ලෙස්ටර්, ඔහුය සින­මාව | සිළුමිණ

ලෙස්ටර්, ඔහුය සින­මාව

ලාංකික කතානාද සිනමාවට දැන් වසර හැත්තෑවකි.එය ලෝකයේ කොයි රටක සිනමාව හා සසඳා බැලුවද ඉතා ළාබාල වයසක් සේ පෙනේ. ඒ වන විට ලෝක සිනමාව සිය ස්වර්ණමය යුගය නිර්මාණය කරමින් පැවැති අතර සිනමාව ලොව අංක එකේ විනෝදාශ්වාද මාධ්‍යය ලෙසද ගෞරවය දිනා අවසන්ය.මහත්මා ගාන්ධි මෙන්ම ඇඩොල්ෆ් හිට්ලර් ද වි.අයි.ලෙනින් ද මාඕ සේතුං ද සිය රටේ ජන මනස අවදි කරවීමේ අභිලාෂයන් සඳහා සිනමාව උපයෝගී කර ගැන්මේ වැදගත් කම අවබෝධ කර ගෙන සිටියහ. එහෙත් අපේ සිනමාව බිහිවනුයේ එබඳු වැදගත් ස්ථාවරයක පිහිටා නොවේ.එවකට පැවැති දකුණු ඉන්දියානු සිනමාවේ සියලු අවර අංග ලක්ෂණ ගුරු කොට ගනිමින් එකී සිනමාව ගොඩ නැගුණේ එම භාෂා කුලකයකට තවත් භාෂාවක් එක් කරලන විලාසයෙනි.මේ තත්වය එයින් දස වසරක් ගෙවෙන තාක්ම ඉඳුරාම වෙනස් නොවිණ.ඇතැම් සිනමාකරුවකු වස්තු විෂයය අතින් යම් ප්‍රමාණාත්මක වෙනසක් කිරීමට උත්සුක වුව ද සිනමා බස හැසිරවීමක් එහි නොවීය.

1956 වසර ගෙවී යද්දී එනම් දෙසැම්බර් 28 වැනි දින ලංකික සිනමාවට එක් වන “රේඛාව ̃ වස්තු විෂයය පමණක් නොව විලාසය අතින් ද සමකාලීන සෙසු සිනමාකෘතින් අභිබවා ගියේය. එකල තිර ගත කරන ලද සමකාලීන සෙසු චිත්‍රපට නරඹන්නකුට ඒවාට උරුම වූ ලක්ෂණ වලින් රේඛාව මිදෙන අයුරු වටහා ගත හැකි වෙයි.

එහි වෙසෙන මිනිසුන් ද ඔවුන්ගේ සමාජ පරිසරය ද භූමි විෂමතාවන් ද සිනමාකරු විසින් ග්‍රහණය කර ගන්නා අන්දම සිනමා රූපය යනු කවර තරම් ආශ්චර්යයක්දැයි අපට කියා පාන්නට සමත් වෙයි.

එය වඩා හොඳින් වටහා ගනු ලබනුයේ එවකට මෙරට නිවාඩුවක් ගත කරන්නට පැමිණි ලෝක ප්‍රකට ප්‍රංශ සිනමා විචාරිකා මාරි සිට්න් විසින් වීම වැදගත්ය.

අහම්බයක් හැටියට දකින රේඛාවෙන් වසඟ වන ඇය යළි සිය මව්රටට ගොස් තමා නාඳුනන රටක නාඳුනන සිනමාකරුවා සොයා දන්වා එවන්නේ රේඛාව වහාම ඊළඟ කාන් සිනමා උළෙලට එවන ලෙසය.රේඛාව ලාංකික සිනමා විචාරකයන් වටහා ගත්තේ එයින් කලකට පසුවය.

එවකට ලාංකික සිනමාවේ පැවැති දැවැන්තම සිනමා සමාගම වන සීමාසහිත සිනමාස් සිය දස වර්ෂ පූර්ණය වෙනුවෙන් අලුත් චිත්‍රපටයක් නිපදවීම සඳහා ඉන්දියානු සිනමාකරුවකු සමග කතා කරමින් සිටි අවදිය එයයි.ඒ වන තෙක් සිනමාස් සියලු චිත්‍රපට නිපදවා තිබුණේ ඉන්දියානු සිනමාකරුවන්ය.එහෙත් දසවස් සමරණ චිත්‍රපටය දේශීය සිනමාකරුවකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිරිනමන්නට එහි අධිපති කේ.ගුණරත්නම් තිරණය කළේය.ඒ සඳහා ඔහු පොළඹවාලනුයේ ඉන්දියානු සිනමාව බිහිකළ විශිෂ්ට සිනමාකරුවකු වන රාජ් කපූර්ය.චෙකොස්ලෝවැකියාවේ කාලෝවිවාරි සිනමා උලෙළේ තම නිෂ්පාදනයක් වූ ජග්තේ රහෝ චිත්‍රපටය සමග තරග කළ රේඛාව දුටු රාජ් කපූර් තම ආර්.කේ.චිත්‍රාගාරයට පැමිණ චිත්‍රපටයක් නිර්මාණය කරන්නටයැයි ලෙස්ටර්ට ආරාධනා කර තිබිණ.

ආචාර්ය ලෙස්ටර් හැරුණු විට රාජ් කපූර් ගෙන් එලෙස ආරාධනා ලද අනෙක් සිනමාකරුවා සත්‍යජිත් රායි වීම විශේෂයකි. රාජ් කපූර්ගේ පෙළඹවීම මත ගුණරත්නම් ගේ නිෂ්පාදනයක් ලෙස බිහිවූයේ සංදේශයයි.

