මළ­ ය­කුන් බැඳ නොමළ යකුන් මෙල්ල කළ කල්දේරා කපු­ම­හතා | සිළුමිණ

මළ­ ය­කුන් බැඳ නොමළ යකුන් මෙල්ල කළ කල්දේරා කපු­ම­හතා

ගල්කිස්සේ විසූ ජේමිස් කල්දේරා කපු මහතා මලයක්කු මෙල්ල කළේ නොමළ යක්කුන් ගේ සතුරුකම් ඉවසා දරාගෙනය. ඒ මහත ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධ තම පරපුරෙහි උරුමය හිස මත දරාගන එය ඉතා කැමැත්තෙන් ආරක්ෂා කල දක්ෂ ඇදුරුතුමෙකි. මන්ත්‍ර සිද්ධි සම්බන්ධ ජානමය වශයෙන් රුධිර හරහා ඇති සබැඳියාවට අමතරව තම පියා පරිශීලනය කළ ‍පොත්පත් ආදිය කියවීමෙන්, හැදෑරීමෙන් ලද දැනුම ඔහු සතු ආයුධයක් බදු විය. එම අයුධ පරිහරණය කල යුතු පිළිවෙළක්, ක්‍රමයක්, ආකාරයක්, ශික්ෂණයක් පිළිබඳ ජෝන් කල්දේරා වන සිය පියා නිතර ගුරුහරුකම් ලබා දුන්නත් ගැටවර වියේ දී ඒවා තඹේකට මායිම් නොකළ අවස්ථා ද විය. යුද්ධයට නොගැළපෙන ස්ථානවල දී මන්ත්‍ර නම් ආයුධ පරිහරණය කිරීමට ගොස් තරුණ ජේමිස් තම පියාගෙන් දඬුවම් ලැබූ අවස්ථා බොහොමය. මේ දිගහැරෙන්නේ එවැනි එක් කතන්දරයකි.

ජේමිස් ගේ පියා විසින් සිය නිවසේ බටහිර දිශාවට වන්නට ගව මඬුවක් පවත්වාගෙන ගියේය. බිසෝ මැණිකාගේ නිරන්තර කන් කරච්චලය මධ්‍යයේ පවත්වාගෙන ගියත් ඒ ගව මඩුව එම නිවසේ අන් අයට නම් වදයක් නොවීය. ගමේ එක එකාලගෙ ලොකු ලොකු වැඩ බිසෝ මැණිකාට නොදිරවයි. "ගමේ උන් ඉන්න විදිහට නොයිද බැරි දේවල් කරන්න මොකට දඟලනවද මන්ද " මේ බිසෝ මැණිකා නිතර මෙනෙහි කරන මැදුම් පිළවෙතයි. ජෝන් කල්දේරා ගේ ගව මඩුව දකින විට බිසෝ මැණිකාගේ ලේ කකියන්නේ එය ජෝන් කල්දේරා පවුලට හිමි තුන්වෙනි ආදායම් මාර්ගය නිසයි. රජයේ රැකියාවක නිරත ජෝන් කල්දේරා සවස් කාලයට දේවාලයේ සෙත් ශාන්ති සිදුකරයි. ගවයින් කිහිප දෙනකු සිටින ගව මඩුව තුන්වන ආදායම් මාර්ගය වන්නේ එබැවිනි.

එදින සඳුදා දිනයකි. සුපුරුදු පරිදි උදෑසනින් ⁣සිය රාජකාරිය වෙත වාර්තාකිරීම ට ජෝන් කල්දේරා නිවසෙන් පිටත් විය. කිරිවේල සදහා මව සමඟ හුරතලයේ යෙදෙන වසු පැටවුන් ගේ නොමේරූ උම්බෑ හඬ සහ ප්‍රේමනීය රංගනයේ යෙදෙන කුකුළු, කිකිළියන් ගේ කරච්චල් කෑ මොරදීම හැරුණු කොට ගමපුරා රජයනනේ දැඩි නිහැඬියාවකි. අවාරයේ අතරමන් වූ ⁣කොවුලෙක්, කොට්ටොරුවෙක් ඉඳහිට තම හඩ අවදිකළ මුත් නිහැඬියාව දැනෙන ලෙස බිදීමට ඒ හඬ අපොහෙසත් ය. දහ අට වයස් පමණ වන ජේමිස් කල්දේරා සුපුරුදු පරිදි පාන්දරින් අවදිව තම දෙමාපියන් පැවරූ දෛනික කාරිය කිරීමට සැරසෙයි. ගව මඩුවේ වැඩකටයුතු පාලනය හා පියාට පාරම්පරිකව උරුමව පැවති දේවාල භූමිය අස්පස් කර බුද්ධ පූජා, දේව පූජා තැබීමට සූදානම් කිරීම ඔහුගේ දිනපතා අනිවාර්ය රාජකාරිය යි.

