ආඥාදායකත්වයේ මල පුඩුවෙන් රැකගත් මාධ්‍ය නිදහස | සිළුමිණ

ආඥාදායකත්වයේ මල පුඩුවෙන් රැකගත් මාධ්‍ය නිදහස

ඊනියා ස්වාධීන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා බොහෝදෙන තම හාම්පුතුන්ගේ දේශපාලන දෘෂ්ටියේ ගොදුරකි. ඉන් ගැලවීමට සුළු හෝ මඟක් විවර කර ගැනීමටද ඔවුන් උත්සාහ කරන බවක් නොපෙනේ. ඊට හොඳම නිදසුන වන්නේ හිටපු ජනාධිපතිවරයා මේ ඊනියා මාධ්‍ය කයිවාරුකරුවන් ප්‍රශ්න කරන ආකාරයයි. ඔහු ඉදිරියේ ඇතමුන්ගේ කතා වැසේ. තවෙකකුට සුළුදිය පහ වේ.

මේ දිනවල ජනමාධ්‍ය කෙරෙහි කිසියම් වූ සාධනීය කථිකාවක් නිර්මාණය වී තිබේ. මෙතෙක් නොවූ විරූ මාධ්‍ය නිදහසක් වත්මන් පාලන සමයේ අප අත් විඳිමින් සිටිමු. එහෙත් අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ එය නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් කටයුතු කරන්නේද යන්නය. තමන් ලැබූ නිදහස ආණ්ඩුව විවේචනය කිරීමට ලබාදුන් බලපත්‍රයක් පමණක් නොවේ. ආණ්ඩුව මෙන්ම විපක්ෂයද අනාගතයේ රට භාරගැනීමට උනන්දුවක් දක්වන දේශපාලන ප්‍රවාහයන්ද එකහා සමානව ප්‍රශ්න කළ යුතු වෙමු. ඊනියා ස්වාධීන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා බොහෝදෙනා තම හාම්පුතුන්ගේ දේශපාලන දෘෂ්ටියේ ගොදුරකි. ඉන් ගැලවීමට සුළු හෝ මඟක් විවර කර ගැනීමටද ඔවුන් උත්සාහ කරන බවක් නොපෙනේ. ඊට හොඳම නිදසුන වන්නේ හිටපු ජනාධිපතිවරයා මේ ඊනියා මාධ්‍යකයිවාරුකරුවන් ප්‍රශ්න කරන ආකාරය යි. ඔහු ඉදිරියේ ඇතමුන්ගේ කතා වැසේ. තවෙකකුට සුළුදිය පහවේ. දේශපාලනය යනු ආණ්ඩුව හෙවත් රාජ්‍ය පාලන උපකරනය ක්‍රියාත්මක කරවන ඉන්ධනය නම්, ජනමාධ්‍ය විසින් එය වඩා හොඳින් පිරිපහදු කර ආණ්ඩුව නැමැති රාජ්‍ය යන්ත්‍රය පණගැන් විය යුතුය. එවිය කිසිදු බාධාවකින් තොරව එයට ඉදිරියට ගමන් කළ හැකිය. එය පිරිපහදු කරන පෙරහන (filter) ජන මාධ්‍යය නම් එහි නියමු කාර්යභාර්යයක් තිබේ. ඒ සඳහා අවශ්‍යයෙන්ම ඔවුන් තුළ සෑම දෙයක් පිළිබඳව මනා අවබෝධයක් හා කියැවීමක් තිබිය යුතුය. අද ලෝකයේ තුන්වන ආණ්ඩුව ලෙස සැලකෙන්නේ මධ්‍යයි. නමුත් මගේ මතය නම් එය අන් කවරදාටත් වඩා මේ යුගයේ ප්‍රමුඛතම දේශපාලන භූමිකාව වන බවයි. එමගින් ආණ්ඩු පිහිට වීමට මෙන්ම ගෙදර යැවීමටද හැකිය. ඒත් ඒ කවර පදනමක සිටදැයි අප ප්‍රශ්න කළ යුතු වෙමු. අප එසේ කළ යුතු වන්නේ තම හාම්පුතා පිනවා පෞද්ගලික ලාභ සත්කාර ලැබීමටද? නැතිනම් වැරදි වුවත් තමන් කැමති දේශපාලන පක්ෂයක් රජකරවීමටද? නැත. අපගේ මුඛ්‍ය අභිලාශය විය යුත්තේ ජනතාවාදී නැති නම් වඩා මානුෂවාදී ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කර ගැනීමය. මෙහිදී අපට දේශපාලනිකව එල්ලවන නොපනත්කම් එමටය. ඇතැම් විට එහිදී අපට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවේ. එවන් තත්ත්වයක් තුළ මාධ්‍යවේදියකු කෙතරම් අසරණ වන්නේද? එනිසා මාධ්‍ය හා දේශපාලනය අතර කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය සාධකයකි.

