හද­ව­තට ගුණා­ත්මක පණි­වු­ඩ­යක් ගෙනෙන සිහි­න­යකි රෑ | Page 2 | සිළුමිණ

හද­ව­තට ගුණා­ත්මක පණි­වු­ඩ­යක් ගෙනෙන සිහි­න­යකි රෑ

වර්තමාන රූපවාහිනී රසිකයන් අතර ඉහළින්ම වැජඹෙන සංගීත වැඩසටහන හැටියට අවිවාදයෙන්ම නම් කළ හැක්කේ ජාතික රූපවාහිනිය ඉදිරිපත් කරන සිහිනයක් රෑ වැඩසටහනයි. රූපවාහිනී සම්මාන උලෙළ රාශියකින් සම්මාන දිනා සිටින එම වැඩසටහන වටා මේ වන විට රසික මිතුරු හවුලක් ද ගොඩනැඟී ඇත. විශාල රසික පිරිසකගෙන් සමන්විත එම මිතුරු හවුලේ නියමුවන් වනුයේ ජාතික දන්තායතනයේ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය අසේල විජේසුන්දර සහ දිනේෂ් ගමගේ මහත්වරුය. රූපවාහිනී සජීවී වැඩසටහනක් ලෙස රසිකයන් කුල්මත් කරන එම වැඩසටහනේ ප්‍රසංගීය සජීවී අත්දැකීමක් උදාකර දීමට වෛද්‍ය අසේල ප්‍රමුඛ සිහිනයකි රෑ වටා රොක් වී සිටින ගම්පහ මිතුරු පිරිස සැදි පැහැදි සිටී.

විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ‘සොඳුරු සිහිනයකි රෑ’ නමින් රසිකයන්ට වෙනස්ම ආකාරයක සජීවී සංගීත සැඳැවක මිහිර විඳ ගැනීමට සලස්වන එම ප්‍රසංගය ලබන 15 වැනිදා සවස 6.30ට ගම්පහ සාකෙත මැදුරේදී පැවැත්වීමට නියමිතය. ඒ ගැන එහි නියමුවා වන වෛද්‍ය අසේල සමඟ කළ කතාබහකි මේ.

. ‘සොඳුරු සිහිනයකි රෑ’ගැන මුලින්ම කතා කරමු.

මහේෂ් නිශ්ශංක කියන සොඳුරු මිනිසා ඉදිරිපත් කරන සිහිනයකි රෑ වැඩසටහන මැදිරි සංකීර්ණයෙන් පිට සිට ප්‍රාසංගික අත්දැකීමක් විඳ ගැනීමට සලස්වන මුල්ම ප්‍රසංගය හැටියටයි නම් කළ හැක්කෙ. එම සජීවී සැඳෑවේදී ගීත විස්සක් පමණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සෑම ගීතයකම විශේෂත්වය තමයි සෑම රසික හදවතකටම ගුණාත්මක පණිවිඩයක් සමීප කරවීම. අම්මා ගැන කතා කරනකොට අම්මගේ ගීතයක්, තාත්තා ගැන, බිරිය ගැන, දුව ගැන පවුලේ සියලු දෙනාටම විඳිය හැකි හදවතට යමක් එකතු කරගත හැකි ගීත අපි එදාට ඉදිරිපත් කරනවා. එතෙන්දි අපි 250ක, 300ක පමණ පිරිසක් එකතු කරගෙන ඝෝෂාකාරී බවින් තොරව ගුණාත්මක බව රඳවා ගනිමින් උපරීම රස වින්දනාත්මක අත්දැකීමක් විඳ ගැනීමටයි සැරැසෙන්නෙ.

ඇයි මෙවැනි සංගීත සැඳෑවක් පැවැත්වීමට හිතුවේ...

සාමාන්‍යයෙන් අපි හැම කෙනාම තනි තනිව හැම දෙයක්ම විඳිනවා. සිහිනයකි රෑ වැඩසටහන නරඹන විටත් මට හිතුණු දෙයක් තමයි මේ වැඩසටහන. බොහෝ දෙනෙක් ඉරිදා රාත්‍රියේ රූපවාහිනිය අසල සිට තනියම රස විඳිනවා විතරයි. මහේෂ්ගේ විශිෂ්ට ඉදිරිපත් කිරීමට මෙරට සොඳුරු වැසියෙක් සෑම සතියකම ඉදිරිපත් වී කරන කතාබහ දැක්කම හිතුණු දෙයක් තමයි, අපට පුළුවන්නම් මේ වැඩසටහන හරහා මෙරට වැසියන් අසලට ගොස් ගුණාත්මක වින්දනීය කතිකාවක් ඇති කරන්න කියන දේ. ඒක නිසයි අපි හිතුවේ මෙවැනි සජීවී ප්‍රාසාංගික අත්දැකීමක් තුළින් සෑම දෙයක් ගැනම කතා කරමින්, තව කෙනෙකුට කියන්න තියෙන දෙයක් කියන්නට ඉඩ සලසමින් එයාගේ රසය අපිත් සමඟ බෙදා ගැනීමට ඉඩ දෙමින් වින්දනීය සැඳෑවක් ගත කරන්න.

මෙවැනි සංගීත සැඳෑවක් සංවිධානය කිරීමට හැකි වන්නෙ කෙසේ ද?