එදින වටපිට පරිසරය දෙස තරමක් ඕනෑකමින් කන් යොමාගෙන සිටි ජේමිස්ට අනිකුත් හඬ පරයා ඇසෙන්නේ සියුම් ස්ත්‍රී හඬක් කනවැකෙන්නට විය. හඬ ඇසෙන්නේ ගව මඬුව දෙසිනි. අපැහැදිලි ප්‍රහාරාත්මක සේයක් ඒ තුළ මුසු ව පැවැති බැවින් තරමක් විමසිලිමත් වූ ⁣ජේමිස් හඬ ඇසෙන දෙසට පියනඟන්නට විය. "බිසෝ මැණිකා වරෙන් ගෙට" ඒ සිංඤ්ඤො මාමා කෑගසයි. මම අද මුන්ට හොදට දෙකක් කියලයි නවතින්නෙ. බිසෝමැණිකා ඊට ඉහළින් කෑ මොරදෙයි. අග මුල අපැහැදිලි ජේමිස් වේගයෙන් ගවමඬුව දෙසට ළං වූ වේ හඬ එන්න එන්නම තීව්‍ර වූ බැවිනි.

" ආ මේ එන්නෙ පොඩිඑකා, කෝ උඹලගෙ මහ එවුන්, එන්න කියපන් මම කියලදෙන්න බිසෝමැණික්ගේ තරම" බිසෝ මැණිකා උච්චස්වරය ජේමිස් ගේ හිසට පොල්ලෙන් ගැසූවක් වැනි විය. "ඇයි නැන්දෙ " ජේමිස් බිරාන්ත වූ හැඟීමෙන් බිසෝ මැණිකාගෙන් විමසයි. "නැන්දෙ.. නැන්දෙ තමයි.. උඹලගේ හරක් උඹල හදාගන්නව ද, මම හදන්න ද? මේ බලපන් ⁣උඹලගේ හරක් මේ කෙසෙල් ගස් වලට කරල තියන විනාශ. කෙහෙල් ගහ එහෙම්පිටින් ඉවරයි. උඹලගෙ රතු ගොන් නාම්බ කඹේ කඩාගෙන ඇවිත් මේ ඔක්කොම වනසනකම් උඹල දන්නෙ නෑ.'' හාමිනේගේකෑගැහිල්ලට ජේමිස්ගේ කන විතරක් නොව ගමම දෙදරයි.

ආරෝවට හේතුව ඉවෙන් වටහාගත් ජේමිස් හීන්සීරුවේ මඩුව දෙස නෙත් යොමුකර රත්තා කොහෙදැයි විමසිලිමත් විය. රත්තා කිසිවක් නොදන්න ගානට මඩුවේ පිටුපසට ගොදුරු හපමින් සිටී. කරේ කඹයනම් ඇත. එහෙත් කඹය ගැටගැසූ ඉන්න එතැන නැත. ඉඩමේ මායිම් වැටද තරමක් පහත් වී ඒ ආසන්නයේ ඇති කෙසෙල් පඳුර ද අවුල් වී ඇත. ජේමිස් ට දැන් කාරනාව ඉතා පැහැදිලි ය. ගැටගැසූ ඉන්න ද ගලවාගත් රත්තා බිසෝමැණිකා ගේ වත්තට පැන කෙසෙල්කොළ රසබැලීම සදහා කෙසෙල් පඳුර විනාසකර ඇත. වරද පිළිගෙන ලිස්සා යනවා මිස ආරවුල් ඇතිකරගෙන පලක් නැති බව තේරුම්ගත් තරුණ ජේමිස් " නැන්දෙ සමාවෙන්න මේ රත්ත ඉන්න ගලෝගෙන වෙන්න ඇති, අයිත් එවැන්නක් වෙන්න දෙන්නෙ නෑ" කියම්න් බිසෝ නැන්දා ඉදිරිපිට සමාව අයැදින්නට විය.

