ශුද්ධෝ­ත්තම ෆ්‍රැන්සිස් පාප් වහ­න්සේගේ මියන්මාර් චාරි­කාව | සිළුමිණ

ශුද්ධෝ­ත්තම ෆ්‍රැන්සිස් පාප් වහ­න්සේගේ මියන්මාර් චාරි­කාව

අසාධාරණයට පීඩාවට හිංසනයට හා අවතක්සේරුවට ලක්වුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට ඇත්තේ චිර ප්‍රසිද්ධියකි. උන් වහන්සේ හැඳින්වෙන්නේ දිළින්දන්ගේ පාප් වහන්සේ යන විරුදාවලියෙනි. උන්වහන්සේ නිර්භයව අදහස් දක්වති. එම අදහස් ක්‍රියාවෙන් ඔප්පු කරති. එහෙත් ඒ කිසිදු ක්‍රියාවලියකදී උන්වහන්සේ තම අපොස්තලික භූමිකාවෙන් බැහැර නොවෙති. “ සිවිල් හා ආගමික නායකයන්ගේ පරම වගකීම විය යුත්තේ ජන සමාජයේ සෑම හඬකටම ඇසීමට ඉඩදීමයි, ඔවුන්ගේ අභියෝග හා අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරිමයි“ –

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

 

සංහිඳියාව යනු බලහත්කාරයෙන් කුමන හෝ ජනකොටසක් මත පැටවිය හැක්කක් නොවේ. එය සියලු ජනකොටස්වල අභ්‍යන්තරයෙන්ම ඉස්මතුවී ආ යුතු පරම අවශ්‍යතාවක් විය යුත්තේය. එසේ නොමැතිව කිසියම් බාහිර පාර්ශවයක් මැදිහත් වී එක් ජනකොටසකට එරෙහිව තවත් ජනකොටසක් ඉස්මතු කරමින් බලපෑම්කාරිත්වය අවියක් ලෙස යොදාගෙන සංහිඳියාව බලහත්කාරයෙන් ඇතිකිරීමට උත්සාහ දරන්නේ නම් එයින් ඇතිවන්නේ පැවතියාටත් වඩා වෛරයකි. එය බාහිර පාර්ශ්වය ඉවත්වූ සැණින් පුපුරා යන බෝම්බයකි. ලොව බොහෝ තැන්වල බලහත්කාරී සංහිඳියාව ඇතිකිරීමට ගත් උත්සාහයන් අවසන් වුයේ මෙවැනි ඛේදවාචකයකිනි. බටහිර ලෝකය තවමත් අවබෝධ කරගෙන නොමැති මෙය යථාර්ථවාදී ලෙස දැකීමට ද අපොහොසත් වී ඇති සත්‍යයකි. එමෙන්ම විශේෂයෙන් බටහිර මාධ්‍ය නිරතුරුව සිතන්නේ තමන් දකින කෝණයෙන්ම පමණි. ලෝක නායකයන් මෙන්ම ආගමික නායකයන් ද ජන සමාජයේ ප්‍රශ්න දෙස දෑස් යොමු කරනුයේ එම පිළිවෙතෙනි. එසේ නොවන විට දිගට හරහට බැටදීමට පෙළඹිම සාමාන්‍ය සිරිතයි.

මේ සතියේ බොහෝ අන්තර්ජාතික මාධ්‍ය වාර්තාකරණයන්, කතුවැකි හා මතවාදීමය ලිපි දෙස බැලීමේදී දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ මියැන්මාර් චාරිකාව සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දෙස යම් ආකාරයක විවේචනාත්මක ඇසක් යොමු කිරීමයි.

Pope's Avoids Politics in Myanmar but Can't Quiet Questions on Rohingya

-New York Times

 

Pope in Myanmar: All or nothing for the Rohingya

-BBC

 

