදුණේ ‍ මේ සොඳුරු කාලයේ ඔහු දිවියේ ගෙවී යන බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි.

මේ ගෙවී යන්නේ ජීවිතේ බොහොම සොඳුරු කාලයක් ඒ ගැන මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. මේ දවස්වල හුඟක් ම අපි දෙදෙනාම කාර්ය බහුලයි. අපි විවාහ වෙලා වසර 5 ක් පමණ වෙනවා. පුංචි පැටියෙක් අපේ කැදැල්ලට එක් කරගන්න බලාපොරොත්තුවෙන් හිටියේ. හැමදේම හෙමි හෙමින් අපි ජීවිතවලට එක්කාසු කරගත්තා. දැන් අපේ පැතුම අපි තුරුළට ඇවිත් තිබෙනවා. ජීවිතේ වෙනදාට වඩා සුන්දර ලෙස දැන් අපි අත් විඳිනවා. පුතා ලැබුණට පස්සේ අපේ ජීවිතේ හුඟාක් වෙනස් වුණා.

වගකීම්, බැඳීම් සියල්ල වැඩි වෙලා කියලා හිතෙන්නේ නැත්ද?

අපි දෙන්නා හරිම සැහැල්ලුවෙන් තමයි ජීවත් වුණේ. දැන් තුන් දෙනෙක්. වගකීම් වැඩියි. බැඳීම් වැඩියි. දැන් ඉතින් අපි හැම වෙලාවෙම හිතන්නේ අපේ පුංචි පුතා ගැන තමයි. එයා වෙනුවෙන් තමයි අපේ හැමදේම සැලසුම් කරන්නේ. අපේ ජීවිතේ ම එයා නිසා සතුටින් පිරී ඉතිරී ගිහින් කියලා තමයි දැනෙන්නේ.

ජීවිතේ දෙස ආපසු හැරී බලද් දී දෙදෙනාටම සතුටක් දැනෙනවා ඇති?

අවංකවම ලොකු සතුටක් දැනෙනවා. මුලින් කිව්ව වගේ අපි දෙන්නා ලොකු නිදහසක් භුක්ති වින්දා. අපිට හිතෙන හිතෙන තැන්වල ගියා. කැමැති වෙලාවට කෑවා, බිව්වා, විනෝද වුණා. නමුත් දැන් නම් එහෙම බැහැ. දැන් එළියට යන්නේ වුවමනාවකට විතරයි. පොඩි වැස්සක් වැස්සත් පුංචි පුතා අරගෙන එළියට යන එක ගැන දෙස­ැරයක් හිතනවා. ඒ වගේ ම අපේ කෑම බීම පවා එහෙමයි. ඒ ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා.

අනුරාධි ප්‍රසංග, උත්සව සඳහා ලැබෙන ආරාධනාවලට දෙදෙනාම යනවාද?

පුතා ඉපදෙන්න කලින් නම් අපි දෙන්නම ගියා. තීක්ෂණට ලැබෙන ප්‍රසංගවලට යද්දී අනිවාර්යයෙන් මමත් යනවා. මොකද එයාට රෑට නින්ද යනවා. එහෙම වෙලාවට වාහනය ඩ්‍රයිව් කරන්නෙ මම. මොකද එයාගෙ හැසිරීම් රටාව, නිදි මත සියල්ල දන්නෙ මම නෙ. ඒත් පුතා ලැබුණට පස්සේ මට යන්න ලැබුණෙ නැහැ.

තීක්ෂණ ඔබේ බලාපොරොත්තුව වුණේ පුතෙක් ද.. දුවෙක්ද..?

මම නං බලාපොරොත්තු වුණේ දුවෙක්. ඒත් අනුරාධිකා බලාපොරොත්තු වුණේ පුතෙක්. දැන් නම් ඉතින් පුංචි පුතාගෙ දඟකාරකම්වලින් අපේ ගෙදර පිරිලා. ඒවා බල බලා තමයි අපි ඉන්නේ.

තීක්ෂණගෙ සංගීතයට පුතාගෙ ප්‍රතිචාර කොහොමද?

