විමුක්තිය සඳහා පූරණය කළයුතු ධර්මතා | සිළුමිණ

විමුක්තිය සඳහා පූරණය කළයුතු ධර්මතා

 නිවන් දැකීමේ අභිප්‍රායෙන් කටයුතු කරන පුද්ගල තෙමේ ඒ සඳහා අවැසි පිළිවෙත් නිවැරදි අයුරින් පූරණය කළ යුතු ය. සමථ හා විදර්ශනා භාවනාවන් උපනිශ්‍රය කොට සන්තානගත ක්ලේශ ධර්මයන් ක්‍රමයෙන් ප්‍රහීණ කිරීම සඳහා වීර්යය වැඩිය යුතු ය. සියලු සත්ත්වයින්ගේ සන්තාන එක හා සමාන නොවන හෙයින් සියලූ භාවනා කර්මස්ථාන සෑම පුද්ගලයකුට ම උචිත නොවේ. නිවැරදි අයුරින් සිත සමාහිත කිරීමට නම් තම චරිතයට අනුරූපීව භාවනා කර්මස්ථානයක් තෝරා එය වැඩිය යුතු ය. පුද්ගල ස්වභාවයන් අතිශය සංකීර්ණ හෙයින් ඇතැම් අවස්ථාවන්හි එක් අයෙකුට එක් භාවනා කර්මස්ථානයක් සප්ප්‍රාය වන අතර තවත් අයෙකුට භාවනා කර්මස්ථාන කීපයක් වඩා සිත ගැඹුරු අවබෝධයක් කරා ගෙන යාමට සිදු වේ. ඒ ඒ පුද්ගල ස්වරූපයන්ට අනුව බුදුරදුන් විසින් ඔවුනට උචිත කර්මස්ථාන ලබා දෙන ලදි. පුද්ගල ස්වභාවයන් අනුව බුදුරදුන් ඒ ඒ භාවනා ක්‍රමයන් ලබා දුන්නේ කවර අයුරින්ද යන්න විමසීම වැදගත් ය. එවිට එම කරුණු අනුසාරයෙන් තම සන්තානය නිවැරදි භාවනා කර්මස්ථානයන් ඔස්සේ දියුණුවට පත් කළ හැක්කේ කේසේ ද යන අවබෝධය ලබා ගත හැකි ය. එසේ ම තමන් දැනට අනුගමනය කරන පිළිවෙත නිවැරදි ද යන්න ද ඉන් වටහා ගැනීමට අවකාශය සැලසේ.

කර්මස්ථාන

එක ම පුද්ගලයකුට සුදුසු වනුයේ එක ම කර්මස්ථානයක් නොවන බව දත යුතු ය. ඇතැම් විට පුද්ගල ස්වරූපය අනුව ඔහුගේ සිත දියුණු කිරීමට කර්මස්ථාන කිහිපයක් ම වැඩිය යුතු වේ. මේ පිළිබඳ මේඝිය සූත්‍රයෙහි හා මහා රාහුලෝවාද සූත්‍රයෙහි කරුණු දක්වා තිබේ. ඒ පිළිබඳව ද මෙහි දී විමසිය යුතු ය.

කර්මස්ථානයන් වඩා මැනවින් දියුණු නොකළ චිත්තය කර්මස්ථානයන් වැඩීමට පෙර ධර්ම පසකින් (05) වැඩිය යුතු බව මේඝිය සූත්‍රයෙහි දක්වා තිබේ. ඉන් අනතුරුව වැඩිය යුතු කර්මස්ථානයන් පිළිබඳ දක්වා තිබේ. මැනවින් පුරුදු නොකළ චිත්තය තියුණු කිරීම සඳහා උපකාරවන හේතු පහ (05) කි. එම ධර්ම පිළිවෙළින් පහත දක්වනු ලැබේ.

‘‘මෙඝිය ය, නො මුහු කළ චිත්තවිමුක්තිහුගේ මුහුකිරීම පිණිස පඤ්චධර්ම කෙනෙක් වෙති. කවර පසෙක යත්.

*මෙඝිය, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි.

*සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ වෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි භය දක්නා සුලුව වාසය කර යි.

*යම් කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, සමථ විදර්ශනා චිත්ත විවරණයට සත්ප්‍රාය ද එවැනි කථා කැමති සේ ලබන සුලු සුවසේ ලබනසුලු විපුල ව ලබන සුලු වෙයි.

*අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වීර්යය ඇති, පරාක්‍රම ඇතියේ වෙයි.

*උදයව්‍යගාමිනී වූ ආර්ය වූ නිර්වේදය ඇසුරු කළ මොනවට දුක්ඛක්‍ෂයට යනසුලු ප්‍රඥාවෙන් සමන්වාගත වූයේ පැණවත් වෙයි.