Pope Francis disappoints Rohingya by failing to

condemn persecution

-The Guardian

ඉහත දක්වා ඇත්තේ ශුද්ධෝත්තම පියාණන්ගේ මියැන්මාර් චාරිකාවෙන් පසු පළවු මාධ්‍ය සිරස්තල කිහිපයකි. ඒවායේ පොදු අරුත වන්නේ පාප් වහන්සේ මියැන්මාරයේ චාරිකා කළහ, රොහින්ගියා මුස්ලිම්වරුන්ට ලැබුණු කිසිවක් නැත යන්නයි. එහෙත් ශුද්ධෝත්තම පියාණන්ගේ මියැන්මාර් චාරිකාවේදී ආගමික සංහිඳියාවටත් විශේෂයෙන්ම රොහින්ගියා ප්‍රශ්නය කෙරෙහි මියැන්මාර් නායකයන්ගේ, බෞද්ධ හා මුස්ලිම් පාර්ශ්වයන්ගේත්, එරට කතෝලික ප්‍රජාවගේත් අවධානය යොමු කිරීමටත්, එය විසඳීම සදහා මුලික වන පදනමට අවශ්‍ය පසුබිම සකසාලීමට ආගමික නායකයකු වශයෙන් ඉටුකළ භූමිකාවත් නිසිලෙස ඇගයීමකට ලක්වීමක් මෙවැනි මාධ්‍ය තුළින් සිදුවු බවක් අපට නොපෙනේ. ඊට මුලික හේතුවක් ලෙස පැහැදිලි වන්නේ බටහිර මාධ්‍ය හා ක්‍රියාකාරින් මියැන්මාරයේදී ශුද්ධෝත්තම පියාණන්ගෙන් ආධ්‍යාත්මික නායකයකුට වඩා සැර පරුෂ දේශපාලනික නායකයකුගේ භූමිකාවක් අපේක්ෂා කිරිමයි. කොටින්ම කිවහොත් පාප් වහන්සේ මියැන්මාරයේදි කටුක වදනින් දැඩි විවේචන කරමින්, එරට මහා සංඝරත්නයට තර්ජනාංගුලිය ඔසවමින් ට්‍රම්ප්වාදි හැසිරීමක් පෙන්නුම් උණු කැවුම් සේ අලෙවි කළ හැකි පුවත් මැවීමක් අපේක්ෂා කිරිමයි. එහෙත් උන්වහන්සේ එහිදි අනුගමනය කළේ ඉතා සාමකාමී එහෙත් ආගමික නායකයකු විසින් ඉටුකළ හැකි භූමිකාවේ උපරිම තලයටම ගිය පිළිවෙතකි. එය සාධාරණ අගැයීමකට ලක් නොවීම කනගාටුවට කරුණකි.

වර්තමාන ලෝකයේ බොහෝ ප්‍රශ්න සංවේදී භාවයට ලක්කර ඒවා විසඳීමට වඩා තවත් අවුලෙන් අවුලට තල්ලු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. විශේෂයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේද මෙවැනි රාමුවකට කොටුකීරීමේ ප්‍රවණතාවක් මියැන්මාර ප්‍රශ්නයේදී විද්‍යමාන විය.

උන්වහන්සේගේ චාරිකාවට පෙරාතුව පළවු මාධ්‍ය වාර්තා දෙස බැලීමේදි පෙනී යන්නේ මෙහිදි පාප් වහන්සේගෙන් යම් ත්‍රාසජනක මෙහෙයුමක් අපේක්ෂිතව තිබු බවයි. එය සාමය මුල්කරගත් ආගමික ප්‍රධානියෙකුගේ මෙහෙවර වෙනුවට පැරෂුටයකින් සතුරු කඳවුරක් මැදට හෙළනු ලබන හොලිවුඩ් සිනමා වීර කමාන්ඩෝ භටයෙකුගේ රම්බෝ ශෛලියේ මෙහෙයුමක් අපේක්ෂිතව සිටි බවක් එම ලිපි ඔස්සේ පෙනී යන්නේය. සරළව කිවහොත් පාප් වහන්සේ රොහින්ගියා ප්‍රශ්නය මුල්කරගනිමින් දැඩි ලෙස මියැන්මාර බෞද්ධයන්ට පහරගසනු ඇතැයි යන්න ගැන ඉගි බිගි පවා මාධ්‍ය ඔස්සේ පළවිය.

අසාධාරණයට පීඩාවට හිංසනයට හා අවතක්සේරුවට ලක්වුවන් වෙනුවෙන් පෙනී සිටිම සමිබන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ට ඇත්තේ චිර ප්‍රසිද්ධියකි. උන් වහන්සේ හැඳින්වෙන්නේ දිළින්දන්ගේ පාප් වහන්සේ යන විරුදාවලියෙනි. උන්වහන්සේ නිර්භයව අදහස් දක්වති. එම අදහස් ක්‍රියාවෙන් ඔප්පු කරති. එහෙත් ඒ කිසිදු ක්‍රියාවලියකදී උන්වහන්සේ තම අපොස්තලික භූමිකාවෙන් බැහැර නොවෙති. කිසිදු ප්‍රශ්නයක් සෑම කෝණයකින්ම බලා ඒ වෙත අවතිර්ණ වීම උන්වහන්සේගේ සිරිතයි. එක පාර්ශවයක් වෙනුවෙන් අනෙක් පාර්ශ­්වයට නිර්දය ලෙස බැටදීමේ පිළිවෙත වෙනුවට මධ්‍යස්ථ තැනක සිටිමින් ක්‍රමෝපායික වශයෙන් සියලු පාර්ශ්ව සාධනීය ලෙස ප්‍රශ්නයකට ඇති විසඳුම කරා යොමුකරලීම උන්වහන්සේගේ පිළිවෙතයි. මේ පිළිවෙතට තැනකදී මල් කලඹ හිමිවන අතර තවත් තැනකදී ගල් මුල් වැදෙයි. එහෙත් පාප්වහන්සේ ඉන් නොසැලී තම භූමිකාව ඉටුකරති.

