මළවුන් සැමරීමේ මානුෂීය අයිතිය | සිළුමිණ

මළවුන් සැමරීමේ මානුෂීය අයිතිය

 මළවුන් සැමරීම ජීවත්ව සිටින්නන් විසින් කරනු ලබන මානුෂීය ක්‍රියාවකි. වියෝගය දුකකි. ඒ දුක තුනී කර ගැනීම කෙරෙහි මෙය බලපායි. අනෙක් කරුණ මිය ගිය තැනැත්තා හෝ තැනැත්තිය කෙරෙහි කෘතවේදීත්වය පළ කිරීමයි. කෙනකු මිය ගිය පසු අවමඟුල් උත්සවයේදී නුගුණ කියනු නොලැබේ; යහගුණයක් තිබිණ නම් එය සිහිපත් කරනු ලැබේ. ජීවත්ව සිටින්නන් අතර හොඳ හිත පවත්වාගෙන ය‍ෑම කෙරෙහිද එය බලපායි. අවමඟුල් සිරිත්වල කවර වෙනස්කම් පැවතුණත් මියගිය අය වෙනුවෙන් දුක් වීමේ ගතියට ජාතියක් ජම්මයක් නැත‍. එය පොදු මිනිස් සත්තාවකි‍. උක්ත සටහන නිමිති කරගන්නේ මේ දිනවල මළවුන් සැමරීමේ “අයිතිය ඇති අය” හා “නැති අය” අතර බලවත් විසංවාදයක් ඇති වී තිබෙන හෙයිනි. ඒ පිළිබඳ සින්නක්කර අයිතියක් කිසිදු පාර්ශ්වයකට නැතැයි මුලින් ම සඳහන් කරමි.

“මිය ගිය ආදරණීයන් වෙනුවෙන් පහනක් දැල්වීමට ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් පෙන‍ී සිටීම, ශීලාචාර සමාජයක වගකීමකි.”

ජයතිලක බණ්ඩාර කලාකරුවා මුහුණු පොතේ ඒ සටහන තබා තිබුණේ මළවුන් සැමරීමේ සින්නක්කර අයිතිය තමන්ට පමණක් ඇතැයි සිතන ගෝත්‍රික චින්තනයක් සහිත පාර්ශ්වවලට එරෙහිවය.

“මනුස්සකම ඇති කවුරුත් මිනිස් හැඟ‍ීම් තේරුම් ගත යුතු ය” එයට ප්‍රතිචාරයක් ලැබී තිබිණ.

“ශීඝ්‍රයෙන් ගෝත්‍රිකත්වයට තල්ලු වෙන සමාජයක් ශීලාචාර වන්නේ කොහොමද?”

අනුරුද්ධ පේබොටුව එසේ සඳහන් කර තිබිණි. තිස් වසරක යුද්ධයෙහි ප්‍රතිඵල ලෙස ජීවිත විශාල ගණනක් රටට අහිමි විය. 1971, 89, 2009 වර්ෂවලදී කැරලි කණ්ඩායම් මර්දනය කරමින් රජය තම බලය තහවුරු කර ගත්තේය. මේ අවස්ථා තුනේදීම විශාල ලේ වැගිරීමක් සිදු විය. අවිගත් සිංහල තරුණ තරුණියෝ, අවිගත් දෙමළ තරුණ තරුණියෝ, හමුදා සාමාජිකයෝ, පොලිස් නිලධාරීහු සිවිල් ජනතාව, පූජකවරු, දේශපාලකයෝ මිය ගිය ලක්ෂ ගණනක් අතර වෙත්. මේ අන්දමින් සමාජයේ සෑම තරාතිරමකම උදවිය මරණයට බිලි වූහ. මේ කිසිවෙක් උපතින් අකල් මරණ නළලේ කොට‍ාගෙන නොපැමිණියහ. මේ කිසිවකු තුවක්කුවක් අත් බෝම්බයක් හෝ සයනයිඩ් කරලක් අතින් ගෙන ඉපදී නැත. මූලික වරද ඇත්තේ ජාතික රාජ්‍යය ගොඩනැගීමේ ක්‍රියාවලියෙහිදී සිදු ව‍ූ බරපතළ අන්දමේ බැහැර කිරීම්ය. අනෙක් කරුණ නම් ආගමික මූලධර්මවාදී අදහස් දේශපාලනයට බලපෑම් කිරීමය.

නමට පමණක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවත්වාගෙන යමින් වැඩවසම් චින්තනය අනුව කටයුතු කරන නායකයන් දිගටම බලයේ සිටීම තවත් හේතුවකි. පශ්චාත් යුද සමය මේ සියලු අහිතකර තත්ත්වයන් පිළිබඳ නව කතිකාවතකට පාර කැපීය. මුලින්ම සිදු විය යුතුව තිබුණේ සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ට කිරීමය. එය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක ව‍ූයේ නැත. සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ට කිරීම සඳහා මනස සූදානම් කරගැනීමේ පළමු පියවර වන්නේ යුද්ධයෙන් මියගිය සියලු දෙනා වෙනුවෙන් කම්පාවට පත්වීමය. ‍එම කම්පාව සමාජ කම්පාවක් බවට පත් කිරීමය.