පසුගිය 04 වෙනිදා ‘ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි’ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹදී පැවති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ,“මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවත්වනු ලබන මෙම සමුළුව මාධ්‍යවේදීන්ට ඉතා වැදගත්” එකක් වන බවයි. “ඒ සඳහා මෙරට මාධ්‍ය හිමිකරුවන් හා ප්‍ර‍ධානීන් තුළ ද උනන්දුවක් තිබිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය රජය යටතේ මෙරට මාධ්‍යවේදීන්ගේ ජීවිත හා දේපළ නැති වී ගිය බවත්, මේ වන විට ඇති වී තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බව”ත් ඒ මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.

එසේම පසුගිය 05 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ ‘මාධ්‍යයේ දේශපාලනය’ මැයෙන් පැවති වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ “මේ දේශනය ගැන කල්පනා කර කර ඉන්න අවස්ථාවේ මට පොතක් කියවන්න ලැබුණ Constructive news කියල. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව කළ සමීක්ෂණයක්. එහි සඳහන් වෙන්නේ 2017 අවුරුද්දේ ජනතාවට විශ්වාසවන්තම වෘත්තියන් පිළිබඳවයි. ඉහළින් ම සඳහන් වන්නේ හෙද වෘත්තිය ඊළඟට වෛද්‍ය වෘත්තිය. අන්තිම කෙළවරේ සඳහන් වෙනවා දේශපාලනය. ඒක එහෙයි මෙහෙයි කියල වෙනසක් නැහැ අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්. නමුත් ඊට උඩින් තියෙන්නෙ ජනමාධ්‍යවේදීන් කියලයි. අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නෙ. ඇමරිකාවෙ නෙවෙයි මෙහෙ සමීක්ෂණයක් කළත් මේ හා සමාන ප්‍රතිචාරයක් ලැබෙයි කියල මම හිතනවා. දේශපාලනඥයන්ට වගේ ම ජනමාධ්‍යවේදීනුත් විශ්වාසය අඩුවෙන් දිනාගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නෙ ඇයි කියල අපි සමීක්ෂණය කරන්න ඕනෙ. ජනමාධ්‍ය කියන්නෙ රටක් පවත්වාගෙන යන ප්‍රධාන කුලුනක්. දේශපානඥයො කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුනත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්.

වෙබ් අඩවියක පුවතක් පළ වෙන්නෙ යන්නෙ තත්පර කිහිපයක් නිසා වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් ඒ සමග තරග කරන්න යාමෙන් සත්‍ය යට යනව ද කියන දේ ගැනත් අපි හිතන්න ඕනෙ.

මට මතක් වෙනවා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ මහතා ලියපු ශ්‍රී ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම කියන පොතේ වාක්‍ය කිහිපයක්. ‘රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය එම රටේ නිදහසේ අවසානයයි. එමෙන් ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකර යම් පුවත්පත් පළ කරයි නම් එය ද රටක නිදහසේ අවසානයයි. ඒ වගේ ම එතුමා ඒ පොතේ අන්තිමට මෙහෙම ලියනවා. නිදහස් රටක් නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා ඇති හොඳ ම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත අතර පවතින ගැටුමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. දෙපක්ෂය සදාකාලික සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයයි. දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය සාධකයක්. ගැටුමක් තියෙන්නෙ ඕනෙ. අපි දෙගොල්ලො කරට අතදාගෙන රාජකාරි කරන්නෙ ගියොත් අපි දෙගොල්ලගෙම වැඩේ හරියට සිද්ධ වෙන්නෙ නෑ. අපට මතකයි පසුගිය යුගයදි ජනමාධ්‍යයට වඩා රජය කොතරම් ශක්තිමත් වුණා ද, ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් අපට අහිමිවුණා ද කියල. ඒ නිසා ම ජනමාධ්‍යයන් රජයේ හීලෑ ගෝළබාලයන් ලෙස කටයුතු කරපු කාලයකුත් තිබුණ. නමුත් අපට යළිත් වතාවක් ඒ තත්ත්වය සමබර කරන්න අපට පුළුවන් වුණා මේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ. තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් අපි සම්මත කරගෙන, ජනමාධ්‍යවේදීන්ට තමන්ගෙ මතය ඕනෑම විදියකට පළ කිරීමට අවස්ථාව ලබා දීල තියෙනවා. තහංචි මොකුත් ජනමාධ්‍යවේදීන්ට දාල නැහැ.

ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී එතුම ඇහුවෙ කාටත් තේරෙන දෙයක්. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් පැමිණිලා, ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේද විතරක් නෙවෙයි ලෝකේ කිසිම රටක ද බාධා පැමිණිවීමට එරෙහිව සාකච්ඡා කරපු උත්සවේ කෝ අපේ ජනමාධ්‍යවේදී මහත්වරු. නමුත් මේ කර්තෘවරුන් ම මාධ්‍ය නිදහස නැති කිරීමට වගකිව යුත්තන් ම යළි වතාවක් කරළියට ගේන්න දිවා රෑ වැඩ කරනවා.

රජයේ ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍යට වඩා සාධාරණව අද ප්‍රවෘත්ති ලබා දෙනවා. නමුත් අපි කියල තියෙනව ගැහුවොත් පොඩ්ඩක් ගහන්න කියල. අපටත් මොකක් හරි කියන්න අයිතියක් තියෙනවනෙ. නමුත් එදා වගේ අපේ විරුද්ධවාදීන්ගේ අම්මල තාත්තල මතක් කරල බනින්නෙ නෑ. ඒකාලෙ ගුවන්විදුලි සංස්ථාවේ හිටිය මහත්තයෙක් එයා මගෙ අම්ම මතක් කරල තියෙනවා සිය වතාවකට වඩා, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පස්සෙ තිබුණ තවත් ඒ වගේ වැඩසටහනක්.

ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සහ කිරීමත් පසු බෑමක් විතරයි. කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නොවන බවයි”. මෙය කිසියම් ආකාරයක යහපත් ප්‍රවණතාවයකි. මෙතෙක් පත් වූ කිසිදු රජයක් මෙලෙස රටේ මහජනතාව ඉදිරියේ හෝ මාධ්‍ය සංවිධාන ඉදිරියේ හෝ ප්‍රකාශ කර නැත. එසේ කර ඇත් නම් ඒ මාධ්‍ය මර්ධනය කරන බවට චෝදනා එල්ල වූ විටය. වත්මන් ආණ්ඩුව පාලනයට පැමිණි මොහොතේ සිටම මේ සම්බන්ධයෙන් කිසියම් සවිඥානක භාවයකින් කටයුතු කළ අතර තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීම එහි කූටප්‍රප්තිමය අවශ්ථාවකි. එයින් ගම්‍ය වන්නනේ මාධ්‍ය අවකාශය වඩා නිදහස්ව තැබීමේ යහපත් බව වත්මන් රජය හොඳින් අවබොධ කරගෙන ඇති බවයි. රටේ ඉදිරි ගමනට, අභිවෘද්ධියට මහත් ආලෝකයක් එමඟින් සපයා ගත හැකියැයි ඔවුන් විශ්වාස කරන සේයකි. නමුත් අවාසනාවකට මේ රටේ මාධ්‍ය ආයතන තවමත් බරකරත්ත චින්තනයක සිරවී ගාටනවා මිස නූතන ලෝකයට විවර වී නොමැත. තවමත් ළිිං මැඩියන් සේ තම පරිමාවේ කැරකෙමින් සෙවල පාසි රසය ම විඳිනවා මිස සෙසු ලෝකය පිළිබඳව වගේ වගක් නොමැත. ලෝකයේ දියුණුවට පත්ව ඇති බොහෝ රටවල මාධ්‍ය නිදහස ඉතාහොඳින් පවතින අතර, ජනාධිපතිවරයාගේ නිරුවත් පිළිරූ ඉදි කර විරෝධය දැක්වීමට පවා අවකාශ සලසා දී තිබේ. එමගින් ඔවුන් ජනතාව තමන් පිළිබඳව දක්වන ආකල්පය වටහාගෙන ඒවා නිවැරදි කර ගැනීමට උත්සාහ ගනී. වත්මන් ආණ්ඩුවද බැඳුම්කර සිද්දියේදී ක්‍රියා කළ ආකාරය ද එවැනි පුර්වාදර්ශයකි.

එනිසා ආණ්ඩුව දෙශට ඇඟිල්ල දිගු කරන අතරම පැවති පාලනය හා සාපේක්ෂ වශයෙන් ගෙන මෙහි ඇති සාධනීය බව දැක්වීමද මාධ්‍යක යුතුකම වේ. නැති නම් ලණුව කඩා ගත් මීමෙකු සේ ඇනගෙන ඇනගෙන යාමෙන් වන්නේ අමාරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නැවත ආඥාදායකත්වයේ මල පුඩුවට සිර කිරීමය.

 රසික කොටුදුරගේ

 

Comments