ගමේ නමක් ඇති ජෝන් උන්දෑ සමග කලකසිට කැකෑරෙන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය පිටකර ගැනීමට අවස්ථාවක් සොයමින් සිටි බිසෝමැණිකාට මෙය හොද අවස්ථාවකි. එබැවින් ජෝන්ලාට, ජේමිස්ලා ට ලිස්සායාමට දශමයකුදු ඉඩක් නොතැබිය යුතුයැයි ඇය තමන්ටම මුමුණාගන්නීය. ජේමිස් ගේ බයාදු ස්වරය බිසෝමැණිකා තව තවත් ප්‍රමෝදමත් කරන්නට වූ අතර ඒ පිම්මට ඇයගේ ස්වරය තවත් උච්ච විය. ආවේශයෙන් මෙන් වෙව්ලන්නට වූ බිසා් මැණිකා ⁣ඉතා ගොරහැඩි වචන ද භාවිත කරමින් තම මවුපියන් ට දෝෂාරෝපණය කරන්නට වීම තරුණ ජේමිස්ට රිස්සුවේ නැත. ජෙමිස් ගේ ඉවසීමේ සීමාව දැන් උපරිම වී ඇත. වැඩිහිටියන් සමග කෙලින් හැප්පෙන්නට යාම තමාගේ සහ තම පියාගේ ප්‍රතිරූපයට හොඳ නැති බව අවබෝධ කරගත් ජේමිස් "දෙන්නම් වැඩක් " යැයි දත් විලිස්සමින් තමන්ටම කියාගත්තේ බිසෝමැණිකා ගේ නොනවතින වාග් ප්‍රහාර නොනවතින රැල්ලක් බදු වූ බැවිනි.

තව නොබෝ වෙලාවකින් තම බිරින්දෑ ට කොලුගැටයාගෙන් පොලු පහරක් වදින බව ඉවෙන් අවබෝධ කර ගත් සිංඤො මාමා දුවගෙන විත් බිසෝමැණිකාව ගේ ඇතුළට ඇදගෙන යන්නට විය. බිසෝමැණිකා උදෑසනින්ම විධාරණය වූ ගිනි කන්දක් බඳු විය. ගෝසාව නතර වූ එහෙත් ප්‍රශ්නය තවම පවතී. පරල වූ ඇය නිහඬ වූ එහෙත් ඒ පිටකළ ගොරහැඬි වචන තවම ජේමිස් ගේ සිතේ දෝකාර දෙයි. රටේ ගමේ නමක් තැනක් ඇති ඉතා ගුණයහපත් කමෙන් යුතු තම පියාට කල අසහාසය ජේමිස්ට දරාගත නොහැක. වලියට වලිය බැරි වූ නමුත් පලියට පලිය ගතයුතු යැයි අවසානයේ ජේමිස් අධිෂ්ඨාන කරගත්තේ ඒ සදහා හොද ආයුධයක් ද තමන් සතු බව දන්නා බැවිනි.

ආයාසයෙන් කේන්තිය පාලනය කරගත් ජේමිස් දෛනික වැඩ පැත්තක තබා බිසෝමැණිකා ගේ නිවස ආසන්නයේ ඇති පොල් ගස් දෙස නෙත් යොමුන්නට විය. අත මායිමේ ඇති පොල් අත්තකින් බටහිර දිශාවට වන්නට ඇති පොල් කොළයක් කඩාගත් ඔහු එය රැඟෙන නාන තොටුපළ වෙත පියනඟන්නට වූයේ මෑතකදී පාඩම් කරගත් මන්ත්‍ර කිහිපයක් ද මෙනෙහි කරමිනි.. උදෑසන තොටුපළ පාළු ස්වාභාවයක් ඇත. එය නිකම්ම තොටුපළක් නොව රොඩී ජනයා නාන තොටුපළකි. එහි ඇළ ආසන්නයේ ම පිහිටි රෙදි අපුල්ලන ගල ළඟ වාඩිගත් ජේමිස් ඉන අතගා අතට ගත් බුලත් විටේ බුලත් කොළ 3 ක් මත මග එනවිට කැලයෙන් කඩාගත් පාට 5 ක මල් ටික තැබීය.

