පොහො­යට මඟු­ල්කෑම.. | සිළුමිණ

පොහො­යට මඟු­ල්කෑම..

මෑතකදී මිතුරකුගෙන් විවාහ ආරාධනා පත්‍රයක් ලදිමි. උත්සවය පවතින දිනය ලෙස පුර පසළොස්වක ත්‍රිථියලත් පොහොය දිනයක රාත්‍රී ලෙස සටහන් වී තිබූ අතර පෝරුවේ කටයුතු අසවල් වේලාවට යැයි ද සඳහනක් ද පැවතිණි. පෝරුයේ චාරිත්‍ර සිදුකිරීම යනු නැකත් අනුගමනය කිරීමකි. ආරාධනා පත්‍රයේ පෝරුවේ චාරිත්‍රය සිදුකරන වේලාවන් ද දක්වා තිබූ පසුබිමක ජොතිෂ්‍ය නැකත් කලාව මේ විවාහ උත්සවයටද අදාළ කර ගෙන ඇති බව සනාථ කළහැකිය. එනම් පුර පසළොස්වක පොහෙය දින නැකත් හෙවත් මුහුර්ත යොදා ගැනීමයි. ⁣ශාස්ත්‍රීය නියමයින් හා සංස්කෘතිකමය නියමයන් අභියෝගයට ලක්වන මෙවන් සිදුවීම් අතිශය විවාදාත්මක බැවින් ඒ සම්බන්ධ සැබෑ තත්ත්වය අවබෝධ කරගතදීමට සිතුවෙමි.

විවාහ නැකත් සෑදීමේ දී ඒ සදහා සම්මත ක්‍රමවේදයන් ජෝතිෂ ශාස්ත්‍රය තුළ පෙන්වා දී ඇත. හොරාභරණ, මුහුර්ත චින්තාමනිය, නැකත් සිතුරු වන, පුරාණ ඵලදාවලිය ආදී ග්‍රන්ථ සෘජුවමද දෛවඥ කාමධේනුව ආදී ග්‍රන්ථ වක්‍රවද එම නැකත් සාධන ක්‍රම දක්වා ඇති අතර විවාහ නැකත් සෑදීමේ දී අනුගමනයකල යුතු ක්‍රමවවේද ⁣⁣බොහෝමයක් ඒ තුළ අන්තර්ගත ව ඇත.

විවාහ බන්ධනයක් සිදුකිරීමට හෝ ඕනෑම නැකත් කටයුත්තක් සදහා මුල පිරීමට මූලිකවම සලකා බැලෙන ග්‍රහයා සඳු ග්‍රහයා ගේ ස්වාභාවය යි. "ඛ" ගෝලය සැලකීමේ දී නැකත් තරු පන්ති 27 කින් සහ රාශිතරු පන්ති 12කින් සමන්විතව ඇත. සාපේක්ෂව නැකත් තරු නිශ්චලය . රාශි පන්ති වසරකට කලා 50ක පමණ වේගයකින් නැකත් පංතියෙන් දුරස් වේ. මේ සියල්ලට මැදිව ති⁣බෙන පෘථිවිය ට ආසන්නව පිහිටි ග්‍රහ වස්තූන් තම තමනට අනන්‍ය රටා අනුව භ්‍රමනය වන අතර සඳු ග්‍රහයා එක් එක් නැකත් ඡේ්දනය කරන ආකාරය අනුව ගොඩනැගෙන ශක්ති ස්වාභාවයන් මෙලොව වාසීන් ගේ චෛතසිකය සමඟ බද්ධවන බව ජෝතිෂ්‍යයේ පිළිගැනීමයි .

