වසර 35කට පසු උතුරේ පැවැත්වූ සංහිඳියාවේ පෙරහර | සිළුමිණ

වසර 35කට පසු උතුරේ පැවැත්වූ සංහිඳියාවේ පෙරහර

බෞද්ධයන්ගේ උතුම් පූජනීය වස්තුවක් ලෙස සලකනු ලබන ශ්‍රී මහාබෝධිය මෙරටට වැඩම කරවූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමරනු පිණිස රටේ බොහෝ ස්ථානවල දෙසැම්බර් මාසයේ සංඝමිත්තා පෙරහර පවත්වනු ලබනවා. එහෙත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට සැපත් වූ උතුරේ මාදගල්හි දඹකොළ පටුනේ අද දක්නට ඇත්තේ සාමාන්‍ය විහාරස්ථානයක් පමණයි. පෙරදා සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය හෙවත් 'දුමින්දාගමනය' සිහිපත් කරමින් අලංකාර පෙරහර වැඩි වශයෙන් පවත්වනු ලැබුවේ යාපනයේදී. එසේ වුවත් බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ වීමත් සමඟම උතුරේ සියලු පෙරහර ඇතුළු සියලු බෞද්ධ සංස්කෘතිකාංග නැවතී ගියා.

1982න් පසුව යාපනයේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සිහි කරමින් පෙරහර පැවැත්වුණේ නැහැ. බෙදුම්වාදීන් ඇරැඹූ යුද්ධය 2009 වසරේ අවසන් වුණේ ඒ බෙදුම්වාදය පරාජයට පත් කරමින්. දැන් උතුරේත් දකුණේත් සියලු දෙනාට එක්ව වාසය කරන්නට හැකි වන පරිදි සාමය ස්ථාපිත වෙලා. අවුරුදු 30කට පෙර අතීතයේ තිබුණු ලෙසින්ම යළිත් උතුරේ සාමය රජ කරනවා.

ඒ සාමය සංහිඳියාව යළි ඇති කරන්නට අවුරුදු 35කට පසු මෙවසරේ යළිත් සංඝමිත්තා පෙරහර පවත්වනු ලැබුවා. ඒ පෙරහරේ විශේෂත්වය වුණේ බෞද්ධ-හින්දු සංස්කෘතිකාංග රැසක් මේ පෙරහරේ අන්තර්ගත වීමයි. බෞද්ධාගමේ සිරිත්-විරිත්වලට මුල් තැන ලබා දෙමින් පැවැත්වුණු බෞද්ධ පෙරහරක් වුවත් මේ පෙරහරේ හින්දු සංස්කෘතිකාංග ඇතුළු දෙමළ ජාතිකයන්ගේ විවිධාංග රැසක් නිරූපණය වුණා. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අපට දායාද කළේ ශ්‍රී මහා බෝධිය පමණක් නොවෙයි. සොළොස් කුලයක ශිල්පීන්ගෙන් සැදුම්ලත් සංස්කෘතික සමාජයක් අපට උරුම කළා. එනිසා සංඝමිත්තා පෙරහර සියලු ජාතිකයන් සමඟ සැමරීමයි වඩාත් උතුම් වන්නේ. හින්දු සංස්කෘතිකාංගවලින් පිරිපුන් මේ පෙරහරට යාපනයේ පාසල් සිසුසිසුවියන් විශාල පිරිසක් සහභාගි වීම විශේෂතම සිද්ධියක් බවත් පෙන්වා දිය යුතු වනවා.

ඒ සිසු දරුදැරියන් මීට කැමැත්තෙන්ම ඉදිරිපත් වීම මෙහි විශේෂයෙන්ම කැපිපෙනෙන සිදුවීමක්. කාලාන්තරයක් තිස්සේ ඇතැම් පිරිස් අතරේ කැකෑරෙමින් තිබූ වෛරය වෙනුවට, සහයෝගය මිත්‍රත්වය ගොඩනංවමින් වසර 35කට පසු යාපනයේ පවත්වන්නට යෙදුණු අලංකාරවත් මෙන්ම දීර්ඝතම පෙරහර මෙය වනවා. මේ සඳහා ඇප-කැප වී කටයුතු කළේ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතායි. මේ පෙරහර සංහිඳියාව ඉස්මතු කරමින් යාපා පටුනේ පවත්වන ලද ප්‍රථම පෙරහර බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

"පෙරහරේ විශේෂත්වය වෙන්නේ සිංහල දෙමළ සියලු දෙනාම එක්ව පෙරහර සංවිධානය කිරීමයි. අපි මේ සියලු කටයුතු සංවිධානය කළා. අපි වැඩි බරක් දැරුවත් දෙමළ ජාතිකයන් මහත් උනන්දුවෙන් කටයුතු කළා. ඒක තමයි අපට අවශ්‍ය වන්නේ එකිනෙකා කෙරෙහි ඇති වන බැදීම තියෙන තාක් කල් මේ තත්ත්වය සදාකල් රැකගන්න අපට පුළුවන් වනවා.