පන්හිඳ, මුවහත් කුඩා පිහිය, තඹකෑලි, මන්ත්‍ර සිද්ධිය උදෙසා අවශ්‍ය බෙහෙත් තෙල් වර්ග ආදිය සහිත මල්ලක් ඉනේ ගසාගෙන යාම ජේමිස්ලාට පරපුරෙන්ම උරුම වූ පුරුද්දකි. එම මල්ලෙහි ඇති පිහිය එළියට ගත් ජේමිස් එමගින් පොල් කොළයෙන් අමුතු රටාවක් කපන්නට විය. ඉන්පසු පන්හිඳ ගෙන "බිසෝමැණිකා" නම් වූ නාමය පොල් කොළයේ පැහැදිලි අකුරෙන් හීන්සීරුවේ ලියා තැබූහ. එක අකුරක් හෝ ඉරක්වත් එහේ මෙහේ ගියහොත් කාර්‍ය නිෂ්ඵල වේ. ගුරුකම් වැඩ වලදී චේතනාව වෛරී පලිගැනීමක් වුවත් එක සිතකින් ඉවසීමෙන් නොකළොත් අවාසිය වන්නේ ඇඳුරාටම වන බව ජේමිස් හොදින් දනී.

සියල්ල සම්පූර්ණ වූ තැන දැන් ඇත්තේ ‘මහසොහොන් බන්ධයෙන්’ මතුරා පොල්කොළය දිෂ්ටි කිරීමයි. ඒ සඳහා අවශ්‍ය මන්ත්‍ර සියල්ල ජේමිස්ට කට පාඩම් නමුත් මින් පෙර මෙවැන්නක් කර නොතිබූ බැවින් හරියාවිද යන කකුස ඔහුට නොදැනුනා නොවේ. නිවැරැදි පිළිවෙලට ජීවම ආරම්භ කළ ජේමිස් නොනවත්වා මන්ත්‍ර ජපකරන්නට විය. ගතවූවේ නිමේෂයකි. පොතේ කියා ඇති පරිදිම කළු බල්ලෙක් සෙමින් සෙමින් ඈතින් ⁣එනවා පෙනේ. අඩ හෝරාවක් පමණ ගතවී බලන විට කළු බල්ලා ජේමිස් ආසන්නයටම පැමිණ ඇත. පියාගේ මන්ත්‍ර පොත් කෙරේ පරම විශ්වසය තබාගත් ජේමිස් ජපය නොනවත්වා කරගෙන යයි.

ඈතින් පැමිණි සුනඛයා දැන් මල් සහිත අපුල්ලන ගල වටා ගමන් කරන්නේ නැති වූ මස්කටුවක් සොයන විලාසයෙනි. එහෙත් සතාගෙන් ජේමිස්ට හානියක් නැත. වට කිහිපයක් පැදකුණු කර හති වැටන ලීලාවෙන් දිව එළියට ගත් බල්ලා ක්‍රමක්‍රමයෙන් අඩපනවන බව ජේමිස්ට ⁣පෙනෙයි. මේ සිද්ධි සියල්ල මන්ත්‍ර පොතේ පිළිවෙලට සටහන්ව ඇත. මන්ත්‍ර ජපය සාර්ථක නම් කළු සුනඛයකු එන බැව් පොතේ ඇත. එබැවින් තමා ඉදිපිට හතිවැටී දඟළන්නෙ පිස්සු බල්ක්ලෙක් නොව දිෂ්ටියක් බව ජේමිස් දනී.

