පළිඟු බෝලෙන් ලෝකය කර­කැවූ ගුප්ත ගැහැ­නිය | Page 2 | සිළුමිණ

පළිඟු බෝලෙන් ලෝකය කර­කැවූ ගුප්ත ගැහැ­නිය

අනාගතයේ දී සිදුවන දෑ පිළිබඳ අනාවැකි කියන්නියක ලෙසින් ජීන් ඩික්සන් නාමය මහත් ආන්දෝලනයකට පත්විය.

ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූවාය. අංජනම්කාරියක ලෙසින් ප්‍රසිද්ධියට පත්වූ ජීන් පෙරළිකාර මෙන්ම භයංකාර සිදුවිම් පිළිබඳ පෙර දැනුම්දීමක් කිරීමට හපනියක් විය.

පළිඟු බෝලයෙන් (cystaL baLL) අංජ‍නම් බලා අනාවැකි කියූ ඇගේ ජීවන තොරතුරු ඇමෙරිකාවේ කා අතරත් ප්‍රකටව තිබුණ ද වර්තමානයේ බොහෝදෙනකු නොදන්නා අප්‍රකට තොරතුරු ද රැසක් ඇත. එරට ප්‍රසිද්ධ දේශපාලනඥයින් හා ඈ අතර තිබූ සබඳතා බොහොමයක් වැඩි දෙනෙක් දන්නේ නැත.

වර්ෂ 1945දී ජීන් ඩික්සන් පළකළ අනාවැකි සත්‍ය ආන්දෝලනාත්මක ඒවා වේ.

*ලෝක යුද්ධයෙන් පසු සිදුවූ වින්සන් චර්චිල්ගේ මැතිවරණ පරාජය, රුසියාව ගුවන්ගත කළ පළමු චන්ද්‍රිකාව “ස්පුට්නික්‘ අහසට විදීම.

*ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා හා ඇමරිකාවේ ජනාධිපති කෙනඩි ඝාතනය වීම, මෙන්ම තවත් සිදුවීම් රැසක් සිදුවීම‍ට පෙර ඇය ප්‍රකාශ කළාය. ජීන් වඩාත් නිවැරදිව කීවේ නුදුරේ දෑ නොව දුර අනාගත සිදුවීම්ය.

ජනාධිපති කෙනඩි ගේ මරණය පිළිබඳ ඩික්සන් කියා ඇත්තේ පුදුම සහගත අනැවැකිය. ඈ අනාවැකිය පලකරන වි‍ට කෙනඩි සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව සි‍ටියේය. ජීන් අනාවැකිය පලකරනවිට එය තමන් මුහුණ දෙන භයානක ඉරණම පිළිබඳ යැයි කෙනඩි කෙසේවත් දැන සිටියේ නැත.

වර්ෂ 1952 එක්තරා දිනෙක ඇය තම මැ‍ජික් පළිඟු බෝලයෙන් අනාගතය විපරම් කළාය. ඉන් දුටුදෙය පුදුමය දනවන්නකි. ධවල මන්දිරය අභියස අහසේ ගමන්ගත් කළු වලාකුළක් ඒ අසල පාවෙමින් ඇති බවත් එය ක්‍රමයෙන් අති විශාලවී ඝනකම්ව අන්ධකාරය පැතිර යන අයුරුත් ඉන් පෙන්නුම් කරතිබේ. මේ දර්ශනය හා සම්බන්ධ පුද්ගලයා පිළිබඳ ජීන් විස්තර කළේ “තරුණවියේ පසුවන නිල්පැහැ දෑස් ඇති දුඹුරු කෙස්වැටියකට හිමිකම් කියන ඔහු 1960 මැතිවරණයෙන් ජය ලබන ඩිමොක්‍රොටික් පාක්ෂිකයකු යන්නය. ජනාධිපති වීමෙන් පසු මරණය සිදුවන අන්දම පිළිබඳවද ඈ අනාවැකි පලකළාය. ඇයට මේ විස්තරය ලැබී තිබුණේ ගුප්ත ශබ්දයකිනි.

අනාගත ඛේදවාචකය දැන සිව්වසරක්ම මුනිවත රකිමින් සිටි ඈ 1956දී අනාවැකිය ප්‍රසිද්ධියට පත්කළාය. එම වසරේ මැයි මස 13දා එළිදැක් වූ “පැරඩේ “නම් සඟරාව මඟින් ජීන් මේ අනාවැකිය ප්‍රසිද්ධ කළාය. පළිඟුවෙන් දුටු දර්ශනය හිතේ තබාගෙන සිටි මේ කාන්තාව තම නිවස ආසන්නයේ සි‍ටි ජනාධිපති පවුල හා කි‍ට්ටු සබඳතා ඇති හේළි මහත්මිය හමුවට ගියාය. ඒ 1963වසරේ දිනකය. කලබලෙන් ගිය ද සමාව අයදිමින් හේළි මහත්මිය සමඟ කතාබහට එක්වූ ඈ ජනාධිපතිවරයා දකුණේ සංචාරයක නිරතවීමට නියමිත යැයි දැනගන්නට ලැබුණු බවත් එය මාරක ගමනක් මෙන්ම ජනාධිපතිවරයාගේ අවසන් ගමන වියහැකි බව ඔහුට අනතුරු ඇඟවිය යුතු බවත් පැවසීය. (කෙනඩි ඩලාස් වෙත යාමට නියමිත වූ දිනය එදාය.) හේළි මහත්මිය ජීන් ඩික්සන් පිළිබඳ හොඳින් දැන සි‍ටියද ඒ පිළිබඳ ජනාධිපතිවරයා‍ට දැනුම් දීමට මැළිවිය.