මියැන්මාරයේ රොහින්ගියා ප්‍රශ්නය වර්තමානයේ දකුණු ආසියාවේ පවතින වඩාත්ම බරපතළ මානව ඛේදවාචකය ලෙස හඳුන්වා දිය හැකිය. රොහින්ගියා ජනකොටසට සරණ දෙන්නට අද කවුරුවත්ම නැතිවීම මෙහි ඇති වඩාත්ම කනගාටුදායක සංසිද්ධියයි. රොහින්ගියානුවන් මැදපෙරදිග කුර්දිවරුන් මෙන් රටක් නොමැති ජනකොටසකි. ඉන්දු ආර්ය ජනවර්ගයක් සේ සැලැකෙන මේ ජනයා ඉස්ලාම් භක්තිකයෝ වෙති. ඔවුන් සංඛ්‍යාත්මක වශයෙන් ලක්ෂ 11ක් පමණ වන බව ගණන් බලා තිබේ. මේ ජනකොටස අතීතයේ බුරුමය හෙවත් වර්තමාන මියැන්මාරයේ බටහිර වෙරළාසන්න රඛිනේ පළාතේ ජීවත් වෙති. එය 12වැනි සියවසේ පමණ සිට මේ ජනවර්ගයේ මුතුන්මිත්තන්ට සෙවණ දුන් පළාතක් බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක කරුණුද තිබේ. කෙසේ වෙතත් රඛිනේ පළාතේ බංග්ලාදේශ් සම්භවයක් සහිත ජනකොටසේ වැඩිවීමක් දක්නට ලැබුණේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදීය. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයෝ විවිධ ජනකොටස් රටින් රටට ගෙනගියේ ඔවුන්ගේ කෘෂි හා කාර්මික අවශ්‍යතා සම්පුර්ණ කරන කම්කරු සේවය සඳහායි. එම යටත්විජිත නිදහස ලබද්දී බ්‍රිතාන්‍ය පාලකයන් අත්දෙක පිසදමා ඉවත්ව ගොස් ඇත්තේ විවිධ වාර්ගික හා ආගමික ගැටලු අදාළ රටවලට ඉතිරි කරමිනි.

මියැන්මාරය නිදහස ලැබු විට රඛිනේ ප්‍රද්ශයේ සියලු මුස්ලිම්වරුන් බංගලා ජාතිකයන් ලෙස හඳුන්වා ඔවුන්ට රටේ නිසි තැනක් ලබා නොදීමේ පිළිවෙතකට ඉඩ සැලැසුනේ මුලික වශයෙන් බ්‍රිතාන්‍යයන් සිදුකළ විකෘති සංක්‍රමණ රටාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ නිසා සාම්ප්‍රදායිකව රඛිනේ හි ජීවත් වු රොහින්ගියා ජන කොටසද අසාධාරණයට ලක්වුහ. විශේෂයෙන්ම 1982 මියැන්මාරය ගොදුරුකරගත් දුර්දාන්ත හමුදා පාලනය කිසිදු අනුකම්පාවකින් තොරව රොහින්ගියාවරුන්ට මියැන්මාරයේ පුරවැසිභාවය අහෝසි කළේය. එදා සිටම ඔවුන් කෙරෙහි එල්ලවුයේ දැඩි මර්දනකාරි පිළිවෙතකි. මෙය මෑත ඉතිහාසයේ දකුණු ආසියාවේ බරපතළ රාජ්‍ය තාන්ත්‍රික හා වාර්ගික ගැටලුවක් බවට පරිවර්තනය වී ඇත. එහෙත් මේ ප්‍රශ්නයට ආගමික මුහුණුවරක් ලබාදීම බොහෝදුරට බටහිර ප්‍රජාවේ හා මාධ්‍යකලාවේ නිර්මාණයකි. මියැන්මාර් වැසියන් බෞද්ධ වීමත් රොහින්ගියානුවන් ඉස්ලාම් වීමත් ඊට පදනම් වු සරලතම කාරණයයි. එය වඩාත් උග්‍ර කිරිමට හේතු වුයේ මියැන්මාරයේ අශින් විරාතු හිමියන් වැනි දැඩි මතධාරි බලවේග වල ක්‍රියාකාරිත්වයයි. එය අවියක් කරගත් බටහිර මාධ්‍ය මේ වාර්ගික ප්‍රශ්නයට ආගමික ලේබලයක් අලවා එය වෙනත් රටවල ආගමික සංහිදියාවට බලපාන ආකාරයේ විකෘති තත්ත්වයක් නිර්මාණය කර තිබේ. එහි වාසිය දැන් ලබාගෙන ඇත්තේ සියලු පාර්ශ්වයන්හි අන්තවාදි බලවේගයි. පසුගියදා මෙරටදී දිගහැරුණු රොහින්ගියා විරෝධී ජවනිකාව ඊට කදිම උදාහරණයකි.

