ලොව බල­වත්ම මිස­යි­ලය උතුරු කොරි­යා­වෙන් | Page 2 | සිළුමිණ

ලොව බල­වත්ම මිස­යි­ලය උතුරු කොරි­යා­වෙන්

ලොව දැනට පවතින බලවත්ම මිසයිලය උතුරු කොරියාව නිපදවා ඇති බව පසුගියදා තහවුරු විය. එ් තම නවතම බැලස්ටික් මිසයිලයේ අත්හදා බැලීම් අවසන් කිරීමෙන් පසු උතුරු කොරියාව සිදු කළ ප්‍රකාශයත් සමඟිනි. එයින් පසුව අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජේම්ස් මැටිස්ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

මේ නවතම බැලස්ටික් මිසයිලය කොතරම් ප්‍රබලද යත් එයින් ලෝකයේ ඕනෑම තැනකට ප්‍රහාර එල්ල කළ හැකිය. මේ අවිය උතුරු කොරියාව හඳුන්වා ඇත්තේ 'සුපිරි, අති ප්‍රබල, විශාල' යුද අවිය යනුවෙනි. මේ අවියෙන් ඉතාම පහසුවෙන් අමෙරිකාවේ සියලුම ප්‍රධාන නගර ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළ හැකිය. දැනට ලොව නිෂ්පාදනය වී ඇති සියලුම ගිනි අවිවලට වඩා මේ අවිය ප්‍රබල බව අතින් ඉදිරියෙන් සිටින අතර එහි විනාශකාරී බවද එතරම්ම වැඩිය.

‍උතුරු කොරියාව එය නම් කර ඇත්තේ Hwasong - 15 යනුවෙනි. මේ අවියට අහසේ විනාඩි 53ක කාලයක් රැඳී සිටිමින් දෙන ලද දත්ත ඔස්සේ ප්‍රහාරක ඉලක්කය සොයා ගමන් කළ හැකිය. එමෙන්ම මේ මිසයිලයට කිලෝමීටර් 4500ක දුරක් ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවද තිබේ. මෙමගින් එල්ල කරන එක ප්‍රහාරයකින් එක වරකදී සම්පූර්ණයෙන් විනාශ කර දැමිය හැකි භූමි ප්‍රදේශය කිලෝමීටර් 210කි.

මේ අති බිහිසුණු ගිනි අවිය සම්බන්ධයෙන් නිවේදන තහවුරු වීමත් සමඟම එහි ඍජු බලපෑම් නිරායාසයෙන්ම ජපානය වෙත එල්ල වී තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවිය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් 'ඉක්මනින්ම තත්ත්වය පාලනය කරන බව' පවසා සිටියේය.


 

මෝදි මහ මැතිවරණය ඉක්මන් කරයිද?

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීළඟ ඉන්දීය මහ මැතිවරණය, පැවැත්විය යුතු සාමාන්‍ය කාලසීමාවට වඩා ඉක්මනින් පැවැත්වීමේ අදහසකින් පසුවන බවට වාර්තා ලැබී තිබේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 වසරේ මැද භාගයේදීය. එසේ වුවද ලබන වසරේ එනම් 2018 වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී මහ මැතිවරණය පැවැත්වීමේ අදහසක් අගමැති මෝදිගේ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට ඇති තිබෙන බවට වාර්තා ලැබී තිබේ.

මේ දිනවල ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක මැතිවරණ පැවැත්වීමේ සූදානමක් පවතින අතර දෙසැම්බර් මාසයේදී එම මැතිවරණ පවත්වා අවසන් කළ යුතුය. මේ ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල අගමැති මෝදි ගේ ජනප්‍රියත්වය මැන බැලීමේ නිදර්ශකයක් ලෙස භාවිත කිරීමේ අදහසක් භාරතීය ජනතා පක්ෂයේ නායක අමිත් ෂා විසින් ක්‍රියාත්මක කරමින් තිබේ. විශේෂයෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය මෙහිදී සුවිශේෂ සාධකයක් ලෙස සැලකීමට නියමිතය. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ ඉතාම තීරණාත්මක ප්‍රාන්තයක් වන අතර එහි ජනතාව ඡන්දය භාවිත කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිඵලය ඉන්දියාවේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලයේ පැතිකඩක් ලෙස සැලකීම විචාරකයන් කලක සිට සිදු කරන දෙයකි. ඒ අනුව මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය දිනා ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාව ලැබෙන්නේ නම් එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළා සේ සැලකීමට පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව එසේ ජයග්‍රහණය කරන්නේ නම් ලබන වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී මහ මැතිවරණය පැවැත්වීමට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීහු අවධානය යොමු කර තිබේ.

කෙසේ වුවද මේ වන විටත් භාරතීය ජනතා පක්ෂය කිසියම් දේශපාලන උණුසුමකින් ක්‍රියාත්මක වී සිටින බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර එ් සඳහා හොඳම උදාහරණය වන්නේ එම පක්ෂය විසින් ක්‍රියාත්මක කරමින් පවතින 'භාරත යාත්‍රා' නමින් හැඳින්වෙන ප්‍රචාරක වැඩ පිළිවෙළයි. මේ ප්‍රචාරක වැඩසටහන් මාලාවේදී පක්ෂ සාමාජිකයන් 2400 රට පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය කෙරෙන පරිදි සංසරණය කරමින් ජනතාව දැනුම්වත් කිරීමට යොදවා තිබේ. ඒ සඳහා තවත් සාමාජිකයන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවකගේ දායකත්වයද ලබාගෙන ඇති බව සඳහන්ය.

කෙසේ වුවද අගමැති මෝදි මෙලෙස මැතිවරණය ඉක්මන් කළ හොත් එය මැතිවරණය සාමාන්‍ය කාල වකවානුවට වඩා මාස හයකින් පමණ ඉදිරියට ගෙන ඒමක් වනු ඇති අතර එයට ජනතාව කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න වැඩි කල් නොගොස්ම දැන ගත හැකි වනු ඇත.

 

Comments