ජීන් තම අනාවැකිය පිළිබඳ තවත් යමක් කීය. කාලයක් තිස්සේ ධවල මන්දිරය ට ඉහළ අහසේ පාවෙමින් තිබූ කාලවර්ණ මේඝය දැන් ඉතා වේගයෙන් පහත් වෙමින් තිබේ. මේ අනුව ජනාධිපතිවරයා මන්දිරයෙන් පිටතදී ඝාතනය වනවා” යන්නය. ඒ ඔහුගේ දෛවය නම් අපි කුමක් කරන්නද යැයි හේළි මහත්මියගේ පිළිතුර විය. ජීන් අනාවැකිය පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම්දීමට හේළි මහත්මිය පොලඹවා ගැනීමට කොතෙක් උත්සහ කළත් මෙවැනි අනාවැකියකින් කෙනඩි නවතාලිය නොහැකි බව ඇගේ හැඟීම විය. එය එසේම සිදුවිය.

මේ පුදුම සහගත අනාවැකි කාරිය හැදී වැඩුණේ ඇමෙරිකාවේ ශාන්තරෝසා ප්‍රදේශයේය. ඇගේ මව්පියන්ගේ ජන්මභූමිය ජර්මනියයි. මේ නිසා ඈ යුරෝපීය ක්‍රමයට ජීවත් වූවාය.

ගුප්ත හැකියාවේ ලක්ෂණ ඈ තුළින් කුඩාවියේ සිටම දැකගන්නට හැකි විය. පළිඟු බෝලය ලැබෙන්නට පෙර සිටම ඈ අනාවැකි පළකර තිබිණි.

ජීන් වයස අවුරුදු අටේ දී පමණ සිය මව සමඟ කූඩාරම් ගසා‍ගෙන තාවකාලිකව ලැගුම් ගන්නා අහිගුණ්ඨික පිරිසක් බලන්න‍ට ගියාය. මේ කණ්ඩායමේ සිටි ගැහැනියක් ජීන්ගේ අත්ල පරීක්ෂාකිරීමේදී අතලේ සටහන් තරු ලකුණක් දැක විස්මයට පත්විය. මේ ගැහැනිය සතුව තිබූ මැජික් පළිඟුව ජීන්ට තිළිණ කළේ පළිඟුවෙන් පෙන්වන අනාවැකි කියන්නට හැකි එකම තැනැත්තිය කුඩා ජීන්ම පමණක් බව පවසමිනි. මේ නිසා පළිඟුව ප්‍රවේසමෙන් තබාගන්නා ලෙසද කීවාය. එහෙත් ජීන් දැරිය මුල් කාලයේ එය සෙල්ලම් බඩුවක් ලෙස සැලකීය.

තුරුණුවියට පාතැබූ ජීන් ජේම්ස් ඩික්සන් නමැති තරුණයකු හා විවාහ විය.ලෝක යුද සමයේ දී සිය සැමියාගේ දිවි ගලවා ගැනීමට හැකි වූයේ පළිඟූවේ ආධාරයෙනි.

සැමියා චිකාගෝ වෙතයාම සඳහා ගුවන් යානයේ අසුනක් වෙන්කර ගැනීම‍ට නිවසින් බැහැරවීමට සැරසුණේය. ජීන් තම අධිමානසික බලය යොදා පළිගුව දෙස බැලීය. ඈ ඒ තුළින් දුටුවේ සැමියා යන යානය අනතුරකට ලක්වන බවකි. ඇගේ බලකිරීම නිසා ඔහු චිකාගෝ ගියේ දුම්රියෙනි. යානය අනාවැකිය පරිදිම චිකාගෝ ආසන්න ගුවනේ දී අනතුරට පත්ව ගමන්ගත් මගීහු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූහ.මේ වන විට ඇගේ අධිමානසික තත්ත්වය පිළිබඳ රටපුරා ප්‍රසිද්ධව තිබිණි.