මියැන්මාරය යනු ජනවර්ග 135 අතරටවත් අයත් නොවීම බරපතළ අසාධාරණයකි. එහෙත් වර්තමානය වන විට නිසි අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස මියැන්මාරය ක්‍රමයෙන් එම වැරදි නිවැරදි කරගැනිමට උත්සුක වන බවක් පෙනේ. පසුගියදා මියැන්මාරයේ හමුදා මෙහෙයුම් නිසා බංග්ලාදේශයට පළාගිය හයලක්ෂයක් වන රොහින්ගියානුවන් යළි භාරගැනිමට මියැන්මාරය ගිවිසුමකට අත්සන් තබා එකග වීම එහි ප්‍රතිඵලයකි. එමෙන්ම මියැන්මාරය අන්තවාදින්ට දැඩි දඩුවම් පැමිණවීමටද ක්‍රියාකරයි. එයද සාධනීය ලක්ෂණයකි. අන්තවාදි ප්‍රකාශ සිදුකරමින් සංහිඳියාවට බාධා පමුණුවන බෞද්ධ සංවිධාන ප්‍රධානියකු මේ වනවිට අධිකරණයෙන් වරදකරු වී සිර දඬුවම් ලබා සිටී. එහෙත් ඒක පාර්ශ්විකව දකින බොහෝ බටහිර මාධ්‍ය හා ක්‍රියාකාරින් මෙවැනි සාධනීය ලක්ෂණ ගැනද කතා නොකිරීම ප්‍රශ්නයකි.

මියැන්මාරය යනු ලොව විශාලතම බෞද්ධ ප්‍රජාවක් එනම් හාරකෝටි පනස් ලක්ෂයක් පමණ වෙසෙන රාජ්‍යයකි. ඒ මධ්‍යයට ගොස් ශුද්ධෝත්තම පාප් වහන්සේ සිදුකළේ ආගමික නායකයකු සාමය හා සංහිදියාව වෙනුවෙන් ඉටුකරන කාර්යභාරයකි. ඒ එරට බෞද්ධ කතෝලික හා මුස්ලිම් ඇතුළු සියලු ආගමිකයන්ට සාමය හා සංහිඳියාවේ වැදගත් කම අවබෝධ කර දෙමින් ගෝලීය අවධානය වඩාත් මියැන්මාරය දෙසට යොමුකරවීමේ ක්‍රියාවලියකි. එය පැහැදිලිවම දේශපාලන නායකයකුගේ භූමිකාවට වෙනස් වු මෙහෙවරකි.

අනෙක් අතට ගෝලීය අවධානයට ලක්විය යුතු මුලික කරුණක් වන්නේ රොහින්ගියානුවන් මුල්කරගනිමින් ක්‍රියාත්මක සන්නද්ධ සටන්කාමී ව්‍යාපාරයයි. මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවකට එළඹ සිටින ඉන්දියාව කිසිදු රොහන්ගියානුවෙකු තම දේශසීමාවට නොගැනීමේ පිළිවෙතක් අනුගමනය කරයි. රොහින්ගියා සටන්කාමී ව්‍යාපාරය අයි එස් සංවිධානයට සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දෙයි. මෙය අසරණ භාවයට පත් රොහින්ගියා වැසියන්ට “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි“ වාතාවරණයක් උදා කර තිබේ. සටන්කාමි ව්‍යාපාරය මුල්කරගනිමින් සාමාන්‍ය රොහින්ගියා වැසියන් පිඩාවට පත්වීම වළක්වාලීම හා දකුණු ආසියාවේ ආගමික ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමට ඉඩ නොදීම යන අන්ත දෙකම සාක්ෂාත් කරගැනීමේ අභියෝගය වත්මන් ගෝලීය ප්‍රජාව හමුවේ තිබේ. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.