(අංගුත්තර නිකාය 5, නවක නිපාතය, මෙඝිය සූත්‍රය, 376 පිටු.)

පිළිවෙත

චිත්තය මුහු කිරීම පිණිස උපනිශ්‍රය කරුණු පහක් (05) දක්වා අනතුරුව නැවත සිත දියුණු කිරීම පිණිස කර්මස්ථානයන් වැඩිය යුතු පිළිවෙත ද විග්‍රහ කර යි.

‘‘තෙන ච පන මෙඝිය භික්ඛුනො ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා. අසුබා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා ව්‍යාපාදස්ස පහානාය, ආනාපානසති භාවෙතබ්බා විතක්කපච්ජේදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො මෙඝිය අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති. දිට්ඨෙව ධම්මේ නිබ්බානන්ති.’’

‘‘මේඝිය, ඒ මහණහු විසින් මේ පඤ්චධර්මයන්හි පිහිටා මතුයෙහි සතර ධර්ම කෙනෙක් වැඩිය යුතුවහ. රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභයෝ වැඩිය යුතු ය. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු ය. විතර්කය නසනු පිණිස ආනාපානසතිය වැඩිය යුතු ය. අස්මිමානය සමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු ය. මෙඝිය අනිත්‍යසංඥා ඇතියහුට අනාත්මසංඥාව ඇති වේ. අනාත්මසංඥා ඇතියේ අස්මිමානය සමුද්ඝාතයට පැමිණෙයි. මේ භවයෙහි දී ම නිර්වාණයට පැමිණෙ යි.’’ (අංගුත්තර නිකාය 5, නවක නිපාතය, මෙඝිය සූත්‍රය, 376 පිටු.)

සංවර බව

සිත සංවර බවට පමුණුවා ගැනීම පිණිස මේඝිය තෙරුන්ට කර්මස්ථාන සතරක් (04) වැඩීමට උපදේශයන් සපයා ඇත. මේ අකාරයෙන් ම සිත සංවර බවට පමුණුවා ගැනීම සඳහා රාහුල තෙරුන්ට කර්මස්ථාන හතක් (07) වැඩීමට උපදේශයන් සපයා ඇති අයුරු මහාරාහුලෝවාද සූත්‍රයෙහි දක්නට ලැබේ. එම කරුණු කෙබඳූද යන්න ද විමසිය යුතු ය. එය පහත දක්වනු ලැබේ.

‘‘රාහුලයෙනි, මෛත්‍රී භාවනාව වඩව. රාහුලයෙනි, මෛත්‍රී භාවනාව වඩන තොප ගේ යම් ව්‍යාපාදයක් වේ නම් එය ප්‍රහීණ වන්නේ ය, රාහුලයෙනි, කරුණා භාවනා වඩව. රාහුලයෙනි, කරුණා භාවනා වඩන තොප ගේ යම් විහිංසාවක් වේ ද, එය ප්‍රහීණ වන්නේ ය. රාහුලයෙනි, මුදිතා භාවනා වඩව. රාහුලයෙනි, මුදිතා භාවනා වඩන තොප ගේ යම් (ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුසල ධර්මයන්හි) උකටලීබවෙක් (අලස ස්වභාවයක්) වේ ද, එය ප්‍රහීණ වන්නේ ය. රාහුලයෙනි, උපේක්‍ෂා භාවනා වඩව. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩන තොපට යම් පටිඝයෙක් (ආරම්මණයන් හා ගැටෙන ස්වභාවයක්) වේ නම් එය ප්‍රහීණ වන්නේ ය. රාහුලයෙනි, අසුබ භාවනා වඩව. රාහුලයෙනි, අසුබ භාවනා වඩන තොපට යම් රාගයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ ය. රාහුලයෙනි, අනිත්‍ය සංඥා වඩව. රාහුලයෙනි, අනිත්‍ය සංඥා වඩන තොපට යම් අස්මිමානයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ ය. රාහුලයෙනි, ආනාපානසති භාවනා වඩව. රාහුලයෙනි, වඩන ලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇති වෙයි.’’ (මජ්ක්ධිම නිකාය 2, භික්‍ඛු වග්ගය, මහාරාහුලෝවාද සූත්‍රය, 148 පිටු.)

සිත වැඩීම පිණිස රාහුල තෙරුන්ට කර්මස්ථන හතක් (07) අනුමත කොට තිබේ. මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්‍ෂා භාවනා, අසුබ භාවනා, අනිත්‍යසංඥාව, ආනාපානසති යන කර්මස්ථාන සත ම නිර්දේශ කොට තිබේ. එසේ හෙයින් පුද්ගල ස්වභාවය අනුව කර්මස්ථානයන් උපයෝගී වීම විවිධ අයුරින් සිදු වන බව ඉහත දක්වන ලද කරුණු අනුසාරයෙන් මනාව පැහැදලි වේ.