තීක්ෂණගෙ සින්දු ටී.වී. එකේ යනකොට තාත්ත, තාත්ත කියලා මම පෙන්නුවාම ටීවී එක දිහා බලලා වට පිට බලනවා. තීක්ෂණ අම්මා ගැන ගයපු ගීතයක් තිබෙනවා. ඒකට පුදුමාකාර විදිහට පුතා සංවේදීයි. අඬන කොට ඒ ගීතය දැම්මාම සියල්ල නවත්වලා ඒ සින්දුව අහගෙන ඉන්නවා.

අනුරාධි අතින් සැකසෙන කෑම බීම මොනවාද?

තීක්ෂණ වෙනුවෙන් නම් විවිධ කෑම වර්ග මම නිතරම හදනවා. ඒ වගේ ම එයා කැමැති නැහැ දවල්ට හදපු කෑම රාත්‍රියට කන්න. එනිසා කිහිප විටක් ගෙදර කෑම බීම සැකසෙනවා.

පුතා වෙනුවෙන් මොනවද හැදෙන්නේ?

තවම පුතාට නම් දෙන්නේ මව්කිරි. නමුත් ලබන මාසෙ ඉඳලා එයාට අමතර ආහාර දිය යුතුයි. ඒ වෙනුවෙන් මේ දවස්වල මම සූදානම් වෙනවා.‍ එයාට අවශ්‍ය විටමින් වර්ග අනුව, පෝෂණය අනුව කොහොමද කෑම හදන්න ඕනෑ කියලා මම සොයා බලනවා.

ඉතින් තීක්ෂණ මේ දවස්වල ඔබේ කලා කටයුතු මොනවගේ ද?

හුඟක් කාර්ය බහුලයි. මොකද මේ නත්තල් සීසන් එකනෙ. ගොඩක් ෂෝස් තිබෙනවා. ඒ වගේ ම මගේ රෙකෝඩින් ස්ටුඩියෝ එකේ වැඩයි, ගීතවල වැඩයි නිසා ගෙදර රැඳෙන වෙලාවක් නැති තරම්.

ඔබෙන් අනුරාධිකාට ලැබෙන උදව් මොනවාද?

මගේ පැනයට පිළිතුරු දුන්නේ අනුරාධිකායි. තීක්ෂණ තාත්ත කෙනෙක් ගෙන් විය යුතු යුතුකම් සියයට සීයක් ම ඉටු කරනවා. පුතාව නාවන එකේ සිට සියලුම වැඩවලට මට උදව් ‍කරනවා. පුතා පොඩි කාලෙ ඉඳන් ම එයා රෑට ඇහැරගෙන ඉන්නවා. කිරිදෙන වෙලාවට මාව නැගිට්ටවනවා. උදේට තමයි නිදාගන්නේ‍. ඒ වගේ හුඟක් ම මට උදව් කරනවා.

ඔබ දෙදෙනා විදෙස් ගත වෙන්නත් බලාපොරොත්තුව හිටිය නේද?

ඇත්තටම, අපි දෙන්නාම විදෙස් ගතවෙන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. ඒ මගේ හය ස්ටඩීස්වලට. අපේ මැරේජ් එක පවා ඉක්මන් කළේ ඒක නිසයි.‍ ඒත් නොහිතපු විදිහට මගේ ගීත රසිකයන් අතර ජනප්‍රිය වුණා. එනිසා අපි තීරණය කළා ලංකාවෙම රැඳෙන්න‍. ඒත් ඉතින් අනාගතේ මේ දේවල් වෙනස් වේවිද කියන්න බැහැ.

තීක්ෂණට රඟපාන්න ආරාධනා ලැබිලා නැතිද?

මේ ළඟදීත් රංගනයට ආරාධනා ලැබුණා. ඒත් ඉතින් සංගීත වැඩකටයුතුවලට මැදිවෙලා ඉන්න කොට ෂූටින් වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න අමාරුයි.

අනුරාධි කැමැති ද තීක්ෂණ රඟපානවට?

මගෙන් කිසිම තහනමක් බලපෑමක් නැහැ. මොකද මම ත‍ීක්ෂණ ගැන හොඳින්ම දන්නවා. එයාගෙ සීමාවල් හඳුනනවා. එනිසා මට ගැටලුවක් නැහැ.

මොකක්ද පුංචි පුතාගෙ නම?

ඒඩ්න් ලූක්. අපි දෙන්නම එ් නමට කැමැතියි. ඒ නිසා තමයි අපි පුතාට ඒ නම යෙදුවේ. 

Comments