අපිට අවශ්‍ය වෙන්නේ සියලු දෙනාම එක්ව සියලු ආගමික වැඩකටයුතු සිදු කරන්නයි. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් කියා වෙනසක් නැතිව අපි කටයුතු කරනවා. අවුරුදු 30ක් උතුරේ ජනතාව දුක් වින්දා දකුණේ අයත් ඒ විදිහටම පීඩා වින්දා අපි දැන් කරන්න ඕන මේ අනවබෝධය දුරු කරන එකයි.

ක්‍රිකට් ටීම්-එකේ මුරලිදන් මැච්-එකක් දිනල ආවහම ගුවන් තොටුපොළේ ඉඳල සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාම එයාව උස්සගෙන මල් මාල දාල එක්කගෙන ආවේ අපේ කෙනෙක් හැටියට මිසක් සිංහල - දෙමළ කියන මානසිකත්වයකින් නෙමෙයි. හැමෝම කැමැත්තෙන් මිසක් කිසි කෙනෙක් ඒ වැඩේට බලෙන් ආවෙ නැහැ‍. ඒ වගේම තමයි මේ පෙරහරට කවුරුත් බලෙන් ආවේ නැහැ. පුදුමාකාර කැමැත්තෙන් උනන්දුවෙන් ආවෙ. ඒක මේ පෙරහරට ලොකු රුකුලක් වුණා. පාසල් දරුදැරියන් විශාල පිරිසක් පාසලේදී පුරුදු-පුහුණු වුණු නැටුම් ඉදිරිපත් කළා. ඒ දරු දැරියන් වගේම වැඩිහිටියන් දන්නවා අපි නල්ලූර් කෝවිලේ් ආගමික වැඩකටයුතුවලට සැදීපැහැදී වැඩ කටයුතු කරන බව. ඒ නිසා මේ සියලු දෙනාම 'අපේ' කියන හැඟීමෙන් තමයි මේ පෙරහරට සම්බන්ධ වුණේ. ඒ ගැන අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනෑ."

වසර 35කට පසු පැවැත්වුණු සංඝමිත්තා පෙරහර පැවැත්වුණේ ඉකුත් උඳුවප් පුන් පොහෝදා. එදින රාත්‍රී 7.30ට පෙරහර යාපනය නගරයේ වීදි සංචාරය කිරීම ඇරැඹුවා. මේ පෙරහරට සමගාමීව දඹකොළ පටුනේ සිට අලංකාර රිය පෙරහරක්ද පවත්වන ලද්දේ ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම සිහි වීම පිණිසයි. මේ රිය පෙරහර යාපනය කොටුව අසලදී සංඝමිත්තා පෙරහර සමඟ එකතු වුණා. ඉන් අනතුරුව කොටුවෙන් ඇරැඹුණු පෙරහර කන්කසන්තුරය මාර්ගයෙන් රෝහල් මාවත ඔස්සේ මෙම්බඩි හන්දියෙන් පලාලි මාර්ගයේ ගමන් කර යාපනය නාග විහාරයෙන් නිමා කරනු ලැබුවා.

බළන්ගොඩ 'රාජු' හස්තිරාජයා පෙරහරේ කරඬුව වැඩම කරවූ අතර, කරඬුව ඇතු පිට තැන්පත් කරනු ලැබුවේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින්. මේ පෙරහරට අලි-ඇතුන් හය දෙනකු සහභාගි වී සිටි අතර අලි ඇතුන්ගෙන් සමන්විත පෙරහක් යාපන‍නයේ තරුණ-තරුණියන් පවා දැකගනු ලැබුවේ මුල්වරට වීමත් මෙහි විශේෂත්වයක් වනවා.

මේ මහ පෙරහර නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර, ඒ අතරේ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ම සිටියා. ශ්‍රී ලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදා‍වේ නර්තන කණ්ඩායම්වලට අමතරව පෙරහර අලංකාර කරනු ලැබුවේ පාසල් සිසු දරුදැරියන්ගේ නර්තන කණ්ඩායම් විසින්.

ආරක්ෂක සේනා ආඥාපතිවයොගේ උපදෙස් පරිදි පෙරහර සංවිධානයේදී මුල් වී කටයුතු කරන ලද්දේ 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා, 512 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් සරත් දිසානායක යන මහත්වරුන් විසින්.

යාපනයේ පවත්වන ලද දීර්ඝතම පෙරහර ලෙස මේ සංඝමිත්තා පෙරහර අපේ ඉතිහාසයට එක් වුණේ එය කිලෝමීටර් 2ක් පමණ දිගකින් යුක්ත වූ නිසයි. එහෙත් අප කළ යුත්තේ එය ඉතිහාසයට එක් කිරීම පමණක් නොවෙයි; ලබන වසරේදී මීටත් වඩා ඉතිහාසගත වන පෙරහරක් සියලු ජාතීන් එක්ව සංවිධානය කිරීමයි.



සේයාරූ අනුග්‍රහය ආරක්ෂක සේනා මූලස්ථානය, යාපනය

Comments