උදාහරණයක් ලෙස සඳු කේතුට හිමි අස්විද නැකතේ ගමන් කිරීමේ දී මෙලොව වාසීන් උදාසීන ගති ප්‍රකට කරනයි. ගුප්තමය වූ කේතුගෙන් උදව් ගන්නා සමහරුන් අලුත් කටයුතු, පර්යේෂණ කටයුතු පමණක් ⁣නොව රහස් කුමන්ත්‍රණ කටයුතු ආදිය දියත් කිරීමට යොදාගන්නේ ද එදවස්ම ය. සඳු ග්‍රහයා ජෝතිෂය විෂයේදී මනසට කාරක ලෙස අර්ථදක්වීම කොතරම් සහේතුකද යන්න මේවා අධ්‍යයනය තුළින් මනාව අවබෝධ කරගත හැකිය.එබැවින් පෙරැදුරන් විසින් නියම කරන ලද ශාස්ත්‍රීය නියමයන් තර්කයෙන් තොරව ප්‍රතික්ෂේප කිරීම ශාස්ත්‍රය දන්නා අය නොකළ යුත්තකි.

විවාහය පිළිබද අර්ථ නිරූපණ බොහෝමයකි. ප්‍රීති ප්‍රමෝදයෙන සහවාසයේ යෙදීම පමණක් විවාහය බවට මතයක් ඇත. එහෙත් එසේනම් ජෝතිෂ්‍ය විෂයේ මුහුර්ත සාදන හොරා කොටස තිරිසන් සතුන්ගේ ද කොටසක් විය යුතුය. චාරීත්‍රානුකූල විවාහ බන්ධනය හුදෙක් මනුෂ්‍ය වර්ගයාට පමනක් අදාළ සංස්කෘතික මය වටිනාකම් බොහෝමයක එකතුවකි. මෙහි ආරම්භය කිනම් කලක සිදුවූවා දැයි නොදන්නා නමුත් නොයෙක් ආකාරායන් සංශෝධනය වෙමින් වර්තමාන යදක්වා විකාශනය වී ඇත. ඒ සදහා ජෝතිෂ ශාස්ත්‍රයෙන් ලැබුණ පිටුබලය අතිමහත් ය.

විවාහ චාරිත්‍ර පිළිබදව වෙනමම කතාකළ යුතුව ඇත. මුහුර්ත හෙවත් විවාහ නැකත් සාදන පිළිවළට කිසි්සේත් නොගැළපෙන සංස්කෘතියක් වර්තමානයේ දක්නට ඇත. ඒ පසළොස්වක පොහෙය දිනය විවාහ චාරිත්‍ර සදහා නියම කිරීමයි. විවාහ නැකත් චාරිත්‍රයන්හි ප්‍රධාන අංගය පෝරුවේ චාරිත්‍ර සිදුකරන මොහොත ලෙස අර්ථ දැක්වූව ද ජෝතිෂ්‍ය නියමයන්ට අනුව එය ප්‍රථම සංවාසයේ යෙදෙන මොහොත ලෙස පැහැදිලිව දක්වා ඇත. ඒ සමඟම පුරාණාචාර්‍යවරු පෝරුවේ චාරීත්‍ර සදහා ද නැකත් විධි සම්මත කර ඇත්තේ පෙර කීලෙස සංස්කෘතික මය බැදීමද මනුෂ්‍යයා ගේ විවාහ දිවියේ අඛණ්ඩ පැවැත්මට අත්‍යවශ්‍යය බැවින් විය හැකිය.