රූස්වෙල් ජනාධිපතිවරයා 1944දී සිව්වන වරටත් එම පදවියට පත්වීමෙන් පසු එක්තරා සෑදෑවක ජීන් ජනාධිපති නිල නිවසට කැඳෙව්වේය. සුහද සාකච්චාවකින් පසු ජනාධිපතිවරයා අසූ ප්‍රශ්නයක් ‍හේතුවෙන් ජීන් ජනාධිපතිවරයගේ දෑඟිලි පරීක්ෂා කර තවත් හය මසකින් ඔහු මියයන බවට අනාවැකියක් පළකළාය.

මේ කතා බහේදී තවත් පුදුමසහගත අනාවැකියක් ඈ පළකළාය. චීනය අනාගතයේදී කොමියුනිස්ට් රටක් වී ඇමරිකාව සමඟ සතුරුවන බව ඒ අනාවැකියයි. මේ ප්‍රකාශයෙන් රූස්වෙල් පුදුමයට පත්විය. ඒ වන විට චීනය ඇමරිකාවට මිතුරු රටකි. නමුත් චීනය 1948න් පසු කොමියුනිස්ට්වාදයට හැරෙන බව ඈ තරයේ කියා සිටියාය. අනාවැකිය පළකර සිව්වසක් ගතවන විට එය එසේම සිදුවිය.

1945 ජනවාරියේ දිනකදී රූස්වෙල් නැවත ඈ කැඳවීය. එහිදී ද ජීන් පැවැසුවේ ජනාධිපතිවරයා තවත් හයමසක්වත් ජීවත් නොවන බවය. චීනය පිළිබඳ කී අනාවැකිය ද ඒ අයුරින්ම සිදුවන බව සඳහන් කළාය. ජාති භේද කෝලාහල ද රටපුරා ඉදිරියේ දී සිදුවන බව කීවාය. එම වසරේ අප්‍රේල් මස රූස්වෙල් ජනාධිපතිපරයා මියගියේය.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟද හිතවත්කම් පැහැත්වූ ඇය 1945දිනක ඉන්දීය අණදෙන නිලධාරී ගිරිජා ශන්කර්ට පැවැසුවේ 1947 ජුනි දෙවන දා ඉන්දියාව දෙකඩවන බවය. ඒ අනුව අණදෙන්නාට ඉන්දියාවෙන් වෙන්වන්නට සිදුවන බවද කීවාය. ශන්කර් එය පිළිගත්තේ නැත.

නියමිත දිනයේ උදෑසන එම නිලධාරියා ජීන්ට කතා කර කීවේ අනාවැකිය සිදුනොවූ බවයි. තවම දිනය අවසන් නැති බව ඇගේ පිළිතුර විය. පසුදින පුවත්පත්වල පලව තිබුණේ ඉන්දියාව හා පාකිස්තානය වශයෙන් රට දෙකඩව ඇති බවකි. ශන්කර් යුගොස්ලෝවියාවේ පාකිස්තානු තානාපති ලෙස පත්කර තිබිණි.

මේ සිද්ධියෙන් ස්වල්ප කලකට පසු ඇය අති ශෝචනීය අනාවැකියක් පළකරමින් තවත් මාස හයකින් ගාන්ධිතුමා ඝාතනය වන්නේයැයි කීවාය. එයද එසේම සිදුවිය.

රුසියාවේ දේශපාලන පෙරළියක් සිදුවන බවත් ආණ්ඩු වෙනසෙන් පසු අගමැති ලෙස පත්වන මාෂල් බුල්ගනින්ගේ හැඩරුව, මෙන්ව 1957දී රුසියාව පෘථිවිය වටා සැරිසැරීමට හැකි රිදී බෝලයක් වැනි දෙයක් අහසට විදිමින් අජටකාශ යුගයක් ඇරඹීමට පෙලඹෙන බවත් ඕ ප්‍රකාශ කළ සත්‍ය ලෙසම සිදුවූ අනාවැකි අතර ප්‍රධානය. රුසියාය මුල්ම චන්ද්‍රිකාව ගුවන් ගතකළේ 1957දීය. එහෙත් ජීන් ඩික්සන් පළකළ සිදුනොවූ වැරදි අනාවැකිද තිබිණි.

කුයිචොයි නම් දිවයින හේතුවෙන් 1958දී චීනය යුද්ධයකට ඈ‍ඳෙන බව, 1964දී බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂය ජය ලබන බව ඇයගේ අනාවැකි අතර සිදුනොවුණි. ඇය තවත් සුවිශේෂී අනාවැකියක් පළකර තිබිණි. වර්ෂ 1980න් පසු ලොව අාධ්‍යාත්මික ගුණවගාවට යොමුවන බවත් ලොව පහළවන ආගමික කර්තෘවරයෙක් තම ධර්මයෙන් ලොව පුබුදුකරන අතර ඒ අනුව 1999 වනවිට මුළු ලෝකයම සාමය හා ශීලයේ පිහිටන බවත් ප්‍රකාශකර තිබුණි. ඇගේ ප්‍රකාශය අද අත්‍යවශ්‍යම වන නමුත් එය තවමත් සිදුව නැත.

 

Comments