දැන් ජපය අවසන් කිරීමට අවශ්‍ය පදම පැමිණ ඇති බව අව⁣බෝධ කරගත් ජේමිස් කළු බල්ලා ගලමත වැටෙන තුරු ජපය කරගෙන ගියේ එය මන්ත්‍ර නියමය වූ බැවින්ය.. බල්ලා ගලමතම ඇද වැටුණි. දැං මන්ත්‍ර ජපය අහවර කිරීමට සංඥා පැමිණ ඇත. එසැණින් මතුරන ලද පොල් කොළය අතට ගත් ජේමිස් ඒ සමගම සිදු වූ බල්ලාගේ අතුරදහන් වීම පුදුමයක් ලෙස නොදුටුවා ය. දිෂ්ටි කළ පොල් කොලය අතටගත් ජේමිස් දිවයන්නේ බිසෝමැණිකා ගේ නිවස දෙසටය. දෙන්නම් වැඩක් යැයි සිතමින් හීන් සීරුවේ නිවෙසට ළඟා වූ ඔහු බිසෝමැණිකා ගේ පයට පෑගෙන තැනක් බලා පොල් කොළය බිම හෙළා කිසිවක් නොදන්න ගානට නැවැත ගව මඩුව දෙසට පියනැගූහ.

හෝරා කිහිපයක් ගත විය. ගමම දෙවනත්කරමින් හූ හඬක් ඇසේ. එය ඉතා අසාමාන්‍ය හඬක් බැවින් ගමේ සියල්ලෝ ඒ දෙසට දිවය යි. ජේමිස් පොල් ගසකට නැඟ සිදුවන සියල්ල බලා සිටී.

එකවර හූ හඬ දී නිවසෙන් එළියට දිව ආ බිසෝමැණිකා නිර්වස්ත්‍රව වත්ත පහළ නාන ළිඳ වෙත දිව යන අතර කෙටිදුර ධාවන තරග ලීලාවෙන් හැඩි දැඩි පිරිමින් ඇය පසුපසින් දුව යි. මද වේලාවකින් ළිඳට කුමක් හෝ වැටුණු හඬ ඇසෙන්නට වූ බැවින් ජේමිස් තරමක් කලබල විය. ඉක්මනින් ගසෙන් බැසගත් ඔහු ළිඳ දෙසට දිව ගියේ සිදු වූ දෙය දැකබලා ගැනීමේ අරමුණෙනි. 'බිසෝ මැණිකට යකෙක් වැහිල අන්න දුවල ගිහින් ළිඳට පැන්න, හැකර කටෙන් ගමම හොල්ලගෙන නෙ හිටියෙ, අන්තිමට වස්තරෙත් නැතුව ගමපුරා දුවන්න වුණානෙ; හානේ වෙච්චි දෙයක්, යන අතරමඟ මෙවැනි ඔලොක්කු බස් තැනින් තැන ඇසේ. අස්සය නම් වැඩකරල ඒත් තත්ත්වෙ ටිකක් බරපතළයි වගේ, දැන් මොකද කරන්නෙ ජේමිස් තමන්ටම කියාගනී.

ළිඳෙන් ගොඩගත් බිසෝමැණිකා පුරුෂයන් හය හත්දෙනෙක් විසින් වත්තම්කරගෙන එනු දුටු ජෙමිස් ඒ වෙත ළංවී බැලුවේය. ගුරුකමේ තරම ඔහුට හොඳින් වැටහී ගියේ එවිටය. ඇය ගේ ඇස් රතු වී ඇත. ඇස් කරකවමින් හූ කියයි. වෙරන් දඟලයි, උමතුවෙන් දොඩවයි. මහසොහොන් දිෂ්ටිය වැදී ඇති අය සිය දේවාලය වෙත රැඟෙන එනවිට හැසිරෙන්නේ ද මේ ලෙසය. ගුරුකම නම් ටක්කෙටම හරි ගිහින් ඇත. ඒත් දැන් පියා නොමැතිව මේක අයින් කරන්නෙ කොහොම ද? මහසොහොන් දිෂ්ටියක් ඇති විට දෙහි, පුහුල් සහ හොඬල අල කැපීම අනිවාර්යෙන්ම කල යුතුය. ඒ මන්ත්‍ර පිළිවල දන්නේ පියා පමනක්ය. මෙය මම කරපුදෙයක් බව දැනගත්තොත් තාත්තා මාව ගෙදරිනුත් එළවයි..අනුන්ට ඇට වූ තොණ්ඩුව තමන්ගේ ගෙලටම වැටීඇති බව තේරුම්ගත් ජේමිස් කිසිවක් නොදන්න ගානට වෙන දේ බලා සිටීමට තීරණය කලේ වෙන විකල්පයක් නොමැති වූ බැවිනි.