මේ වන විට සිහිනයකි රෑ වැඩසටහනේ මුහුණු පොතේ මිතුරු සංසදයක් බිහිවී තිබෙනවා. එම සංසඳයේ ගම්පහ මිතුරු පිරිස එකතුවී තමයි මේ ප්‍රසංගය පවත්වන්නට මුල් වෙන්නෙ. එහිදී අප සමඟ මේ කර්තව්‍යය සඳහා විශිෂ්ට දායකත්වයක් සපයනවා දිනේෂ් ගමගේ මල්ලි.

කවුද මීට සහභාගි වන පිරිස...

මෙහි ප්‍රධාන ආරාධිතයා අපේ සුභාවිත ගීතයේ දැනට ගාන්ධර්වයෙක්ව සිටින සුනිල් එදිරිසිංහ මහතා. එසේම එතුමා ගීත ගායනයෙන්ද එක් වෙනවා. ඊට අමතරව ගායනයෙන් සම්මානනීය ගායක සමන් ලෙනින් සහ විශාරද නිලක්ෂි හැලපිටිය එක් වෙනවා. සංගීතයෙන් නව පරපුරේ දක්ෂයෙක් ලෙස සැලකෙන චතුර ප්‍රසාද් දායක වෙනවා. නිර්මාණ අධ්‍යක්ෂණයෙන් දායක වන මහේෂ් නිශ්ශංක සමඟ ගීත 15ක පමණ රසඥතාව ප්‍රකාශ කරමින් මාගේ දායකත්වයත් සපයනවා.

සිහිනයකි රෑ රූපවාහිනී වැඩසටහන ගැනත් සඳහනක් කළොත්...

ඇත්තටම මීට මාස හයකට පමණ පෙර ඔය වැඩසටහනට ගීත තේරීමෙන් මමත් දායක වුණා. මම ඇතුළු බොහෝ මෙරට සහ විදේශවල සිටින ශ්‍රී ලාංකික රසිකයන් ඉරිදා රෑට නොනිදා රස විඳින වැඩසටහනක් හැටියට සිහිනයකි රෑ වැඩසටහන වර්තමානය වන විට පත්වී අවසානයි. ගීතයයෙන් ඔබ්බට ගොස් මේ වැඩසටහනේදී ගොඩනැඟෙන කතාබහ සියලුම මිනිස් ජීවිතවලට හරිම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ වැඩසටහන අද සෑහෙන ජනප්‍රිය වෙලා තියෙන්නෙ.

සංගීත ක්ෂේත්‍රයෙන් පරිබාහිර වෘත්තියක නියැළෙන ඔබ ඇයි මෙතරම් කලාවට ලැදියාවක් දක්වන්නෙ...?

මෙහෙමයි කලාව කියන දේ හැම මිනිහෙක් තුළම තියෙනවා. හැබැයි ඔය කලාවේ රිද්මය තමන්ගේ වෘත්තියට සමපාත කර ගත යුතුයි. කලාව හැම කෙනා තුළම ජීවත් වෙනවා. හැබැයි තමන් එය එළියට ගත යුතු වෙලාවල් තියෙනවා. මම කියන්නෙ අපි ඕනෑම කෙනෙක් තමන්ගේ වෘත්තියට කලාව සම්බන්ධ කරගතහොත් නියැළෙන ඕනෑම වෘත්තියකින් අතිසාර්ථක ලෙස ඉදිරියට යා හැකි වෙනවා. ඒ නිසා මම හැම කෙනාටම කියන්නෙ තමන්ගේ වෘත්තිය කලාත්මකව සිදුකළ හැකිනම් එහි ප්‍රතිඵලය නිර්මාණාත්මකයි. තමන්ගෙන් සේවාව ලබාගන්න එන කෙනාට එහි උපරිම ගුණාත්මක බව ලබාදිය හැකියි. තව දෙයක් කිව යුතුයි මගේ මුල් ගම වේයන්ගොඩ වුණත් නාගොල්ලාගම කියන ඈත පිටිසර ගැමි පරිසරයකයි මම හැදුණේ වැඩුණේ. ඒ ගැමි සොබා සෞන්දර්යය මගේ කලා ජීවිතය පෝෂණය කළා. මම සංගීතය ගැන එතරම් හදාරපු කෙනෙක් නෙවෙයි, හැබැයි සංගීත රසාඥතාව විඳීමට ඒක බාධාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් සංගීතයේ රස විඳීමට තමන්ට තිබිය යුත්තේ රසය හඳුනා ගැනීමේ ශක්තිය පමණයි.

සොඳුරු සිහිනයකි රෑ ප්‍රසංගයේ ඉදිරි අනාගතය කෙසේ වේද?

මේ ප්‍රසංගය ගැන දැනටම ඉව වැටුණු බොහෝ දෙනෙක් අපට පවසලා ඉවරයි.

අනේ අපේ ගම් පළාත්වලටත් ඇවිල්ලා අපි සමඟත් මෙහි රසය ගුණය බෙදාගන්න කියලා. අපි සියලු දෙනාටම කියනවා නුදුරේදීම සෑම ප්‍රදේශයකම මේ වින්දනීය සජීවී සැඳෑව පවත්වන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම මේ සජීවි ප්‍රසංගය සුවිශේෂ අත්දැකීමක් වේයැයි සිතන බව මා සියලු රසික සහෘදයන්ට පවසා සිටිනවා. 

 

Comments