එය එසේ නොවීය.

“අපි දිනුවා”

2009 යුද ජයග්‍රහණයෙන් පසු රාජ්‍ය නායකයා ජාතිය අමතා කීය. සත්‍යය එය නොවේ. මේ යුද්ධයෙන් කිසිවකු ජයග්‍රහණය කළේ නැත. කැරලිකරුවන් පරදවා රාජ්‍ය හමුදා ජයගත්තේය. කැරැල්ලක් මර්දනය කිරීම රාජ්‍යයක ජයග්‍රහණයක් බව ඇත්තය. එසේ වුවද යුද්ධය නිසා මිය ගිය සියලු පාර්ශ්වවල ඥාතීන්ට අසල්වැසියන්ට හා රටේ මහජනතාවට එය ජයග්‍රහණයක් වන්නේ නැත. නැති වූ ජීවිත යළි නොලැබේ. අහිමි වූ දේපළ ඒ අයුරින් නොලැබේ. විනාශ ව‍ූ සංස්කෘතිය යළි ගොඩනැංවීමක් සිදු නොවේ. කළ හැක්කේ පිළිසකර කිරීම් ය‍ ජීවත්ව සිටින්නවුන්ගේ තුවාල ව‍ූ හද මනස සැනසීම කළ හැකිය. යුද්ධයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ හවුල්කාර කණ්ඩායම් දරුස්මාන් වාර්තාව ප්‍රතික්ෂේප කළේය. ඊට එරෙහි ව රට පුරා උද්ඝෝෂණය කළහ. ඉන් පසුව රාජ්‍ය නායකයා උගත් පාඩම් කොමිසම පත් කළේ පශ්චාත් යුද සමයේ අවශ්‍ය ගොඩනැංවීම් සඳහා දේශීය යන්ත්‍රණයක් අවශ්‍ය බව කියමිනි. වාර්තාව නිකුත් විය. යුද්ධයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් දරුස්මාන් වාර්තාවේ කරුණු හා උගත් පාඩම් කොමිසමේ කරුණු අතර ලොකු පරස්පරයක් නොපෙනේ. උගත් පාඩම් කොමිසන් වාර්තාව මෙසේ කියයි.‍

“සියලු පාර්ශ්වවල දේශපාලන නායකයන් ගැටුම වැළැක්වීමට තවත් අසමත් වීම ගැන විපතට පත් සියලු වැසියන්ගෙන් සමාව ගත යුතු ය.” (9.289)

“යුද්ධය ජය ගැනීම නිසා ඇති ව‍‍ූ අධික ප්‍රීති ප්‍රමෝදය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරමින් යුද්ධයෙන් සිදුවූ මානුෂික විනාශය ප්‍රතික්ෂේප කිරීම, දෙමළ ජනතාව බැහැර කිරීමේ ක්‍රියා තවමත් පැවතීම මර්දන නීතිවලින් බිය ගැන්වීම හා ප්‍රචණ්ඩත්වය පැවතීම නරක තත්ත්වයකි.”

“ෂෙල් වෙඩි නිසා සිදු ව‍ූ ජීවිත හානි සහ තුවාල වෙනුවෙන් නිසි වන්දි ගෙවීමක් සිදුවිය යුත්තේ මානුෂීය ක්‍රියාවක් ලෙසත් සමගි සන්ධාන පියවරක් ලෙසත් ය.” (9.14)

“කොමිසමට‍ ලැබුණු ඍජු හා විශ්වාසවන්ත තොරතුරු අනුව හමුදා ආරක්ෂාව ඉක්මවා යුද මුක්ත ප්‍රදේශවලට උඩින් වෙඩි හුවමාරු වීමෙන් සිවිල් වැසියන්ගේ ජීවිත හානි හා තුවාල සිදු ව‍ූ බව පැහැදිලිය.” (9.33)

මීටත් වඩා වැදගත් තොරතුරු රාධිකා ගුණරත්න ලියූ යුද්ධයෙන් ජීවිත හානි හා තුවාල සිදු වූ පාර්ශ්වවල කතා ඇතුළත් කෘතියෙහි අන්තර්ගත වේ. තවදුරටත් ඒවා උපුටා දැක්විය යුතු නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් නොව, පෙර නුවූ විරූ පරිදි දෙමළ හා මුස්ලිම් ඡන්දද ඉහළම ප්‍රතිශතයක් ලබාගනිමිනි. පශ්චාත්-යුද සමයේ සංක්‍රාන්තික යුක්තිය ඉටු නොවීමේ කලකිරීමද පැවති රජය පරාජය කිරීම කෙරෙහි බලපෑ බව නිසැකය. ඒ සඳහා දැනට ගෙන ඇති යම් පියවර සම්බන්ධයෙන් සතුටු විය හැකි නමුත්, එහි මන්දගාමී බව නිසාම යුදෝන්මාදී පාර්ශ්වවල රණ හඬ නැවත හිස ඔසවමින් සිටී. මේ යථාර්ථය දකුණටද උතුරටද අදාළය.