'කොලුවො කෝ උඹලගේ තාත්ත ' සිංඤො මාම අසරණ ලීලාවෙන් ජේමිස්ගෙන් විමසයි. තාම ගෙදර ආවෙ නෑ මමෙ ජේමිස් පිළිතුරු දෙයි. බලහන්කො වෙච්ච දේ. මේ ගෑනි ඔහොමදෙයක් කරගනී කියල මම හිතුව. බොධිසත්ත්වයෙක් වගේ ඉන්න උඹලගෙ තාත්තටත් බැන්නනෙ මේකිගෙ කටෙන්, ඒවෑ දඬුවම තමයි ඔය විඳින්නෙ, තාත්ත ආවගමන් මේ පැත්තෙ එන්න කියපන්, උදේ කියපුව ගනන්ගන්න එ⁣පා ජේමිස් කියමින් සිංඤ්ඤො මාමා බිසෝමැණිකා වෙතම දොස් නගන්නට වීම ජේමිස්ට මහත් අස්වැසිල්ලක් විය. හනික නිවස වෙත පියනැඟූ ජේමිස් පියා ගේ පැමිණීම අපේක්ෂාවෙන් මග දෙස බලාසිටියා ය.

රාජකාරී අහවර වී පියා කඩිමුඩියේ නිවස වෙත පැමිනෙනු ජේමිස්ට පෙනෙයි. ‘ඇසිලින් මට තේ කහට එකක් වක්කරපන්, අර බිසෝ ගෙ ඇගට දිෂ්ටියක් ඇවිත් ලු, මට මගදි ආරංචි වුණේ, කොලුවො අර දෙහි, පුහුල් ටිකයි ඇප නූලයි ලෑස්ති කරපන් ‘ කියාගෙන ජෝන් ගුරුන්නාන්සෙ නිවස තුළට පය තැබුවේ ජේමිස් වෙතද රාජකාරියක් පවරමින් ය. කරෝලකූරිය ගිලදමා කිසිත් නොදන්න තාලෙට ඤාව් ගාමින් කකුලේ දැවටෙන පූස්තඩියා මෙන් ජේමිස් ද පියා ළඟම දැවටෙයි. පියා හැරෙන්නටත් පෙර අඩුපාඩු සකසා දෙයි. කහට කොප්පය උගුරට දෙකට ගිල දැමූ ජෝන් ගුරුන්නාන්සෙ හනිහනික බිසෝමැණිකා ගේ නිවස දෙසට දිවයන්නට වූ වේ ජේමිස්ට නිවසේම නවතින ලෙස අනකරමින්ය.

බිම දිගාවී දඟලමින් සිටි බිසෝමැණිකාගේ හිසකෙස් වැටියෙන් කරකවා අල්ලාගත් ජෝන් ගුරුන්නාන්සෙ 'කවුද මේ ප්‍රාණකාරයගේ ඇගේ ඉන්න එකා යැයි මහ හඬින් විමසන්නට විය. මහසොහොන බොල බිසෝ පිළිතුරු දෙයි. මොකටද උඹ මේ ඇඟට ආවෙ ‘ගුරුන්නාන්සේ විමසයි. මහ හඩින් සිනාසුණු දිෂ්ටිය උඹේ පුතානෙ බොල මට එන්න කිව්වේ ‘කියමින් පිළිතුරු දුන්නාය. දිෂ්ටියේ ස්වාභාවය අනුව සිදුව ඇති සන්තෑසිය තේරුම්ගත් ⁣ජෝන ගුරුන්නාන්සේ ප්‍රශ්නකිරීම නවතා ප්‍රතිකර්මය වෙත යොමු වූ වේ තව කතාකිරීම උඩබලා කෙළගසාගැනීමක් බව හැඟුණු බැවිනි.