පසළොස්වක පොහොය විවාහ නැකත් සදහා අසුබ බව සෘජුව පොත පතේ දක්වා නැතත් ස්ත්‍රී සේවනය පර්ව දිනයන්හිදී අසුබ බව " නැකත් සිතුරුවන" නම් ග්‍රන්ථයෙහි දක්වා ඇත. පර්ව දිනයන් යනු තුදුස්වක, අටවක, අමාවක, පසළොස්වක, සංක්‍රාන්ති යන දිනයන් 5 යි. නැකත් සම්බන්ධ ලියැවුණු සෑම ග්‍රන්ථයකම සඳු ග්‍රහයාගෙන් 7 වැන්නේ පාපීන් ගමන් කරන දිනයන් මුහුර්ත සඳහා නොගත යුතු යැයි දක්වා ඇත. සප්තම දෘෂ්ටිය අශුභය යන්න මූලික ජෝතිෂ්‍ය නියමයකි. පසළොස්වක පොහොය යනු සඳු රවි හෙවත් සූර්‍යා ගේ සිට අංශක 180ක් දුරින් ගමන් කිරීමයි. එනම් නිරායාසයෙන්ම රවි සඳු සප්තම වීමයි. මෙවිට රවි සඳු සප්තම රාශිවල ද තැන්පත්ය. ආත්ම නිවේදක රවි සහ සිත නිවේදක සඳු තම ස්ථානයන්ගෙන් දුරස්ම ස්ථානයේ පිහිටීම ආත්මය හා සිත වෙන්කිරීමට පහසු බැවින් ලෝකෝත්තර වශයෙන් සුබ නමුත් ලෞකික වශයෙන් ආත්මය, සිත එක්කිරීමට සුබ නැත. එවන් දිනවල අදාළ කාරකත්ව එක් කිරීම පහසු නැත. පුරාණාචාර්‍ය වරුන් ඉහත පර්වයන් ස්ත්‍රී සේවනයට නොහොබිනා බව දක්වා ඇත්තේ ද ඒ නිසා යැයි අනුමාන කළ හැකිය.

සංස්කෘතික මය හා ආගමික වශයෙන් ගත්තද විවාහ උත්සවයක් සිදුකිරීම යනු බණ භාවනාවේ යෙදීමක් නොවන්නේ ය. ප්‍රධාන ආධ්‍යාත්මික කාරණය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ද පසළොස්වක පොහොය වඩා වැඩියෙන් යොදාගැනීම ම ⁣එදින ලෞකික කටයුතු සදහා ඇති අයෝග්‍ය තාව පෙන්වීමට හොඳම උදාහරණයකි. කකා බිබී ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කිරීමට සුදුසු අනිකුත් දිනයන් කොතෙකුත් පවතිද්දී අඩුම තරමින් ආගමික අංශයට දක්වන ලැදියාව පෙන්වීමට වත් පසළොස්වක පොහොය විවාහ ආදී කටයුතු සදහා නොයොදා ගන්නේ නම් යහපත් ය. නැකත් චාරිත්‍ර පිළිපදින බහුතරය බෞද්ධයන් ම වන පසුබිමක්දී ඔවුන් අතින්ම මේ වරද සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

අෂ්ට ශීලයම සුරැකිය යුතු දිනයක විවාහ උත්සව සඳහා පැමිණෙන අය අතින් අඩුම කරමින් එයින් සිල්පද 4ක් වත් බි‍ඳෙනවා ඇත. මුසාවාදය, සුරාමේරය, සම්ඵප්‍රලාප දෙඩවීම, උස් ආසන මත උජාරුවට සිටීම, සුවඳවත්ව, මාලා පැලද, නච්ච, ගීත, වාදිත, විසූක දස්සනයේ යෙදෙමින් තම ඥාතී හිතමිත්‍රාදීන් ලෞකිකත්වය වෙත බලෙන් ඇද දැමීමක් මෙදින විවාහක යුවළ විසින් සිදුකරයි. එබැවින් තම ඥාතී හිතමිත්‍රාදීන් ගේ ආශීර්වාදය වාචිකව මිස මානසිකව නම් මෙදින විවාහ බන්ධනයේ යෙ⁣දෙන මෙදින පතීන්ට ලැබෙන්නට ඉඩක් නැත. ස්වභාවධර්මයෙන් එය කිසිසේත් ලැබෙන්නේ නැත. ⁣මෙවන් දිනයන් වලදී මුහුර්ත ලබාදීමෙන් ජෝතීර්වේදීයාත් නැකත් ඉල්ලීමෙන් දම්පති යුවළත් සිදුකරගන්නේ මහත් දෝශයක් ම ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.