ගම් පෙරළිය ආචාර්ය ලෙස්ටර් විසින් අපේ සිනමාව ලෝකයේ ඉහළින්ම ඔසවා තැබුවේය.ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළෙ දී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනීම එදා මෙදා සිංහල සිනමා ඉතිහාසයේ බිහිවූ අභිමානවත්ම සම්මානය වෙයි.

මිනිස් ජීවිත ඇතුළේ ඇති අඳුරු අහුමුලු විදහාලමින් ජීවිත කතිකාවක ද සමාජීය විවරණයේ ද යෙදුන ලෙස්ටර් ගේ සිනමාව සැබෑ ලංකික සිනමාවේ සළකුණ විය.හැත්තෑ වසරක විශිෂ්ටතම ලාංකික චිත්‍රපටය ලෙස බුහුමානයේ ලා සළකන නිධානය එහි කූටප්‍රාප්තිය යි.සිය ජීවිත කාලය ඇතුළත ඔහු

නිර්මාණය කරන ලද්දේ චිත්‍රපට 19 කි.රේඛාවෙන් ඇරැඹි ඔහුගේ සිනමා වෘතාන්ත සංදේශය,ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, ද ගෝඩ් කිං , දෑස නිසා ,මඩොල් දූව, වීර පුරන්අප්පු, අහසින්පොළවට, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ දක්වා දිව යයි. එහෙත් මුළු ජීවිත කාලයම ඔහු කැප කරන ලද්දේ සිනමාවටය.ලෝකයේ

සිනමා සම්මත පුරෝගාමින් සිය නිර්මාණාත්මක මෙහෙවරෙන් පසු පරම්පරා ගැටුමකට මුහුණ දෙති.එහෙත් ආචාර්ය ලෙස්ටර් ලොව සෙසු සිනමාකරුවන්ට වඩා වෙනස් වනුයේ ඔහු ඊළඟ සිනමා පරම්පරාවට පියෙකු වීමෙනි.ගාමිණී ෆොන්සේකා ද තිස්ස අබේසේකර ද සිනමාවට ගෙන එන ලෙස්ටර් සිනමාවේ ඊළග පරම්පරාවට දායාද කරන ලද නාමය වනුයේ සැබෑ සිනමාවේදි යන්නය.ධර්මසේන පතිරාජ ,ධර්මසිරි බණ්ඩාරනායක,ප්‍රසන්න විතානගේ අශෝක හඳගම,විමුක්ති ජයසුන්දර,සෝමරත්න දිසානයක ආදින් එකී පරම්පරාගත නාමය උරුම කොට ගත්තේ ලෙස්ටර්ගේ සිනමා පීතෘත්වය යටතේය.ඔහු හැමවිටම තම ඊළඟ සිනමා පරම්පරාව ගැණ අප්‍රමාණ උනන්දුවක් දැක් වූ අතර හැම විටම ඔවුන් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියේය.තරුණ පරම්පරාවේ රැඩිකල් සිනමා කෘති විවිධ තහංචි වලට ගොදුරු වෙද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට තරම් ලෙස්ටර් පීතෘගුණැති විය.

ආචාර්ය ලෙස්ටර් ගේ සිනමාව එක රැයෙන් ඉපැදුනක් නොවේ.ලොව පුරා විශිෂ්ට සිනමා කෘති පරිශීලනයෙන් යාවත්ව වාර්තා සිනමාකරුවකු හැටියට අත්දැකීම් ලබමින් ද ආචාර්ය ලෙස්ටර් සිනමා රූපයේ ශක්‍යතාව හඳුනා ගෙන සිටියේය.ඔහු සිය සිනමාවේ ප්‍රායෝගික න්‍යායන් බවට පරිවර්තනය කරන ලද්දේ එම අත්දැකීම්ය.එම සිනමා රූපය ණයට ගත් එකක් නොවිණ.එය මේ භූමියෙහි රෝපණය වූ සිනමා රූපයක් විය.එහි සැරිසරන මිනිසුන් පමණක් නොව අඳුර ආලෝකය ද විනිවිදන ලද්දේ මෙරට මිනිසුන්ය. ඔහු ජගත් කීර්තියට පත් කරන ලද්දේ එම මිනිසුන්ගේ ජීවිත අන්දරයන්ය. සිනමාව

නම් ඔහු වන්නේ එබැවිනි.

“ආචාර්ය ලෙස්ටර්, සිනමාව නම් ඔහුය SLT PEO T V විසින් ඉදිරිපත් කරනු ලබනුයේ අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්විය යුතුය යන මතවාදය පෙරටු කොටගෙනය.

ඒ දස අත සැරිසරන වාණිජ බලවේගයන්ගෙන් රසික සිත් සතන් මුදවා යහපත් කලාවක් උත්පාදනය කිරීමේ අරමුණිනි. උත්කෘෂ්ඨ සිනමා අත්දැකීමකින් රසික සිත් ආනන්දයට පත්කරනු වස් මේ දෙසැම්බරයේ SLT PEO T V – Channel 365 ඔස්සේ ගෙන එනුයේ එබැවිනි. දින 365ක් පුරා විනෝදාස්වාදයේ නොනිමි සාගරයක ගිලෙන්නට SLT PEO T V– Channel 365 ඔබට ආරාධනා කරයි. 

Comments