අපැහැදිලි ස්වරයෙක් යෙදුනු මේ සංවාදය ගමේ අන්යන්ට නොවැටහීම ජෝන් ගුරුන්නාන්සෙ ලත් භාග්‍යකි . නැත්නම් ගමෙත් වසල හමාර බව ඔහු දනී. දෙහි කපා ‘මහසොන් අලගුවෙන් ‘ පුහුල් කපා වැඩි හොදට හොඬල අලයක්ද කපා දිෂ්ඨිය ඉවත්කර කිරීමත් සමග ගිරිය කඩාගෙන කෑ මොර දී දිෂ්ටිය පිටව ගියේ හෙනකදයා වගේ සිටි බිසෝවද බිමට පතිත කරමින් ය. පිරිත් කියා ඇප නූල දමා බිසෝමැණිකා නැගිටුවාගත් ජෝන් ගුරුන්නාන්සේ ඒ කාරිය නිමකර එදින උදෑසන සිදුවීම සිංඤ්ඤො උන්දෑගෙන් වහෙන්ඔරෝ විමසන්නට විය.

අග මුල දැනගත් පසු මෙවර පරල වූවේ අන් කවුරුත් නොව ජෝන් ගුරුන්නනේසේ ය. බිසෝමැණිකා ගේ කාරිය නිමකර කඩාගෙන පැමිණි ගුරුන්නාන්සේ කෝ මේ ජේමිස්, මෙහෙට වරෙන්, තෝ මට මේ ගමෙත් ඉන්න නැතිකරල තමයි පස්ස බලන්ටනෙ යැයි ගෝරනාඩු දෙමින් ගෙට ගොඩවන්නට විය. මේ ගුරුකම් සාත්තරේ ⁣තොට දුන්නොත් ගමම වනසයි කියමින් කාඹරය වෙත වේගයෙන් ගිය ගුරුන්නාන්සෙ එහි ඇති නරක පැත්තට අදාල මන්තර පොත් සියල්ල අතැතිව කුස්සිය පැත්තට ඇවිදයන්නට වූ වේ මහත් කෝපයෙනි.

පියා කුමක්කරන්න යනවාදැයි නොදත් ජේමිස් ඔහු පිටුපසින් ගමන්කළේ වරදට සමාව ඉල්ලීමේ අදහසින්ය. පොත් සියල්ල මිදුලට වීසිකළ ජෝන් ගුරුන්නාන්සෙ ලාම්පුතෙල් වක්කර පාරම්පරිකව තමන්ට උරුම වූ එම පොත් ගිනිතැබූ වේ සතුටු සිතින් නම් නොවේ.

අනගුණ නොදත්තවුන් මේ ශාස්ත්‍රවලින් රටට ලෝකයට අයහපතක් කරාවිය යන ඉඟිය මේ සිදුවීමත් සමඟ ජොන් ගුරුන්නාන්සේ හොඳින් ම තහවුරු වී ගියේ ය. ⁣එහෙත් සමාජ යහපත උදෙසා යහපත්ව යොදාගත හැකි පොත්පත් සියල්ල මතු පරපුර උදෙසා ආරක්ෂා කිරීමට ගුරුන්නාන්සෙ කාරුණික වූ අතර මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලාසිටි ජේමිස් එකවර තම හඬ අවදිකරමින් තාත්තෙ පොත් ගිනි තැබුවා ට හිත් ගිනි තියන්න බෑ නේද කියමින් ය. තාත්තේ ඕය පොත්වල මන්තර ඔක්කොම මට කටපාඩම්. මම තාත්තට පොරොන්දු වෙනව ඒව කටපාඩමේ විතරක් තියාගන්න, මාත්එක්කම ඒ නරකපැත්ත වැලලේවි. යැයි ජෝන් ගුරුන්නාන්සෙ ඉදිරියේ ප්‍රතිඥා දුන්නේ අනාගතය දකින ජෝන් ගුරුන්නාන්සේ හේතුරහිතව යමක් නොකරන බව ජේමිස් හොදින්ම දන්නා බැවිනි. එතෙක් මෙතෙක් කිසිම අවැඩක් උදෙසා ගුප්තශාස්ත්‍රය නොයොදා ගත් ජේමිස් කල්දේරා පසුකලෙක කල්දේරා කපුමහතා නමින් ගල්කිස්ස ප්‍රදේශවාසීන්ටත්, රටටත් මහත් සේවාවක් සිදුකළේ වෙදුන්ටත් වෙද හෙදකම් කරමින් ය.

(සත්‍ය කතාවකි)

Comments