දකුණේ තරුණ කැරලි දෙකකට නායකත්වය දුන් ජවිපෙ සාමාජිකයන් විශාල පිරිසකට ජීවිත අහිමි විය. එම සන්නද්ධ ව්‍යාපාරය දහස් ගණනක් සිවිල් ජනතාව ඝාතනය කළේය.

රාජ්‍ය ත්‍රස්තවාදය හා ජවිපෙ ත්‍රස්තවාදය නිසා, තම ඥාතීන් අහිමි වූ පිරිස විශාලය. ඔවුහු තවමත් මළවුන් සමරති. උතුරේ කැරැල්ල නිසාද විශාල ජීවිත ගණනක් අහිමි විය. ඔවුන්ගේ ඥාතීහුද මළවුන් සැමරීමේ මානුෂීය වුවමනාවෙන් පෙළෙති.

දකුණේ ඝාතනවලට මුල් වූ ඇතැමුන් උතුරේ මළවුන් සැමරීමට එරෙහි වීම හාස්‍යජනක කරුණකි.

මළවුන් සැමරීම එක් අතකින් තම වේදනාව හා ආවේග පිට කිරීමේ මඟකි. ඒ අවස්ථාව අහිමි කිරීම හා එයට වෙනත් අර්ථකතන දීම අමානුෂිකය. කැරැල්ලේ තීව්‍රතාව අඩු-වැඩි වීම, හෝ දෙමළ හා සිංහලකම අනුව මළවුන් සැමරීමේ අයිතිය අහිමි විය යුතු නොවේ. දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා දශක තුනකට ආසන්න කාලයක් තමන් සිරගෙවල තබා ගනිමින් දස වද දුන් සුදු ජාතිකයන්ට සමාව දුන්නේ ය. ඔහු ජනාධිපති වූ පසු ව යුද්ධයෙන් මිය ගිය සියලු පාර්ශ්ව වෙනුවෙන් ශෝකයට පත් විය. ඒ සෑම ජන අභිලාෂයක් ම නියෝජනය වන පරිදි දේදුනු වර්ණයේ දර්ශනය ඇතුළත් ව්‍යවස්ථාවක් නිර්මාණය කළේ ය. මළවුන් සැමරීමේ අයිතිය කළු ජාතිකයන් හට පමණක් ලබා දෙමින් සුදු ජාතිකයන් බැහැර කිරීමේ පිළිවෙතක් ඔහු අනුගමනය නොකළේය. ඔහුට තිබුණේ විවෘත හදවතක්. රණකාමය ‍ඔප් වැඩීම වෙනුවට මනුෂ්‍යත්වයේ දර්ශනය ඔහු ක්‍රියාවට නැංවීය‍.

එරට සත්‍ය කොමිසම ගැටුමට මුල් වූ දෙපාර්ශ්ව මුණගස්වමින්. වරදට සමාව දීමේ උත්තර මානුෂීය ගුණය වර්ධනය කරන සභාවක් බවට පත් විය‍.

අපේ රටේ සත්‍ය කොමිසම තවමත් නාම පුවරුවට සීමා වී පවතී. එමෙන් ම රාජපක්ෂ රෙජීමයෙන් ඔජ වඩවන ලද රණකාමය, ආගමික පාර්ශ්ව, කළු සල්ලිකාරයන් සහ පරාජිත දේශපාලන පාර්ශ්ව විසින් නැවතත් රජ කරවමින් සිටී. මෙරට මාධ්‍ය ජාලා ක්‍රියාත්මක වන්නේද එම දර්ශනයට අනුවය.

මෙහි අධිකාරී බලය කෙතෙක්ද යත්: සංහිදියාව හා සහජීවනය ප්‍රමුඛ මතය බවට පත් කරගත් යහපාලන ආණ්ඩුවද රණබෙරයේ හඬින් අන්දමන්දව සිටී. හරි නම් මේ මොහොතේ කළ යුත්තේ යුද්ධයෙන් මිය ගිය සියලු පාර්ශ්ව සැමරීමේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමය. යළි එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා සැලසුම් යෙදීමේ පළමු පියවර එය විය යුතුය‍.

තිඹිරියාගම බංඩාර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.