සන්තානය

සසර පුරා ඒ ඒ භවයන් තුළ දියුණු කොටගත් ස්වභාවයන්ට අනුව පුද්ගල සන්තානය විවිධ ස්වරූපයෙන් දක්නට ලැබේ. සත්ත්වයින් තුළ මෙතරම් සංකීර්ණ ස්වභාවයක් දක්නට ලැබෙන්නේ එහෙයිනි. තමන්ගේ අවබෝධ ශක්තියේ ප්‍රමාණයට ලෝකය සහ ජීවිතය දක්නා පරාසයන් ද වෙනස් වේ. කරුණු මෙසේ හෙයින් අප කෙතරම් අන්‍යයන්ට ධර්මය අවබෝධ කරන්නට යැයි පැවසුව ද ඔවුන්ගේ සන්තානය තුළ ඉහත දක්වන ලද ධර්මයන් නොවැඩෙන තෙක් ඔවුනට ධර්මය අවබෝධ නොවේ. බුදුරදුන් පවා සිදු කළේ ධර්මය අවබෝධ කිරීමට තරම් නුවණ මුහුකරා ඇති සත්ත්වයින්ට මග පෙන්වීම ය. නුවණ ඇති කල්හි මාර්ගය පෙන්වූ කල්හි එය තේරුම් ගෙන තමන්ගේ ම ඥානයෙන් ධර්මය අවබෝධ කොටගනී. නුවණ මුහුකුරා නැති පුද්ගලයින්ට ඔවුනගේ අනාගත යහපත උදෙසා ධර්මය දේශනා කොට ඇත. අප උත්සහ කළ යුත්තේ ද තමාගේ ජීවිත ස්වභාවය තේරුම් ගෙන අවශ්‍යය ආකාරයට ධර්මතාවයන් පුරුදු කිරීම ය. ධර්මාවබෝධයට අවශ්‍ය තරමට නුවණ මුහුකුරා ඇති විට මාර්ගඵල අවබෝධය වේ. ඒ සඳහා සිත නැවත නැවත ධර්මය තුළ භාවිත කළ යුතු ය.

දියුණු මනස

සම්මුති ව්‍යවහාරයන් ඉක්මවා පරමාර්ථ වූ ස්වභාවයක් ඉස්මතු වන ලෝකයේ යථා පැවැත්ම දක්නට දියුණු කළ මනසක් අවශ්‍යය වේ. ධර්මය තුළ බොහෝ කරුණු දක්වා ඇත්තේ මේ අවබෝධය සත්ත්වයාට ඇති කිරීමට ය. චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්‍ෂණය, බොජ්ඣංග, සතිපට්ඨාන, ඉන්ද්‍රිය, බල, සූවිසි ප්‍රත්‍යය ආදී ධර්මතා පිළිබඳව ද ගැඹුරු අවබෝධයක් පැවතිය යුතු ය. ජීවිතය පිළිබඳ පුද්ගලයකුට කෙතරම් ගැඹුරු අවබෝධයක් පවතින්නේ ද යන්න පිළිබඳ දත හැක්කේ ඉහත කරුණු පිළිබඳ ඔහු තුළ පවත්නා අවබෝධයට අනූව ය. යම් පුද්ගලයකුට ධර්මය තුළ පවත්නා මෙම ගැඹුරු කරුණු පිළිබඳ නිරවුල් වූ වැටහීමක් අවබෝධයක් පවතින්නේ නම් ඔහු ක්‍රමයෙන් ධර්මාවබෝධය කරා පියනගන පුද්ගලයෙක් යැයි පැවසිය හැක. කිසිදු අවස්ථාවක ධර්මය පාදක කොටගෙන මානය උපදවා නොගෙන අන්‍ය පුද්ගලයින් හෙළා නොදකිමින් අන්‍යයන්ගේ සිත් ප්‍රසන්න වන අයුරින් මෙම ධර්මය විග්‍රහ කිරීමට එම පුද්ගලයා සමත් විය යුතු ය. නිරවුල් අයුරින් මෙම ධර්මය විග්‍රහ කිරීමේ ශක්‍යතාව පැවතිය යුතු ය. කරුණු මෙසේ හෙයින් ඉදිරි ලිපි මගින් ක්‍රමයෙන් මෙම ගැඹුරු ධර්මය විග්‍රහ කෙරේ. එම කරුණු නිවැරදිව අවබෝධ කොට විමුක්තිය උදෙසා පූරණය කළ යුතු ධර්මතාවයන් පූරණය කොට ලෝකය පිළිබඳ ගැඹුරු චින්තනයක් උපදවා ගැනීමට උත්සහ විය යුතු ය.

ලබන සතියේ... පුද්ගල චරිත ස්වභාවයන්

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.